The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විශ්වාසභංගය සහ විපක්ෂයේ උපායමාර්ග - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

July 23, 2021 • 6:50 AM

විශ්වාසභංගය සහ විපක්ෂයේ උපායමාර්ග - ගාමිණී වියන්ගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට
  • එහි මතුපිට ප්‍රමෝදයට යටින් හාස්‍යාකාර විකාරයක් ඇතැයි සිතේ.
  • තෙල් මිල ඉහළ දැමීමේ තනි වැරදිකරුවෙකු ඇති බවත්, සෙසු කිසිවෙකු ඊට වගකිව යුතු නැති බවත් විපක්ෂය විසින්මත් කියා සිටීම නොවේද?
  • මා සිතන විදිහට, මේ විශ්වාසභංගය පරාජය කරනු ලැබීමේ සතුට වැඩියෙන්ම සමරනු ඇත්තේ ඔහු බවයි.    මෙහිදී යම් කාරණයක් අපේ පාඨකයාට මතක් කර දීම වැදගත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම  සහ බොහෝ අවස්ථාවල ඒවා පරාජයට පත්වීම අහම්බ කාරණයක් නොවේ. 
 
සාමාන්‍යයෙන් ආණ්ඩු කරවන පක්ෂයට පාර්ලිමේන්තුවක් තුළ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටීම, එවැනි විශ්වාසභංග පරාජය වීමට මූලික හේතුවයි. 
 
තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින වර්තමාන ආණ්ඩුව විසින් එවැනි විශ්වාසභංගයක් පරාජය කරනු ලැබීම කොහෙත්ම පුදුමයක් නොවේ. 
 
  
එසේ වෙතත්, ආණ්ඩුවක් කෙරෙහි සමාජයේ පවතින මහජන විවේචන තීව්‍ර කිරීමත්, විපක්ෂය කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය යම් තරමකින් හෝ ශක්තිමත් කරගැනීමට යත්න දැරීමත් විශ්වාසභංගයක් මගින් අපේක්ෂා කෙරේ. ඒ තාක් දුරට විශ්වාසභංගයක දේශපාලනික ඵලදායිතාවක් ඇත්තේය. 
  
 
සම්ප්‍රදායික ශාන්තිකර්ම විධියක් !
 
 
ඒ හැරුණුකොට විශ්වාසභංග ගෙනෙන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විටින්විට පිළිපදින සම්ප්‍රදායික ශාන්තිකර්ම විධියක් වශයෙනි. එවැනි විශ්වාසභංගයක් ගෙනෙන විට, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පවතින සම්ප්‍රදයික රංගනයට අමුතු සෝබාවක් ලැබේ. 
 
මෙවර උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාසභංගය අයත් වන්නේ මේ සම්ප්‍රදායික ශාන්තිකර්ම ප්‍රවර්ගයට ය යන්න මේ ලියුමකරුගේ විශ්වාසයයි. එහි මතුපිට ප්‍රමෝදයට යටින් හාස්‍යාකාර විකාරයක් ඇතැයි සිතේ. මා එසේ කියන්නේ ඒ ඇයි?
 
උදය ගම්මන්පිලට එරෙහිව පාවිච්චියට ගැනෙන ප්‍රධාන චෝදනාව වන්නේ තෙල් මිල වැඩි කිරීමයි. එම චෝදනාව මුලින්ම නඟන්නේ ආණ්ඩුව කරවන පොහොට්ටුවේම ලේකම්වරයා ය. ඔහු එම චෝදනාව නැඟීම සහ විපක්ෂය එම චෝදනාව නැඟීම අතර අහසට පොළොව වැනි වෙනසක් තිබේ. 
 
පොහොට්ටු ලේකම්වරයා ඒ චෝදනාව කෙළේ, රාජපක්ෂ දේශපාලනයේ එක් මූලික තර්කණයකට අනුගත වෙමිනි. එනම්, සිදුවන ඕනෑම වරදක් හෝ පීලිපැනීමක්, ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ බැසිල් රාජපක්ෂගේ ශේෂපත්‍රයට බැර නොකර රටට පහදා දීමේ තර්කණයට අනුගත වෙමිනි. 
 
 
අන්‍යදෝෂධාරියා
 
 
gotabaya rajapaksa 1 
ගෝඨාභය බලයට පත්වුණේ, නිදහසෙන් පසු කිසි නායකයෙකු කෙරෙහි ආරෝපණය නොකෙරුණු සර්වඥතා සහතිකයක් සහිතව.
 
