The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 7, 2021 • 6:29 AM

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන
  •   මෙම කෘර හා කණගාටුදායක සිද්ධියත් සමග අවධානය යොමුවිය යුතු පැතිකඩක් තිබේ.    එනම් පොලිස් ප්‍රචණ්ඩත්වයයි.      ඉහත ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි.
  • ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ.
  •   මෙවැනිම ඝාතනයක් 1989දී ද සිදුවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය.
 
මෙම කෘර හා කණගාටුදායක සිද්ධියත් සමග අවධානය යොමුවිය යුතු පැතිකඩක් තිබේ. 
 
එනම් පොලිස් ප්‍රචණ්ඩත්වයයි. 
 
Sri Lanka Police
 
ඉහත ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.
 
මෙවැනිම ඝාතනයක් 1989දී ද සිදුවෙනවා. කොබෙයිගනේ ගමක දුප්පත් පවුලක නිලන්ති නම් ගැහැණු ළමයකු ගමේ අවුරුදු උත්සවයේදී අවුරුදු කුමාරිය ලෙස කිරුළු පළඳිනවා. ඇය සමග ප්‍රේම හා ලිංගික සම්බන්ධයක් ඇතිකරගන්නා කොබෙයිගනේ පොලිසියේ ස්ථානාධිපතිවරයා වන සමරකෝන් නමැත්තා පසුව ඇගෙන් ගැලවීම සඳහා මේ 19 හැවිරිදි තරුණිය මරාදමන්නේ ඔහු විසින් ඇය ගැබ්ගන්වා තිබියදීයි. 
 
එය කැරැල්ල සමයේ සිදු වූ තවත් අභිරහස් මරණයක් බවට පත්කිරීමට ඔහු ඇගේ සිරුර ටයර් දමා පුළුස්සනවා. ඇගේ මව්පියන් සිරුර හඳුනාගන්නේ ගෙල පැළඳි සුරයක් ඇසුරෙන්. එහෙත්, ඒ දුප්පත් මව්පියන් තම දියණිය වෙනුවෙන් අධිකරණයෙන් යුක්තිය ලබාගන්නට සමත්වෙනවා.
 
ප්‍රේමය, රාගය, ලිංගිකත්ව, වෛරය, පුරුෂෝත්තමවාදය සමග සම්බන්ධ මෙවැනි ඝාතන රැසක් වාර්තා වී තිබෙනවා. 
 
මෙම ඝාතන දෙක විශේෂ වන්නේ ඒ දෙකටම පොලිස් නිලධාරීන් සම්බන්ධ වී තිබීමයි. 
 
මෙවැනි ඝාතන සිදුකළ අය අතර පොලිස් නිලධාරින් අඩුයි. එහෙත්, පොලිස් නිලධාරීන්ට මෙවැනි ක්‍රියා පහසු බව මගේ අත්දැකීම් මට පවසනවා.
 
පොලිසිය හා හමුදාව විසින් වධහිංසනයට ලක්කරන ලද පුද්ගලයකු වන මගේ අත්දැකීම අනුව, ඇතැම් පොලිස් නිලධාරීන් කෘරත්වයට ලොල් පිරිසක්. ප්‍රශ්න කිරීම සඳහා වධහිංසනය භාවිතා කිරීමට අමතරව වින්දනය සඳහා වධහිංසනය භාවිතා කිරීමත් ශ්‍රී ලංකාවේ සුලබ තත්වයක්.
 
යුද හමුදාව යටතේ පැවති එළියකන්ද වධකාගාරය ඇතුළු වධ කඳවුරු කීපයකම අවුරුද්දකට වැඩි කාලයක් ගත කළ මා හොඳින් දන්නා කාරණයක් වන්නේ එම ස්ථානවල රඳවාගෙන සිටි අයට වධ දුන්නේ ප්‍රධාන වශයෙන්ම වධ දීමේ අරමුණින්ම බවයි. 
 
ජනතා විමුක්ති පෙරමුණෙන් හා කැරැල්ලට සම්බන්ධ වූ තරුණයන්ගෙන් පළිගැනීම එහි ප්‍රධාන අරමුණ වුණා.
 
1990 වසරේ මැදභාගය වනවිට හමුදාව විසින් කැරැල්ල මැඩපවත්වා, ජනතා විමුක්ති පෙරමුණ සංහාරය කර, වධහිංසනය ද අවම කර තිබුණා. හමුදාව යටතේ තවදුරටත් පැවති කඳවුරුවල සිරකරුවන් තබාගෙන සිටියත්, ඔවුන්ට සලකන ආකාරයේ යම් වර්ධනයක් තිබුණා. එහෙත්, පොලිසිය එහෙම වුණේ නැහැ.
 
එළියකන්ද වධකාගාරයේ රඳවාගෙන සිටි ජවිපෙ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයන් ලෙස ඔවුන් විසින් වර්ග කරන ලද 30දෙනෙකුගෙන් යුත් තරුණ පිරිසක් තංගල්ල බන්ධනාගාරයට භාරදීම සඳහා වරක් හමුදාවෙන් රැගෙන ගියා. එහෙත්, පොලිසිය හරහා ඔවුන්ට රැඳවුම් නියෝග ලබාගෙන නොතිබීම නිසා තංගල්ල බන්ධනාගාරයෙන් ඔවුන් භාරගත්තේ නැහැ. පොලිසිය ඔවුන්ට රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කළේ නැහැ.
 
