The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යහ පාලනය තවමත් ජීවමානය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

April 25, 2021 • 1:05 PM

යහ පාලනය තවමත් ජීවමානය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව සිංගප්පුරුවක් කිරීමට ජනතාව ඒකරාශී කළ හැකිවේ. එහෙත් ලී ක්වාන් යූ කෙනෙකු සොයා ගත හැකිද?
  •   යහ පාලනය ගැන හය හතර නොදැන රනිල්ලා සිරිසේනලා එසේ හැසිරුණාට, යහ පාලන යගදාව අතින් ගත් එදවස නීල මහා යෝධයන් සිටි බව, ඉතිහාසයේ  ලියැවී හමාරය.
  • ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් වරිය කුණු මාලු කෑල්ලක් බවට පත්වුණේ රටේ යහ පාලනය තවම පවත්නා හෙයිනි.
  •    ගෝඨා ජනාධිපති වුණේද මහින්ද 2020 අගමැති වුණේද යහපාලනය යට ගොස් බොරුව ඉස්මතු වීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
2015දී යහ පාලනය ජයග්‍රහණය කරවූ සිවිල් සමාජ ව්‍යාපාරයේ දේශපාලනයක් තිබුණේම නැත. යහ පාලනය පොළොවේ පැළ කිරීමට භාර ගත් රනිල් - සිරිසේන ඩබල තමුන්ද විනාස වෙමින් රාජපක්‍ෂලාට ඉඩ සැලසූහ. 
 
ඊට හේතුව යහ පාලනය පිළිබඳ සිවිල් සමාජය තුල පවත්නා අවබෝධය විශ්වාසය සහ ගෞරවය 38 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තෙවරක් රටේ අගමැති තනතුර දැරූ රනිල් වික්‍රමසිංහ තුළ නොතිබීමය.
 
 ඩඩ්ලි සිරිසේනගේ අයියාගේ පැටිගිරිය කතා කිරීමත් පාපයකි. හේතුව යහ පාලනය නිර්මානය රටට ආදරය කළ මිනිසුන්ගේ මූනට කෙළ ගසමින්,  ඔක්තෝබරයේ රනිල් නෙරපා මහින්ද අගමැති ලෙස පත් කරමින් සිදු කළ පාවාදීමය. 
 
රනිල් හිතමිත්‍ර අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුව භාර දීමත්, සිරිසේන සිය සොහොයුරා ටෙලිකොම් සභාපති කරවීමත් දෙකම සුදුස්සාට සුදුස්සන් තෝරා ගැනීමේ යහ පාලන රීතියට පටහැනිවේ. 
  
එතැන් පටන් කොට, සකල ආණ්ඩුවම තමන්නට රිසි සේ හැසිරුණාහ. 
 
පොලිසිය අවශ්‍යව සිටි ගාමිණි සේදර මාරුවෙන් මාරුවට වජිර අබේවර්ධන, සාගල රත්නායක යන කැබිනට් ඇමතිවරුන් දෙදෙනාගේ නිවෙස්වල ආරක්‍ෂාව ලැබු බව ලංකාවට රහසක් නොවීය. 
 
මාතර නිලමේ කෙනෙකු අත් අඩංගුවට නොගන්නා බවට පොලිස්පති ජයසුන්දර මහ සභාවක් අතමතමින් සිටියදීම සාගල රත්නායක ඇමතිවරයාට පොරොන්දු වුණේ ලංකාවටම ඇසෙන්නටය. 
 
ඇවන්ගාර්ඩ් ව්‍යාපාරයට ගිනි අවි නිකුත් කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දමයන්ති විජේරත්න නම්  නිලධාරිනියට විමර්ශනවලට මුහුණ නොදී රටින් පලා යාම ගැන වජිර අබේවර්ධනට ඇගිල්ල දිගු විය. 
 
සිල්රෙදි නඩුවේ දෙවන විත්තිකාර මහාධිකරණ ඇප පිට සිටි අනුෂ පැල්පිට අතිරේක ලේකම් තනතුරට පත් කිරීමට  නිර්දේශ කරන්නේද, වජිර අබේවර්ධනය.
 
