The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

සුනාමියෙන් උපන් ඇන්ජලා ෂෙහානිට අවුරුදු 20යි

T

The Leader Desk

December 23, 2024 • 7:30 AM

සුනාමියෙන් උපන් ඇන්ජලා ෂෙහානිට අවුරුදු 20යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිස්දහසකට අධික මිනිස් ජීවිත අසුරු සැණෙකින් අහිමි කළ සුනාමිය පැමිණ 2024 දෙසැම්බර් 26 වැනිදාට වසර 20ක් සම්පූර්ණ වෙයි.
  • වසර 20ක් ඉක්ම ගියද ඔවුන්ගේ කතාව අපට වටින්නේ එබැවිනි.
  • දෙසැම්බර් 26 වැනි දින පෙරවරු 9.24ට හරියටම සුනාමි පළමු රළ පහර මෙරටට ඇතුළු වනවාත් සමගම ගාල්ල මහමෝදර රෝහලේ දරු ප්‍රසූතියක් සිදුවිය.
  • වෙනදා වගේම රෝහල ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළේ සෙනඟ හිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
තිස්දහසකට අධික මිනිස් ජීවිත අසුරු සැණෙකින් අහිමි කළ සුනාමිය පැමිණ 2024 දෙසැම්බර් 26 වැනිදාට වසර 20ක් සම්පූර්ණ වෙයි. නිමේෂයකදී දසදහස් ගණනින් මරු තුරුලට යන අතරේ මෙලොව එළිය දකින්නට පෙරුම් පුරමින් සිටි කිරිකැටියෝ මෙලොව එළිය නොදැකම මව්වරුන් සමග මරු වැළඳ ගත්හ. මව්පියන්ගෙන් ගිලිහී වියරු රළ පහරේ සැඟවී ගිය කිරිකැටි බිලින්දෝ ද ඒ අතර වූහ. ප්‍රචණ්ඩ රළ පහර අතරේ මරුවා හිනැහෙද්දී කිරිකැටියකුට මෙලොව එළිය දකින්නට වරම් ලැබේ නම් එය ප්‍රාතිහාර්යයකි. එමෙන්ම වෛද්‍යවරුන්ගේ උදාරත්වය සහ මනුෂ්‍යත්වය ඉස්මතු වන අවස්ථාවකි. වසර 20ක් ඉක්ම ගියද ඔවුන්ගේ කතාව අපට වටින්නේ එබැවිනි.
tsunami1
 
2024 දෙසැම්බර් 26 වැනි දින පෙරවරු 9.24ට හරියටම සුනාමි පළමු රළ පහර මෙරටට ඇතුළු වනවාත් සමගම ගාල්ල මහමෝදර රෝහලේ දරු ප්‍රසූතියක් සිදුවිය. සුනාමි රළගෙඩි ගාල්ල මහමෝදර රෝහල් භූමිය ගිල ගනිමින් සිටින මොහොතේ මෙලොව එළිය ලැබූ කිරිකැටියාට අඳුරම දකින්නට සිදු වූයේ ඒ අවස්ථාවේ ශල්‍යාගාරය තුළ ආලෝකය නොතිබුණු නිසාය. 


බිහිසුණු නිමේෂය

 

picture 1
"සුනාමියත් එක්ක මම කරපු ඔපරේෂන් එක මට හොඳට මතකයි. 25 වැනිදා රෑ බලපිටිය රෝහලෙන් ගැබිනි මවක් මහමෝදර රෝහලට එවලා තිබුණේ එයාගේ රුධිර පීඩනය ඉහළ ගිහින් තිබුණ නිසයි. 26 වැනිදා උදේ ඒ අම්මාට සිසේරියන් සැත්කම කරන්න නියමිතව තිබුණේ මටයි. මම සුපුරුදු විදිහට නිල නිවාසයේ ඉඳලා සන්සුන් මුහුද දිහෑ බල බලා කොරිඩෝව දිගේ ශල්‍යාගාරයට ගියා. වෙනදා වගේම රෝහල ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළේ සෙනඟ හිටියා. මම ශල්‍යාගාරයට ගිහින් බබාව අරං ගර්භාෂයට මැහුම් දමනවාත් එක්කම ලයිට් ගියා. සාමාන්‍යයෙන් ශල්‍යාගාරයේ ලයිට් ගියාම තත්පර 10, 15ක් ඇතුළත ජෙනරේටර් ක්‍රියාත්මක වෙනවා. ඒත් එදා ජෙනරේටර් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි එළියේ සිද්ධවෙන කිසිම දෙයක් දන්නේ නැහැනේ. ඒ වෙලාවේ එකපාරටම කට්ටියක් කෑගහගෙන ඇතුළට ආවා. ඒ අය මුහුද ගොඩ ගලනවා කියලා කෑගහගෙන ආපහු දිව්වා. අපි එක්ක සැත්කමට සහභාගි වෙලා හිටපු කීපදෙනෙකුත් දිව්වා.

