The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද?

T

The Leader Desk

August 8, 2021 • 7:10 AM

කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ"
  •   මේ මාතෘකාව සම්බන්ධයෙන් කාන්තාවන් අතර ඇත්තේ පරස්පර අදහස්ය.
  •     'බ්‍රා' ඉතිහාසය     'බ්‍රෙසියර්' යන නෝමන්-ප්‍රංශ වචනයෙන් මුලින් හැඳින්වූයේ දරුවන්ගේ බැනියම් නමුත්, පසුව එය බ්‍රා ලෙස කෙටි වී කාන්තාවන්ගේ තනපටය නැතිනම් තිසරපටය හඳුන්වන නම බවට පත් විය.
  •   තනපටය මුලින්ම කරළියට පැමිණියේ 20 වන සියවස ආරම්භයේදී නමුත් විලාසිතා ලෝකය තුළ කාන්තාවකගේ ශරීරයේ හැඩය ලබා දෙන 'උපකරණයක්' ලෙස මෙය දිගු කලක් තිස්සේ භාවිත කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි.
 
සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති.
 
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක වන කාන්තා පිටුවල ද මේ පිළිබඳ දීර්ඝ සංවාද නිරන්තරයෙන් දක්නට ලැබේ.
 
"බ්‍රා එකක් අඳින්නේ නැතුව ඉන්න එක ගැන මට නම් හිතන්නවත් බැහැ. ඒක මට අත්‍යවශ්‍ය දෙයක්. අනික එහෙම ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලෙනවා කියලා මම අහලා තියෙනවා. එකේ හරි වැරැද්ද මම දන්නේ නැහැ. හැබැයි බ්‍රා එක මගේ ඇඟේ කොටසක්," මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක පැවසුවාය.
 
 Bra
 
 
වසංගත කාලය තුළ සතියේ වැඩි කාලයක් නිවසට වී සිටීම හේතුවෙන් තනපටය ඇඳීම අවම කළ බොහෝ පිරිසක් ද සිටිති.
 
"බ්‍රා එක කියන්නේ පුදුම අපහසු ඇඳුමක්. ගෙදර ඉන්නකොට ඇයි ඇඟ ඔය තරම් තද කරගෙන ඉන්නේ. 
 
ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රා එක ඇන්දේ නැති වුණාම පියයුරු එල්ලා වැටෙනවා කියන එක මම කොහෙත්ම පිළිගන්නේ නැහැ," ගල්කිස්ස දිවි ගෙවන කාන්තාවක පැවසුවාය.
 
මේ මාතෘකාව සම්බන්ධයෙන් කාන්තාවන් අතර ඇත්තේ පරස්පර අදහස්ය.
 
 119668035 gettyimages 510599677 170667a 
"පුෂ් අප් බ්‍රා වගේ දේවල් නිතර ඇඳීම සුදුසු නැහැ" (GETTY IMAGES)
 
 
 
කෙසේනමුත්, තනපටය ඇඳීම හෝ නොඇඳීම නිසා පියයුරුවලට බලපෑම් එල්ල වන බවට තවමත් කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති අතර, එය පෞද්ගලික තෝරා ගැනීමක් බව ලොව පුරා විශේෂඥයෝ පවසති.
 
"මෙය එක් එක් කාන්තාවගේ කැමැත්ත. වැදගත්ම දේ තමයි පිරිසිදුව සිටිමින් නිතරම තමන්ට පහසු යට ඇඳුම් ඇඳීම" යැයි පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවයට පැවසුවාය.
 
 
'බ්‍රා' ඉතිහාසය
 
 
'බ්‍රෙසියර්' යන නෝමන්-ප්‍රංශ වචනයෙන් මුලින් හැඳින්වූයේ දරුවන්ගේ බැනියම් නමුත්, පසුව එය බ්‍රා ලෙස කෙටි වී කාන්තාවන්ගේ තනපටය නැතිනම් තිසරපටය හඳුන්වන නම බවට පත් විය.
 
තනපටය මුලින්ම කරළියට පැමිණියේ 20 වන සියවස ආරම්භයේදී නමුත් විලාසිතා ලෝකය තුළ කාන්තාවකගේ ශරීරයේ හැඩය ලබා දෙන 'උපකරණයක්' ලෙස මෙය දිගු කලක් තිස්සේ භාවිත කර තිබේ.
 
වර්තමාන ඇඳුමේ ආරම්භය 1893 දක්වා විහිදෙන අතර, "පියයුරු ආධාරකයක්" සඳහා නිව්යෝර්ක්හි පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගෙන තිබේ.
 