 
විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ, නිදහසෙන් පසු කිසි නායකයෙකු කෙරෙහි ආරෝපණය නොකෙරුණු සර්වඥතා සහතිකයක් සහිතව නිසා, ජනතාව පීඩාවට පත්කරන ඕනෑම වරදක කර්තෘකයා අනිවාර්යයෙන්ම ඔහුගෙන් පිටස්තර කෙනෙකු වන බවට වගබලාගත යුතුව තිබේ. 
 
මීට කලින් මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ සිදු වූ සෑම වරදක්ම පාහේ බැර කෙරුණේ, ''මහින්ද වටේ සිටි සොරුන් සහ දූෂිතයන්'' වෙතට බව අපට මතකයි. 
 
ඉතිං මෙවර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් සිටින, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරන ආණ්ඩුවක පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂගේ ආර්ථීක මඟපෙන්වීම ඔස්සේ තෙල් මිල ඉහළ දැමීමේ ''වරද'', පොහොට්ටු ලේකම්වරයා විසින් උදය ගම්මන්පිලගේ කරට දැමීම අභව්‍යයක් නොවේ. 
 
 
විකාරය වන්නේ, රටවැසියා ඇන්දවීම සඳහා පොහොට්ටු ලේකම්වරයා පාවිච්චියට ගත් එම වංචනික විහිළුව, විපක්ෂය විසින් සැබෑවක් වශයෙන් ගැනීම සහ ඒ මත පදනම්ව විශ්වාසභංගයකුත් ගෙන ඒමයි.
 
 
මෙයින් කියැවෙන්නේ කුමක්ද? තෙල් මිල ඉහළ දැමීමේ තනි වැරදිකරුවෙකු ඇති බවත්, සෙසු කිසිවෙකු ඊට වගකිව යුතු නැති බවත් විපක්ෂය විසින්මත් කියා සිටීම නොවේද? එනම්, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු සියලූ නායකයන් විපක්ෂය විසින් ''නිදොස් කොට නිදහස් කරන ලද'' බවකි. 
 
 
60f58c7a5680f 60f585e02260a Sagara Kariyawasam 
පොහොට්ටු ලේකම්: විශ්වාසභංගය පරාජය කරනු ලැබීමේ සතුට වැඩියෙන්ම සමරනු ඇත්තේ ඔහුයි. 
 
 
මේ ආකාරයට, උදය ගම්මන්පිලට එරෙහිව සෙල්ලම් ගෙවල් චෝදනාව නැඟූ පොහොට්ටු ලේකම්වරයාම අවසානයේ මේ විශ්වාසභංගය පරාජය කිරීම සඳහා තමාගේ ඡන්දය පාවිච්චි කිරීමෙන් පෙන්නුම් කර තිඛෙන්නේ, විපක්ෂය වැටුණු වළේ ගැඹුරයි. මා සිතන විදිහට, මේ විශ්වාසභංගය පරාජය කරනු ලැබීමේ සතුට වැඩියෙන්ම සමරනු ඇත්තේ ඔහු බවයි. 
 
මෙහිදී යම් කාරණයක් අපේ පාඨකයාට මතක් කර දීම වැදගත් ය. අපේ රටේ දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය තුළ, සර්වබලධාරී තන්ත්‍රයක් තනි පුද්ගලයෙකු සහ තනි පවුලක් තුළ සංකේන්ද්‍රණය වී ඇති බව අප දත යුතුය. 
 
එම යථාව මඟහැර යන, එම යථාව වසං කරන ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ඕනෑම ක්‍රියාවක්, මෙවැනි විධායක ජනාධිපති ක්‍රමයක් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතුය යන මතයේ පිහිටා කරන කටයුත්තක් වශයෙන් හඳුනාගත යුතුව තිබේ. 
 
ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ නොවන කිසි ප්‍රතිපත්තියක්, ආණ්ඩුවේ කිසි මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු තුළ තිබිය නොහැකි බව එහි අදහසයි. 
 
 
සේවක අර්ථසාධකයත් කප්පාදුවට?
 
 
ඔබට උදාහරණ අවශ්‍යද? 
 
 
මේ ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙනස් කෙළේය. ඒ අනුව, ආණ්ඩුව එතෙක් ලබමින් සිටි ආදායම් මාර්ග ස්වේච්ඡාවෙන් අතහැරියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 540 ක් ආණ්ඩුවට අහිමි විය. 
 
