The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විප්ලවයේ මෙහෙකාරිය හෙලන් ඩෙමුත් සහ කාල් මාක්ස්

T

The Leader Desk

March 13, 2021 • 8:12 AM

විප්ලවයේ මෙහෙකාරිය හෙලන් ඩෙමුත් සහ කාල් මාක්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු හරි දාර්ශනිකයෙකුගෙ ලිංගික ජීවිතය පාදඩ එකක් වීම නිසා ඒ දාර්ශනිකයාගෙ සියලු අදහස් බැහැර කළ යුතුයි කියල අපි විශ්වාස කරන්නෙ නෑ.
  •     කොමියුනිස්ට් ප්‍රකාශනයෙදි එයා කියනවා ගණිකා වෘත්තිය කියන්නෙ බුර්ෂුවා පවුලෙ ඌන පූරකයක් කියල.
  •   පෝල් ජොන්සන් කියන ඉතිහාසඥයා1988 පොතක් ලියනවා ඉන්ටලෙක්චුවල්ස් කියල.
  • ඒ චරිතවල විශිෂ්ටත්වය වගේම අන්ධකාර අන්තරාය ගැනත් මේ විස්තර ඇතුලෙ ජොන්සන් ලියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒත් දාර්ශනිකයාගෙ ප්‍රකාශිත අදහස් සහ අප්‍රකාශිත ලිංගික ජීවිතය අතර වැදගත් දේශපාලනයක් කියවගන්න තියෙනවා කියල අපි විශ්වාස කරනවා. 
 
සමහර විට ශ්‍රේෂ්ටත්වය සහ පාදඩත්වය අතරින් මනුස්සයාව මතුවෙලා පේන්න පුළුවන්.
 
ශ්‍රේෂ්ටයි කියල පිලිගන්න ගොඩක් දාර්ශනිකයන්ගෙ අශිෂ්ට ලිංගික පැවතුම් තියෙනවා. මෙතනදි අශිෂ්ටයි කියන්නෙ අන් අයට හානිකරයි කියන අදහසින් මිස අසම්මත තෘප්තීන් කියන අදහසින් නෙමෙයි. 
 
 
සමහර විට ඒ අශිෂ්ට පැවතුම්වල අර ශ්‍රේෂ්ට දාර්ශනික අදහස් එක්ක ළඟ සම්බන්ධයක් තියෙනවා කියල හිතෙනවා. ෆෙඩ්රික් නීට්ෂගෙ ප්‍රකට කියමනක් තියෙනවා ගහක අතු ස්වර්ගය ස්පර්ශ කරන්න නම් ඒ ගහේ මුල් අපායට යන්න ඕන කියල.
 
කාල් මාක්ස් කියන්නෙත් ලෝකයක් වෙනස් කරපු දාර්ශනිකයෙක්. විශේෂයෙන්ම ඓතිහාසික භෞතිකවාදය කියල අදහසක් ගෙනල්ලා ඉතිහාසය කියන්නෙ අදහස්වලට වඩා ද්‍රව්‍යන්ගේ සහ තත්වයන්ගේ වෙනස්වීමක් කියල මාක්ස් විස්තර කියනවා. ආගම, සදාචාරය, සමාජ සංස්ථා ආදී සියල්ල ආර්ථිකමය කාරණා විදිහට දකිනවා. ඉතිහාසය කියන්නෙම පංති සටනක් කියල විස්තර කරනවා.
 
මාක්ස් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායක් කතා කරනවා. සියලු පරිභෝජන ද්‍රව්‍ය මේ තියරියෙන් කියවන්න පුළුවන් කියල විශ්වාස කරනවා. වැඩ කරන ජනතාව ධනපතීන්ට වැටුප් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය විකුණනවා කියල කියනවා. 
 
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැකි මේ බලය මාක්ස් ශ්‍රම බලය විදිහට හඳුන්වනවා. ධනවාදී ක්‍රමයෙ ලාභය කියන්නෙ සූරාකන ලද අතිරික්ත ශ්‍රමය කියල නිගමනය කරනවා.
 
 
 
'මාක්ස් සෙක්ස් සම්බන්ධයෙන් සෑහෙන වික්ටෝරියානුයි.'
 

