The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපතිවරයා ආණ්ඩු මට්ටු කරගැනීමේ උත්සාහයක් - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 31, 2021 • 4:05 PM

ජනාධිපතිවරයා ආණ්ඩු මට්ටු කරගැනීමේ උත්සාහයක් - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගෙනහිර පර්යන්තය ගලඋඩ සටනක් බවට පත්වී හමාරය. මහරාජා පෞද්ගලික සමාගමට අයත්
  • එය සමාජවාදය ලෙස නම් කළ ද රාජ්‍ය මූලික ජාතික ධනවාදයකි.  සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට කිසිදු විකල්ප ආර්ථික දැක්මක් නැත.
  • ගෝලීය ආණ්ඩුකරණයක් ශ්‍රී ලංකාව වැනි රටවලට කෙතරම් වැදගත් ද යන්න කොවිඩ්-19 වසංගතය සමග පැහැදිලිව දක්නට ලැබිණි.
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එන බලපෑම් ද ආණ්ඩුව තුලනය කරගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිරස මාධ්‍ය ජාලය නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණයට එරෙහි අරගලයේ සම්බන්ධීකාරක ව්‍යූහය බවට පත්වී තිබේ. 

බෞද්ධ භික්ෂූන්, සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය, ජවිපෙ, පෙසප හා වෘත්තීය සමිති ව්‍යාපාරයේ කොටසක් ද නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණයට එරෙහිව සටනට එකතු වීමෙන් දේශපාලන කම්පනයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික මූලෝපාය ගෝලීය ධනවාදයත් සමග සම්බන්ධ එකකි. 

කිසිදු ආණ්ඩුවක් මෙම මූලික ආර්ථික ප්‍රතිපත්තියෙන් බැහැරවීමේ විකල්ප යෝජනා ඉදිරිපත් කර නැත. එවැනි යෝජනාවක් තිබෙනවා නම් තිබෙන්නේ ජවිපෙ හා පෙසප වැනි වාමාංශික පක්ෂවලට පමණි. එය සමාජවාදය ලෙස නම් කළ ද රාජ්‍ය මූලික ජාතික ධනවාදයකි. 

සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට කිසිදු විකල්ප ආර්ථික දැක්මක් නැත. ඔවුන්ගේ දැක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැක්මයි. එය වනාහි රාජ්‍ය ධනවාදය ආරක්ෂා කරන ගමන් යම්දුරකට නව ලිබරල්වාදය සමග සිදුවන මුසුවකි. එක්සත් ජාතික පක්ෂයේ මූලෝපාය නව ලිබරල්වාදී යයි නම්කරන ලදමුත්, එය එසේ නොවේ. එය ගෝලීය ධනවාදය සමග වඩා ශක්තිමත් සම්මුතියකින් කටයුතු කරන ජාතික ධනවාදයකි.

කෙසේ වෙතත්, මෙම ආර්ථික මූලෝපාය තුළ විදේශ ආයෝජන හා ගෝලීය ධනවාදය සමග නිර්මාණය කරගන්නා යහපත් සම්බන්ධය අනිවාර්ය අවශ්‍යතාවකි. 

ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ, සංචාරක කර්මාන්තය, විදේශ රැකියා ආදී සියල්ල ගෝලීය ධනවාදය සමග ගැටගැසුණු ඒවාය. ඒ වෙනුවෙන් ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සමග සම්මුතියකින් කටයුතු කළ යුතුය. 

විශේෂයෙන්ම, ඉන්දියාව, ඇමරිකාව, යුරෝපය, ජපානය, චීනය වැනි රටවල් සමග සම්බන්ධකම් පවත්වාගන්නා ආකාරය ඉතා වැදගත්ය.

නැගෙනහිර පර්යන්තය වැනි කාරණා සම්බන්ධයෙන් ගැඹුරු ආර්ථික දැක්මක් ආණ්ඩුවට තිබිය යුතුය. එය හුදු ‘සියරට දේ සිරිසැප දේ’ සටන් පාඨයෙන් ඔබ්බට විහිදුණු පුළුල් දැක්මක් සහිත මූලෝපායක් විය යුතුය. 

මෙවැනි කාරණාවලදී ලංකාවේ ආණ්ඩුව කළ යුත්තේ ගැලරිය පිනවන්නට මෝඩචූන් සැපයීම නොව ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රිකව මෙම ගැටලුව සාකච්ඡා කර විසඳාගැනීමයි. ඉන්දියාව සමග සම්මුතියකින් කටයුතු කිරීම වෙනුවට බොරු චන්ඩිකම් කරන්නට යාම රටේ අනාගතය අවදානමේ හෙළීමකි.

