The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක් | ලයනල් බෝපගේ

T

The Leader Desk

April 5, 2025 • 10:15 AM

1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක් | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යි.
  • හැත්තෑව දශකයේ පරිහානියට පත්ව තිබුන සමාජ-ආර්ථික හා සංස්කෘතික තත්වය නිසා බැටකෑමට ලක්ව සිටි හා ඒ ගැන දැනුවත්ව සිටි සරසවි හා පාසල් සිසුන් වගේම රැකියා විරහිත සිංහල බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු යෞවන පරම්පරාවෙනු යි, මුලින්ම ‘ව්‍යාපාරය’ ලෙස සහ පසුව ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟුණේ.
  • ‘වැඩිහිටි’ පරම්පරාවේ අපේක්ෂාව වූයේ ඔවුන් වැඩි දියුණු කල සමාජ-ආර්ථික හා සංස්කෘතික රාමුවේ සීමාවන්ට මායිම් ව ‘නව’ පරම්පරාව කටයුතු කරනු ඇති බව යි.
  • ඒ නිසා ඔවුන් සමාජය වෙනස් කිරීමේ පුරෝගාමීන් බවට පත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යි.

හැත්තෑව දශකයේ පරිහානියට පත්ව තිබුන සමාජ-ආර්ථික හා සංස්කෘතික තත්වය නිසා බැටකෑමට ලක්ව සිටි හා ඒ ගැන දැනුවත්ව සිටි සරසවි හා පාසල් සිසුන් වගේම රැකියා විරහිත සිංහල බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු යෞවන පරම්පරාවෙනු යි, මුලින්ම ‘ව්‍යාපාරය’ ලෙස සහ පසුව ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟුණේ.

 121761624 gettyimages 1235960743
එදාත්, අදත් ලංකාව වැඩි වශයෙන් අර්ධ නිර්ධන හා පහළ මධ්‍යම පාන්තික සමාජ ස්තරවලින් සමන්විත කෘෂිකාර්මික සමාජයක්. එදා විරැකියාව, ඉඩම් හිඟය, ජල හිඟය, ජීවන වියදම සහ භාෂාව, වර්ගය හා කුලය අනුව වෙනස්කම් කිරීම හා එවැනි තවත් ගැට‍ළුවලට වැඩිහිටි පරම්පරාව මුහුණ දී සිටියත්, ඔවුන්ගේ ගතානුගතිකත්වය, ජාතිය, භාෂාව, ආගම, කුලමල හා වාර්ගිකත්වය, හා මිථ්‍යා විශ්වාස හේතුවෙන් ඔවුන්ගේ දුක්ඛිත තත්වයට හේතු වූ කාරණා ගැන ඔවුන්ට තිබුනේ මඳ අවබෝධයක්.

‘වැඩිහිටි’ පරම්පරාවේ අපේක්ෂාව වූයේ ඔවුන් වැඩි දියුණු කල සමාජ-ආර්ථික හා සංස්කෘතික රාමුවේ සීමාවන්ට මායිම් ව ‘නව’ පරම්පරාව කටයුතු කරනු ඇති බව යි. සමාජයක් තුල වෙනස් වීම වඩාත්ම පිළි ගෙන ඊට අනුගත වන පරම්පරාව වන්නේ රටක තාරුණ්‍යය යි. ඒ නිසා ඔවුන් සමාජය වෙනස් කිරීමේ පුරෝගාමීන් බවට පත් වෙනවා.

නිදහස් අධ්‍යාපනයත්, මධ්‍ය මහා විද්‍යාල පද්ධතියත්, සිංහල රාජ්‍ය භාෂාව කර තිබීමත් නිසා ග්‍රාමීය තරුණ තරුණියන්ට ලැබුන අධ්‍යාපන අවස්ථා පුළුල් වී තිබුනා. ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ සමාජ තලවලට පමණක් සීමා කිරීම හේතුවෙන් ඒ තලවලට අයත් නොවුන තරුණ පරම්පරාවන්ට පුද්ගලික අංශයේ රැකියාවල නිරත වන්නට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම අත් කර ගන්නට නොහැකි වුනා.