8544
එජාප සභාපති - වජිර අබේවර්ධන
 
 
 අපූරුව නම් මේ වජිර අබේවර්ධන වර්තමාන එජාපයේ සභාපති වේ. අප සාගල වජිර දෙදෙනාටම සමාව දිය යුතුවේ. හේතුව රනිල් වික්‍රමසිංහ හඳුනා නොගත් යහ පාලන සංකල්ප අර දෙදෙනා දැන සිටිය නොහැකි නිසාය.  යහ පාලනයට පිටුපා ක්‍රියා කළ දේශපාලනඥන් පල් හොරුන්ද යන්න ජනතාව මැනවින් දනී.
 
යහ පාලනය ගැන හය හතර නොදැන රනිල්ලා සිරිසේනලා එසේ හැසිරුණාට, යහ පාලන යගදාව අතින් ගත් එදවස නීල මහා යෝධයන් සිටි බව, ඉතිහාසයේ  ලියැවී හමාරය. අධිකරණය මෙන්ම, ස්වාධීන කොමිෂන් සභා තේජෝ බල සම්පන්න වෙමින් යහ පාලන හතර මායිම් ලකුණු කිරීමට සමත් විය. 
  
මහින්ද අගමැති කරවීමෙන් සිරිසේන ඔප්පු කළ උපන් ගෙහි නැහැදිච්චිකමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය ඓතිහාසික එකකි.  
 
පොලිස් පරික්‍ෂක නිසාන්ත සිල්වා මාරු කිරීමට ජනාධිපති සිරිසේන කළ නියෝගය විසි කිරීමට, පොලිස් කොමිසමට හයිය තිබිණ. 
 
ක්‍රම වේදයෙන් පිට පැන විදුහල්පති වරුන් පත් කිරිමට අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් ගත් තීරණය  රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ප්‍රතික්‍ෂේප විය. මේ ගැන විමසීමට අගමැති රනිල් රාජ්‍ය සේවා කොමිෂම තමන් වෙත කැඳවීය. ඒ රැස්විමට සහභාගි නොවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධර්මසේන දිසානායක තීරණයක් ගෙන තිබිණ. නැවත අගමැති පුද්ගලිකව කළ කැඳවීමක් නිසා, අගමැති හමුවූ රාජ්‍ය සේවා කොමිෂන් සභාපති වරයා අගමැතිට පළමුව කතා කළේය. ඔහු කීවේ රටේ අගමැති නිසා ආවා මිස, ඔබතුමාට මා කැඳවීමට අයිතියක් බලයක් නැත කියාය. 
 
 
NPC
සමහර විට අද මේවා අසන පොහොට්ටු කාරයන් ඒවා කොහෙද සර් එක්ක කියා සිනාසිය හැකිය. එහෙත් මේවා මේ ආකාරයට සිද්ධ විය. එහෙම වුණේ යහ පාලනය නිසාය. 
 
සමාජ මාධ්‍ය රටේ ජනාධිපතිට ගෝනි සීටා කියන්නේ යහ පාලන හයියෙනි. නීතියෙන් ඒ හැසිරිම් වෙනස් කළ නොහැකි වේ. 
 
සතොස සභාපතිට යන්න වුණේ යහ පාලනය නිසාය. ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් වරිය කුණු මාලු කෑල්ලක් බවට පත්වුණේ රටේ යහ පාලනය තවම පවත්නා හෙයිනි. තවත් මොනවාද? 
 
ජනතාව තරාතිරම නොතකා ප්‍රශ්න කරමින් සිටිති.
 
 ගෝඨා ජනාධිපති වුණේද මහින්ද 2020 අගමැති වුණේද යහපාලනය යට ගොස් බොරුව ඉස්මතු වීමෙනි. ආණ්ඩුව පත්වූ සැනින් සැනින් කුවේනිගේ සාපය මෙන් යහ පාලනය ඉස්මතු වෙමින් තිබේ. 
 
දේශපාලන පළිගැනීම් කොමිසම, ස්වාධීන අධිකරණයක් රටේ පවත්නා බවට සහතිකයකි. 
 
වර්තමාන පාලකයන් අධිකරණයට මාර බයය. නඩු ඇසුවොත් එල්ලුම් ගස් යාමට නියමිත නඩරාජා රවිරාජ්ගේ ජෝෂප් පරරාජසිංහම්ගේ වැලිකඩ සිරකරුවන්ගේ තාජුදින්ගේ මිනි මරුවන් කොමිසන් දමා බේරා ගන්නේ යහ පාලනය නිසාය.
  
 අල්ලස් කොමිෂම නඩු අස් කර ගැනීමේ කොමිසම වී ඇත. කොමිසමේ සංයුතියෙන් තුනෙන් දෙකක් හිටපු විනිසුරුවරුන්ය. 
 
