එක්සත් ජාතික පක්ෂය හා දක්ෂිණාංශික කඳවුර විසින් දීර්ඝකාලීනව පාලනය කරනු ලැබූ කොළඹ නගර සභාවේ බලය විවිධ ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ එකතු කරගනිමින් ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවා ගනු ලැබූ විට ඇතැම් මාධ්‍ය හඳුන්වා දුන්නේ ”වාමාංශික කණ්ඩායමක්” කොළඹ බලය පිහිටුවාගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි.
නමුත් 1954 අගෝස්තු 13 වනදා කොළඹ පුරපති ලෙස පත් වූ ආචාර්ය එන්. ඒම්. පෙරේරා ප්‍රමුඛ සම සමාජ කණ්ඩායම කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගෙන පවත්වාගෙන යෑමට සමත් විය.
කොළඹ නගර සභාව
1953 හරිතාලයෙන් පසු ලංකාවේ ජන සමාජයේ පත්වී තිබුණේද නූතන පශ්චාත් අරගල සමයට සමාන තත්ත්වයකි. එහි පූර්ණවාසිය ලංකා සම සමාජ පක්ෂයට හිමිවිය.

එස්.ඩබ්.අර්.ඩ් බණ්ඩාරනායක. ජේ ආර් ජයවර්ධන. ආර්.ප්‍රේමදාස යන පසුකාලීන රාජ්‍ය නායකත්වයට පත් වූ සියලු දෙනාගේ දේශපාලන තිඹිරිගෙය වූයේ කොළඹ මහ නගර සභාවයි. ඒ අනුව ක්‍රියා කළ ආචාර්ය ඒන්.එම් පෙරේරාද 1948 සහ 1949 වසර වල පැවති කොළඹ මහනගර සභා ඡන්දයේ බොරැල්ල කොට්ඨාශය ජයගෙන නාගරික මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කළේය.
කෙසේ නමුත් මෙම නගර සභාවට ආයුෂ තිබුණේ වසර එකහමාරක පමණ කාලයක් පමණි. අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල මහතාගේ මෙහෙයවීම මත දූෂණය හා වංචාව පිටුදැකීම පදනම් කරගෙන මුලින්ම නියෝජ්‍ය නගරාධිපති ටී.රුද්‍රා ඉවත්කොට ආර්. ප්‍රේමදාස මහතා එම තනතුරට පත් විය.
එම අවස්ථාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහායද හිමි වූයේ එන්.එම් පෙරේරා මහතාට නොවේ.
1956 පෙබරවාරි 28 දින පැවති විශ්වාස භංග යෝජනාව පරාජයට පත්වීමෙන් ආචාර්ය පෙරේරාගේ නගරාධිපති ධූරය අහෝසි විය.

ඉන් පසු නගරාධිපති ධුරයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය වී.ඒ සුගතදාස මහතාය.
ඉන්පසුව පැවති නගර සභා මැතිවරණයේදී බොරැල්ල කොට්ඨාශයද සම සමාජය පක්ෂයට අහිමි වූ අතර ආචාර්ය පෙරේරා නගර සභා දේශපාලනයෙන් ජාතික දේශපාලනයට පිවිසියේය.
විවිධ ක්‍රමවලින් පළාත් පාලන ආයතන වල සහ නගර සභාවල බලය ලබාගත හැකි වුවත් බලය පවත්වාගෙන යාම අසීරු කාර්යයකි.
කෙසේ නමුත් වර්තමානයේ පළාත් පාලන නීතියේ ඇති වී තිබෙන සංශෝධන අනුව අතීතයට වඩා පහසුවෙන් පළාත් පාලන ආයතනයක ප්‍රධානියාට ඔහුට එරෙහිව විගණන වලින් ඔප්පු කරහැකි චෝදනා එල්ල නොවන්නේ නම් සහ එවැනි තත්ත්වයක් උදා වී ආණ්ඩුකාරවරුන් ගෙන් බලපෑම් සිදු නොවන්නේ නම් ගැටලුවකින් තොරව බලය පවත්වාගෙන යා හැකිය.
ගැටලුව වී ඇත්තේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ඒකාබද්ධව බලය පිහිටුවීම නොවේ.

මේ වන විට දෙපිරිසම ඔවුන්ගේ සුජාතභාවය හෙළි කරමින් සිටීමයි. පළාත් පාලන මන්ත්‍රීවරු තමන් නියෝජනය කරන දේශපාලන මතවාදය වෙනුවට අනෙක් කණ්ඩායමට සහාය දෙන අවස්ථා විශාල වශයෙන් දක්නට ලැබේ.
විශේෂයෙන්ම සුපිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් බලය සඳහා ක්‍රියා කරන ආකාරය යහපත් දේශපාලනයක් සඳහා බලාපොරොත්තු තබා සිටි සියලු දෙනා මේ වන විට අපේක්‍ෂා භංගත්වයට පත් කොට ඇත.

(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය
prasadrharischandra@gmail.com



