The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)

T

The Leader Desk

April 2, 2025 • 5:42 AM

බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර තිහක් පමණ සිට වෘත්තීය වශයෙන් සගයෙකු ලෙස ද සුහද මිතුරෙකු වශයෙන් ද ඇසුරු කළ සමන් හමන්ගොඩගේ දශක හය හමාරක දිගු දිවි සැරිය මාර්තු 31 දින නිමාවට පත් වූයේ අනපේක්ෂිත ලෙස නොවේ.
  • ඉහත සඳහන් කළ ගිණුම් අවසන් කිරීමේ දින කිහිපයේ මෙන් කායික ජීවිතයේ එක් එක් කොටස් අප මිතුරාගේ ජීවිතයෙන් ක්‍රමානුකූල ව එකිනෙක වැසෙන බව අප බලා සිටියේ කර කියා ගත හැකි වෙන දෙයක් නොමැති බව ද අවබෝධ කර ගනිමිනි.
  • සමන්ගේ මිය යෑමෙන් පැය 48 ක් වන්නට මත්තෙන් ඔහු ගැන බොහෝ දෙනා බොහෝ දේ ආවර්ජනය කළ හ.
  • සමන්, විශිෂ්ට පුහුණුකරුවෙකු, සන්නිවේදකයකු හා සමාජ ක්‍රියාකාරකයෙකු ලෙස පමණක් නොව උණුසුම් සිතැත්තෙකු ලෙස මේ ආවර්ජනා අතර ඉස්මතු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර තිහක් පමණ සිට වෘත්තීය වශයෙන් සගයෙකු ලෙස ද සුහද මිතුරෙකු වශයෙන් ද ඇසුරු කළ සමන් හමන්ගොඩගේ දශක හය හමාරක දිගු දිවි සැරිය මාර්තු 31 දින නිමාවට පත් වූයේ අනපේක්ෂිත ලෙස නොවේ. ඉහත සඳහන් කළ ගිණුම් අවසන් කිරීමේ දින කිහිපයේ මෙන් කායික ජීවිතයේ එක් එක් කොටස් අප මිතුරාගේ ජීවිතයෙන් ක්‍රමානුකූල ව එකිනෙක වැසෙන බව අප බලා සිටියේ කර කියා ගත හැකි වෙන දෙයක් නොමැති බව ද අවබෝධ කර ගනිමිනි.

ජීවිතයක අවසන් වීම නිශ්චිත යථාර්ථයක් වුවත්, යම් අසනීප තත්ත්වයක දී එය යම් තරමකට අපේක්ෂා කළ හැකි වුවත්, හිතවතෙකුගේ මිය යෑමෙන් ජනිතවන දුක හා සන්තාපය වළකනු නොහේ. ඒ අතර ම, අදාළ පුද්ගලයාගේ ජීවිතය ගැන ආවර්ජනාත්මක ව මෙනෙහි කිරීම ද අප අතින් සිදු කරනුයේ ඒ දුක නිවා ගැනුම පිණිස විය හැක. සමන්ගේ මිය යෑමෙන් පැය 48 ක් වන්නට මත්තෙන් ඔහු ගැන බොහෝ දෙනා බොහෝ දේ ආවර්ජනය කළ හ. සමන්, විශිෂ්ට පුහුණුකරුවෙකු, සන්නිවේදකයකු හා සමාජ ක්‍රියාකාරකයෙකු ලෙස පමණක් නොව උණුසුම් සිතැත්තෙකු ලෙස මේ ආවර්ජනා අතර ඉස්මතු විය. මා මේ කෙටි සටහනින් උත්සාහ කරන්නේ සමන්ගේ වෘත්තීය ජීවිතයට සබැඳි  දැනුම් පද්ධතිය හා නායකත්ව මාදිලිය සැකැසුණේ කෙසේ ද යන්න විමසීමට ය.

GnYGm kXUAAHEoR

සමන්ගේ වෘත්තීය ජීවිතයේ මූලික අවධිය මුවහත් වූයේ සණස නමින් ප්‍රචලිත, සමූපකාර හා ණය සමිති ව්‍යාපාරය තුළ ය. මෙම ව්‍යාපාරය දීර්ඝ කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වුව ද (සමූපකාර හා සකසුරුවම් ව්‍යාපාරය යටත් විජිත යුගයේ,1906 පමණ කාලයේ සිට), එය අද අප සමකාලීන ව දකින සණස ලෙස ඉස්මතු වූයේ 1978 කාලයේ දී එම ව්‍යාපාරයට යම් ආකාරයක නව පනක් හා මුහුණුවරක් ලැබීම නිසා ය. මෙම  වෙනස සණසට දෙනු ලැබුවේ පී.ඒ කිරිවන්දෙනිය මහතා විසිනි.  