 

Education lanka

50 හා 60 දශකවල රටේ වේගවත් කාර්මික සංවර්ධනයක් තිබුණේ නැහැ. ගැළපෙන සුදුසුකම් හෝ අවශ්‍ය දේශපාලන සම්බන්ධකම් නොමැතිකම නිසා හැට ගණන්වල අග වන විට තිබුනු ආවෘත ආර්ථිකය තුල කලා උපාධිධාරීන්, වෛද්‍ය උපාධිධාරීන් ද ඇතුළුව රටේ යෞවනයන් බොහෝ දෙනා විරැකියාවෙන් පෙළුණා. තරුණ පරම්පරාව බල කේන්ද්‍රවලින් ඈත් කොට තැබීමත්, ජාතික තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ අදහස් නොවිමසීම ත්, ඔවුන් සහභාගි කර නො ගැනීමත් කාලයේ අංග ලක්ෂණ වුනා. ඇතැම් උපාධිධාරීන්ගේ දෙමව්පියෝ සිය දූදරුවන් සරසවි යවා තිබුනේ තමන් සතු එකම ගේදොර පවා උකසට තබමින්.

ඒ කාලයේ පැවතුන ජාත්‍යන්තර සහ දේශීය සමාජ-ආර්ථික හා දේශපාලන වාතාවරණය අප්‍රේල් නැඟිටීම අනිවාර්යයක් බවට පත් කරන්නට හේතු වුනා. නව යටත් විජිතවාදී පැවැත්ම තහවුරු කරන්නට සීඅයිඒ (CIA) සංවිධානය ලොව පුරා විවෘත ලෙසත් ආවෘත ලෙසත් මැදහත් වුනා. හැට ගණන් වන විට අප්‍රිකාවේ, උතුරු, මධ්‍ය හා දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම පාහේ ඇමෙරිකන් ගැති ආඥාදායක රජයයන් පිහිටුවා තිබුනා. කොංගෝවේ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බාව 1961 දී අධිරාජ්‍යවාදී ගැත්තන් හා කුලී හමුදාවන් විසින් පැහැර ගෙන ගොස් වධහිංසා පමුණුවා, ඔහුගේ සිරුර පවා සල්ෆියුරික් අම්ලයේ දිය කර හැර තිබුනා. රෝහණ සහෝදරයා අධ්‍යාපනය ලැබුවේ පැට්‍රිස් ලුමුම්බා සමරන්නට සෝවියට් දේශය ස්ථාපිත කර තිබෙන පැට්‍රිස් ලුමුම්බා සරසවියේ.

අප වගේම ලොව පුරා සිටි, වඩා යහපත් ලෝකයක් අපේක්‍ෂා කළ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් ඒ කාලයේ විශ්වාස කලා සමාජවාදී සමාජ විප්ලවයක් ආසන්න වන බව. ලක්ෂ සංඛ්‍යාත ජනයා වියට්නාම් යුද්ධයට විරුද්ධව පෙළ ගැසී සිටියා. එම යුද්ධයට එරෙහිව කෝටි ගණන් දෙනා විරෝධය පෑවා. කණගාටුවට මෙන් අද පලස්තීනය සම්බන්ධයෙන් එවැනි පෙල ගැසීමක් තවමත් දකින්නට නැහැ. ආසියාවේ කරන ලද මැදහත් වීම්වල සමූල ඝාතක ස්වරූපය වඩාත් පැහැදිලි වුනේ ඇමෙරිකානු මැදිහත් වීම සහිතව ඉන්දුනීසියාවේ මිලිටරිය විසින් ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයන් දශ ලක්ෂයක් පමණ සංහාරයට ලක් කිරීමත් සමඟින්.

 

JR 23813 1

එකල පැවති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවත්, එහි නායකයෙකු වූ ජේ ආර් ජයවර්ධනත් ලංකාව තුල නියෝජනය කලේ මේ ඇමෙරිකන් ගැති බවයි. වසර 20 කට මැතිවරණ සිතියම අකුලා දමා, ජාතිය, ආගම හා සමාජය බේරා ගන්නට සහ රට ‘ධර්මිෂ්ඨ’ එකක් බවට පත් කරන්නට අත්තනෝමතික රජයක් ඇති කරන්නටත් ඔවුන් බලය බලාපොරොත්තු ව සිටියා. එහෙත්, හැටේ හැත්තෑවේ දශකවල තාරුණ්‍යයේ දේශපාලන දැනුවත් බව තිබුනේ ඉහළ මට්ටමක. ඔවුන් තුල සමාජ අසාධාරණය හා පරිහානියට එරෙහිව කටයුතු කරන්නට ලොකු උනන්දුවකුත්, හැඟීමකුත්, ධෛර්යයකුත් තිබුණා.