1904 දී 'බ්‍රෙසියර්' ඇමරිකානු වෙළෙඳපොළට ඇතුළු වූ නමුත් වචනය බ්‍රා ලෙස කෙටි කිරීමේ ප්‍රවණතාව ඇරඹුනේ 1930 වසර වලදීය.
 
එංගලන්තයේ එම් ඇන්ඩ් එස් සමාගම 1926 දී සිය පළමු තනපටය නැතිනම් බ්‍රා එක විකුණූ අතර, මේ වන විට වසරකට මිලියන 20 කට වඩා අලෙවි කරනු ලබයි.
 
ඩොලර් මිලියන 12.5ක් වන ලොව මිල අධිකම තිසරපටය 'වික්ටෝරියා සීක්‍රට්' සමාගම 2001 දී නිර්මාණය කරන ලද අතර එය 'හෙවන්ලි ස්ටාර් බ්‍රා' ලෙස හැඳින්වේ. මෙය නිමවා තිබෙන මැණික් 1,200 සහ කැරට් 90 දියමන්තිය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.
 
 
බ්‍රා සහ පියයුරු ගැන වෛද්‍ය මතය:
 
 
තනපට ඇඳීම පෞද්ගලික මතයක් වුව ද විශාල පියයුරු පිහිටා ඇති කාන්තාවක් ගැලපෙන තනපටයක් ඇඳීමෙන් ශරීරයේ කොඳු ප්‍රදේශයට ඇතිවන පීඩාව අවම කර ගත හැකි බව වෛද්‍යවරු පවසති.
 
 119668037 gettyimages 82135297 170667a
 
"තමන්ගේ පපුවේ ප්‍රමාණය සහ බ්‍රා කප් එකේ ප්‍රමාණය දැනගෙන පහසු දෙයක් අඳින්න" (GETTY IMAGES)
 
 
"සෑම කෙනෙකුගේම පියයුරු වෙනස්. සමහර අයට කුඩා පියයුරුත් තවත් අයට විශාල පියයුරුත් පිහිටනවා. ඒවා තද හෝ මෘදු වෙන්න පුළුවන්. තමන්ගේ පියයුරුවල පිහිටීම අනුව කෙනෙකුට බ්‍රා එකක් අඳිනවාද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන්. පියයුරු එල්ලා වැටීමක් සිදුවන්නේ හෝමෝනවල බලපෑම් සහ වයස් ගත වීම වැනි කාරණා හේතුවෙන්," වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පැවසීය.
 
"පියයුරු සෑදී තිබෙන්නේ මේදය, ග්‍රන්ථි, රුධිර නාල සහ සංවේදක ස්නායුවලින්. මේවා සම සහ මාංශ පේශීන් මගින් රඳවා තබා ගන්නවා. පියයුරු ලොකු වෙන්නේ මේදය වැඩි වීමෙන්. ගැහැණු දරුවෙක් වැඩිවියට පත් වීමත් සමග පියයුරු වැඩෙන්නේ. එය සාමාන්‍යයෙන් සිදු වන්නේ වයස 12-16ත් අතර."
 
"පියයුරු සම්බන්ධයෙන් වැදගත්ම දේ තමයි පියයුරු පිළිකා සම්බන්ධයෙන් අවදානයෙන් සිටීම. කාන්තාවන්ට විතරක් නෙමෙයි පියයුරු පිළිකා පිරිමි අයටත් වැළඳෙනවා. පියයුරුවල එන යම් ගැටිත්තක්, තෙල් ගෙඩියක්, රිදීමක් ගැන අවදානය යොමු කරලා ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි," යැයි වෛද්‍යවරිය පැවසීය.
 
එමෙන්ම, ශරීරයට තද තනපට ඇඳීම නොසුදුසු අතර තමන්ට පහසු, ගැලපෙන ප්‍රමාණයේ තනපටයක් තෝරා ගැනීම අත්‍යවශය බව ද වෛද්‍යවරිය පැවසුවාය.
 
"තමන්ගේ පපුවේ ප්‍රමාණය සහ බ්‍රා කප් එකේ ප්‍රමාණය දැනගෙන පහසු දෙයක් අඳින්න. පුෂ් අප් බ්‍රා වගේ දේවල් නිතර ඇඳීම සුදුසු නැහැ. ඒ වගේම යට ඇඳුම් දිනපතා සෝදා පිරිසිදුව තබා ගැනීම වැදගත්."
 