Marx opposes prostitution''මාක්ස් ගණිකා වෘත්තියට විරුද්දයි. මෙතනදි වෙන්නෙත් අනිත් හැමතැනකදිම වගේ ශ්‍රමය ගණිකා වෘත්තියේ යෙදවීමයි කියල එයා කියනවා. ''

  
ඒ වගේම මාක්ස් සෙක්ස් සම්බන්ධයෙන් සෑහෙන වික්ටෝරියානුයි. ඕන නම් වැඩවසම් කියල වුනත් කියන්න පුළුවන්. එයා ගණිකා වෘත්තියට විරුද්දයි. මෙතනදි වෙන්නෙත් අනිත් හැමතැනකදිම වගේ ශ්‍රමය ගණිකා වෘත්තියේ යෙදවීමයි කියල එයා කියනවා. 
 
ඒ වගේම ධනවාදය නිමා කරද්දි ගණිකා වෘත්තියත් අහෝසි කළ යුතුයි කියලා ලියනවා.  
 
කොමියුනිස්ට් ප්‍රකාශනයෙදි එයා කියනවා ගණිකා වෘත්තිය කියන්නෙ බුර්ෂුවා පවුලෙ ඌන පූරකයක් කියල. පවුල සහ ගණිකා වෘත්තිය කියන දෙකම එකවිට අහෝසි වෙනවා කියල.
 
මේ විදිහට තව ගොඩක් දේවල් මාක්ස් කිව්වා. අපි ඒ අදහස් එක්ක එකග වුනත් නැතත් ඒ අදහස් ලෝකය විස්තර කරන්න වෙනස් මානයක් නිර්මාණය කළා. සමහර විට ක්‍රිස්තියානියට පස්සෙ නිර්මාණය වුනු ලොකුම ආගම ඒකෙන් හැදුනා.
 
 
 
 
බුරියෙන් පහල දේශපාලනය:
 
දැන් කාල් මාක්ස්ගෙ අධෝ ව්‍යුහය. එක්ස් එක ඒ කාලෙ මේකට ලස්සන වචනයක් පාවිච්චි කළා. බුරියෙන් පහල දේශපාලනය කියල.
 
කාල් මාක්ස්ගෙ ලිංගික ජීවිතය සදාචාරාත්මක එකක් නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් ඒක සාපරාධී එකක්. ගොඩක් වාමාංශිකයන් පාවිච්චි කරන වචනෙකින් කිව්වොත් තක්කඩි එකක්. 
 
ලංකාවෙ ඔය වමේ පුංචි දාර්ශනිකයෙක් කෙල්ලෙකුගෙ පුකක් මිරිකුවා කියල අනිත් වාමාංශිකයො පල කරන විරෝධය ඇත්ත නම් ඒ අය ඊට කලින් මාක්ස්ගෙ ලිංගික බලහත්කාරය ගැන විවෘතව කතා කරන්න ඕන කියල අපි හිතනවා. 
 
ඇත්තට ප්‍රභාකරන්ගෙ පුතාව මරා දාපු එක ගැන කතා කරනවා නම් ලෙනින් විසින් සාර්ගෙ රෝගී දරුවා මරා දැමීම ගැනත් කතා කරන්න ඕන.  මගේ වාමාංශික යාලුවෙක් කිව්වෙ ලෙනින් සාර්ගෙ දරුවා මරා දැමීම ඒ අයගේ දේශපාලන දර්ශනය අනුව ඕ.කේ කියල.
 
කොහොම වුනත් කාල් මාක්ස්ගෙ මේ අනියම් සම්බන්ධය මාක්ස්ගෙ කාලෙ ඉඳන්ම වාමාංශිකයො දැඩි උත්සාහයකින් වසන් කරන රහසක්.
 
පෝල් ජොන්සන් කියන ඉතිහාසඥයා1988 පොතක් ලියනවා ඉන්ටලෙක්චුවල්ස් කියල. ඒ පොතේ තියෙන්නෙ රූසො, ෂෙලී, මාක්ස්, ඉබ්සන්, තොලස්තෝයි, හෙමින්වේ, රසල්, බ්‍රෙක්ට්, සාත්‍ර,  චොම්ස්කි සහ තවත් ගොඩක් චරිත ගැන විස්තර. ඒ චරිතවල විශිෂ්ටත්වය වගේම අන්ධකාර අන්තරාය ගැනත් මේ විස්තර ඇතුලෙ ජොන්සන් ලියනවා.
 
එයා මාක්ස් ගැන මෙහෙම ලියනවා.
 