එම මහතාගේ වෘත්තීය ජීවිතයේ මූලික අවධිය මුවහත් වූයේ ඒ.ටී ආරියරත්න මහතා විසින් අරඹන ලද සර්වෝදය ව්‍යාපාරයෙනි. යම් කාලයක් ගුරුවරයෙකු ලෙස සේවය කර, සර්වෝදය ව්‍යාපාරයට බැඳී, එම ව්‍යාපාරයේ අධ්‍යාපනය පිළිබඳ වගකීම හෙබ වූ කිරිවන්දෙනිය මහතා, ඉන් අනතුරුව ජාතික උරුමය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කර, ඉන් අනතුරු ව තම නායකත්වය යටතේ සණස විශාල පරිවර්තනයකට ලක් කළේ ය. සණස තුළ මේ පරිවර්තනය වෙමින් එය වඩාත් ව්‍යාප්ත වන කාලයක ය සමන් හමන්ගොඩ තරුණයකු ලෙස, තම උපාධි අධ්‍යයනයෙන් අනතුරු ව, තම මූලික වෘත්තීය අත්දැකීම ලබා ගත්තේ.

සණසේ වැඩට ගැලපෙන වාණිජවේදී උපාධියකින් සන්නද්ධ ව සිටි සමන්, එම ආයතනය තුළ ක්‍රමානුකූල ව වැඩෙන්නට පටන් ගත්තේ ඔහුගේ ජාවාධික කාර්ය සාධන කුසලතාවය නිසා ය. වැඩි කලක් යන්නට පෙර, සමන් සණසට හා එහි නියමුවා වූ කිරිවන්දෙනිය මහතාට නැතිව ම බැරි කෙනෙක් විය. ලංකාවේ පුරෝගාමී සමාජ ව්‍යාපාරයක වූ සර්වෝදය හා පැරණි ම ණය හා සකසුරුවම් සම්ප්‍රදායක් තිබූ ආයතනයක දැනුම් හා අත්දැකීම් උරුමය සණස හරහා තරුණ සමන්ට ලබා ගැනීමට හැකි විය.

 

WhatsApp Image 2025 04 02 at 11.39.20 AM

සණසේ නවීකරණය සිදු වූයේ ලංකාවේ විවෘත ආර්ථිකයේ ආගමනයත් සමගම ය. මෙම කාලයට සමගාමී ව, ලොව පුරා ද මේ ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරුණු අතර, "දුප්පතුන්ට ණය" යන්න නව සංකල්ගත කිරීමත් සමඟ ලොව පුරා ප්‍රවර්ධනය වූයේ ලෝක බැංකුව වැනි ගෝලීය ආයතනයන් හී ආශිර්වාදයත් සමඟ ය. සණසේ නව අදාලත්වයට, පරිවර්තනයට හා නවීකරණයට සන්දර්භීය ව පසුබිම සැකසුණේ මෙයාකාරයට ය. එක්තරා ආකාරයක සංක්‍රාන්ති ම ය කාල වකවානුවක නව මාදිලි ගොඩනැඟෙන පර්යේෂණාත්මක පරිසරයක සමන්ගේ මූලික වෘත්තීය ජීවිතය පෝෂණය කළේ ය.

487810313 1099452602226109 9088332227097511498 n

සණසෙන් පසු ව, සමන් තම වෘත්තීය ජීවිතය ගත කළේ ඉන්ස්ටිට්‍යුට් ෆො පාර්ටිසිපේටරි ඉන්ටරැක්ශන්ස් ඉන් ඩිවෙලප්මන්ට් (IPID) යන ආයතනයේ ය. මෙය 1996 වසරේ විධිමත් ව සංස්ථාපනය වූවත් ඊට පසුබිම සැකසුණේ වසර දහයකට පමණ කලක සිට ය. ස්විස් ඉන්ටර්කෝපරේශන් නම් ස්විට්සර්ලන්තයේ ලියාපදිංචි අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක්, ලංකාවේ ද ක්‍රියාත්මක විය. ග්‍රාමීය සංවර්ධනය, වාරිමාර්ග, වැව් පද්ධති, කෘෂිකර්මය ආදී ක්‍ෂේත්‍රයන් ගැන ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය. මෙම ක්ෂේත්‍රයන් සමග වැඩ කිරීමේදී ජනතාව වැඩි වැඩියෙන් සහභාගී කරවා ගැනීමේ අරමුණෙන් ප්‍රවර්ධනය වූ පාර්ටිසිපේටරි රූරල් අප්‍රේසල් (PRA) නැමති ක්‍රමවේදය ඔවුන් ලංකාවේ ද ප්‍රවර්ධනය කළේ, එම ප්‍රවේශයේ නිර්මාතෘ වූ එංගලන්තයේ සසෙක්ස් විද්‍යාලයේ ප්‍රකට මහාචාර්යවරයෙකු වූ රොබට් චේම්බර්ස්ගේ මූලිකත්වයෙනි.  

