එවක ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ ඒ මාධ්‍ය වාර්තා වනාහී ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට ගොතන බොරුවක් බව ය. තමාගේ මතය සනාථ කිරීමට ඔහු ඉදිරිපත් කළ වාස්තවික සාක්ෂිය වුණේ, ඔහු පදිංචිව සිටින පාරේ ගෙවල් 12 ක් ඇති බවත්, එයින් එකකවත් එවැනි පිපිරීමක් සිදුව ඇති බවට ආරංචියක් නැති බවත් ය. මොහු, හිටපු මහාචාර්යවරයෙකි!

එදා ගෑස් සිලින්ඩර් පිපිරුණා වගේ දැන්, ප්‍රමිතියක් නැති ඖෂධ නිසා රෝගීන් මියයන අවස්ථා රටේ නොයෙක් පළාත්වලින් නිතර වාර්තා වෙයි. පසුගිය මාස තුනක කාලය තුළ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආන්දෝලනාත්මක කාන්තා මරණ දෙකක් සිදු විය. එක් ගැබිනි මාතාවක් සිසේරියන් සැත්කමකින් මියගියාය. තවත් කාන්තාවක් හර්නියා සැත්කමකින් මියගියාය. මෙවැනි සාමාන්‍ය වෛද්‍ය මැදිහත්වීම් මගින් කෙනෙකුගේ ජීවිතය නැති වීම මේ සියවසේ සිදුවන සාමාන්‍ය දෙයක් නොවේ. එහෙත් ඉහත කී කාන්තාවන් දෙන්නා දැන් මියගොසිනි. මේ දෙන්නාගේම මරණයේ හේතුව වශයෙන් සොයාගෙන ඇත්තේ, සැත්කම සඳහා භාවිත කළ නිර්වින්දන ඖෂධයේ වරදකි. මේ ඖෂධය ගෙන්වා ඇත්තේ අසාධුගත ඉන්දියානු ඖෂධ සමාගමකිනි. එනම්, මීට කලින් හොර වැඩකට හෝ අක්‍රමිකතාවකට හසු වීම නිසා තහනමට ලක්ව පැවති ඖෂධ සමාගමකිනි. ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙනි.
කෙහෙලිය රඹුක්වැල්ලගේ ‘තර්කය’

‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ කියා ආයතනයක් ලංකාවේ තිබේ. එහි කාර්යභාරය වන්නේ, මෙරට පාවිච්චියට ගැනෙන ඖෂධවල ප්‍රමිතිය නිවැරදි වන බවට වගබලාගැනීමයි. පිළිගත් ප්‍රමිතිය වශයෙන් සැලකෙන එක්තරා කඩඉමක් තිබේ. එය හැඳින්වෙන්නේ, ‘ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන ප්‍රමිතිය’ වශයෙනි. ඉහත කී නිර්වින්දන ඖෂධය මේ ප්‍රමිතියට අනුගත නැති බව පරීක්ෂණවලින් දැන් සොයාගෙන තිබේ. එවැනි පරීක්ෂණ වාර්තා තිබියදීත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අර කී මරණ, මේ කියන නිර්වින්දන ඖෂධයේ බාල ප්‍රමිතියට සම්බන්ධයක් නැති බව ය. ඒ සඳහා ඔහු ගෙනහැර පෑ ප්‍රධාන සාක්ෂිය කුමක්ද? මේ කියන එක් කාන්තාවක් මියගිය දවසේ එම නිර්වින්දන ඖෂධය එම රෝහලේම තවත් කාන්තාවන් හතර දෙනෙකු සඳහාද පාවිච්චි කොට ඇති බවත්, ඔවුන් මියගොස් නැති බවත් ය!
75 වසරක ශාපයක් ගැන නිතර කතා කෙරේ. ඒ ආඛ්‍යානයේ කතානායකයා වන්නේ පාලකයා ය. එනම්, දේශපාලනඥයා ය. මේ දේශපාලනඥයන්ගෙන් 90% ක්, දේශපාලනය තුළ ධන කුවේරයන් බවට පත්වීම සහ ඊට තරමක් සමානුපාතිකව රටේ අසංවර්ධනය ඇති වීම අතර යම් සම්බන්ධයක් තිබෙන බව ඇත්ත. (එහෙත් අපේ අසංවර්ධනයේ සහ ආර්ථික පරිහානියේ කතාව, සොරකමට සහ දූෂණයට පමණක් ලඝු කළ හැකි දෙයක් නොවන බවත් මතක තියාගන්න). කෙසේ වෙතත්, ඒ සෑම ‘සාර්ථක’ දේශපාලනඥයෙකු පසුපසම, ‘සාර්ථක’ රාජ්‍ය නිලධාරීන් දහයක්වත් සිටින බව අමතක කළ යුතු නැත. හිටපු ජනාධිපති ලේකම්වරුන්, හිටපු මහබැංකු අධිපතිවරුන්, හිටපු වියත් මඟ බුද්ධිමතුන් ආදීන්ගේ නම් ලැයිස්තුවක්, අපේ මෑත කාලයේ ඉතිහාසය ආවර්ජනය කළොත්, පාඨකයාගේ හිතේ ඇඳී යනු නොඅනුමානයි.
ඉතිං, සෞඛ්‍ය ඇමතිවරයාගේ 20% කතාවට නොදෙවැනි වීමට සිතාගෙනදෝ මේ කියන මහාචාර්යවරයාත් ඉහත කී පුවත්පත් සාකච්ඡාවේදී තවත් අපූරු කතාවක් කියා තිබේ. ඒ මෙසේ ය: ‘මේක අමල්බිසෝගෙ ප්‍රශ්නයක්.’ අමල්බිසෝ යනුවෙන් මොහු අදහස්කොට ඇත්තේ කිසාගෝතමී ය. ඉතිහාසය පටලවාගැනීම, විමල් වීරවංශගේ (“මහල්ලා සහ මහමුහුද”) සිට ඩයනා ගමගේ (ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි) ආදීන් දක්වා දක්නට ලැබෙන සාමාන්‍ය කාරණයකි. ඔවුන්ගේ වැරදීම්, රටට විනෝදය සැපයුවා විනා විශේෂ හානියක් කෙළේ නැත. එහෙත්, ඉතිහාසය වැරදියට වරනැඟීමෙන් මේ මහාචාර්යවරයා කියාදීමට තතනන පාඩම කුරිරුයි. මරණය වැළැක්වීම අරමුණුකොට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක සභාපති පුටුවට එවැනි සාදෘෂ්‍යයක් නොපෑහෙයි.
එම කතාව මේ අවස්ථාවේ කීමෙන් මහාචාර්යවරයා ගම්‍ය කරන කාරණය කුමක්ද? ඒ මෙයයි: බාල නිර්වින්දන ඖෂධයක් නිසා අකල් මරණයට ලක් වූ කාන්තාවන් දෙන්නාද, අප කාටත් කවදා හෝ හිමිවන මරණය නමැති ස්වභාව ධර්මයේ සත්තාවට මුහුණදී ඇති බවයි. ඒ නිසා අප එයින් අනවශ්‍ය විදිහට කම්පාවට පත්විය යුතු නැත. එසේ කීමෙන්, ඔහු වසංගන සහ පැනයාමට තැත් කරන මුඛ්‍ය කාරණය අප සූත්‍රගත කළොත් ඒ මෙසේ ය: කිසාගෝතමීට අවශ්‍ය ඖෂධය සඳහා අබ ඇටයක් ඉල්ලාගැනීමට කිසි නිවසක් සොයාගත නොහැකි වූ ආකාරයෙන්ම, මහාචාර්යවරයාටත් නියමිත ප්‍රමිතියේ නිර්වින්දන ඖෂධයක් ඇති සමාගමක් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි!

