The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'හිමි-අහිමි-හිමි' විවාහක රූ රැජින කිරුළ සහ කැරොලයින් ජූරි ගේ ඉරණම ?

T

The Leader Desk

April 6, 2021 • 6:47 AM

'හිමි-අහිමි-හිමි' විවාහක රූ රැජින කිරුළ සහ කැරොලයින් ජූරි ගේ ඉරණම ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ වේදිකාව මත දී ගලවා
  •     එම අවස්ථාවේ තරමක ආවේගශීලී බවක් පෙන්නුම් කළ කාන්තාවන් දෙදෙනා ජයග්‍රාහිකාවගෙන් කිරුළ ගලවා දෙවෙනි ස්ථානය දිනාගත් තරගකාරියට පැළඳූ අතර, දෙඅත් ඔසවා එය සැමරීමට ද ක්‍රියා කරන ආකාරය දැක ගත හැක.
  •    කොරෝනාවෛරසය පැතිර යාමත් සමග 2020 දී මෙවැනි තරග නොපැවැත්වීම හේතුවෙන් එම වසර තුළ ද ලෝක විවාහක රූ රැජින ලෙස සිටියේ කැරොලයින් ජූරිමය.
  •   ඒ අතරින් වැඩි දෙනෙකු කැරොලයින් සහ චූලාගේ ක්‍රියාව හෙළා දැක තිබුණු අතර, ලෝකයේ රටවල් 80කට වැඩි ප්‍රමාණයක් අභිබවා ජයගත් කැරොලයින් වැනි කාන්තාවක් එලෙස හැසිරීම 'කිසිසේත් අනුමත කළ නොහැකි' බවට අදහස් පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
දෙවෙනි ස්ථානය ලබා ගත් තරගකාරියට පැළඳවීමේ වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල පුරා දැඩි කතාබහක් ඇති වී තිබේ.
 
අප්‍රේල් 4 වෙනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති මෙම වැඩසටහන අවසානයේ, ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිස එම ස්ථානයෙන් නික්ම යාමත් සමග, වේදිකාව මතට නැඟි 2019 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලයින් ජූරි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුෂ්පිකා "දික්කසාද වූ තැනැත්තියක් නිසා කිරුළ දැරීමට නොසුදුසු" බවය.
 
"විවාහක රූ රැජින වෙන්න ඕනේ විවාහක කෙනෙක් මිස දික්කසාද වුණ කෙනෙක් නෙමෙයි. ඒක නිසා කිරුළ ලබා දෙනවා දෙවෙනි ස්ථානය ලැබුණු තරගකාරියට" යැයි පැවසූ කැරොලයින් ජයග්‍රාගී තරගකාරියගේ කිරුළ ගැලවීමට උත්සහ කරන විට විලාසිතා නිරූපණ ශිල්පිණියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ ද එම ස්ථානයට පැමිණ එම ක්‍රියාවට හවුල් වන ආකාරය වීඩියෝවේ දැකගත හැකිය.
 
 
එම අවස්ථාවේ තරමක ආවේගශීලී බවක් පෙන්නුම් කළ කාන්තාවන් දෙදෙනා ජයග්‍රාහිකාවගෙන් කිරුළ ගලවා දෙවෙනි ස්ථානය දිනාගත් තරගකාරියට පැළඳූ අතර, දෙඅත් ඔසවා එය සැමරීමට ද ක්‍රියා කරන ආකාරය දැක ගත හැක.
 
පසුව පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් නික්ම යනු දක්නට ලැබිණි.
 
 Mrs World
 කැරොලයින් ජූරි 
 
 
රෝසි සේනානායක ලෝක විවාහක රූ රැජින තරගය ජයග්‍රහණය කර 35 වසරකට පසුව කැරොලයින් ජූරි නැවතත් එම කිරුළ ශ්‍රී ලංකාවට අත්පත් කර දීමට සමත් විය. 
 