ගෝඨාභය පත් කළ එකම කොමිසමක හෝ සාමාජිකයෙකුට ධර්මසේන දිසානායක විය නොහැකිය. 
 
නිදහස් මතධාරි ක්‍රිස්තු භක්තික මිතුරෙකු කී ආකාරයට ජේසුස් ක්‍රිස්තුස් උත්ථානය, යහ පාලනය රටේ නැවත කෙළින්වෙනවාය. 
 
සන්ඩේ ලිඩර් කර්තෘ පෙඩ්රිකා ජෑන්ස්ට  අසූචි කන ඊරිය කියා මරන බිය ඇති කළ යුගයක් පැවති බව වර්තමාන ජනාධිපති වරයා දනී. 
 
හරින් ප්‍රනාන්දුට බල්ලෙක් මෙන් ප්‍රභාකරන් මරා දැමු සිද්ධිය සිහිපත් කළාට තවමත් යමක් සිදුවී නැත. කෝප් කමිටු සභාපතිව සිටි විජයදාස රාජපක්‍ෂ යහ පාලනයෙන් රාජපක්‍ෂලාට මාරු වුණේ වාසියට මිස යහ පාලනය වෙනුවෙන් නොවන බව රටම දනී.  
 
ඇවන්ගාර්ඩ් රැක්ක විජයදාස සමහරුන්ගේ සිහින ජනාධිපති වෙලාය. මුරුත්තෙට්ටුවේලා විජයදාස රාජපක්‍ෂලා කරන්නේ කොන්ත්‍රාත්ය. සමහර විට, පනත පාස් වෙන්න ඉස්සර විජයදාස රාජපක්‍ෂ සෞඛ්‍ය ඇමති ද, විය හැකිය.
 
 Devani
දේවානි ජයතිලක 
 
රටක යහ පාලනය සහ පාලකයන් අතර, වෙනස රටේ මිනිස්සු රාජපක්‍ෂලා හරහා තේරුම් ගනිමින් සිටිති.  
 
 සත්තකින්ම මේ සිද්ධ වෙන්නේ කුමක්ද? 2014 දෙසැම්බර් මාසයේ 8 වෙනිදාට ඉස්සර රටේ කිසිදු නිලධාරියෙකු දේවානි ජයතිලක මෙන් කතා කරන්නට හැසිරෙන්නට හිතන්නේවත් නැත. කතා කෙරුවොත් දෙවන දවසක් උදා වන්නේම නැත. 
 
ලසන්ත මහ පාරේදී මැරුම් කෑමත්, සන්ඩේ ලීඩර්  පත්‍රයේ කතුවරියට ගූ කන බැල්ලි කියා බැන වැදීමත් කොප් කමිටු සභපති තම පාලනයෙන් මිදෙනු දැක විජයදාස රාජපක්‍ෂට කතා කළ ආකාරයත් අපට  අමතක නැත. 
 
වර්තමාන රාජපක්‍ෂ පාලනයෙන් රටේ මිනිස්සු අපේක්‍ෂා කළේ වඩාත් බරපතල තත්වයකි. එහෙත් දැන් සිද්ධ වෙන්නේ කුමක්ද? 2014ට පෙර තත්වය සමග සසඳන සලකන කළ රාජපක්‍ෂලා පේල් යයි සමහරු කියති. ඒත් ඇත්තටම සිදුවී ඇත්තේ දේශපාලන ක්‍රිඩාවට අලුත් නීති රීති එක්ව තිබීමය. 
  
ඒවාට අනුගතව, රාජපක්‍ෂලාට සෙල්ලම් කිරිමේ අපහසුවක් ඇත. 2014ට පෙර රාජපක්‍ෂලාට කැමති උසක් පනින්නට කිසිවෙකු ගෙන් බාධාවක් නැත. මම අඩි අටක් උස පනිනවා කීවොත්  පනිනවාමය. දැන් තමන්ට අවශ්‍ය උසට සහ නිශ්චිත ක්‍රීඩා රීති අතර, පොල්ලක් ඇත. 
 
එහෙත් දැන් රජ්ජුරුවෝ හෙළුවෙන් කියන්න කිසිවෙකු බය නැත.  ඒ කාලේ උස පෙන්වන පොල්ලක් සීමාවත් තිබුණේ නැත. පොල්ල තිබුණේ රාජපක්‍ෂලා අතේය.
 