අම්මාගේත් බබාගේත් ජීවිත රැඳිලා තියෙන්නේ මා ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය අතේ. ඒ නිසා මුහුද ගොඩ ගැලුවත් මට දුවන්න බැහැ. ඒ නිසා මමයි තව කීපදෙනකුයි එහි රැඳුණා. ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවේදී උගුරෙන් පෙණහැල්ලට දමන බටයක් වැනි උපකරණයක් තියෙනවා. ඒ උපකරණයේ පුංචි එළියක් විහිදෙන ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එළියෙන් තමයි මම අම්මාගේ ගර්භාෂයට මැහුම් දැම්මේ,” යනුවෙන් විස්තර කළේ එදා සිසේරියන් සැත්කම කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ ය. 

සිය ජීවිතයට වඩා මනුෂ්‍යත්වයට මුල්තැන දුන් ඒ උතුම් මිනිසාට පින් සිදුවන්න එදා උපත ලැබූ කිරිකැටියා වූයේ ඇන්ජලා ෂෙහානි ය. සුනාමියට වසර 20ක් සපිරෙන දවසේ ඇන්ජලා ෂෙහානිට ද වසර 20 සම්පූර්ණ වෙයි. 

නයිටිංගේල් දියණිය

 

anji1
අම්බලන්ගොඩ බලපිටියේ පදිංචි ඇන්ජලා ෂෙහානිගේ මව රෝහිණී ද සිල්වා ය. ජා-ඇල බෝපිටියේ ශ්‍යාමන් ප්‍රසාද් ඇන්ජලාගේ පියා වෙයි. සිය මවගේ ගමේ හැදී වැඩුණු ඇන්ජලා ෂෙහානි Future For Children College ආයතනයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා අ.පො.ස. උසස් පෙළ සඳහා අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලට ඇතුළත් වූවාය. පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු ඇන්ජලා ෂෙහානි කළුතර රෝයල් ලංකා නර්සින් කොලේජ් හි හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කළාය. දැන් ඈ කළුතර පුද්ගලික රෝහලක හෙදියක ලෙස කටයුතු කරයි.  

"මම සුනාමියත් එක්ක උපන් දරුවෙක්. අම්මාගේත් මගේත් ජීවිත බේරුණේ වෛද්‍යවරුන් නිසයි. රුවන් සමරසිංහ වෛද්‍යවරයා නොසිටින්න අපි මළවුන් අතර. සුනාමිය අපේ රටට කළ විනාශය සුළුපටු නැහැ. දරුවන්ට අම්මලා තාත්තලා නැති වුනා. දෙමව්පියන්ට දරුවන් නැති වුණා. ස්වාමිපුරුෂයන්ට බිරිඳ සහ දරුවන් අහිමි වුණා. බිරියන්ට සැමියන් සහ දරුවන් අහිමි වුණා. ඇස් පනා පිට ඥාතින් ගසාගෙන යද්දි ඒ අයට ඇතිවුණ කම්පනය වේදනාව කොයි තරම්ද? සුනාමිය නිසා පීඩාවට පත්වුණ සමහර පවුල් අදටත් දුක් විඳිනවා කියලා මම දන්නවා. ඒ නිසා තමයි මම හෙදියක් වෙන්න තීරණය කළේ. වෛද්‍යවරුන්ට වගේම හෙදියන්ටත් රටට වටිනා සේවයක් කරන්න පුළුවන් කියලා මම දන්නවා. රටට ජනතාවට වැඩදායි සේවාවක් කිරීමේ බලාපොරොත්තුව මට ඇති වුණේ සුනාමිය නිසයි." යනුවෙන් ඇන්ජලා ෂෙහානි පැවසුවාය.