Helene Demuthබ්‍රිතාන්‍ය ධනවාදය ගැන කරපු පර්යේෂන ඇතුලෙ මාක්ස්ට අඩු වැටුප් ලබන කම්කරුවන් ඕන තරම් මුනගැහුනා. ඒත් කිසිම ගෙවීමක් නොකරන කම්කරුවො කිසි කෙනෙක් එයාට මුනගැහුනෙ නෑ. හැබැයි එහෙම එක්කෙනෙක් හිටියා. එයා හිටියෙ මාක්ස්ගෙ ගෙදර. ඒ තමයි හෙලන් ඩෙමුත්. මාක්ස් පවුලෙ කාලයක්ම හිටපු ගෘහ සේවිකාව. එයා හරියට මහන්සි වෙලා වැඩ කළා. ඒත් මාක්ස් සතයක් වත් හෙලන්ට ගෙව්වෙ නම් නෑ.
 
1849- 50 කාලෙදි හෙලන් මාක්ස්ගෙ අනියම් පෙම්වතිය වෙනවා. එයාට දරුවෙක් ලැබෙන්න එනවා. මාක්ස් තාත්තෙක් වීමේ වගකීම බාරගන්න පසුබට වෙනවා. මේ දරුවාගෙ තාත්තා එයා කියන එක එයා ප්‍රතික්‍ෂේප කරනවා. පස්සෙ මේ දරුවව කම්කරු පවුලකට දෙනවා හදාගන්න. මේ පොඩි එකාට අම්මව බලන්න එන්න මාක්ස් අවසර දෙනවා. ඒත් කොයිවෙලාවකවත් ඉස්සරහ දොර පාවිච්චි කරන්න අවසර නෑ. අම්මව මුනගැහෙන්න පුළුවන් කුස්සියෙදි විතරයි.
 
මේ දරුවාගෙ තාත්තා තමන් කියල දැනගත්තොත් දාර්ශනිකයෙක් සහ විප්ලවීය නායකයෙක් විදිහට තමන්ගෙ චරිතයට විශාල බලපෑමක් වෙයි කියල මාක්ස් බයවෙනවා. එයා එංගල්ස්ට කියනවා දරුවාගෙ තාත්තා විදිහට පෙනී ඉන්න කියල. එංගල්ස් මේක කරනවා. 
 
ඒත් 1895 අගෝස්තු 05 වෙනිදා එංගල්ස් උගුරෙ පිලිකාවකින් මැරෙන වෙලාවෙදි කතා කරගන්න බැරුව ඉඳිද්දී පවා එංගල්ස් මේ රහස එලීනා මාක්ස්ට (මාක්ස්ගෙ දුවෙක්) හෙලි කරනවා. එයා මේ වචන ලියනවා.
 
“ෆ්‍රෙඩී කියන්නෙ මාක්ස්ගෙ පුතා..”
 
ඩෙඩ්ලි සීක්‍රට් ඔෆ් කාල් මාක්ස් පොත ලියන රැල්ෆ් බුල්ජන්ස් ෆ්‍රෙඩී ගැන තවදුර විස්තර කියනවා.
 
මේකෙන් එලීනා ලොකු කම්පනයකට පත්වෙනවා. අවුරුදු තුනකට පස්සෙ එයා දිවි නසාගන්නවා.
 
ෆ්‍රෙඩී ඩෙමුත් අතෑරලා දාපු ළමයෙක් විදිහට ලොකුමහත් වෙනවා. එංගල්ස්ගෙන් යැපෙමින් හිටපු මාක්ස්ට ෆ්‍රෙඩී වෙනුවෙන් කිසි දෙයක් දෙන්න පුලුවන් වෙන්නෙ නෑ. එංගල්ස් ඉඳලා හිටලා පොඩි පොඩි ගනං එවනවා. ෆ්‍රෙඩීට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ. එයා ජීවිතේ වැඩි කාලයක් කම්කරුවෙක් විදිහට වැඩ කරනවා.
 
මාක්ස් මැරුනට පස්සෙ හෙලන් එංගල්ස්ගෙ ගෘහ පාලිකාව විදිහට යනවා. ෆ්‍රෙඩී අම්මව බලන්න සතිපතා එහෙට එනවා. මාක්ස් වගේම එංගල්ස් ෆ්‍රෙඩීට ඇතුල්වෙන්න ඉඩදෙන්නෙත් පිටිපස්සෙ දොරෙන් කුස්සියට විතරයි.
 
