BREAKING
Top Ad
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)

T

The Leader

July 2, 2023 • 1:21 AM

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා පාර්ශ්වයට ද, පුරුෂ පාර්ශ්වයට ද තම තමන්ගේ වැඩක යෙදෙමින් ම ‘‘සවන් දිය හැකි’’ ටෙලි නාට්‍ය නිර්මාණ බිහි වන අද්‍යතනයේ
  • මේ මොහොතේ එම සිනමාපටයේ නම අමතක ය) මීට වසර කිහිපයකට පෙර (2017 දී පමණ) නැරඹු දමිළ සිනමා නිර්මාණයකි.
  • නාරි මඩම නම් වූ ආශ්‍රමය ගම්මුන් ‘‘නාරි මඩම’’ ලෙස හඳුන්වන, නමුදු එහි වෙසෙන කාන්තාවෝ සහ පන්සලේ ස්වාමින් වහන්සේලා විසින් ද ‘‘ආශ්‍රමය’’ ලෙස හඳුන්වන නිවහන මෙම කාන්තාවන්ගේ වාසස්ථානය යි.
  • ඒ ඇතැම් කාන්තාවකගේ ජීවන පවත දර්ශන පෙළක් ලෙස දිගහැරෙන අතර ඇතැම් කාන්තාවන්ගේ ජීවන පවත කථනයක් ලෙස දිගහැරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

‘‘නැරඹිය යුතු ම’’ ටෙලි නාට්‍ය කිහිපයක් පසුගිය කාලයේ අතරින් පතර වුව ද විකාශනය විය; ඒ සම්බන්ධයෙන් විවිධ කතාබහ ද ඇති විය. ඒ අතුරෙන් මෑතක වඩාත් කතා බහට ලක් වූයේ ප්‍රසන්න ජයකොඩිගේ නිර්මාණයක් වූ ‘‘එයා දැන් බැඳලා’’ ටෙලි නිර්මාණය යි. ඒ හා සමගාමීව ම සිරස නාලිකාවේ ද ‘‘නැරඹිය යුතු ම’’ මාදිලියේ ටෙලි නාට්‍යයක් විකාශනය විය. ඒ, තුෂාරි අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද (මෙහි කතාව සහ තිර රචනය ද ඇගේ ම ය) ‘‘චන්දෝලි’’ ටෙලි නිර්මාණය යි.

‘‘එයා දැන් බැඳලා’’ ටෙලි නාට්‍යයේ නිරුවත් කර තිබුණේ පුරුෂ පාර්ශ්වය යි. ‘‘චන්දෝලි’’ ටෙලි නාට්‍යයේ ද මුඛය අරමුණ වී තිබුණේ එය යි. නමුදු එහි තවත් ඉම් කිහිපයක් ම ස්පර්ශ කර තිබිණ. ඒ අතර බොහෝ නිර්මාණ තුළ උත්කර්ෂයට නංවන, සුන්දර යැයි පාරම්බාන ග්‍රාමීය ජනතාව අතර පවත්නා කුහකත්වය, නොහොඹිනා භාවය සහ ඔවුන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් ම සිදු කරන විවිධාකාරයේ නොපනත්කම් මෙන් ම බුද්ධ පුත්‍රයින්ගේ යුතුකම් සහ වගකීම් මොනවා ද යන්න ද මෙහි මතු කර තිබිණ.

මෙම නිර්මාණයේ කොටස් දෙක තුනක් නරඹන විට මට නිතැතින් ම සිහියට නැගුණේ (සමාවන්න... මේ මොහොතේ එම සිනමාපටයේ නම අමතක ය) මීට වසර කිහිපයකට පෙර (2017 දී පමණ) නැරඹු දමිළ සිනමා නිර්මාණයකි. එහි ද ගමේ මැර පුරුෂ ප්‍රභූවරුන්ට එරෙහි කැරැල්ල දියත් කරන්නේ එක්තරා කාන්තා සංවිධානයකි. එහි නායිකාව ද වයස අවුරුදු හැට ඉක්මවූ කාන්තාවකි. ඔවුන්ගේ බළඇණියේ ද ඇගේ වයසේ සිට අවුදුරු විස්ස දක්වා වූ කාන්තාවෝ පිරිසක් සිටිති. ඔවුන් ද තම ස්වාධිනත්වය උදෙසා සටන් වැදීමේ අරමුණෙන් ස්වාධිනව ම ක්‍රියාත්මක වන අතර පුරුෂ බලයට එරෙහිව නැගී සිටීම සඳහා අවැසි සටන් පුහුණුව ද ලබයි. ‘‘චන්දෝලි’’ නිර්මාණයේ ද එබදු තත්ත්වයක් දක්නට තිබේ.