මේ ව්‍යසනකාරී ජාත්‍යන්තර හා ජාතික තත්වය හමුවේ සියළු විකල්ප වාම කණ්ඩායම් දැඩි විශ්වාසයක් තබා තිබුනේ සමාජ පරිවර්තනයක් සඳහා සන්නද්ධ අරගලය තුලින් බලය අත්පත් කර ගත යුතු බව. ඒ සඳහා අනුගමනය කල යුතු උපායමාර්ගය සම්බන්ධයෙන් විවිධ මත පැවතුනා. ජනතා විමුක්ති පෙරමුණේ අදහස වුනේ “ලංකා ලයින්” නමින් හැඳින්වූ දේශීය මාදිලියක් අනුගමනය කළ යුතු බව යි. රුසියානු, චීන සහ කියුබානු විප්ලව මාදිලිත් සාකච්ඡාවට ලක් වුනා. එහෙත් සිදු වුනේ පීඩිත ජනතාවගේ විමුක්තිය අත් කර ගැනීම සඳහා ඔවුන් ගෙන යන අරගලවලට නායකත්වය දී ජනතාව මෙහෙයවනවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් ආදේශ වීම යි. එය භයානක උපාය මාර්ගික වැරැද්දක් බවට පත් වුනා. අප්‍රේල් නැගිටීම අසාර්ථක වීම සඳහා බලපෑ මූලික හේතුව වශයෙන් මා දකින්නේ එයයි.

 117838729 img 1155.jpg
1971 දී බ්‍රිතාන්‍යය ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට රහසිගතව මැදිහත් වුනු අන්දම 2013 දී අනාවරණය වුනා. එවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කළේ නාපාම් බෝම්බ යොදා ගැනීම වෙනුවට විකල්පයක් ලෙස බෙල් හෙලිකොප්ටර් සමඟ මැෂින් තුවක්කු ලංකා රජයට සැපයූ බවයි. බ්‍රිතාන්‍ය හමුදා, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම උපකරණ භාවිතා කරන අන්දම ගැන ලංකා බලධාරීන්ට රහසිගතව උපදෙස් දී තිබුනා. ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා බ්‍රිතාන්‍යය කල රහසිගත මැදිහත් වීම පෙන්වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි පැවති අඛණ්ඩ පශ්චාත් යටත් විජිත බලපෑම යි.

එකල පැවති සභාග රජයේ මර්දනකාරී වාතාවරණය හමුවේ එම ක්‍රියාවලිය බලාපොරොත්තු වූවාට කලින් පුපුරා ගිය බවක් කල්පනා කළ හැකි යි. නමුත් එය එසේම සිදු වූයේ යයි සැලකිය නොහැක්කේ පැරිස් කොමියුනයට වසර සියයක් සපිරෙන මොහොතේ ලංකාවේ සන්නද්ධ අරගලයක දියත් කිරීම ගැන, ගජබාවත් අවුරෝරාවක් වීම ගැන, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පහර දීමට පෙර නිමිත්තක් වන බව පක්ෂ නායකත්වය තුල පැවති මත වාදය හේතුවෙනු යි.

සමාජ විප්ලවයේ දී, එනම්, සමාජ වෙනස සක්‍රීය බවට පත් කිරීමේදී වැඩ කරන ජනතාව, සමස්ත සමාජය ඒ සඳහා මෙහෙයවීම, සමාජය ඒ සඳහා සහභාගි කර ගැනීම සහ ඒ පිළිබඳව සමාජය දක්වන ප්‍රතිචාරය පිළිබඳව අපේ සටන් සමීකරණය තුල සැලකිල්ලට නොගැනීම බව කියන්නට පුළුවන්.