කැරොලයින්ගේ පෞද්ගලික පුහුණුකාරිය වූයේ චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණය.
 
 කොරෝනාවෛරසය පැතිර යාමත් සමග 2020 දී මෙවැනි තරග නොපැවැත්වීම හේතුවෙන් එම වසර තුළ ද ලෝක විවාහක රූ රැජින ලෙස සිටියේ කැරොලයින් ජූරිමය.
 
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් තිබෙන අතර, බොහෝ දෙනෙකු සිය මත ඉදිරිපත් කර තිබිණි.
 
ඒ අතරින් වැඩි දෙනෙකු කැරොලයින් සහ චූලාගේ ක්‍රියාව හෙළා දැක තිබුණු අතර, ලෝකයේ රටවල් 80කට වැඩි ප්‍රමාණයක් අභිබවා ජයගත් කැරොලයින් වැනි කාන්තාවක් එලෙස හැසිරීම 'කිසිසේත් අනුමත කළ නොහැකි' බවට අදහස් පළ කර ඇත.
  117849087 165984084 898474674322067 10659436389178653 n
FACEBOOK/KODIYAA
 
 
මෙම තරගයේ 'ජාතික අධ්‍යක්ෂ' වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මාධ්‍යට පැවසුවේ පුෂ්පිකාට ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ නැවත ලබා දීමට කටයුතු කරන බවය.
 
පුෂ්පිකා දික්කසාද වී ඇති බවට ප්‍රකාශ වුව ද ඇය තවමත් දික්කසා ද වී නොමැති බව චන්දිමාල් පැවසීය. 
 
පුෂ්පිකා සිය සැමියාගෙන් නීතියෙන් වෙන් වීම සඳහා නඩුවක් ගොණු කර ඇතැයි මින් පෙර යූ ටියුබ් ඔස්සේ විකාශනය වූ වැඩසටහනක දී පැවසීය.
 
කෙසේනමුත්, අහිමි වූ කිරුළ නැවතත් පුෂ්පිකාට ලබා දුන් බව තරගයේ සංවිධායක මණ්ඩලය තහවුරු කළ බව ඇයගේ සහෝදරිය සඳුදා (අප්‍රේල් 5) මාධ්‍යට පැවසීය.
 
කැරොලයින් ජූරි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කර නොතිබූ අතර, ඇය සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය සාර්ථක නොවීය.
 
Hellijpg
 
මේ අතර පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමට යාමේදී හිසට තුවාල සිදු වූ බව පවසමින් ඇය රෝහල්ගත වූ බවට ද තොරතුරු වාර්තා විය.
 
කැරොලයින් සහ චූලාගේ ක්‍රියාව අනුමත කරන පිරිස පවසන්නේ, 'අසාධාරණයට එරෙහිව' ඔවුන් 'නොබියව' ඉදිරිපත් වූ බවය.
 
මේ අතර, සිංහරාජ වන සංහාරය, පොල්තෙල්වල විෂකාරක ද්‍රව්‍ය අඩංගු වීම වැනි ගැටලුවලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට මෙම සිද්ධිය යොදා ගත් බවට සමහරු චෝදනා කරති.
 

dvsdgෆේස්බුක් හි පළ වූවක්.

 
පුෂ්පිකා ද සිල්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඇත:
 
"මම දික්කසාද ගැහැණියක් නොවෙමි. මේ ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි."
"මේ තරගාවලිය ආරම්භයේදීම මා ඊට නුසුදුසු නම්, මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරග ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නොවේ."
"මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුළ පැලඳුවෙමි. ඒ මොහොතේම මම ලංකාවේත් ලෝකයේත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි."
"ඉතින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි."
"අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි!!!"
 
"කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ," යැයි සඳහන් කරමින් ඇය සටහන අවසන් කර තිබිණි.
 