 119668191 gettyimages 1076650066 170667a 
බ්‍රා වර්ග (GETTY IMAGES)
 
 
වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයේ 'Breast Research Australia' වැඩසටහනේ සම අධ්‍යක්ෂ හා භෞතචිකිත්සකවරියක් වන වෛද්‍ය ඩෙයිද්රේ මක් ඝී පවසන පරිදි,
 
"මම හිතන විදිහට තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය කාන්තාවන්ට තිබෙනවා. නමුත් ඔබට සැලකිය යුතු තරමේ විශාල පියයුරු තිබේ නම් එම ප්‍රමාණයට හරියන තරමේ ආධාරකයක් නැති විට, ශරීරයේ විවිධ ඉරියව්වලදී බෙල්ල සහ පසුපස ප්‍රදේශවලට බලපෑම් එල්ල වෙනවා."
 
"ආධාරකයක් නැතිව කාන්තාවන් ව්‍යායාමවල යෙදීමෙන් පියයුරු චලනය වෙනවා. ක්‍රීඩාවේ දී ආධාරක තනපට ඇඳීමෙන් පියයුරුවල වේදනාව අඩු කරන අතරම බෙල්ලේ හා පිටුපස වේදනාව ඇතිවීම වළක්වනවා."
 
 
බ්‍රා එපා!
 
 
ග්ලෝරියා ස්ටීනම්, රිහානා, කෙන්ඩල් ජෙනර් සහ කේට් මොස්, ගිලියන් ඇන්ඩර්සන් වැනි ලොව ප්‍රසිද්ධ කාන්තාවන් තනපටය නොමැතිව සිටීමේ 'නිදහස' ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතා කිරීම සහ එය නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවලට යාමත් සමගම බොහෝ කාලයක් පෞද්ගලික සංවාදයක් පමණක් වූ මෙම කරුණ නැවතත් ප්‍රසිද්ධියේ කතා බහට ලක් වී තිබේ.
 
"මට බ්‍රා එකක් අඳිනවා කියන්නේ එපා වෙන දෙයක්. නිපල්ස් වහගන්න විතරක් පියයුරුවලට අලවන කප්ස් දෙකක් දාගෙන මම ඕනෑම ගමනක් යනවා. මගේ ශරීරය අයිති මට. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ පියයුරු මහත් වුණාට, දැන් ආයෙත් ඒවා අවුරුදු 16දී වගේම තියෙනවා. ඉතින් ඇයි මම අපහසු ඇඳුමක් එක්ක දුක් විඳින්නේ?," කොළඹ දිවිගෙවන කාන්තාවක පැවසීය.
 
 119668193 103707929 14607091 1075767399187690 8772662755837607936 n 1
 
සැහැල්ලු තනපටයක් ඇඟලා ගෙන ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණි කෙන්ඩල් ජෙනර් (KENDALL JENNER)
 
 
කෙසේනමුත්, මේ අතර නින්දට යන විට පවා තනපටය අඳින කාන්තාවෝ ද සිටිති.
 
"මම මේ කල්පනා කරන්නේ බ්‍රා එක නැති අය කොහොම ඉන්නවා ද කියලා. මට ගෙදරට විතරක් නෙමෙයි, නින්දට යද්දිත් බ්‍රා එක ඕනේ. නැත්තම් මට හරි අපහසුවක් දැනෙනවා. මම පුෂ් අප්ස් වගේ තද ඒවා ගෙදරට අඳින්නේ නැහැ. හැබැයි පහසු එකක් අඳිනවා. නිපල්ස් එළියට පෙනීම සහ ඇවිදිනකොට පියයුරු සෙලවීම මටනම් ලැජ්ජාවක්," තවත් කාන්තාවක සිය අදහස් දක්වමින් පැවසුවාය.
 
 
බ්‍රා හා සම්බන්ධ උද්ඝෝෂණ
 
 
මීට වසර පනහකට පෙර, නිව් ජර්සි හි පැවති 'මිස් ඇමරිකා' රූපලාවණ්‍ය තරඟාවලියට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැතිවිණි. උස සපත්තු, ශරීරයට තද ඇඳුම් ඇතුළු කාන්තාවන්ට පීඩා කරන දේවල් සංකේතාත්මකව ඉවත දැමීම මෙහි අරමුණ විය.
 
එහි දී කාන්තාවන් පිරිසක් තනපට, ලිප්ස්ටික් සහ උස සපත්තු කුණු කූඩයකට සංකේතාත්මකව විසි කිරීමට ක්‍රියා කළ අතර, මෙය "නිදහස් කුණු කූඩය" ලෙස නම් කළහ.
 
මෙහි දී කුණු කූඩයේ තිබෙන දේ ගිනි තැබුවේ නැතත්, විරෝධතාකරුවන් ලොව ප්‍රසිද්ධ වූයේ "බ්‍රා දැවූ ස්ත්‍රීවාදීන්" ලෙසිනි.
 
එය ලොව පුරා සිරස්තල බවට පත් කරමින්, විරෝධතාකරුවන්ට ලෝක ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි විය.
 