1971 අප්‍රේල් නැඟිටීම අනුස්මරණය කරන මේ මොහොතේ, එම අරගලයේ දී දිවි පිදූ, විවිධාකාරයේ කැප කිරීම් කළ සහෝදර සහෝදරියන් සියළු දෙනාගේ පොදු අරමුණ, ඔවුන් සියළු දෙනාගේ එකම පැතුම වූයේ අපේ ලෝකයේ, විශේෂයෙන්ම අපේ රටේ වාසය කරන හැම මිනිසෙකුට ම මිනිසෙක් ලෙස ගරුත්වයෙන් යුතුව, නිදහසේ ජීවත් විය හැකි සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක්‍රමයක් ගොඩ නැඟීම යි.

anura vijitha at kiribathgoda npp rally

කවර අඩුපාඩු මැද්දේ වුවත්, මේ මොහොතේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට පත්ව තිබීම ගැන මා සතුටට පත් වෙනවා. එහෙත්, ඒ නැගිටීමේ දී පරම පරිත්‍යාගය කළ අය ද ඇතුළුව ඔවුන් මෙහෙයවූ සාමූහික අභිලාෂය හමුවේ, ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන යන ඇතැම් අපැහැදිලි සහ අවුල් සහගත වැඩ කටයුතු හේතුවෙන් ඒ සතුට කොපමණ කලක් පවතී ද යන්න ඉදිරියේ තීරණය විය යුතුව තිබෙන කාරණයක්.

අප බොහෝ දෙනා අතර කවර ආකාරයේ අඩු ලූහුඬුකම් තිබුනත්, අප සියළු දෙනාගේම පොදු අරමුණ, එකම පැතුම විය යුත්තේ ජාති වාදීන්, ජාතික වාදීන්, ආගම් වාදීන් හෝ කුල වාදීන් නොවී සමාජ ප්‍රගමනය සදහා, සමාජ-ආර්ථික හා දේශපාලන සාධාරණත්වය සදහා කවර තත්වයක් යටතේ වුවත් නොබියව කටයුතු කිරීම යි. එකිනෙකාගේ සමාජ-ආර්ථික හා සංස්කෘතික පසුබිම කවරක් වුවත්, අප සියළු දෙනාගේ එකම අරමුණ විය යුත්තේ සමාජ හා ආර්ථික සාධාරණත්වය මත පදනම් වූ, හැම පුද්ගලයෙකුට ම අභිමානයෙන් යුතුව නිදහසේ වාසය කල හැකි සමාජයක් ගොඩ නැගීමට කටයුතු කිරීම යි.

මේ සඳහා අප සියළු දෙනාට අධිෂ්ඨානයත්, ශක්තියත්, ධෛර්යයත් ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම දෙනාටම ශුභ අනාගතයක් වේවා!

සහෝදරත්වයෙන්

lionel bopage
ලයනල් බෝපගේ

සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

lionel.bopage@gmail.com

මේ විමුක්ති ගී ප්‍රසංගයේ දී චිත්‍රා සොයුරිය ගැයූ ගීයක්



1980 දී රචනා කර, 1981 දී පට ගත කරන ලද ගීයක්

ගායනය - චිත්‍රා බෝපගේ (මුදලිගේ)
ගී පද - ලයනල් බෝපගේ
සංගීත සංයුතිය - ලයනල් බෝපගේ
සංගීතය - සේන වීරසේකර


කිසිදා නො නිමෙන - රතු ගිනි සිළුව නුඹ යි
මගේ දයාබර දූ පුතුනේ //
ආ ආ ආ …  ආ ආ ආ …
ආ ආ ආ …..
දුගී දනන්ගේ ලේ මුසු කඳුලැල්
ඔබේ සුරත් පියුමෙන් පිසිනා දා
සදහට නො බසින විමුක්තියේ හිරු
පෙරදිග අහසේ පායා එන දා
ලක් මව හිනැහෙනු ඇත පුතුනේ
ආ ආ ආ …  ආ ආ ආ …
ආ ආ ආ …..
නුඹේ රණ හඬින් - පිබිදී ලෝ තල
රතු ධජ සෙවනේ සටන් වදින දා
සූරා කෑමෙන් අයුක්තියෙන් තොර
නිවහල් ලෝකය ගොඩ නැංවෙන දා
ලක් මව හිනැහෙනු ඇත පුතුනේ
කිසිදා නො නිමෙන - රතු ගිනි සිළුව නුඹ යි
මගේ දයාබර දූ පුතුනේ /
ආ ආ ආ …  ආ ආ ආ …
ආ ආ ආ …..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...