ලංකාවේ ආනයනයන්ට සම්බන්ධ රාජ්‍ය අනුබද්ධිත සෑම අංශයක්ම එක කාරණයකට මුහුණදීමේදී සමාන ස්වභාවයක් උසුළයි. එනම්, යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු දීර්ඝ පටිපාටියේ දෘඪ භාවයයි. අදාළ පටිපාටිය එසේ දුෂ්කර කොට ඇත්තේ, හැකිතාක් දූෂණය සහ නාස්තිය අවම කිරීමටයි. ටෙන්ඩර් පටිපාටිය, ප්‍රමිතියේ උසස් භාවය, ලැදියාවන් අතර ගැටුමක් නොතිබීම ආදී කරුණු සොයා බැලෙන්නේ, රටේ සහ ජනතාවගේ පොදු යහපත අරමුණු කරගෙන ය. එහෙත්, මේ අංශවලට සම්බන්ධ ඇතැම් දූෂිත නිලධාරීන් මේ දුෂ්කර පටිපාටියට මුවාවෙමින් අදාළ ආනයන ඇණවුම පමා කෙරෙන තත්වයට කටයුතු සලස්සති. එහිදී, එක්තරා මොහොතක, අදාළ භාණ්ඩය ගෙන්වීම තවදුරටත් කල්දැමිය නොහැකි හදිසි මොහොතක් මතුවෙයි. උදාහරණයක් වශයෙන් යම් පොහොරක් ගොවියන් අතර බෙදා දිය යුතු කන්නය කට ළඟට ඇවිත් තිබීම ගත හැකිය. දූෂිතයා රිංගන හිල ඇරෙන්නේ එතැනිනි. එවිට, අදාළ භාණ්ඩයේ සැපයුම්කරුවා ලියාපදිංචි වී ඇත්ද නැත්ද යන්න හෝ අදාළ භාණ්ඩය හරියටම ප්‍රමිතියට අනුගතද නැත්ද යන්න හෝ ඒ භාණ්ඩය සඳහා ගෙවන මිල සැබවින්ම ගෙවිය යුතු තරගකාරී මිලද යන්න වැනි කරුණු තාවකාලිකව පැත්තකින් තබනු ලැබේ. ඒ අනුව, වැඩි මිලකට, අඩු ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයක්, අසාධුගත හෝ ලියාපදිංචි නොවුණු සමාගමකින් පවා ගෙන්වීමට දූෂිත නිලධාරියාට වරම් පෑදේ.
මේ කියන නිර්වින්දන ඖෂධය සම්බන්ධයෙන් එවැනි දූෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇතැයි අපට එකහෙලා කිව නොහැකි බව ඇත්ත. එහෙත් යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බව පැහැදිලියි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයත්, වෙනත් අති කුප්‍රකට අමාත්‍යාංශ සහ මණ්ඩල තරමටම විවිධ අක්‍රමිකතා සහ දූෂිත ක්‍රියාවන්ට සරු බිමක් වී ඇති බවට චෝදනා නැඟේ. සෞඛ්‍ය අමාත්‍යාංශය යනු රටේ ජනතාවගේ ජීවිතවලට කෙළින්ම සම්බන්ධ ආයතනය වන නිසා එවැනි අවමානවලින් සහ චෝදනාවලින් වැළකී සිටීමට වගබලාගැනීම අත්‍යාවශ්‍ය ය.
(ගාමිණී වියන්ගොඩ)ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)