මේ අතර විවාහක රූ රැජින තරගයට අයැදුම් කිරීමට අත්‍යවශය සුදුසුකමක් ලෙස 'විවාහ වී' සිටීම සඳහන් වේ. නමුත් ඉන් එහාට ඒ ගැන විස්තර සඳහන් කර නොමැත.
 
තමන්ට සිදු වූ අපහාසයට එරෙහිව පුෂ්පිකා ද සිල්වාට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවට ද බොහෝ දෙනෙක් අදහස් පළ කළහ.
 
 
අපහාසය කියන්නේ කුමක් ද? ශ්‍රී ලංකාවේ නීතිය කුමක් ද?
 
යම් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි වන ආකාරයට හෝ වෙනත් අයකු විසින් ඔබගේ කීර්ති නාමයට හානි වන ආකාරයට යම් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම මත නෛතික ක්‍රියාමාර්ගවලට එළැඹිය හැකිය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1)( අ) වගන්තිය මඟින් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සෑම පුරවැසියකුටම හිමි මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇතත්, එහි 15 වෙනි වගන්තිය මගින් යම් සීමාකිරීම් දක්වා තිබේ.
මෙයින් අපහාසය ඇතුළු විවිධ ප්‍රකාශ සීමාවන්ට යටත් කර තිබේ.
 
අපහාස කීප ආකාරයකින් දැක්විය හැකිය;
# වාචික අපහාස
# ලිඛිත අපහාස
 
 
වෙනත් මාධ්‍යයකින් කරන ලද අපහාස
 
අපහාස සම්බන්ධ නීතිමය තත්වයන් දෙකක් තිබේ;
 
# අපහාසය නම් සිවිල් වරද ( දිලික්තය/ Delict )
 
# සාපරාධී අපහාසය (අපහාසය නම් වූ අපරාධමය වරද )
 
 
අපහාසයක් සිදු වූයේ දැයි සැලකීමේ දී අධිකරණය කාරණා පහක් වෙත මූලික අවධානය යොමු කරනු ඇත.
 
# අපහාසාත්මක ප්‍ර‍කාශයක් පැවතීම.
# එය ප්‍ර‍සිද්ධියට පත්කර තිබීම.
# එම ප්‍ර‍කාශය නීතිවිරෝධී වීම.
# චේතනාන්විතව සිදු කර තිබීම (animus injuriandi).
# පැමිණිලිකරු ඉලක්ක කරගෙන එම ප්‍රකාශය සිදු කර තිබීම.
 
මෙම නඩු සනාථ කර ගැනීමට ප්‍රභල සාක්ෂි අවශ්‍ය වන බව නීතිවේදී නිලුපුල් ගුණතිලක පැවසීය.
 
 117849083 169832881 5930185670340606 2473328632650259171 n
 
ශ්‍රී ලංකා නීතිය තුළ අපහාසය පිළිබඳ ඇති නිර්වචන අතර, ඉතා පුළුල් අදහසක් දැක්වෙන්නේ ජයවර්ධන එරෙහිව ඒබරන් (1864) නඩු තීන්දුවේය.
 
අපහාසය වචන මගින්, ලිඛිතව, මුද්‍රිතව, පින්තූර හෝ වෙනත් ඕනෑ ම ඉදිරිපත් කිරීමේ ක්‍ර‍මයක් මගින් සිදු කළ හැකිය. එය අදාළ පුද්ගලයා ඉදිරිපිට හෝ නැති තැන ප්‍ර‍සිද්ධියේ හෝ රහසිගතව සිදු කළ හැකි අතර, එම පුද්ගලයාගේ කීර්තිනාමයට හෝ හොඳ නමට පීඩා කරන හෝ ඕනෑම දෙයක් පිළිබදව ද්වේශ සහගතව ප්‍ර‍සිද්ධියට පත් කිරීමෙන් ද අපහාසයක් සිදු විය හැකි බව උක්ත නඩු තීන්දුවේ සඳහන් වේ.
  