 
ඒ වෙස්සන්තර ක්‍රියාවේ පරමාර්ථය වුණේ, ඇති-හැකි එකා බදුවලින් හැකිතාක් නිදහස් කිරීමයි. එසේ කිරීමෙන් ඇති වන පාඩුව වෙනත් අයුරින් පියවා ගැනීමට ආණ්ඩුවකට සිදුවෙයි. 
 
උදාහරණයක් වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක වීමට නියමිත එක් බදු ප්‍රතිපත්තියකට අනුව, ඔබේ දීර්ඝ කාලීන රැකියාවෙන් ඉතිරි කොට රැකියාව අවසානයේ ඔබේ අතට ලැබීමට නියමිත 'සේවක අර්ථසාධක අරමුදලේ' විශ්‍රාමික දීමනාව රුපියල් ලක්ෂ 7 ට වැඩි නම්, ඒ සොච්චමෙන් පවා සියයට 14 ක් බදු වශයෙන් ඔබ විසින් ආණ්ඩුවට ගෙවීමට නියමිතව සිටින බව ඔබ දන්නේද?  
 
පාඩම මෙයයි: ඇති-හැකි එකාට බදු සහන සලසන විට නැති-බැරි එකාගෙන් එය පියවා ගැනීමට සිදුවෙයි. ඊළඟ 
පාඩම මෙයයි: එවැනි ප්‍රතිපත්තියක් දරන ආණ්ඩුව අයත් වන්නේ, ගෝඨාභය ඇතුළු රාජපක්ෂලාට මිස උදය ගම්මන්පිල නමැති වන්දිභට්ටයෙකුට නොවේ.   
 
 
තවත් උදාහරණයක් : 
 
 
413726057f0bd6bc61cb1a7b99218649 XL
 
දූෂණයෙන් සහ අක්‍රමිකතාවන්ගෙන් තොර කාර්යක්ෂම ශ්‍රී ලංකාවකට පාර කියාදීම සඳහා 'වියත් මඟ' නමැති අට්ටාලයක් තැනවුණි. 
 
 
ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ දූෂණයෙන් සහ අක්‍රමිකතාවන්ගෙන් තොර කාර්යක්ෂම ශ්‍රී ලංකාවක් අපේක්ෂා කෙරුණි. ඊට පාර කියාදීම සඳහා 'වියත් මඟ' නමැති අට්ටාලයක් තැනවුණි. 
 
මෙසේ තිබියදී, ඉහළ පුටුවල වාඩි වී සිටි ඇතැම් නිලධාරීන්, දූෂණ චෝදනා හෝ අක්‍රමිකතා චෝදනා මත විටින්විට ඉවත් කෙරුණි. එහෙත් ඒ සෑම පුද්ගලයෙකුම ඊටත් වඩා සරුසාර සහ බරසාර පුටුවල ඊළඟට වාඩි කැරැවුණි. 
 
ඒ  කිසිවක්, එකී ආයතන භාර අමාත්‍යවරුන් විසින් කරන ලද ක්‍රියාවන් යැයි විහිළුවටවත් නොසිතන්න.
 
 
තවත් දූෂිතයෙකුට ජනාධිපති සමාව :
 
තවත් උදාහරණයක් ගන්න: 
 
''එක රටක්, එක නීතියක්'' නමැති සටන්පාඨය ඔබට මතක ඇති. අද මට කියවන්නට ලැබුණු පුවත්පත් වාර්තාවක් මෙසේ ය: ''අල්ලස් චෝදනාවකට වරදකරු වී වසර 18 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඔහු නිදහස් කරනු ලැබීය. 
 
මෙසේ නිදහස් කෙරුණේ වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන දැදිගම නෙළුම්දෙනියේ පදිංචි මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තෙකි.
 
  
මේ නඩුව සම්බන්ධයෙන් ගත්තොත්, විපක්ෂයේ වර්තමාන විශ්වාසභංගය සමාන වන්නේ, ඉහත කී සිරකරුවා නිදහස් කරනු ලැබූ විනිසුරුවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගයකට ය. 
 
 
එසේම, ඊටත් ඉහතින් කී කුමන හෝ දූෂිත ක්‍රියාවක් නිසා යම් ලොක්කෙකු එක් ඉහළ පුටුවකින් ඉවත් කොට වෙනත් ඉහළ පුටුවක වාඩි කැරැවූ ක්‍රියාව අතාර්කික යැයි කිව හැක්කේ කාටද?
 