මාරයා අබියසදී තමාට මව් පදවිය උරුම කළ ඇන්ජලා ෂෙහානි දියණිය ගැන රෝහිණි ද සිල්වාට ඇත්තේ ආඩම්බරයකි. ඈ සිය එකම දරුවා කෙරෙහි අප්‍රමාණ සතුටකින් පසුවෙයි. නමුදු රෝහිණිට දියණිය උපන් මොහොතේ ඇගේ සිත තුළ උපන් තිගැස්ම, කුතුහලය, බිය කැටි වුණු සංකීර්ණ හැඟීම් සමුදාය පිළිබඳව වචනයට පෙරළා ගැනීම අසීරුය. 

නොනිමි කම්පනය

anji2ඇන්ජලා ෂෙහානි සිය මව සමඟ
"මහමෝදර රෝහලේ ශල්‍යාගාරය තිබුණේ උඩ තට්ටුවක. ඔපරේෂන් එක ඉවරවෙලා මාව බිමට ගෙනෙන්නට විදුලි සෝපාන ක්‍රියා කළේ නැහැ. පසුව ට්‍රොලියක තියාගෙන උස්සාගෙන මාව පහළට අරං ආවා. එතකොට සුනාමියෙන් විනාශ වුණු වාට්ටු, ඇඳන් එහෙම මම දැක්කා. ඒත් මට ඒ ගැන ඒතරම් කල්පනාවක් තිබුණේ නැහැ. මට ඕනෑ වුණේ දුවව බලාගන්න. මාව බිමට ගෙනාපු ගමන් ගිලන් රථයක දාලා ඒ මොහොතේම කරාපිටියට යැව්වා. මාව කරාපිටියට ගෙනෙන විට, ඊට ඉස්සෙල්ලා මගේ දුවව කරාපිටියට එවලා තිබුණා. දුවව කරාපිටියේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තිබුණේ. කොහොමහරි මට දුවව දැකගන්න ලැබුණේ දවස් තුනකට පස්සේ. එතකම් මම ජීවත් වුණේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ." යනුවෙන් රෝහිණි ද සිල්වා සඳහන් කළාය. 

 

anji3ඇන්ජලා ෂෙහානි සිය පියා සමඟ
මේ කාලයේදී ඇන්ජලා ෂෙහානිගේ පියා වන ශ්‍යාමන් ප්‍රසාද් සිටියේ ඩුබායි ඉන්ටර්කොන්ටිනල් හෝටලයේ සේවයේ නිරතවය. ලංකාවේ සුනාමි ඛේදවාචකය එරට ප්‍රවෘත්ති මගින් නැරඹූ ඔහුට ලංකාවට පැමිණීමට ඉස්පාසුවක් නැති වූයේ තම බිරිඳ බලපිටියේ මහගෙදර නැවතී සිටින බැවිනි. බිරිඳ රෝහල්ගත කළ බවද ඔහු දැනගෙන සිටියේය. ඔහු සිය අවශ්‍යතාව පාලක මණ්ඩලයට දන්වා ගුවන් ටිකට්පත සහ වැටුප් සහිතව ලංකාවට පැමිණීමට අවසර ලබා ගත්තේය. කෙසේ හෝ දෙසැම්බර් 27 වැනිදා ඔහු ලංකාවට පැමිණියේය. එහෙත් දුරකථන මාර්ග අවහිරවීම සහ මහාමාර්ග විනාශ වීම යනාදී කරුණු නිසා ඔහුට රෝහිණීගේ මහගෙදර යෑමටවත් ඔවුන්ව සම්බන්ධ කර ගැනීමටවත් හැකියාවක් ලැබුණේ නැත. වට වංගු මාර්ගවලින් පැමිණි ශ්‍යාමන් ප්‍රසාද්ට සිය කුලුඳුල් දියණිය දැක බලා ගැනීමට හැකි වූයේ දෙසැම්බර් 29 වැනිදා ය. රෝහිණී සහ දියණිය කරාපිටිය රෝහලේ දින 05ක් නේවාසික ප්‍රතිකාර ලබා තිබිණි. ශ්‍යාමන් ප්‍රසාද් ටිකට් කප්පවාගෙන බලපිටියේ මහරෙගදරට සිය බිරිඳ සහ කිරිකැටි දියණිය කැටුව ආවේ කරාපිටිය රෝහලේ එදවස තිබූ තදබදය නිසාමය.