1990 ජුනි මස දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමගම දකුණේ පැවති හමුදා කඳවුරු ඉවත්කළා. එසේ ඉවත් කරන විට ඒවායේ සිටි සිරකරුවන් රැඳවීම සඳහා වීරවිල එළිමහන් බන්ධනාගාරයේ අලුතින් රැඳවුම් කඳවුරක් හැදුවා. 
 
ඉහත සඳහන් කළ 30දෙනා එළියකන්දෙන් වීරවිලට යැව්වේ නැහැ. ඔවුන් පොලිසියට භාරදීමෙන් පසු පොලිසිය ඔවුන් ව්‍යාජ ලෙස නිදහස් කර පැහැරගෙන ගොස් ඝාතනය කළා. එසේ ව්‍යාජ ලෙස නිදහස් කළේ එම සිරකරුවන් ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් ලියාපදිංචි කර තිබීම නිසායි. 
 
මේ අන්දමින්ම දිගින් දිගටම වීරවිල රැඳවුම් කඳවුරේ සිරකරුවන් රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කර නිදහස් කර පසුව පැහැරගෙන ගොස් මරාදැම්මා.
 
 පොලිසිය විසින් කරන ලද මෙම ඝාතන මාලාවට අනෙකුත් අංශවලත් අනියම් සහයෝගය ලැබුණා. පොලිසිය මෙම ඝාතන සිදුකළේ ඝාතන කිරීමේ උවමනාව නිසා මිස වෙනත් විමර්ශනයක් හෝ කැරලි මර්දනයක් වෙනුවෙන් නොවෙයි. 
 
එවැනි ඝාතන සිදුකිරීමේ උවමනාවක් ඒ වනවිට ආණ්ඩුවට තිබුණේත් නැහැ.
 
1985-1992 අතර කාලයේ ජවිපෙ ක්‍රියාකාරිකයකු වී සිටි සමයේ විවිධ පොලිස් ස්ථාන ගණනාවක මර්දනයට ලක්වන්නට මා හට සිදුවී තිබෙනවා. පොලිස් නිලධාරීන් විසින් මා වධහිංසනයට ලක්කළාට අමතරව වෙනත් අය වධහිංසනයට ලක්කරනු මා දැක තිබෙනවා. 
 
පොලිස් වධහිංසනයට ලක්වූ අයගේ කතා දහස් ගණනක් මා අසා තිබෙනවා. මාධ්‍ය වාර්තා, නඩු තීන්දු ආදිය ද කියවා තිබෙනවා.
 Sri Lanka Police 1
ශ්‍රී ලංකාවේ පොලිසිය සිවිල් මහජන සේවාවක් වෙනවාට වඩා අර්ධ හමුදා ලක්ෂණවලින් යුක්තයි. නැතිනම්, එක්තරා ආකාරයකට අතුරු හමුදාවක් වගෙයි. 
 
පොලිස් සේවයේ 85,000ක් පමණ වන නිලධාරීන් අතරින් 55%ක් කරන්නේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ රාජකාරි බව පසුගියදා මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවා. මෙය ලංකාවේ නීතිය හා සාමය සම්බන්ධ බරපතල ගැටලුවක්. 
 
නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන්ට අධික වැඩ රාජකාරි ප්‍රමාණයක් පැටවීම නිසා ඔවුන් සිටින්නේ අධික පීඩනයකින්. 
 
විමර්ශන සඳහා කාලය, පහසුකම් ආදිය නැති නිසා, තොරතුරු ලබාගැනීමේ පහසු ක්‍රමයක් ලෙස වධහිංසනය භාවිතා කරන්නට පොලිසිය පෙළඹෙනවා. වධහිංසනය නිසා පොලිසියටම ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙනවා.
 
වධහිංසනය හේතුවෙන් පොලිස් සේවයේ ගෞරවය කෙළෙසෙනවා. විශ්වාසය නැතුව යනවා. පොලිස් නිලධාරීන්ගේ විනය පිරිහෙනවා. ඔවුන්ගේ පෞරුෂත්වයට හානිවෙනවා. සමාජ පිළිගැනීම නැතුව යනවා. මානසික ගැටලු නිර්මාණය වෙනවා. මේ ගැටලු විසින් නැවත වටයකින් පොලිසියම පීඩාවට පත්කරනවා.
 
පොලිසියේ වෘත්තිකභාවය නැතුව ගියාම සමාජය අනාරක්ෂිත තත්වයට පත්වෙනවා. අනාරක්ෂිත සමාජයන්හි බොහෝ අපරාධ සිදුවෙනවා. පොලිස් නිලධාරීනුත් අපරාධවලට පෙළඹෙනවා. මෙම විෂම චක්‍රය නිර්මාණය වන ආකාරය ඔබට පෙනෙනවා නේද?
 
# පොලිසිය අතුරු හමුදාවක තත්වයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් මුදාගෙන, සිවිල් වෘත්තික ආයතනයක් බවට පත්කළ යුතුයි. 
 
 
# පොලිසිය කාකි නිල ඇඳුමේ සිට වෙනස් කළ යුතුයි. 
 
 
# මහජන සේවාවක් ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ සියලු පොලිස් නිලධාරීන්ට ක්‍රමානුකූල පුහුණුවක් ලබාදිය යුතුයි.
Ajith Parakumඅජිත් පැරකුම් ජයසිංහ 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(praja.lk )

 

 


 

 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...