chandolids

නාරි මඩම නම් වූ ආශ්‍රමය

ගම්මුන් ‘‘නාරි මඩම’’ ලෙස හඳුන්වන, නමුදු එහි වෙසෙන කාන්තාවෝ සහ පන්සලේ ස්වාමින් වහන්සේලා විසින් ද ‘‘ආශ්‍රමය’’ ලෙස හඳුන්වන නිවහන මෙම කාන්තාවන්ගේ වාසස්ථානය යි. එහි වෙසෙන සෑම කාන්තාවක් ම පුරුෂ පාර්ශ්වයේ නොපනත්කමින් අවතැන් වූ චරිත ය. ඉදින් ඔවුන් සටන් වදින්නේ ඒ පුරුෂ නොපනත්කම්වලට එරෙහිව ය. ඒ ඇතැම් කාන්තාවකගේ ජීවන පවත දර්ශන පෙළක් ලෙස දිගහැරෙන අතර ඇතැම් කාන්තාවන්ගේ ජීවන පවත කථනයක් ලෙස දිගහැරේ. ඒ කතාන්දර කුමනාකාරයෙන් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ආව ද එහි සාරය ගත්විට දැකිය හැකි වන්නේ පුරුෂ පාර්ශ්වයේ නිහීනත්වය යි; පුරුෂ පාර්ශ්වය විසින් කාන්තා පාර්ශ්වය වෙත එල්ල කරනු ලබන පීඩනය යි; එම පීඩනයට එරෙහි තමන්ට හැකි ආකාරයෙන් නැගී සිටින කාන්තා පාර්ශ්වය යි.

ඇසට ඇසක්, දතට දතක්

chandoli 323
තමන් වෙත එල්ල වූ, එල්ල වෙමින් පවතින සහ එල්ල වීමට නියමිත සියලු පීඩා සඳහා මෙම කණ්ඩායම මුහුණ දෙන්නේ සහ ඊට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සම්මත නීති රාමුවෙන් වියුක්තව ය. එනම් ඔවුන්ට ම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. එය රටක් තුළ පවත්නා නීති රීති කිසිවක් මායිම් නොකරයි. සරලව ම පවසන්නේ නම් මෙම කාන්තා කණ්ඩායම පළිගැනීම දඬුවමක් ලෙස ක්‍රියාත්මක කරයි. එය එක්දහස් අටසිය පනහ දශකයේ ජීවත් වූ හමුරාබ් නම් පාලකයාගේ නීතියට සමගාමී ය. ඔහුගේ අදහස වී තිබුණේ අනෙකා විසින් කරන ලද දඬුවමේ බරපතළ තත්ත්වය අනුව පෙරළා දඬුවම් කළ යුතු බවයි. එනම් ‘ඇසට ඇසක්, දතට දතක්’ නමැති මූලධර්මය  ක්‍රියාත්මක කල යුතු බවයි. ‘‘චන්දෝලි’’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය වන මහන්තා (දමිතා අබේරත්න) නියෝග කරන්නේ ද, ක්‍රියාත්මක කරන්නේ ද යට කී දඬුවම් ක්‍රමවේදය ද ඉක්මවා ගිය දඬුවම් ක්‍රමයකි.

පුරුෂ මනසේ සම්මතය

Thusari3
මෙහි එන ගම්වැසි පුරුෂ පාර්ශ්වය ද කෙතරම් දඬුවමට ලක් වුව ද ඔවුන් නියැළී සිටින වරදකාරිත්වයෙන් මිදීමට යත්න නොදැරීම ද මෙහි ඇති විශේෂත්වයකි. එනම් ඔවුන් කාන්තාවන් පීඩනයට පත් කරන්නේ එය ඔවුන් ලද වරප්‍රසාදයක් ලෙස සලකමිනි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් ආශ්‍රමවාසී කාන්තා කණ්ඩායම මතු නොව තම ගමේ වෙසෙන කාන්තා පාර්ශ්වය වුව ද ජීවත් විය යුත්තේ එහි වෙසෙන පුරුෂ පාර්ශ්වයේ කැමැත්තට අනුව ය යන අදහසක් ප්‍රචලිත කරමිනි.