එසේම, මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරා ගැනීමට තැත් කළ මුදලටත් වැඩි මුදලක්, පැය විසිහතරක් වැනි කෙටි කාලයක් තුළ, සීනි සහ තෙල් බදු විශේෂ සහනයක් සැපයීම මගින් යම් ජාවාරම්කාරයෙකුට උපයා දීමට කටයුතු කළ දේශපාලනික නායකත්වයක්, අනිත් පැත්තෙන්, තෙල් මිල ඉහළ නැංවීම සහ අසරණ සේවකයාගේ 'අර්ථ සාධක අරමුදලේ' පාරිතෝෂිකයෙන් පවා සියයට 14 ක් උදුරා ගැනීමට යත්න දැරීම අතාර්කික යැයි කිව හැක්කේ කාටද? 
 
සිව් පුද්ගල ඝාතනයකට වැරදිකරු වී එල්ලූම්ගහට නියමව සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවක් මත නිදහස් කිරීම ජනාධිපති බලතල යටතේ 'තාර්කික' නම්, එම දුමින්ද සිල්වා ජනාධිපති බලතල යටතේ 'ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ' සභාපති තනතුරට පත්කිරීම අතාර්කික වන්නේ කෙසේද?  
 
  
සර්වබලධාරී විධායකය :
 
 
මෙතෙක් මා කියන්නට උත්සාහ කළ කාරණය මෙයයි: 
 
 
20 වැනි සංශෝධනය සහිත විධායක ජනාධිපති ක්‍රමය තුළ පාලකයන් විසින් සිදුකරනු ලබන කිසි දූෂණයක්, අක්‍රමිකතාවක් හෝ අපරාධයක්, එම ජනාධිපති ක්‍රමය සහ එම ක්‍රමය මුදුනේ සිටින බලාධිකාරිය වෙතින් වියුක්ත කොට වෙන තනි පුද්ගලයෙකු වෙත බලහත්කාරයෙන් බැර කළ හැකි නොවේ. එසේ කිරීමට තැත් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අනුමත කිරීමේ සහ එක දිගටම පවත්වාගෙන යාමේ කඩතුරාවක් වන්නේය. 
 
එයින් කියැවෙන්නේ, ජනාධිපතිවරයා සහ ජනාධිපති ක්‍රමය ඉලක්ක නොකෙරෙන විරෝධතා අර්ථ විරහිත වන බවද? කොහෙත්ම නැත. එසේ කිරීම හරියට, සෑම ප්‍රශ්නයකම විසඳුම ධනවාදය ඉවරයක් කොට ඇති කරගන්නා සමාජවාදය සමග ඈඳාගන්නා මෝස්තර වාමවාදීන්ගේ ආස්ථානය වැන්නකි.
 
නැත, ලැඛෙන හැම වේදිකාවක් සහ අවස්ථාවක්ම, සාධාරණ විරෝධතා කුළුගැන්වීම සහ ජනතාව බලමුළුගැන්වීම සඳහා පාවිච්චියට ගත යුතුය. 
 
එහෙත් එය පරිස්සමින් කළ යුතු අභ්‍යාසයකි. විපක්ෂයේ විරෝධය පාලකයන්ට පිරිනැමෙන ආශීර්වාදයකට හේතුවක් නොවිය යුතුය. එසේම පොදු ජනතාව තුළ වැරදි වැටහීම් ඇති කරවන තත්වයකට එවැන්නක් තුඩු දිය යුතු නැත.
 
 
අප නොමඟ යන එක්තරා තොඳොල් දේශපාලනයක් තිබේ. එහිදී, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ අතරත්, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතරත් පමණක් නොව, ඔවුනොවුන්ගේ බිරියන් අතරත් පවතින විශාල විරසකයන් ගැන සොඳුරු අපේක්ෂා විටින්විට විපක්ෂයේ අනුභවයට ලැබේ. 
 
 
ඊළඟට, රාජපක්ෂ පවුල සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ආදීන් අතර පවතින සීතල යුද්ධ ගැනත් කතා කියැවේ. ඊළඟට අප ගණන් හදන්නේ ඒ ආරංචි මත පදනම්වයි. 
 
වර්තමාන විශ්වාසභංගය, යම්තාක් දුරකට එවැනි ගණනය කිරීම් හරහා කරළියට එන්නට ඇතැයි සිතේ. එවැනි උපකල්පන සහ සමපේක්ෂණ ඉතා කලාතුරකින් ඵලදායී වන බව ඇත්ත. උදාහරණයක් වශයෙන්, එදා රාජපක්ෂ පවුල සහ මෛත්‍රීපාල සිරිසේන අතර විරසකය ඵල දැරූ ආකාරය දැක්විය හැකිය.
 
