The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

1988-89 භීෂණ සමයේ ටයර් සෑයක් මත දැවී ගිය තරුණයකු ගැන අමුතු කතාවක්

T

The Leader Desk

March 26, 2025 • 9:22 AM

1988-89 භීෂණ සමයේ ටයර් සෑයක් මත දැවී ගිය තරුණයකු ගැන අමුතු කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවක විපක්ෂ මන්ත්‍රී වරයකුව සිටි විජයපාල මෙන්ඩිස් පුරෝගාමී එක්සත් ජාතික පාක්ෂිකයකු වුවත්, පසුව ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්ඩුවට එක්ව තිබේ.
  • ඒ 1988-89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුද්ගලයන්ට සාධාරණත්වය ඉටු කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන බව පැවසේ.
  • ජා ඇලට නුදුරු ගම්මානයක සිටි අවුරුදු විසි ගණන්වල පසු වූ අප දන්නා තරුණයෙක් 1988-89 භීෂණ සමයේ දී හිටිහැටියේ අතුරුදන් විය.
  • නමුත් අතිශය වගකීම් විරහිත පුද්ගලයෙකු ලෙස කටයුතු කළ මෙම තරුණයා අධික ලෙස මත්පැන් පානයටත්, හොර සුරා පෙරීමටත් වරින් වර සම්බන්ධ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එවක විපක්ෂ මන්ත්‍රී වරයකුව සිටි විජයපාල මෙන්ඩිස් පුරෝගාමී එක්සත් ජාතික පාක්ෂිකයකු වුවත්, පසුව ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්ඩුවට එක්ව තිබේ. ඒ 1988-89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුද්ගලයන්ට සාධාරණත්වය ඉටු කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන බව පැවසේ.

විජයපාල මෙන්ඩිස් විසින් බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මුල් වරට පාර්ලිමේන්තුවේ සභාගත කළ පුවත අදත් අප්‍රකටව තිබිය දී වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක විසින් එය යළි සභා ගත කොට ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල් ජසීරා රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාවක් තුළින් පැන නැඟුණු උණුසුම යොදා ගනිමිනි. 


එහෙත්, මෙහි සඳහන් වනුයේ 1988-89 භීෂණ සමය සම්බන්ධ නිර් දේශපාලනික කතා පුවතකි. මා අප සමාජයේ ගුප්ත විශ්වාස පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටි මුල් අවදිය හා සම්බන්ධ මෙම කතා පුවත මට කිසිදා අමතක නොවේ.

 

ජා ඇලට නුදුරු ගම්මානයක සිටි අවුරුදු විසි ගණන්වල පසු වූ අප දන්නා තරුණයෙක් 1988-89 භීෂණ සමයේ දී හිටිහැටියේ අතුරුදන් විය. පෙදරේරුවන් හට අත් වැඩ දීමෙන් ජීවිකාව ගෙනගිය මොහු දුර බැහැර පිට ගමකින් කැන්දාගෙන ආ රූමත් තරුණියක සමඟ විවාහ වී සිටියේය. නමුත් අතිශය වගකීම් විරහිත පුද්ගලයෙකු ලෙස කටයුතු කළ මෙම තරුණයා අධික ලෙස මත්පැන් පානයටත්, හොර සුරා පෙරීමටත් වරින් වර සම්බන්ධ විය. එමෙන්ම ඔහු ප්‍රදේශයේ අවමඟුල් නිවෙස් මුල්කොට බූරු පොළවල් සංවිධානය කරන්නෙකු ලෙස ද පෙනී සිටියේ ය.මා ඔහු හඳුනා ගත්තේ ඔහු එවක එල්ලේ ක්‍රීඩකයකු ලෙස ප්‍රදේශයේ තරමක් ප්‍රකටව සිටි නිසා ය.

 

image 985772b10f
1989 වසරේ එක්තරා දිනයෙක මෙම තරුණයා හිටිහැටියේ  අතුරුදන් විය. ඊට දින දෙක තුනකට පසුව ඔහු පදිංචිව සිටි නිවසට කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි ‘කවුඩන් ගහ’ නම් ස්ථානයේ ටයර් සෑයක් මත දැවී අළු වී ගිය මළ සිරුරක කොටස් දක්නට ලැබිණි. ඒ කාලයේ මෙබඳු දර්ශන අතිශයින් සුලබ වූ මුත් ඒ මළසිරුර සමීපයේ ඉහත තරුණයා හැඳ සිටි ටී ෂර්ට් එක සහ ඔහු නිතර පැළඳි රබර් සෙරෙප්පු දෙක ද දැකිය හැකි විය. ඒ අනුව ඔහුට අත් වූ ඉරණම පිළිබඳව ගමේ කිසිවකුටත් රහසක් නොවිණි.  

තරුණයාගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳට එතරම් ගණනක් නොතිබුණත් ඔහුගේ මව එම අළු ගොඩ අසළ තිබූ වැලි අහසට විසි කරමින් ‘‘මගේ අසරණයාට මේ අපරාදය කළවුන්ට මේ වැලි කැටයක් කැටයක් ගානේ සාපවේවා!’’ කියමින් දෙස් තැබූ බව ද දැනගන්නට ලැබිණි. නමුදු එවක සම වයසේ තරුණයන් වූ අපි ඔහුට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ විමසීමට ඔහු ගේ නිවසට යාමට පවා බිය වීමු. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ දිනවල සමාජ කතිකාව මඟින් ද තහවුරු වන අන්දමට 1988-1988 භීෂණ සමයේ මෙලෙස දෙපිරිසක් බිහිසුණු ලෙස ඝාතනයට ලක්වූහ. ඉන් මුල් කොටස එවක පැවති රජයට පක්ෂපාතී ලෙස කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරීහු ය. අනෙක් පිරිස එවක පැවති රජයට එරෙහිව සන්නද්ධ අරගලයක යෙදුණු තරුණ පිරිස ය. එහෙත්, මේ දෙකොටසටම අයත් නොමැති මේ තරුණයා මෙලෙස පුළුස්සා මරා දැමීමට හේතුවක් සොයා ගම්මු දහ අතේ කල්පනා කරන්නට වූහ.

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි -(තිලක් සේනාසිංහ)

 

අවසානයේ ඔවුන් අතර පැතිර ගිය පොදු මතය වූයේ ඔහු ගේ අයථා කල් ක්‍රියාවන් කෙරෙහි උරණව සිටි  ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් සන්නද්ධ අංශවලට වැරදි තොරතුරු ලබාදීමෙන් මෙම ඝාතනය සිදු කරනන්ට ඇති බව ය. එමෙන්ම ඊට පෙර ඒ තරුණයාගේ රූමත් බිරිඳ කුමක් හෝ ජීවත්වීමට මඟක් උදාකර දෙන ලෙස ඉල්ලමින් ඊට පෙර කිහිපවරක්ම එම දේශපාලනඥයා හමුවීමට ගොස් ඇති බව ද අනාවරණය විය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු අයථා  සබඳතාවයක ප්‍රතිඵලයක් මත කුමන්ත්‍රණකාරී ලෙස තරුණයා පුළුස්සා මරා දමන්නට ඇතැයි ද ගම්මු සැක කළහ.

ඔය අතරේ තම පුතුගේ මරණයට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිව සිටි තරුණයාගේ මවට දොම්පේ ප්‍රදේශයේ මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථානයක් පිළිබඳව කිසිවකු විසින් දන්වා තිබිණි. එහි දී මියගිය තැනැත්තා පැමිණ තම මරණය සිදුවූ ආකාරය සේම ඊට හේතුද අනාවරණය කරන බව දැනගත් මව තම පුතුගේ මරණයේ සුලමුල සොයා එහි ගියා ය.

‘‘අම්මේ මට ඒ වෙලාවේ ඉවසන්න බැරි වේදනාවක් දැනුණා. ඒ එක්කම මගේ ඇඟ පිච්චෙනවා වගේ දැනුණා. ඉවසන්න බැරි වතුර තිබහකුත් දැනුණා. මට ඒ වෙලාවෙත් අම්මා ගැන මතක් වුණා අම්මේ…’’ කියමින්, මියගිය තැනැත්තා ආරූඪ වූ ශාස්ත්‍ර කාරිය හඬා වැළපුණේ ඒ මවගේ ළය තුළ කැකෑරෙමින් තිබූ දරු සෙනෙහස ගිනි කන්දක් මෙන් පිටතට විදාරණය කරවමිනි. මෙම සිද්ධිය මා හා අනාවරණය කරන ලද්දේ තවත් එල්ලේ ශූරයකුව සිටි ජා ඇල , නිවන්දම ජයරත්න වීරසිංහ සහෘදයා විසිනි.

