The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අලි ගල' අනතුරේ ? - යාල ආකාශ චෛත්‍ය සහ 'අනවසර' ඇතුළු වීම

T

The Leader Desk

July 16, 2021 • 4:39 PM

  'අලි ගල' අනතුරේ ? - යාල ආකාශ චෛත්‍ය සහ 'අනවසර' ඇතුළු වීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස යයි සඳහන් ෆේස්බුක් හි පළ වූ ඡායාරූපය (ඡායාරූප මූලාශ්‍රය, YALA GAMA JEEP EKAMUTHUWA)
  •   එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර ඒ බව කියා සිටියේ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් නීති විරෝධීව එම ස්ථානයට ඇතුළු වී ඇති බවට එල්ල වෙන චෝදනාව පිළිබඳ BBC සිංහල සේවය කළ විමසීමකදීය.
  •   අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනෙකුට පමණක් අවසර ලබා දෙන බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර නිකුත් කළ බව කියන ලිපියක් සමාජ ජාල තුළ සංසරණය වේ.
  •   තමන් එවැනි අවසරයක් ලබා දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා BBC සිංහල සේවය වෙත තහවුරු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අවසරයකින් තොරව බාහිර පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේ ආකාශ චෛත්‍ය පිහිටි ස්ථානය වෙත ඇතුළු වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර ඒ බව කියා සිටියේ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් නීති විරෝධීව එම ස්ථානයට ඇතුළු වී ඇති බවට එල්ල වෙන චෝදනාව පිළිබඳ BBC සිංහල සේවය කළ විමසීමකදීය.
 
අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනෙකුට පමණක් අවසර ලබා දෙන බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර නිකුත් කළ බව කියන ලිපියක් සමාජ ජාල තුළ සංසරණය වේ.
 
තමන් එවැනි අවසරයක් ලබා දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා BBC සිංහල සේවය වෙත තහවුරු කළේය.
 
ඔහු කියා සිටියේ, 'අනවසර' ඇතුළුවීම ගැන වැඩිදුර කරුණු පැවසීමට හැකි වනු ඇත්තේ ඉහත කී වාර්තාව ලැබුණු පසු පමණක් බවය.
 
 
චෝදනා මොනවාද?
 
 
 119444335 d8a74d73 63f3 48e1 8b0e f5d55f93e197
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සහ එම ස්ථානයට ගිය බව කියන කණ්ඩායමේ ඡායාරූප
 
 
 
අදාළ චෝදනා සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි කිසිවක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැත. නමුත් ඒ පිළිබඳ විශ්වාසදායක ආරංචිමාර්ග ලැබී ඇති බව විපක්ෂ නායකවරයා පවසයි.
 
 
 
Screenshot 2021 07 16 at 21.56.57
 
''රජයේ අනුග්‍රහය ඇතිව යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 ක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා'' - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
 
සිතුල්පව්ව විහාරස්ථානයේ සිට ආකාශ චෛත්‍ය හෙවත් 'අලිගල' වෙත පාරක් කැපීමේ උත්සාහයක් පවතිනවා: පරිසරවේදීන්  ''එහි ආරම්භක පියවරක් ලෙස භික්ෂූන් වහන්සේ ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් අවසරයකින් තොරව ආකාශ චෛත්‍ය පිහිටි ස්ථානයට ඇතුළු වී පරීක්ෂාවක යෙදී තිබෙනවා'' - පරිසරවේදීන්
 
 
217190043 105275831839089 5153769805347527150 n
 
 
 
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර කියා සිටියේ පුරාවිද්‍යා ගවේෂණයකට හැර වෙනත් කිසිඳු කටයුත්තකට තමන් අවසර දී නොමැති බවය.
 
අදාළ චෝදනා සම්බන්ධයෙන් විමසීමට සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි සම්බන්ධ කර ගැනීමට BBC සිංහල සේවය ගත් උත්සාහය සාර්ථක නොවීය.
 
 
 
'සතුන්ට වෙන හානිය බුදු හාමුදුරුවෝ අනුමත කරයිද?'
 
 
මිනිස් ක්‍රියාකාරකම් හමුවේ දැනටමත් යාල සතුන්ට වාසස්ථාන අහිමිව ඇති බව සත්ව ශුභසාධනවේදිනියක වන ඉරාකි කොඩිතුවක්කු පෙන්වා දෙයි.
 