 එහෙත්, මේ විධායක ජනාධිපති ක්‍රමය තුළ, එවැනි පසමිතුරුකම් විපක්ෂයක වාසියට සිටින අවස්ථා ඉතාමත් අල්පයි. අවශ්‍ය නම්, 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විදුර වික්‍රමනායක වැනි දේශපාලනඥයන් එදා මරාගෙන මැරෙන්නට ගිය හැටි සහ අවසානයේ එම සංශෝධනයට පක්ෂව ඔහු ඡන්දය පාවිච්චි කළ හැටි සිහියට නඟා ගන්න.
 
 
මෙවර විශ්වාසභංගයේදී, එතෙක් යටිතලයේ කතාබහට ලක්වෙමින් තිබූ, ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැයි ඉහතින් කී ගැටුම් සහ පරස්පරතා කිසිවක්, විපක්ෂය අපේක්ෂා කළ පරිදි, ආණ්ඩුවට අවාසිසහගත තත්වයකින් සමාප්තියට පත්වුණේ නැත. 
 
 
ඒ වෙනුවට, තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පවා ආණ්ඩුව තුළ ඇතැයි කී පරස්පර ආස්ථානයන් මේ විශ්වාසභංගය මගින් සමනයකට පත්කොට ඇති බවක් අපට අද නිරීක්ෂණය කළ හැකිය. 
 
එයින් පෙනී යන්නේ, උදය ගම්මන්පිල යනු තෙල් මිල වැඩි කිරීමේ පනිවිඩය රටට සන්නිවේදනය කළ වාර්තාකරුවා පමණක් වන බවයි.
 
 
පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදයේ එකම වේදිකාව නොවේ:
 
 
kalukodi500 
පාර්ලිමේන්තුවට පිටතින් ජනතාව ඒකරාශී කරන ප්‍රජාතන්ත්‍රීය සටන් වැඩපිළිවෙලක අවශ්‍යතාවය..
 
 
මේ මොහොතේ, මෙම කාරණය නිමිති කරගෙන විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව කෙනෙකුට මතු කළ හැකි එවැනි විවේචන එසේම තිබියදීත්, තමන්ගේ මූලෝපායයන් තුළ මෙම විශ්වාසභංගය පසුකාලීනව හෝ අර්ථවත් කරගත හැකි අවකාශයක් නිර්මාණය කරගැනීම වර්තමාන විපක්ෂයට කළ නොහැක්කක් නොවේ. 
 
ඒ වෙනුවෙන්, මෙම තනි සිද්ධියට (විශ්වාසභංගයට) අර්ථයක් සැපයෙන සේ තමන්ගේ පර්යාය ලෝකය පුළුල් කර ගැනීමක් විපක්ෂය පැත්තෙන් අවශ්‍ය කෙරේ. 
 
මේ මරුමුසු විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ වර්තමාන විපක්ෂය තුළ විවේචනාත්මක දේශපාලනයක් පෙනෙන්ට නොතිබීම, එහිදී මූලික වශයෙන් කැපීපෙනෙන අඩුවකි. 
 
ඊට අමතරව, ආණ්ඩුවේ මුග්ධ ආර්ථීක ප්‍රතිපත්ති හේතු කොටගෙන සමස්ත ජනතාවට මේ අවස්ථාවේ මුහුණදීමට සිදු වී තිඛෙන දෛනික ජීවිතය ගැටගසා ගැනීමේ නොහැකියාවත්, ව්‍යාපාරික ප්‍රජාව අතරමංව සිටින අලාමුළාවත් පිළිබිඹු කෙරෙන සෑම ඉසව්වක්ම ඉලක්ක කරගනිමින්, පාර්ලිමේන්තුවට පිටතින් ජනතාව ඒකරාශී කරන ප්‍රජාතන්ත්‍රීය සටන් වැඩපිළිවෙලකට අවතීරණ වීමත් නොවලහා අවශ්‍ය කෙරේ. 
 
පරාජය වූ විශ්වාසභංගයක් පසුකාලීනව හෝ අර්ථවත් කළ හැක්කේ එමගින්ම පමණි.
 
 
 
Gamini Viyangoda Colombo Telegraph
(ගාමිණී වියන්ගොඩ) 
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
 
 
 
 
 
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ) 
 
 

 
 
 
 
 
THE LEADER TV 
 
රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන සැඟවූ තොරතුරු මෙන්න ! 
 
 
 
වරෙව් කන්ඩ තව තියෙනවා - හඩ්සන්
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...