 

මේ සියලු සිද්ධි එක් ගම්නානයකට රාමු කළ දර්ශන පෙළක් ලෙස ප්‍රේක්ෂක ප්‍රජාව හමුවේ දිගහැරුණ ද ලෝකයේ ම බහුතරයක් පුරුෂ පාර්ශවයේ හැසිරීම් සහ ක්‍රියාකාරකම් මීට සමගාමී ය. වෙනසක් පවතී නම් ඒ අදාළ සිද්ධි සිදුවන ආකාරය පමණි. උදාහරණයක් ලෙස එක් පසෙකින් ආගම මුලික කරගනිමින් කාන්තාව හිංසනයට පත් කෙරේ. තවත් පසෙකින් චාරිත්‍ර වාරිත්‍ර පදනම් කරගනිමින් කාන්තාව පීඩනයට පත් කෙරේ. කාන්තා පාර්ශ්වය කෙරෙහි මෙකී පීඩන ඒ ආකාරයෙන් බලපැව ද පුරුෂ පාර්ශ්වය කෙරෙහි එබදු ක්‍රමවේදයක් බලපාන රටක් සොයාගැනීම පවා අසීරු ය. මහන්තා නමැති කාන්තාව සටන් කරන්නේ මෙකී සමස්ත පුරුෂ පීඩනයට එරෙහිව ය. එහි දී ඇය සම්මත නීති රිති කඩා බිඳ දැමීම අයුක්තිසහගත යැයි කිසිවකුට චෝදනා කළ නොහැකි ය. මන්ද ඔවුන්ට සාධාරණය ඉටුවන ලකුණක් හෝ දක්නට නොමැති බැවිනි.

Thusari4

දෙවියන්ට අකීකරු වූ බුද්ධ පුත්‍රයා

මෙම නිර්මාණයේ එන ප්‍රහසනාත්මක ම මානය වන්නේ සුව කළ නොහැකි, ඔසුවක් පවා සොයාගත නොහැකි වසංගත රෝගයකින් ගම් වැසි වැඩිහිටි සහ දරුවන් මිය යද්දි පවා ඊට සුදුසු ඖෂධයක් නිපදවාගැනීම සඳහා අවශ්‍ය ශාක කොටස් ලබාගැනීමට එරෙහිව දේව මණ්ඩලය පෙළ ගැසීම ය. දෙවියන්ගේ නියෝජිතයා පවසන්නේ එකී රහස් ඖෂධ වට්ටෝරුව රහසක් සේ ම රැකගත යුතු බවයි; ගස්වැල්වල කොටස් ලබාගෙන ගස්වැල් තුවාල නොකළ යුතු බවයි. එහෙත් දෙවියන්ගේ අණට අකීකරුවන ස්වාමින් වහන්සේ බටහිර වෛද්‍යවරයාගේ ද පූර්ණ සහයෝගිත්වයෙන් අදාළ ඖෂධය නිපදවති; රෝගීහු සුවපත් කරති. අනතුරුව දෙවියන් පැමිණ එම ක්‍රියාවලිය පසසති. එයින් ස්ඵුට කෙරෙන්නේ දෙවියන්ට කළ හැකි දෙයක් නැත ය යන්න  නොවේ ද...?  

නීතියේ ආධිපත්‍යය ද කාන්තාව පිටු දකී

Thusari5 405x1024ටෙලිනාට්‍ය අවසන මහන්තා නමැති අභීත කාන්තාව සිය දිවි නසාගැනීම පවා එදා මෙදා තුර පවත්නා නීතිය පිළිබඳ ආධිපත්‍ය ප්‍රශ්න කිරීමකි. මගේ කියවීමට අනුව නම් ඇය සිය දිවි නසාගන්නේ පවත්නා නීතියට අභියෝග කිරීමට මිස නීතියට බියෙන් පලා යන අදහසකින් නොවේ. ටෙලි නිර්මාණයේ දිගහැරෙන ආකාරයට ඇගේ වියෝවෙන් ඉක්බිති නීති පාර්ශ්වය ද නිහඬ වේ. එනම් ප්‍රධානියා අවසන් වු පසු ක්‍රමය අවසන් වේ යැයි නිති පාර්ශවය විශ්වාස කරයි. නමුදු ඵලය ඇති වූ හේතුව නසන්නට ඔවුන් පවා පෙලඹෙන බවක් දක්නට නොමැත. අදාළ පාර්ශ්වය ඉන් ඉදිරියට ආශ්‍රමවාසී කාන්තා සමුහයට එදිරිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් දක්නට නොමැතිවීම ම ඊට කදිම උදාහරණයකි.