 

images 23
මේ සිද්ධියෙන් පසු ඒ මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන එම ස්ථානයට විශාල ජනප්‍රියත්වයක් ලැබුණු අතර තම තමන්ගේ මියගිය ඥාතීන් කඳවා තමන්ට උවමනා කරුණු දැනගැනීමට කැමති බොහෝ පිරිසක් එහි යන්නට වූහ. එමෙන්ම ඉහත සඳහන් කට කතා මුල් කොට තරුණයාගේ බිරිඳට එල්ල වූ අනේක විධ නින්දා අපහාස හමුවේ ඇය තම මාපියන් සමීපයේ පදිංචියට ගිය බව අපට දැනගත හැකි විය.

එහෙත්, එම තරුණයා හා සම්බන්ධ කිසිවෙකුටත් සිහිනයෙන් හෝ අදහාගත නොහැකි සිද්ධියක් පිළිබඳව අසන්නට ලැබුණේ ඊට දෙවසරකට පමණ පසුව ය. ඒ 1992 වසරේ බුත්තල ගම්උදා භූමියේදී ඒ ගමේ වැසියෙකුට ඉහත සඳහන් කළ තරුණයා අහඹු ලෙස හමුවීමත් සමඟිනි. ඒ වනවිට ඔහු එහි ඉදිකිරීම් සම්බන්ධ පෙදරේරුවෙකු සේ කටයුතු කරමින් සිටි බව පැවසෙයි. උපන් ගමේදී තමන්ට කිසිදු පිළිගැනීමක් නොතිබූ බැවිනුත් තමන්ගේ පවුල් ජීවිතය පවා අසාර්ථක වූ බැවිනුත් සියල්ලන්ටම රහසින් ගමින් පිටව ඒමට තමන් තීරණය කළ බව තරුණයා ඒ ගැමියාට පවසා තිබිණි. එමෙන්ම ඔහු ‘කවුඩන් ගහ’ යට දැවී අළු වී තිබූ මළසිරුර අද්දර තමන් නිතර අඳින ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටම දමා ආවේ ද තම පවුලේ ඥාතීන් ඇතූළු ගම්වැසියන් තමන් පිළිබඳව සෙවීම වැළැක්වීමට බව ද ඔහු පවසා තිබිණි.

ඒ අනුව දොම්පේ ශාස්ත්‍රකාරියගේ ආරූඪයෙන් මෙලොවට පැමිණි මළගිය ඥාතියා ඒ වනවිටත් මෙලොව යහතින් ජීවත් වනකු බව පසුව ගම්වාසීහු වටහා ගත්හ. අද වනවිට ඒ තරුණයාගේ මව සේම ශාස්ත්‍ර කාරිය ද ජීවතුන් අතර නැත. අඩුම තරමින් ඔහු කොහේ හිඳින්නේ ද යන්නවත් මම නොදනිමි. නමුදු1988-89 භීෂණ සමයෙන් පසු මළවුන් ගෙන්වා ශාස්ත්‍ර ඇසීම සම්බන්ධ සමාජමය උනන්දුව කොතෙක් පිබිදුණේ ද යත් එම ස්ථාන ජනයා ගෙන් පිරී ගිය අතර එවන් ස්ථාන රැසක් අලුතින් ද ඇරඹී තිබිණ.

 

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි -(තිලක් සේනාසිංහ)
මළවුන් ගෙන්වා ශාස්ත්‍ර කියන ස්ථාන වෙත යන ඔවුන්ගේ ඥාතීන් එහිදී තම මියගිය ඥාතියාගේ කටහඬ ඇසෙනු ඇතයි යන පූර්ව විශ්වාසයෙන් යුතු වීම සාමාන්‍ය තත්වයකි.

එමෙන්ම එසේ ශාස්ත්‍ර කියන ස්ථානවල එහි පැමිණෙන්නවුන්ගේ හැඟීම් තීව්‍ර කරවීම පිණිස විවිධ සටකපට උපාය මාර්ග යොදන බැවින් ඒ ඔස්සේ අසන්නට ලැබෙන ශාස්ත්‍ර කාරියගේ කටහඬ වුව තම මියගිය ඥාතියාගේ කටහඬට ආදේශ කරගැනී‍මේ මානසික නැඹුරුවක් ශාස්ත්‍ර අසන්නවුන් තුළ නිරායාසයෙන් හටගනී. විද්‍යාවේ සංජානන විහිතිය (Perceptual set) යනුවෙන් හැඳිවෙන තත්වය ද මීට බෙහෙවින් සමාන ය.

 

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...