2019 වසරේ දී ස්විට්සර්ලන්තයේ කාන්තාවන් දහස් ගණනක් සියලු සේවාවලින් බැහැරව, සාධාරණ වැටුප්, සමානාත්මතාව මෙන්ම ලිංගික අඩන්තේට්ටම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා තනපට ගිනි තබමින්, රථවාහන ධාවනයට බාධා පමුණුවමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.
 
 119668197 103215437 gettyimages 939585944 
 
"බ්‍රා දැවූ ස්ත්‍රීවාදීන්" (GETTY IMAGES)
 
 
ඔක්තෝබර් 13 වෙනිදා තනපටින් තොර දිනය ලෙස හැඳින්වීම ඇරඹුණේ පියයුරු පිළිකා පිළිබඳ ලොව පුරා අවබෝධය නැංවීමේ පියවරක් ලෙසිනි.
 
නමුත් පිලිපීනයේ කාන්තාවන් විසින් 2018 වසරේ අදාළ දිනය වෙන්කරනු ලැබුවේ පුළුල් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවක් ඉල්ලීම සඳහාය.
 
"තනපටින් තොර දිනයෙන් "කාන්තාවාදය මෙන්ම කාන්තාවන් ලෙස අප කවුදැයි යන්න ස්ථිරව ප්‍රකාශ කෙරෙනවා. 
 
කාන්තාවන් වහල් බවක රඳවා ඇත්තේ කෙසේද යන්න තනපටින් සංකේතවත් කෙරෙනවා" යැයි ජනමාධ්‍යවේදිනියක වන වැනේසා අල්මේදා සඳහන් කළාය.
 
පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ තනපුඩු නිරාවරණය කිරීමේදී අනුගමනය කෙරෙන දෙබිඩි පිළිවෙත් පෙන්වා දෙමින් මෑත වසරවලදී ක්‍රියාකාරීහු තවත් පියවරක් ඉදිරියට ගියහ.
 
කාන්තා පියයුරු සාපරාධී හා වාරණය කිරීමට එරෙහි තරුණ කාන්තාවන් පිරිසක් නිව් යෝර්ක් නගරයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයක් පසුබිම්කරගත් 'Free the Nipple' (තනපුඩුව නිදහස් කරනු) නම් වූ වාර්තාමය වැඩසටහන නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ 2014 දෙසැම්බර් මාසයේදී නිකුත් කළේය.
 
මෙය "Free the Nipple" (තනපුඩුව නිදහස් කරනු) නම් වූ ව්‍යාපාරය ගෝලීය සංසිද්ධියක් වීමේ මුලාරම්භය විය.
 
 
 
 
 
#NoBra
 
 
මේ අතර, දකුණු කොරියාවේ කාන්තාවන්, සිය ඇඳුම්වලට යටින් තනපට නොඅඳින බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමේ ව්‍යාපාරයක් 2019 අග භාගයේ දී සිදු විය.
 
#NoBra නම්වූ හෑෂ් ටැගයෙන් යුතු එම පළකිරීම් සිදු වූ අතර, එය කාන්තා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත් විය.
 
දකුණු කොරියානු නිළියක මෙන්ම ගායිකාවකද වන සුල්ලි (Sulli), මිලියන ගණනක ග්‍රාහකයින් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තනපට රහිත තමන්ගේ ඡායාරූප පළකිරීමෙන් අනතුරුව එම අදහස පැතිරීම ආරම්භ විය.
 
 119668199 gettyimages 1083637416 170667a 
GETTY IMAGES
 
 
තනපටවලින් තොරවීම පිළිබඳ ව්‍යාපාරයේ නිරත බොහෝ දෙනෙකුට ඇය 'සංකේතයක්' වන අතර, තනපට ඇඟලීම හෝ එසේ නොකිරීම "පෞද්ගලික නිදහස" ට අදාළ කාරණයක් යන පණිවිඩය ඉන් දුන්නාය.
 
මෙම ව්‍යාපාරයෙන්, කාන්තා සිරුර සම්බන්ධයෙන් ලෝකයේ පවතින තහංචි ගැන ඉහළ අවධානයක් යොමු විය.
 
එමෙන්ම, මීට එක්වූ කාන්තාවන් දෝෂ දර්ශනයට ලක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ලෝකයේ බොහෝ කොටස් තවමත් සංස්කෘතික අපේක්ෂා මත පදනම්ව පවතින බවය.
 
එසේවුවත්, දකුණු කොරියාවේ සිටින බොහෝ කාන්තාවන්ට නම් මෙය "පෞද්ගලික නිදහස" පිළිබඳ මූලික කරුණක් බවට පත් විය.
 
 
 
( දැහැමි රණවීර - බීබීසී සිංහල සේවය)
 
 
 
 
THE LEADER TV 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...