The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මාව විකුණලා තිබුණේ ලක්ෂ 18කට', මිනිස් ජාවාරමට හසුවූ ලාංකික කතකගේ කතාව

T

The Leader Desk

November 27, 2022 • 7:17 AM

'මාව විකුණලා තිබුණේ ලක්ෂ 18කට', මිනිස් ජාවාරමට හසුවූ ලාංකික කතකගේ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රියාවලිය ගැන සිදු කෙරෙන විමර්ශන වලදී සැකකරුවන් හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
  • එමෙන්ම මේ ක්‍රියාවලිය සම්බන්ධ පුද්ගලයන් සමග ගනුදෙනු කළ බව කියන ඕමානයේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විදේශ අමාත්‍යාංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
  • නිති විරෝධී අයුරින් ඕමානයට ගොස් පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා නිවසේ' සිටින කාන්තාවන් 65 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී, ඩී.ඩී පී සේනානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
  • මෙලෙස සංචාරක වීසා මත විදේශගතවන කාන්තාවන්ට කටුනායක ගුවන්තොටුපලේදී ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ ද සහය ලැබෙන බව එලෙස ඩුබායි හරහා නීති විරෝධී ලෙස ඕමානයට ගිය කාන්තාවක් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රියාවලිය ගැන සිදු කෙරෙන විමර්ශන වලදී සැකකරුවන් හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

එමෙන්ම මේ ක්‍රියාවලිය සම්බන්ධ පුද්ගලයන් සමග ගනුදෙනු කළ බව කියන ඕමානයේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විදේශ අමාත්‍යාංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

 

නිති විරෝධී අයුරින් ඕමානයට ගොස් පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා නිවසේ' සිටින කාන්තාවන් 65 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී, ඩී.ඩී පී සේනානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

 

මෙලෙස සංචාරක වීසා මත විදේශගතවන කාන්තාවන්ට කටුනායක ගුවන්තොටුපලේදී ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ ද සහය ලැබෙන බව එලෙස ඩුබායි හරහා නීති විරෝධී ලෙස ඕමානයට ගිය කාන්තාවක් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

 

ඇයගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අනන්‍යතාවය හෙළි නොකෙරෙන අතර ඇය පළ කළ අදහස් පදනම් කරගෙන මෙම ලිපිය සම්පාදනය කරන ලදී. අපි ඇයට කාංචනා යැයි කියමු.

 

''මම රට ගියේ ඒජන්සියක් හරහා නෙමෙයි, දන්න අක්කා කෙනෙකුගේ මර්ගයෙන්'' ඇය කතාව ආරම්භ කළාය.

 

2019 වසරේදී ඇය සංචාරක වීසා ලබාගෙන ඩුබායි වෙත ගොස් තිබුණි.

 

'නංගි, දවස් හතරකට ඩුබායි යන්නේ කිවුවාට අපි දන්නවා එන්නේ අවුරුදු දෙකකින් කියලා'

 

''මම කටුනායක එයාර්පෝට් එකට යනකොට මාව රට යවන්න සම්බන්ධ වෙච්ච අය මගේ ෆොටෝ එකක් එතන හිටපු කිහිපදෙනෙකුට යවලා තිබුණේ. එක්කෙනෙක් එයාපෝට් එක ඇතුළේදී මට යන්න ඕනා තැන් ටික කිවුවා. ඒ අයගේ ෆෝන් වලත් මගේ ෆොටෝ තිබුණ නිසා මට එයාපෝට් එකේදී ප්‍රශ්නයක් වුණේ නෑ.'' යනුවෙන් කාංචනා පවසන්නීය.

 

''එක නිලධාරිනියක් මගෙන් ඇහුවා දවස් කීයකට ද ඩුබායි යන්නේ කියලා. මම කිවුවා දවස් හතරකට කියලා. එතකොට මට කිවුවා, නංගි දවස් හතරකට ඩුබායි යන්නේ කිවුවාට අපි දන්නවා එන්නේ අවුරුදු දෙකකින් කියලා. පරිස්සමින් ගිහින් එන්න කියලා කිවුවා.'' යනුවෙන් ඇය විදේශගත වූ ආකාරය එලෙස විස්තර කළාය.

 

ඩුබායි ගුවන්තොටුපලට ඇය රැගෙන යෑම සඳහා වාහනයක් පැමිණ තිබේ.

 

'ඕමාන බෝඩරයේදී පාස්පෝට් එක නිකං බලලා යන්න, යන්න කිවුවා'

 

''ඩුබායි ගිය දවසේ රෑ මගේ වීඩියෝ එකක් අරගෙන ඒක ඕමාන් වලට යැවුවා. මාව වික්කේ ලක්ෂ 18කට. එදා රෑම මාව ටැක්සියක දාල එව්වා ඕමාන් බෝඩරය ගාවට. එතන ඉඳලා ඕමාන් වලට යන්න තව ටැක්සියක් ඇවිත් හිටියා. එතනදී මගේ පාස් පොට් එක බලාලා නිකම්ම යන්න, යන්න කිවුවා. එච්චරයි''යනුවෙන් ඇය පැවසුවාය.