එකල ස්විස් ඉන්ටර්කෝපරේෂන් හි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ මල්ලිකා සමරනායක මහත්මිය, රොබට් චේම්බර්ස් සමග යට කී පීආර්ඒ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ප්‍රමුඛත්වය ගත්තේ ය. මේ කාලයේ සණස ද ස්විස් ඉන්ටර්කෝපරේශන් ආයතනයේ ආධාර ලබන ලද සහකාර ව්‍යාපෘතියක් විය. සංවර්ධන ව්‍යාපෘතිවලදී ඒ අදාල ප්‍රජා කොටස් සැලසුම්කරණයට හා ක්‍රියාත්මක කිරීමට පමනක් නොව අධීක්ෂණයට ද සහභාගී කරව ගැනීමේ සමීක්ෂණ හා සැලසුම් මෙවලම් අඩංගු ක්‍රමවේදයක් වූ පිආර්ඒ ක්‍රමවේදය ප්‍රචලිත කිරීමට ලංකාවේ ප්‍රමුඛ ආයතන කිහිපයකින් පුහුණුකරුවන් පුහුණුකර ගැනීමට රොබට් චේම්බර්ස් සහ මල්ලිකා සමරනායක කටයුතු කළ හ. මේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ මූලික වට කිහිපයට සණසට ද ඇරැයුම් කරනු ලැබූ අතර, එම ආයතනය නියෝජනය කරමින් මේ පුහුණු ක්‍රියාදාමයට  සමන් හමන්ගොඩ සහභාගි විය. පුහුණුකරුවකු ලෙස සමන්ගේ ප්‍රභවය ගැන පැහැදුණු මල්ලිකා සමරනායක මහත්මිය, පසු කලක දී තමන්ගේ නායකත්වයෙන් සංස්ථාපනය වූ ඉපිඩ් ආයතනයට ඔහු ව සම්බන්ධ කරගත්තා ය.

මල්ලිකා සමරනායක මහත්මියගේ සැමියා, ජයතිස්ස සමරනායක, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ අතර, එක්තරා කාලයකදී ඔහු මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කළේ ය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් පසු සමරනායක මහතා ඉපිඩ් ආයතනයේ නායකත්ව තනතුරක් ඉසිලී ය. ඔහුගේ පැරණි ජාල සම්බන්ධතා නිසා ඉපිඩ් ආයතනයේ කටයුතු රාජ්‍ය ආයතන ගණනාවක් සමග ව්‍යාප්ත විය. මේ නිසා සමන් හමන්ගොඩට රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ පමණක් නොව රාජ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සමග සමීප ව කටයුතු කිරීමේ අවස්ථාව ලැබිණ.

 

464586330 8373178326114334 6157092926330639140 n

සණසේ මෙන් ම ඉපිඩ් ආයතනයේ ද සමන් වෘත්තීය වශයෙන් සම්බන්ධ වන්නේ ලාංකීය සංවර්ධන ක්ෂේත්‍රයේ එක්තරා සංක්‍රාන්ති ම ය කාලයක් පසු කරන වකවානුවක ය. අනුවේ දශකයේ මැද භාගයේ වොශින්ටන් කන්සෙශනය නමින් ප්‍රචලිත වූ නව ආර්ථික ප්‍රතිසංස්කරණ රැල්ලක් ලොව පුරා හමා ගිය අතර, ලංකාව ද එහි පහස ලැබී ය. රාජ්‍ය ක්ෂේත්‍රය ක්‍රමානුකූල ව සංකෝචනය කර, වෙළඳපළ බලවේග මගින් සමාජය හසුරවන පරිසරයක සමාජ සංවර්ධන හා සුබසාධනය පැවරුණේ රාජ්‍ය නොවන සංවිධාන හෙවත් එන්ජීයෝ යන ආයතන ප්‍රවර්ගයට ය. ඉපිඩ් ආයතනය ස්ථාපනය වන්නේ එන්ජීඕ සංස්කෘතිය ලංකාවේ දැඩි ලෙස ප්‍රවර්ධනය වල කාලයක ය. සමන් හමන්ගොඩ එන්ජීඕ ඇසුර ලැබෙන්නේ හා ඒ ඇසුරින් තම වෘත්තීය කුසලතාවය වැඩෙන්නේ මේ සන්දර්භය තුළ ය.