කාලවකවානු පිළිබඳ ගැටලුව

මෙම ටෙලි නිර්මාණයේ දී පිටපත් රචකාව මෙන්ම අධ්‍යක්ෂකවරිය ගම්මානය පුරා පැතිර යන වසංගත රෝගයක් ද, එය මර්දනය කළ හැකි දේශීය ඖෂධයක් පිළිබඳව ද අවධානය යොමු කරන්නී ය. ඇය කුමක් අදහස් කළ ද එය ‘ලාදුරු’ නමින් හැඳින්වෙන රෝගය යැයි අනුමාන කළ හැකි ය. සමස්ත ටෙලි නිර්මාණය ම ගත් විට කිසියම් සාර්ථකත්වයක් පිළිබිඹු කළ ද අදාළ රෝගය සම්බන්ධයෙන් ඇය පවසන කතාව තරමක් ගැටලු සහගත ය. ප්‍රබන්ධ ලෝකය තුළ ඒ සඳහා ඇයට ඉඩක් පවතින බව සැබෑ ය. නමුදු මෙම රෝගය ලංකාවේ ආරම්භ වූයේ කෙසේ ද, ඒ කුමන කාලසීමාවක ද, ඒ සඳහා නිශ්චිත ඖෂධයක් සොයාගත්තේ කිනම් වකවානුවක ද යන්න පිළිබඳ සොයාබැලීමේ දී එම ගැටලුව වඩාත් තීව්‍ර කෙරේ.

image 4132fda60f
සමස්තයක් ලෙස ගත් විට මෙම නිර්මාණයට පසුබිම් වන කාලවකවානුවේ අවිනිශ්චිත භාවය ඊට හේතු පාදක වන්නට ඇතැයි නිගමනය කළ හැකි ය. පුද්ගල චර්යා රටා, ඇඳුම් පැලඳුම්, පාරිසරික තත්ත්ව පිළිබඳ අවධානය යොමු කළ ද එකී පරස්පරතා දකිත හැකි ය. මීට වසර ගණනාවකට පෙර විකාශනය වූ ‘‘ඇල්ල ළඟ වලව්ව’’ ටෙලි නිර්මාණයේ ද ඍජුව ම ලාදුරු රෝගයට ගොදුරු වූ චරිතයක් දැකගත හැකි විය. එය තනි පුද්ගල චරිතයක් වූ බැවින් එතරම් සංකිර්ණ නොවිණ. නමුදු ‘‘චන්දෝලි’’ නිර්මාණය තුළ ගම්වාසීහු කිහිප දෙනෙක් ම මෙම රෝගයට ගොදුරු වෙති. විශේෂයෙන් ම ළමා පරපුර ය. කාලවකවානුව වැදගත් වන්නේ මෙය හේතුවෙනි. අදාළ රෝගය සඳහා දේශීය ඖෂධයක් නිර්මාණය කිරීම අතාත්වික නොවුණ ද අදාළ සිද්ධි දාමයට පාදක වන කාලවකවානුව පැහැදිලි නොවීම තුළ එය යම් අතාත්තවික තත්ත්වයකට පත්ව තිබේ.