ගෝලීය ආණ්ඩුකරණයක් ශ්‍රී ලංකාව වැනි රටවලට කෙතරම් වැදගත් ද යන්න කොවිඩ්-19 වසංගතය සමග පැහැදිලිව දක්නට ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භූමිකාවේ වැදගත්කම වසංගතය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ජාත්‍යන්තර සම්බන්ධීකරණයත් සමග පෙන්නුම් කරනු ලැබේ. 

එසේ නොමැතිනම්, බලවත් රාජ්‍යවල ජාතිකවාදයට හා යුරෝපා සංගමය වැනි බලවත් කලාපීය සංගම්වල බලයට සාධාරණත්වය යටපත් වී දුබල රටවලට පිළිසරණක් නැති වන්නට ඉඩ තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව සතුටින් පිළිගන්නා අපට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළ නොහැකිය. එම ආයතන දෙකම කරන්නේ ලෝකයට අත්‍යවශ්‍ය භූමිකාවන්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එන බලපෑම් ද ආණ්ඩුව තුලනය කරගත යුතුය.

මෙම පසුබිම තුළ, ඇමරිකා ඉන්දියා බල අක්ෂයට එරෙහිව යාමෙන් හා චීනයට වාසිදායක අන්දමින් කටයුතු කිරීමෙන් ලංකාවට බරපතල රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකිය.

මේ අතර, කලාපීය බලවතා වන ඉන්දියාව වහා ඉදිරිපත් වී ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට කොවිඩ් එන්නත නොමිලේ ලබාදුන් ආකාරයෙන් ශ්‍රී ලංකාවට කලාපීය දේශපාලනය ගැන බොහෝ පාඩම් උගත හැකිය.

ආණ්ඩුව තීරණ ගත යුත්තේ මෙම සියලු පසුබිම තුළය. ආණ්ඩුකරණය දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. විපක්ෂයේ සිටියදී කටයුතු කරන තරම් වගකීම් විරහිත ක්‍රියා ආණ්ඩුවේදී කළ නොහැකිය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදු වී තිබෙන්නේ එයයි. විපක්ෂයේ සිටියදී ජනප්‍රිය වීමට ඇදබෑ ලොරි ටෝක් නිසා දැන් ඔහුගේ අනුගාමිකයෝ ඔහුගෙන් ඒවා ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙති. 

Gotabaya 2019තම නායකයා දැන් පාලකයා බව ඔහුගේ අනුගාමිකයන්ට තවමත් එය තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම්, විවිධ හේතු මත ඔවුන් ජනාධිපති මුහුණදෙන තත්වයන් පිළිබඳ සංවේදී නැත.

මේ හේතු මොනවාද? ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලය අල්ලාගත්තේ ප්‍රායෝගික ආර්ථික මූලෝපායක් නැති දෘෂ්ටිවාදී ව්‍යාපාරයක් වන සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය හරහා ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමිනි. 

එබැවින් තමන්ට ඕනෑ විදියට ජනාධිපතිවරයා ආණ්ඩු කළ යුතු බව සිතන ඊනියා ජාතික නායකයන් පිරිසක් සිටිති. 

ඇල්ලේ ගුණවංශ හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය ජාතික ව්‍යාපාරයේ නායකත්වය ගැන සිහින දකින බවක් පෙනේ. එහි කිසිදු වරදක් නැත. 

ඒ අතර, තමන්ට බලය ගොඩනගාගැනීම සඳහා යළිත් වරක් එම ව්‍යාපාරය උපයෝගී කරගත හැකි යයි සිතන තවත් පිරිසක් සිටිති. විමල් වීරවංශ ඒ අතර එක් අයෙකු යයි සිතේ. 

එහෙත්, ඔහු වැනි අය වැඩි පරිණතකමකින් කටයුතු කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා පොහොට්ටු ආණ්ඩුව විසින් ඉච්ඡා භංගත්වයට පත්කරන ලද සියලු දෙනා මෙම අවස්ථාව පාවිච්චි කර ජනාධිපතිවරයා ආණ්ඩු මට්ටු කරගැනීමට උත්සාහ කරති.

ආණ්ඩුව ඇතුළේ සිටින අයට වඩා වගකීම් සහගත අන්දමින් ප්‍රධාන විපක්ෂයේ සජිත් ප්‍රේමදාස වැනි නායකයින් පවා කටයුතු කරනු දැකිය හැකිය. 

කොහොම වුණත්, ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. 

අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට පවා ඉඩ තිබේ. 

ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත. මෙම සමබර කිරීමේ ක්‍රීඩාව පහසු එකක් නොවේ.

පහත දැක්වෙන්නේ වරාය අධිකාරියේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ජනවාරි 30දා නිකුත් කරන ලද ගැසට් නිවේදනයයි. තමන් විසින් ලිහා දමන ලද බලවේග කර අඹාගන්නට සිදුවන්නේ ද ජනාධිපතිවරයාටමය.


2021 01 30 Gazzete

 

(praja.lk -අජිත් පැරකුම් ජයසිංහ)

 

 


 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...