කිරිවන්දෙනිය හා සමරනායක විසින් ගොඩනැගූ ආයතන පරිසර ද්වය සමන් හමන්ගොඩගේ වෘත්තීය ජීවිතය ඉතාමත් සාධනීය ලෙස පෝෂණය කර වර්ධනය වුවත්, නායකයින් ලෙස ඔවුන් දෙදෙනා ම මහා රූස්ස ගස් දෙකක් විය.  රූස්ස ගස් යට තවත් රූස්ස ගස් වැවෙන්නට තියන ඉඩකඩ අඩු ය. තාක්ෂණික කාරණා හා මෙහෙයුම් ගැන ප්‍රාමාණිකයකු වෙනවා පමණක් නොව නායකයෙකු ලෙස වැඩීමට තමන්ට ඇති සීමා හඳුනා ගත් සමන්, මෙම ආයතන සමග පැවති හොඳ හිත ද පළුදු නොකර, අවශ්‍ය වේලාවේ ඒවායින් ක්‍රමානුකූලව විතැන් වීමට වග බලා ගත් බව ඔහුගේ වෘත්තීය ජීවිත ට්‍රැජෙක්ටරිය විමසීමේදී පැහැදිලි වේ.

vaeryvetrt
සමන් මා සමග සමීප වෘත්තිය සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නේ අනූව දශකයේ අග භාගයේ ය. සමන් මා එකල වැඩ කළ ආයතනයට මුලින් බැඳුනේ ද නායකත්ව මට්ටමකින් නොවේ. එහෙත් මා ඔහු තුළ වූ ප්‍රබල නායකත්ව ප්‍රභවයක් නිරීක්ෂණය කළේ, සමන් අප ආයතනය සමග සහභාගි වූ සම්මුඛ පරීක්ෂණයේ දී ය. සමන් ගේ අධ්‍යාපනික සුදුසුකම් (කැලණිය විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය හා ඉන් අනතුරු ව කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය) හා අත්දැකීම් පිළිබඳ ව නැවත නැවත විමසා කාලය නාස්ති කිරීමට මට අවශ්‍ය නොවී ය. එහෙත් මාගේ අවධානය යොමු වූයේ ඔහු විසින් රැකියා අයදුම් පත සමග අපට එවන ලද සීවීයේ අග කොටසේ සඳහන් වූ 'අනෙකුත් ක්‍රියාකාරකම්' යටතේ සඳහන් කර තිබූ දේ ගැන ය. එහි පළමු කරුණ වූයේ තමන් කරාටේ ශිල්පය හදාරා ඇති බවත් එහි අවසාන අදියර හමාර කොට බ්ලැක් බෙල්ටය ලබාගෙන ඇති බව ය. මෙය මා මහත් උද්යෝගයක් ඇති කළ බව මතක ය. ඊට හේතුව, මා දකින ආකාරයට, නායකත්වයේ එක් කොටසක වන්නේ නොපසුබට ව සටන් කිරීම නිසා ය. ඊළඟ කරුණ වූයේ, ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයා වූ බව යි. එම පත්‍රිකාවේ වෙන තැනක සඳහන් වූ, සමන් උගෙන ගත් පාසල හා එම පාසල පිහිටි නගරයෙන් බැහැර ප්‍රදේශය සලකා බැලීමේදී, එකල ප්‍රභූ පාසැල්වලට පමණක් සීමා වූ රගර් ක්‍රීඩාවට සමන් යොමුවුණේ කෙසේ ද කියා මා තුළ කුතුහලයක් හට ගත්තේ ය. මා ඒ බව,  සමාවාචී ව සමන්ගෙන් විමසූ විට, සමන් දුන් පිළිතුර ඔහුගේ බසින් ම විස්තර කිරීම සුදුසු ය :