මහින්ද අගමැති කරවීමෙන් සිරිසේන ඔප්පු කළ නැහැදිච්චිකම ප්‍රතික්‍ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට ශක්තියක් තිබිණ. 
 
සිරිසේන පොලිස් පරික්‍ෂකයෙකු මාරු කළ ක්‍රියාව ප්‍රතික්‍ෂේප කිරිමට පොලිස් කොමිසමට හයිය තිබිණ. 
 
එදා උස් පහත් වෙමින් යහ පාලනය එසේ පැවතියා මිස විනාස වුණේවත්, ඒ මතවාදය ප්‍රතික්‍ෂේප වුණේවත් නැත.  
 
 
 
වර්තමාන ආණ්ඩුව පේල් වෙලාද? 
 
 වර්තමාන ආණ්ඩුව පේල් වෙලාද? නැත. ඔවුන්ට සෙල්ලම් කළ වපසරිය හැකිළි ඇතුවා පමණය. එහෙම කියන්නේ කෙසේද? අප අතීතයට එබී බලමු. 
 
2014 දෙසැම්බරයට පෙර නම්, දේවානි ජයතිලකට කතා කිරිමට  දෙවන දවසක් උදා වෙන්නේ නැත. අපේක්‍ෂා අබේරත්නට කුමක් වේද?  රාජපක්‍ෂලා ලසන්තට කළ දේ මතකද? සිරසට ගිනි නො තැබුවෙහිද?  කීත් නොයාර් උපාලි තෙන්නකෝන් මතකද? ඒ කියන්නේ රාජපක්‍ෂලා සිල් අරන් කියාද? නැත. 
 
 Chamal Thug
හරින් ප්‍රනාන්දු ඇමතු ආකාරයෙන් සහ විජේදාස රාජපක්‍ෂගේ ප්‍රකාශය අනුසාරයෙන් රාජපක්‍ෂලා තවම එහෙමය. එහෙත් ඔවුන්ට හතරේ සිමාවෙන් පිට යන්න බැරිය. අසූ හැවිරිදි චමල්  රාජපක්‍ෂ ගහ ගන්න කතා කළේ වියරුවෙන් නොවේ. නාකි රිලව් ගස් උඩ යන එන  පුරුද්දටය.
 
 
රාජපක්‍ෂලාට විලංගු වැටී ඇත !
 
රාජපක්‍ෂලාට විලංගු වැටී ඇති බව ජාතියම දැනගත යුතුවේ. එය පහදා දෙන්න කෙනෙකු නැත. හේතුව දේශපාලන කුහකකමය. 
 
සජිත්ට අවශ්‍ය අතීතයක් නැති රටක ඕපපාතික සතෙකු වීමටය. ජවිපෙට අවශ්‍ය කුමක්දැයි ඔවුන්වත්  නොදනී. යහ පාලනයේ සාපයෙන් ආණ්ඩුවට කුෂ්ඨයක් වැළඳී ඇති බව කිසිවෙකුට පෙනි ගොස් තිබේද? 
 
කුහකකම නිසා යහ පාලන ජයග්‍රහණ ගැන සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාරලා කතා නොකරති. රාජපක්‍ෂලාට තුනෙන් දෙක දානය කළ සජිත් ගැන කතා කිරිමත් පවකි. 
 
අනුර කුමාර විනාඩියට වචන පනස් දෙකක් පැහැදිලිව පාවිච්චි කරමින් කියන දේ රටට හොඳින් දැනෙනවාය. එහෙත් පිළිගත් යාන්ත්‍රණයක් ඔවුනට නැත. 
 
බලපත්‍ර නැති රියැදුරෙකු හසුරුවන, රක්‍ෂණයද කර නැති වාර්ෂික ආදායම් බල පත්‍රද නැති වාහනයක ධාවනය පිළිබඳව පවත්නා අනියත  බිය මෙන් සැකයක් බියක් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ජනතාව තුළ පවතී.  
 
යහ පාලනය ගැන ජවිපෙය කතා නොකරන්නේ රතු අලි අවලාදයට බියෙන් විය හැකිය. බිංදුවට දැවුණ එජාපය ගැන අදත් රටේ පවත්නා විශ්වාසය ජනතා විමුක්ති පෙරමුණ ගැන නැත. සමගි ජනබල වේගයට අලියා සමග එක් නොවී කිසි විටෙක තමන් ලද විසිපන් ලක්‍ෂය පනස් ලක්‍ෂයක් කරගත නොහැකිය. එහෙත් අලියාගේ සභාපති කවුද? මේ විස්තර කළේ රාජපක්‍ෂ පාලනයට එරෙහිව ප්‍රති විරෝධතා ගැනය.
 