1890දි හෙලන් මැරුනට පස්සෙ ෆ්‍රෙඩී ආපහු එංගල්ස්ව දකින්නෙ නෑ. එංගල්ස් හෝ මාක්ස් ෆ්‍රෙඩී වෙනුවෙන් කිසි දෙයක් දෙන්නෙ නෑ. 
 
frederick demuthනමුත් මාක්ස්ගෙ දුවලා ෆ්‍රෙඩීට ඒ අයගෙ අදායම්වලින් කොටසක් දෙන්න තීරණය කරනවා. මේ අවජාතක ජීවිතය ෆ්‍රෙඩී,  අවුරුදු 78දි ලන්ඩනයේ දූප්පත් පැත්තක මැරිලා යනවා. 
 
හෙලන් කිසි දවසක ෆ්‍රෙඩීට එයාගෙ ඇත්ත තාත්තා ගැන කියන්නෙ නෑ. මැරෙන තුරු ෆ්‍රෙඩී විශ්වාස කරන්නෙ එයා එංගල්ස්ගෙ අවජාතක පුත්‍රයා කියල. එංගල්ස්ගෙ මරනෙදි පවුලෙ සමීපතමයො සහ මිතුරන් කීප දෙනෙක් විතරක් ෆ්‍රෙඩීගෙ ඇත්ත කතාව දැනගන්නවා.
මාක්ස් ගැන ලියවෙන කිසිම චරිතාපදානයක ෆ්‍රෙඩී ගැන වචනයක් හෝ ලියවෙන්නෙ නෑ. මාක්ස්වාදී ලෝකෙ ඇතුලෙ ෆ්‍රෙඩී ඩෙමුත් කියලා කෙනෙක් නෑ. 
 
විප්ලවීය පීතෘවරයාගේ ශ්‍රේෂ්ට නාමය මේ අවජාතක පුත්‍රයෙක් නිසා කැත කරන්න, ඒ පුද්ගලික ලිංගික ජීවිතය ඇතුලෙ තිබුනු බොරුව, රැවටිල්ල සහ අපචාරය එලියට අදින්න ඒ ගොල්ලො ලෑස්ති නෑ.
 
2016දි සෙන්ට්‍රල් වික්ටෝරියාවල ඇනිට්‍රා නෙල්සන් මේ හෙලන්ගෙ චරිතය මුල්කරගෙන නාට්‍යයක් කරනවා. ඒ නාට්‍යයෙ නම තමයි විප්ලවයේ මෙහෙකාරිය.
 
 
මාක්ස්ට හෙලන්ව ලැබෙන්නමත් වැඩවසම් දායාදයක් විදිහට. ජෙනීලගෙ පවුලෙන්. එයාට කිසි වැටුපක් ලැබෙන්නෙ නෑ. හෙලන් ගැන ගොඩක් දේවල් මාක්ස් එංගල්ස්ට ලියපු ලියුම්වල තියෙනවා. වෙන කොහේවත් එයා ගැන සටහනක් නෑ.
 
‘දැන් නම් තත්වෙ අමාරුයි. මට උදව් වෙන්න’ කියල මාක්ස් වෙලාවක හෙලන්ගෙ ගැබ්ගැනීම ගැන එංගල්ස්ට ලියනවා.
 
ඇනිට්‍රා හෙලන් ගැන හොයන්න තියෙන හැම තොරතුරක්ම එකතු කරගෙන විප්ලවය වෙනුවෙන් මෙහෙකාරියක් වුනු ඇය ගැන ඒ නාට්‍යය කරනවා.
 
 
අපි විශ්වාස කරන ලෝකයේ ආදරයේ නියම් අනියම් භේදයක් නෑ. නමුත් අනෙකාට නිසි ගරුත්වය නොලැබෙන, අනෙකා පීඩාවට ලක්වෙන, රැවටිලිකාර සම්බන්ධතා අශිෂ්ටයි කියන එකයි අපේ විශ්වාසය. කොයිතරම් ශ්‍රේෂ්ටයෙකුගේ වුනත් ඒ අශිෂ්ට පැතිකඩ නොසගවා කතා කිරීම සදාචාරය කියල අපි හිතනවා.
 
 
(චින්තන ධර්මදාස) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
(facultyofsex.com)
 

 

 


 

 
 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...