"ඔයාගේ නිරීක්ෂණය හරි. මං ඉස්කෝලෙ යන කාලේ රගර් ගහනවා තියා එහෙම සෙල්ලමක් තිබුණ කියලවත් අහලා තිබුනේ නෑ. මං කැලණිය විශ්ව විද්‍යාලයට ආව ම, ක්‍රීඩාවට උනන්දු නිසා නිතර ම ක්‍රීඩාංගණයේ ගැවසෙනවා. එතකොට තමා දැක්කේ බිත්තරයක් වගේ දිගැටි බෝලයක් එක්ක කරන සෙල්ලමක්. මේක මට මහ පුදුම ආස්වාදයක් ගෙන දුන්නා. මං පළවෙනි අවුරුද්ද ම කළේ, අයිනකට වෙලා මේ අමුතු සෙල්ලම කරන හැටි බලන් ඉන්න එක. දෙවැනි අවුරුද්දේ මම ප්‍රැක්ටිස්වලට ගියා. තුන්වෙනි අවුරුද්දේ ටීම් එකට සිලෙක්ට් උනා. අන්තිම අවුරුද්දේ කැප්ටන් උනා..!!!"

 

අපගේ මේ කතාබහෙන් අවුරුදු තුන හතරක් වන්නට පෙර, සමන් හමන්ගොඩ එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ බවට පත් වූවා පමණක් නොව, එම තනතුර වැඩි ම කාලයක් හෙබ වූ කෙනෙකු බවට පත් වූයේ සංවිධානය දියුණුවෙන් දියුණුවට ඔහුගේ නායකත්වය යටතේ වැඩුණු නිසා ය. ආයතනය යම් යම් අභියෝග හමුවේ තර්ජනයට ලක් වන විට, සමන් තමන්ගේ බ්ලැක් බෙල්ටය පැළඳ අවශ්‍ය සටන අවසානය තෙක් ගෙන ගියේ ජයග්‍රහණය ලබන තුරු කිසිදු විවේකයක් නොලබා ය. වාසනාවට, සමන් ප්‍රගුණ කර තිබුණේ කරාටේ පමණක් නොව, රගර් ක්‍රීඩාව ද නිසා, ඔහු සෙසු සගයන් සමග කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළේ ය. ඔහු සමග සේවය කළ සගයන් හා සේවා දායකයින් සමන්ට මෙපමණ ආදරයකින් තම මතක අවුස්සන්නේ මේ නිසා විය හැක.

වෘත්තීය ජීවිතය සමන් ව විසික් කරනු ලැබුවේ ද "සමන්ට රගර් බඳු වූ" නව ක්‍රීඩා ඉසව් වෙතට ය. කිහිප වරක් ම සමන් අනාවරණය වූයේ නව දැනුම් කලාප වෙතට ය. එහෙත් ඒවා ගෙඩිය පිටින් ගිළ නැවත එලෙස ම අනෙකුන්ට දැනුම ලෙස වමාරා නොසිටීමට සමන් පරිස්සම් විය. ඒවා තමන්ගේ අත්දැකීමෙන් හා ලාංකීය තත්ත්වයන් හා පිරිමැදීමෙන් ඉම්ප්‍රොවයිසිත දැනුමක් ලෙස නොමසුරුව අනෙකුන් සමග බෙදා ගැනීම සමන්ගේ සිරිත විය. කලින් කීවාක් මෙන්, සමන් මෙම නව දැනුම් කලාපයන්ට යොමු වන්නේ ලාංකීය සමකාලීන ඉතිහාසයේ ආර්ථික හා සංවර්ධන ක්ෂේත්‍රයන්හි සංක්‍රාන්ති ම ය කාල වකවානුය තුළ ය. කැලණි විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ නුහුරු නුපුරුදු ක්‍රීඩාවක් පසෙක වී  බලා සිට, ක්‍රමයෙන් එම ක්‍රීඩාව විෂද කර, අවසානයේ එහි නායකත්වය ගත්තා මෙන්, සමන් හමන්ගොඩ සංවර්ධන ක්ෂේත්‍රයේ හපන්කම් කළ එකෙකු ලෙස අප ශෝකාකූල ව සිටියත් ආඩම්බරයෙන් ආවර්ජනය කරන්නේ ඔහු තුළ වූ මේ සුවිශේෂ ගුණාංගය නිසා බව නිසැක ය.

කතා කියන කත (ස්ත්‍රී ස්වයං චරිතාපාදන) - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...