KAb

ග්‍රික බැඳුම් කර වංචාව සම්බන්ධව වගකීම භාර ගත් අජිත් නිවාඩ් කබ්රාල්, පෝට් සිටි පනත ගැනද වගකීම භාර ගැනීමට සැරසී සිටියි. ඒ කතාව රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකීම භාර ගත්තා වාගේ එකකි. රනිල් වෙනුවට, කබ්රාල්ද, අර්ජුන් ඇලෝසියස් වෙනුවට, පී.බී.ජයසුන්දර ද, වැඩේ දිගටම කරගෙන යති.  
 
 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි ව්‍යවස්ථාව හමාර කොට, ස්වාධීන කොමිෂන් සභා ආදි යහ පාලන තිරිංග ගලවා වීසි කළහ. 
 
සජිත්ගේ උදව්වෙන් තුනෙන් දෙක ගත්තාට, අල්ලස් කොමිසමේ උදව්වෙන් පල් හොරුන් නිදහස් කළාට, පරණ පුරුද්දට හැසිරෙන රාජපක්‍ෂලා යන්නේ අමාරු ගමණකි.  
 
සමහරුන්ට වෙඩි තියාගෙන මැරුණ හිට්ලර් සිහි වන්නේ මේ අල්ලපනල්ලේය. 
 
 ඔක්තෝබර් අඩව්වට පසුව, දූෂණ වංචා අංශයේ සිටි නිශාන්ත සිල්වා මාරු කිරිමට ජනාධිපති සිරිසේන දුන් නියෝගය පොලිස් කොමිෂම ඉරා විසි කළේය. දැන් ඒ බලය කොමිසමට නැතද, වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මාරු කිරීමෙන් ආණ්ඩුව සවුත්තු විය. 
 
බැසිල් විල්පත්තුව රිෂාඩ් බදුර්දීන්ට ලියා දුන් අවස්ථාවේ වන සංරක්‍ෂණ නිලධාරින්ට නොතිබුණ ශක්තියක් දේවානි ජයතිලකට ලැබුණේත්, මීමුරේ එනසල් වැවීමට ගෝඨාභය තීරණය කළ විට, නීතිය අනුව එසේ කළ නොහැකි බව කී අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර කීවේත් යහ පාලන ආකල්ප නිසාය.  වන විනාසය ගැන භාග්‍යා අබේරත්න කතා කළ වචන හත අට ඇසූ රාජපක්‍ෂලා සිද්ධ පත්තිනි අවතාරය දුටුවා මෙන්, බියපත් වූහ. 2014ට පෙර රාජපක්‍ෂලාට වඩා අයියලා සිටියේ නැත. ලන්සාට කිහිප වරක් ගැහැණුන් වට කොට පහර දුන්හ. 
 
සිංහල අවුරුදු උත්සවයේදී එක ගමක, සයිකල් රේස් එක හැමදාම දිනුවේ ගමේ පාන් කාරයාය. රත්නපුරේ සිට කොලොන්නාවට දිනපතා වැඩට බයිසිකලයෙන් ආ සුමනවීර පාපැදි ශූරයා වුණා වාගේය. 
 
එහෙත් 2018 සයිකල් කප් එක පාන් කාරයාට අහිමි විය. දිනුවේ කසිප්පු කාරයෙකි. තරගය නිමවී වරුවක් යාමට පෙර, පෙර ගමේ මිනිසුන් ඇත්ත වටහා ගත්හ. මග දිගට සයිකල් පදින්නන්ට සුබ පතන්නන් අතර සිටි එකෙක්, පාන් කාරයාට තැලූ කිතුල් ඇට මිශ්‍ර වතුර බාල්දියක් විසි කළේය.  
 
කැසිල්ල හැදුණේත් රේස් එක පරදුණේත් එහෙමය. හේතුව එයයි. එහෙම ගේම් ගහන පොහොට්ටුවෝ තමත් වැඩක් සැලසුම් කරමින් සිටියි.  
 
 
Chandrasiri Senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක 
 
 
 (2021-04-23 දින අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යහ පාලනය තවමත් ජීවමානය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න | The Leader