ජීවකයකුගේ මතකය

 

ruwanrවිශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ

"මගේ මතකයේ හැටියට මහමෝදර රෝහලේ සේවය කරපු අපි හැමෝම මාස තුනක් විතර කරාපිටිය රෝහලේ වැඩ කළා. මගේ මුළු ජීවිත කාලයටම මළ සිරුරු ගොඩාක් එකට ගොඩගහලා තියෙනවා දැක්කේ එදා කරාපිටියේදි. මොකද සුනාමියෙන් මිය ගිය අයගේ මළසිරුරු අරං ආවේ කරාපිටියටනේ. මහමෝදර රෝහලත් විනාශ වෙලානේ තිබුණේ. ගොඩාක් අය සුනාමි කියන වචනය දැනගත්තෙත් 2004 දෙසැම්බර් 26 වැනිදායින් පසුවයි. මම චිත්‍රපටවලින් මුහුද ගොඩගලන සුනාමි අවස්ථා දැකලා තිබුණා. ඒ නිසා කට්ටිය මුහුද ගොඩ ගලනවා කියලා කෑගහද්දි මම හිතුවා සුනාමියක් වෙන්න ඇති කියලා. මම ඔපරේෂන් එක කරලා ආපසු නිල නිවාසයට එනකෙට සුනාමිය ඇවිත් ගිහිල්ලා. මම බලබලා ගිය සන්සුන් මුහුද ප්‍රචණ්ඩ වුණා. බස් නැවතුම්පොළ, ඒ ආසන්නයේ තිබුණ කඩ බිමට සමතලා වෙලා තිබුණා. අපේ වාහන ගහගෙන ගිහිල්ලා. මනුස්සයෙක් පොඩි ළමයෙකුව උස්සාගෙන ඉස්පිරිතාලෙට දුවගෙන එනවා මම දැක්කා. මට තේරුණු විදිහට ඒ වන විටත් ළමයා මිය ගිහිල්ලා." යනුවෙන් විශේෂඥ වෛද්‍ය රුවන් සමරසිංහ පැවසීය.

සිය දහස් ගණනින් මෙලොව හැර යන මොහොතේ, මෙලොව එළිය දකින්නට පින් ලද ඇන්ජලා ෂෙහානි වාසනාවේ සංකේතයක් බඳු ය. පාසල් කාලයේ වොලිබෝල් සහ නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදුණු ඇන්ජලාගේ විනෝදාංශය දිවයිනේ විවිධ ස්ථාන නැරඹීම පිණිස සංචාරය කිරීමයි. යොවුන් වසන්ත සමයේ පසුවන ඇන්ජලා ෂෙහානිගේ නැවුම් සිතට ඇතැම්විට ප්‍රේමණීය ආරාධනා ලැබී ඇතිවාට සැක නැත. ඒ පිළිබඳව විමසීමක් කළේ එබැවිනි. 

මායිම් නැති ආදරයක්

 

anji5
"මට පෙම්වතෙක් නැහැ. මම තවම ඒ ගැන හිතන්නේ නැහැ. මගේ එකම බලාපොරොත්තුව හෙදි සේවයෙන් ඉහළටම යන්න. හෙදියක් විදිහට රටට උපරිම සේවය කරන්න. මම අදටත් විශ්වාස කරන්නේ අම්මාගේත් මගේත් ජීවිත බේරුණේ පෙර පිනකින් කියලා. අපි දෙන්නා ගොඩාක් පින් කරලා තියෙනවා කියලා අදටත් අම්මායි මමයි කතා වෙනවා. ඒ නිසා රෝගීන්ගේ යහපත, සුවය වෙනුවෙන් කැපවීමෙන් සේවය කිරීම තමයි මගේ එකම ආසාව. ඒක ලොකු පිනක්." යන්න ඇන්ජලා ෂෙහානිගේ පිළිතුර විය.

සුනාමිය රටම කළඹන මොහොතේ උපත ලැබූ සිඟිත්තිය අද යව්වනියක් වී හෙද සේවයේ නිරත වෙයි. ඇයට මෙලොව එළිය දකින්නට වාසනාව හිමි කර දුන් ඒ උතුම් වෛද්‍යවරයා අද විදෙස්ගත වී සිටයි. කාලය විසින් බොහෝ දේ වෙනස් කර තිබේ. එහෙත් සුනාමිය උදුරාගෙන ගිය සිය ආදරණීයන් වෙනුවෙන් හෙළන කඳුළු සහ සුසුම් කාලයේ වැලිතලාවෙන් යට කර දැමීම පහසු නැත.


(සටහන | හර්ෂා සුගතදාස)
නිදහස් මාධ්‍යවේදිනී 
harshasugathadasa@gmail.com 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...