"යාල වනෝද්‍යානයේ ඉන්න අලි, කොටි දැනටත් ඉන්නේ මහ පාරේ. එහෙම තියෙද්දී ඒකෙන් තව අක්කර 12,000 ක් පන්සලකට දෙනවා කියන්නේ, ඔවුන් යන්නේ කොහෙටද? " යනුවෙන් ඇය ප්‍රශ්න කළේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
 
 
 
"ලංකාවේ දැන් තියෙන්නේ බුදු හාමුදුරුවෝ අපිට කියලා දීපු බෞද්ධ දර්ශනය නෙමෙයි. බෞද්ධයෝ වශයෙන් අපි පිළිගන්නේ බුදු හාමුදුරුවෝ තමයි මේ ලෝකේ බිහි වෙච්ච පළමු පරිසරවේදියා."
 
"අවුරුදු සිය ගානක් තිස්සේ මේ ස්ථානය සතුන් දස දහස් ගණනකගේ වාසස්ථානයක් වෙලා තියෙනවා. එතකොට මේ සත්තුන්ගේ වාසස්ථානය, නිජබිම පන්සලකට පවරගෙන එතන අලුත් ඉදිකිරීම් කරලා, රථ ගාල් ඇති කරලා, පාරවල් කාපට් කරලා, කේබල් කාර් දාලා මිනිස්සු යන්න එන්න ගන්නවා. බුදු හාමුදුරුවෝ අද වැඩ හිටියා නම් මේ වැඩේට කැමති වෙයිද?" යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.
 
"ඔය වටිනාකම, අපේ උරුමය සත්තු ඉන්නකම් ඔතන තියෙයි. හැබැයි මිනිස්සු ආවම ඒ සියල්ල නැතුව යනවා, විනාශ වෙනවා. ඒ දේවල් මෙච්චර කල් රැකුනේ සත්තු හින්දා."
 
 
 
ඕන කෙනෙකුට වනෝද්‍යානයකට ඇතුළු විය හැකිද? නීතිය කුමක්ද?
 
 
 119444919 mediaitem119444440
ආකාශ චෛත්‍ය අයත් 'අලි ගල' ලෙස හැඳින්වෙන ස්ථානය (ඡායාරූප මූලාශ්‍රය, JAYASIRI GUNARATHNE)
 
 
ජාතික වනෝද්‍යානයක් තුළ යම් පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කිරීමේදී සපුරාලිය යුතු කොන්දේසි සහ "සීමා මායිම්" වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර නිකුත් කළ බව කියන ලිපියේ පැහැදිලිව ලකුණු කර ඇති බව පරිසරවේදී, නීතිඥ සුපුන් ජයවීර පවසයි.
 
"ඇතුළු වීමට අවසර දී තිබෙන නිලධාරීන්ට අමතරව හාමුදුරු නමක් ඇතුළු පිරිසක් ගිහින් තිබෙනවා නම් ඒක වැරදි වැඩක්."
 
"වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 2009 අංක 22 දරණ සංශෝධන පනතේ 3(1) වගන්තිය අනුව එය වරදක්. යම් ජාතික උද්‍යානයකට හෝ යම් සමුද්‍රීය ජාතික උද්‍යානයකට එහි ඇති වන සතුන් හා වෘක්ෂලතා බැලීමේ කාර්යය සඳහා විනා අන්කවර කාර්යයක් සඳහා වත් ඇතුළු වීමට කිසිම තැනැත්තෙකුට හිමිකම් නැත්තේය,'' යනුවෙන් එහි සඳහන්ව ඇතැයි කියා තිබෙනවා."
 
"ඒ වගේම 5 වගන්තිය යටතේ සඳහන් කරනවා අවසර පත්‍රයක් නොමැතිව ඇතුළු වීම නොකළ යුතුයි කියලා කියා තිබෙනවා"
 
පාරිසරික වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක වැදගත්කම:
 
 
 
 119444439 c1ef9e2c 4ced 4e3f 978f 7adc90a6575b
 බෞද්ධ හිමි නමක් විසින් ෆේස්බුක් හි තැබූ සටහනක්
 
 
 
පුරාවිද්‍යා පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන නීතීඥ සුපුන් ජයවීර පවසන පරිදි:
 
යාල වනෝද්‍යානය ලෙස වර්තමානයේ හඳුන්වනු ලබන උද්‍යාන කලාපය ක්‍රිස්තු පූර්ව 3 සහ 8 වෙනි සියවස අතර කාලය තුළ පුරාණ රෝහණ රාජධානියට අයිතිව තිබූ භූමි ප්‍රදේශයකි.
 