 

ඉන් පසුව නිවසක සේවය සඳහා ඇයව යොමුකර තිබිණි. එහෙත් ඇය පවසන ආකාරයට වසර එකහමාරකට පසු තවදුරත් එම නිවසේ සේවය කළ නොහැකි බැවින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන සුරක්ෂා නිවසට පැමිණ තිබිණි.

 

''මාසයක් එතන හිටියා. එතන මොනවත් කළේ නෑ. ෆයිල් සේරම යට ගැහුවා. එතන ළමයි ගොඩාක් දුක් විඳිනවා. කන්නබොන්න නෑ. නිකං ටයිල් එකේ බිම නිදා ගන්නේ. මම එක දවසක් ගියා උයන්න. හාල් කිලෝ දහයක් දුන්නා එකසිය දෙකකට උයන්න. මෑ කරල් කිලෝ දෙකයි දුන්නේ. හැමදාම පරිප්පුයි බතුයි, බටුයි බතුයි. නැත්තං වට්ටකයි බතුයි.'' යනුවෙන් ඇය කියා සිටියාය.

 

විදේශ රැකියා සපයන නියෝජිත ආයතන සමග ගනුදෙනු කරන, සුරක්ෂා නිවසේ සිටින කාන්තාවන්ට නොයෙකුත් බලපෑම් කරන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ගැන සහ ඔහුට ආධාර අනුබල දෙන නිලධාරිනියන් ගැන ද ඇය මෙම සංවාදයේදී අනාවරණය කළාය.

 

''ළමයි ලංකාවට යන්න ඕනා කිවුවහම ඒ සර් කියනවා එළියට ගිහිං සල්ලි හොයන් එන්න කියලා. ඒ ටිකට් එකටයි, දඩ ගෙවන්නයි. ඉතිං ළමයි එතන ඉන්න බැරුව පැනලා යනවා. කොහොමහරි ලංකාවට එන්න සල්ලි හොයා ගන්න ඕනා නිසා සමහර ළමයින්ට ගණිකා නිවාස වලටත් වැඩට යන්න වෙලා තියෙනවා ඇය වැඩිදුරත් පැවසුවාය.

 

මෙලෙස අසරණ වී සිටින ශ්‍රී ලංකික කාන්තාවන්ට යළි ලංකාවට පැමිණීම සදහා උපකාර කිරීමට කාංචනා මෙන් ඕමානයට් ගිය ශ්‍රී ලාංකිකයෙකු ඉදිරිපත් වී තිබේ. ඔහු ද බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය.

 

''මම මේ අයට උදවු කළේ මගේ අනන්‍යතාවය හංගගෙන. අපේ කාන්තාවෝ ලංකාවට යවන්න කියලා උද්ඝෝෂණ පවා කළා. ඒ රටේදී වද හිංසනයට ලක් වුණා හෝ ලිංගික හිරිහැර වුණා කියලා බොහේ දෙනෙක් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ. මොකද ඒ අය ඕමාන් ඇවිත් තියෙන්නේ හොර පාරෙන් නිසා. අනික ලංකාවේ දරු පවුල් ඉන්න නිසා බොහෝ දෙනෙක් සේරම හංගගෙන, කඳුළු සලමින් ඉන්නවා.'' යනුවෙන් ඔහු පැවසුවේය.

 

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාංචනා පවසන පරිදි ඇය දින පහක් බන්ධනාගාර ගතව සිට පසුව අයගේ වියදමින් ගුවන් ටිකට් පතක් ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

 

''මේ ගැන මාධ්‍ය මගින් තොරතුරු හෙළි කරපු නිසා බලධාරීන්ගේ ඇස් ඇරියා. අන්තිමට CID එකත් ඕමානයට ඇවිල්ල විමර්ශන පටන් ගත්තා. අපි දන්න දේවල් සේරම කිවුවා. විශේෂයෙන් අර තානාපති කාර්යාලයේ හිටපු සර් ගැන. මට ඕනා ඕමානයේ හිරවෙලා ඉන්න අනිත් අයව ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න'' යනුවෙන් කාංචනා පැවසුවාය.

 

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ කුමක්ද?

 

මේ ගැන බීබීසී සිංහල සේවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී , ඩී.ඩී පී සේනානායකගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඔහු පැවසුවේ මෙම සංවිධානාත්මක ක්‍රියාවලියට සම්බන්ධ විශාල පිරිසක් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

(BBC සිංහල සේවය)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...