#  දයාසිරි ජයසේකර එරෙහිව හරීන් ප්‍ර‍නාන්දු සහ තවත් අය (2013) නඩුව ගොනු කර තිබුණේ රූපවාහිනී වැඩසටහන් මගින් සිදුකළ අපහාසාත්මක ප්‍ර‍කාශයන්ට එරෙහිවය.
#  ගෝඨාභය රාජපක්ෂ එරෙහිව සන්ඩේ ලීඩර් පුවත්පත (2015) නඩු තීන්දුවෙන් පුවත්පත් මඟින් සිදු කළ ප්‍ර‍කාශයකට එරෙහිව නඩු පවරා තිබිණි.
#  සේමිණි ඉද්දමල්ගොඩ එරෙහිව දමිතා අබේරත්න (2014) නඩුවේ දී ප්‍ර‍සිද්ධ ගුවන් විදුලි නාලිකාවකින් සිදු කළ ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් නඩු පැවරීය.
 
මෑත යුගයේ දී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස්වලට එරෙහිව ද අපහාස නඩු ගොනු කරනු දැකිය හැකිය.
 
වර්තමානයේ දේ ඍජුවම අපහාස කිරීම සේම ව්‍යංගාකාරයෙන් අපහාස කිරීම ද නීතිය ඉදිරියට යා හැකි කරුණක් වී තිබේ.
 
මෙහි දී අපහාසාත්මක ප්‍ර‍කාශයක් තිබීම පමණක් ප්‍ර‍මාණවත් නොවන අතර එය ප්‍ර‍සිද්ධියට පත් කර තිබිය යුතුය.
 
අපහාසාත්මක ප්‍ර‍කාශය ද්වේශ සහගතව සිදු කළ සාවද්‍ය ප්‍ර‍කාශයක් වූ විට එම ප්‍ර‍කාශය නීතිවිරෝධී ප්‍ර‍කාශයක් බවට තර්ක කිරීමට පැමිණිලිකරුට හැකිය.
 
එම ප්‍රකාශයේ තමා ඉලක්ක කර ඇති කරුණු පැමිණිලිකරු පැහැදිලිව තහවුරු කළ යුතුය. තමාට පෞද්ගලිකව ලැබෙන අපහාසයක් ප්‍රසිද්ධ කර හරින පැමිණිළිකරුවෙකුට නීතියෙන් පිහිටක් නොලැබෙනු ඇත.
 
අපහාසය සම්බන්ධ පෞද්ගලික නඩු පවරන්නේ නම් දිලික්තමය වරද සදහා නඩු පැවරිය යුතුය. ඒ අනුව අපහාසය සිදු වී වසර දෙකක් තුළ දිස්ත්‍රික්ක අධිකරණයේ නඩු පැවරිය යුතුය.
 
 
 
චෝදනාවෙන් ගැලවෙන්නේ කොහොමද?
 
යම් පුද්ගලයෙකුට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකලේ යයි චෝදනා එල්ල වූ විට, අදාළ අපහාසාත්මක ප්‍රකාශය සිදුකළ බවට හා එය ප්‍රසිද්ධ කළ බවට තහවුරු වේ නම් විත්තිකරුට කළ හැක්කේ එයට නීතිය මගින්ම දක්වා ඇති විත්තිවාචක ඉදිරිපත් කිරීමය.
 
# අදාල කරුණ සත්‍යය හා මහජන යහපතට හේතු වන බව.
 
# එය සාධාරණ විවේචනයක් බව.
 
# වරප්‍රසාද සහිත තත්වයක සිට එම විවේචනය සිදුකළ බව.
 
 
යම් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට හානි සිදු වූ බවට තහවුරු වුවහොත් ඔහු හෝ ඇයට වන්දි ලබා දීමට අධිකරණය නියෝග කරනු ඇත.
 
 
(උපුටා ගැනීම- BBC සිංහල සේවය)

 

 


 

THE LEADER TV
 
 

සීතා - දමිත හුටපටේ...!

 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...