Thusari1sd

තුෂාරි අබේසේකර

තිර රචකාව ප්‍රේක්ෂක ප්‍රජාවට ඉදිරිපත් කරන්නේ ලාදුරු රෝගය නම් එම තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලමත් වන්නට තිබිණ. මන්ද ලඅදුරු රෝගය, එහි පැතිර යැම, ඒ සඳහා නිශ්චිත ඔසු සොයාගැනීම, එම ඔසු නිශ්චිතව ම ලංකාවේ භාවිත කිරීම යනාදියට යම් යම් ඉතිහාස කාල රාමු පවතී. ප්‍රබන්ධයේ දී මෙම කාල රාමු වෙනස් වන්නේ නම් අනෙක් සිද්ධි ඊට සමගාමි ලෙස පවත්වාගෙන යාම ද ගැටලු සහගත ය. ඇතැම් විට ඇය උත්සාහ කරන්නට ඇත්තේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ කිසියම් සාධනීය සාකච්ඡාවක් මතු කිරීම විය හැකි ය. නමුදු ඒ වන විට එම ගම් ප්‍රදේශයට පැමිණ සිටින වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු ද වන පුද්ගලයා පවා මෙම රෝගය හඳුනාගෙන නොතිබී ම ම යළි කාලවකවානුව පිළිබඳ ගැටලුව මතු කරයි. දේශීය ඖෂධය පවා නිෂ්පාදනය කෙරෙන්නේ ඔහු සතුව පවතින බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියු පොත්පත්වලිනි. ස්වාමින් වහන්සේ ද යම් උත්සාහයක නිරත වුව ද වඩාත් අපකාරි වන්නේ බටහිර වෛද්‍යවරයාගේ කැපවිම ය. එම තත්ත්වය ද යම් පරස්පරභාවයක් උසුලනවා යන්න මගේ කියවීම ය.

සටන් අධ්‍යක්ෂණයේ දුර්වලතා

chandoli
මෙම නිර්මාණයේ අන්තර්ගත සටන් ක්‍රමවේද ද කිසිදු ප්‍රාණවත් භාවයක් නොඋසුලයි. උදාහරණයක් ලෙස මෙහි ලන්නි නමැති චරිතයට පණ පොවන මාධවි ඇන්තනී නිරන්තරයෙන් පොලු සටන් පුහුණු වන දර්ශන දිගහැරේ. නමුදු ඇයට එකි දර්ශනයට මුහුණ දීමට තරම් පුහුණුවක් නොමැති බව ඉතා පැහැදිලිව ම දකිත හැකි ය. එහි වගකීම සපුරාම දැරිය යුත්තේ අධ්‍යක්ෂකවරිය යි. සටන් කලාවක් ප්‍රගුණ කිරීමේ දී හෝ එකී කලාව ප්‍රායෝගිකව ක්‍රියාවට යෙදවීමේ දි එයට ස්ත්‍රි පුරුෂ භේදයක් නොපවතී. නමුදු මෙහි දී ඊට අදාළ ජවය සපයන්නට එම නිළිය අසමත්ව ඇත. ඇගේ චරිතයේ අනෙක් අවස්ථා චරිතයට සරිලන සේ රඟපා ඇති බව ද මෙහි දී පැවසිය යුතු ය. නමුදු සටන් ශිල්පිනියක් ලෙස ඇගේ චරිතය අසමත් ය.

මෙබඳු කුඩා කුඩා අඩුපාඩු කිහිපයක් පැවතිය ද ‘‘චන්දෝලි’’ යනු භාවනාවක් සදිසි ටෙලි නිර්මාණයක් බව ද පැවසිය යුතු ය. මන්ද එය නැරඹීම සඳහා කිසිවකු රුපවාහිනිය ඉදිරියේ හෝ පරිගණකය ඉදිරියේ අසුන් ගත් පසු  භාවනාවකට සමවැදුණා සේ පියවි ලෝකයට පිවිසෙන්නේ (අතර මැදට දැන්වීම් පැමිණ බාධා නොකරන්නේ නම්) එය අවසන් වූවාට පසුව ය. ඒ, ‘‘චන්දෝලි’’ යනු නැරඹිය යුතු ම ටෙලි නාට්‍යයක් වන බැවිනි.



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/07/02   


ආලින්දයෙන් ඔබ්බට පසුගිය ලිපි :

ආලින්දයෙන් ඔබ්බට (15) : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (14) : 'එයා දැන් බැඳලා' නාය ගියා ද...? - (ජයසිරි අලවත්ත)

ආලින්දයෙන් ඔබ්බට (13) : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්'

ආලින්දයෙන් ඔබ්බට (12) : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ආලින්දයෙන් ඔබ්බට (11) : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ආලින්දයෙන් ඔබ්බට (10) : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (09)-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට (08) - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට (07) - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (06) -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට (05) : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට (04)-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට (03)- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට (02)- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට (01) : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත) | The Leader