එහි පිහිටි ලෙන් සංඝයාවහන්සේලා වෙනුවෙන් පූජා කර ඇති බව ශිලා ලේඛනවල සඳහන් වේ.
 
කාවන්තිස්ස රජතුමා ඉදි කළ චිත්තල පබ්බත විහාරය සිතුල්පව්ව ලෙස අද හැඳින්වේ.
 
යාල අවට, රෝහණ රාජධානියේ භික්ෂූන් වහන්සේලා 24,000 ක් පමණ වැඩ විසූ බවට ලිඛිත සාක්ෂි පවතී.
 
"එතකොට අපි දැන ගත යුතු කාරණය තමයි යාල අඩියක් අඩියක් පාසා පාරිසරික වටිනාකම වගේම ඒ හා සමානම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන බව."
 
එහෙත් පුරාවිද්‍යාත්මක වැදගත්කමට වඩා එහි පවතින පාරිසරික වැදගත්කමට මුල් තැනක් දී ඇති බව අප වටහා ගත යුතුව ඇතැයි නීතීඥ සුපුන් ජයවීර පෙන්වා දෙයි.
 
 
'හිඟන අලි'
 
 119444337 1ca89723 c3eb 427e 8508 2b1782fa0040
 
"ඉතාම සුවිශේෂී පාරිසරික ලක්ෂණ කිහිපයක් මේ කාලපය තුළ තිබෙනවා. ගංගාදර වනාන්තර, වියලි කලාපයට අයිති ලක්ෂණ, අලි ගහනය ඇතුළු ජෛව විවිධත්වයක් පවතින ප්‍රදේශයක්. ඒක තමයි පළමු කාරණය." (ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)
 
 
 
නමුත් ඒ අවට පිහිටි ඇතැම් ආගමික ස්ථාන වැඳ පුදා ගැනීමට යම් ලිහිල් බවක් දී ඇති බව පවසන නීතීඥ සුපුන් ජයවීර ඒ නිසා සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බව පෙන්වා දෙයි.
 
"සිතුල්පව්ව අවට විශාල අලිඇතුන් ප්‍රමාණයක් අද වෙද්දී මිනිස්සුන්ගෙන් යැපෙන, අපි සාමාන්‍යයෙන් කියන 'හිඟන අලි' තත්ත්වයට පත්ව තිබෙනවා. ඊළඟට ගෘහාශ්‍රිත ඌරන් මුදා හැරලා ඒ සත්තු වල් ඌරන් එක්ක මිශ්‍ර වෙලා හැදුනු දෙමුහුන් ඌරන් කොට්ඨාසයක් ඒ අවට ඉන්නවා."
 
"ඒ නිසා දැනටත් මේ ඉඩ ලබා දීම නිසා ලොකු හානියක් සිද්ධ වෙනවා. එහෙත් ඒ ඉඩ ලබා දී තිබෙන්නේ හේතුවක් උඩ, එය බෞද්ධ සිද්ධස්ථානයක්, එය පවත්වාගෙන යාම ගැන ගැටලුවක් නැහැ"
 
"ඒ කියලා යාල පුරාම තිබෙන තැන් නවීකරණය කරලා, ප්‍රතිසංස්කරණය කරලා වඳින්න පුදන්න අවස්ථාව දුන්නොත් වෙන හානිය, පාරිසරික වශයෙන් විශාලයි. දෙවනුව, මේ යම් කිසි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන ස්ථානයක ප්‍රතිසංස්කරණයක් සිදු වේ නම් එය සිදුවිය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පමණයි."
 
 
"ඒක භික්ෂුවකට, ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට ගිහින් ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ ගැන පුරුද්දක්, පුහුණුවක් නැති අය ගිහින් ඒවා ශුද්ධ පවිත්‍ර කරද්දී ඒවායේ තිබෙන පෞරාණික වටිනාකමත් විනාශ විය හැකියි. ඒවා ලංකා ඉතිහාසය පුරාම වෙලා තිබෙන දේවල්. ඉතින් එහෙම වෙලා තිබෙන දේවල් යලි යලි සිදුවෙන්න අපි ඉඩ තැබිය යුතු නැහැ"
 
 
(බීබීසී  සිංහල සේවය)
THE LEADER TV 
නාමල්ගේ 'ඩබල් ගේම්' කතාව
 
  
 
ශ්‍රී ලන්කන් කෝටියක පෙරහැර ගැහිල්ලක් ?
 
  

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...