The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොළඹ අත්හැර ගිය දේශපාලන සමනළයා - මිලින්ද රාජපක්ෂ

T

The Leader Desk

August 25, 2021 • 3:36 AM

කොළඹ අත්හැර ගිය දේශපාලන සමනළයා - මිලින්ද රාජපක්ෂ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල සමරවීර, වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ දේශපාලනයට සමනළයෙක්.
  • ඒක ඇතුලේ කාන්තා අයිතිවාසිකම්, ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වගේ ගොඩක් දේවල් තිබ්බා.    ඒ කාලේ අයිලන්ඩ් පත්තරේ වැඩකරපු දසුන් එදිරිසිංහට කීවාට පස්සේ දසුන් මන් ඉන්න තැනම මංගලට කෝල් එකක් අරන් වෙලාවක් ඉල්ලා ගත්තා.
  • ඇතුලට ඇවිත් මගේ මුළු ලියුමම කියෙව්වා.
  •    මේ ඉල්ලලා තියෙන දේවල් කරගන්නනම් ඇවිත් සක්‍රීයව දේශපාලනය කරන්න කීවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ලංකාවේ දේශපාලනයේ මාර මැජික් නෑ. කණ්ඩායම් දෙකක් මාරු වෙමින් දේශපාලන බලය අල්ලනවා. ඒ ගැන අප්සට් එකක්, විශේෂයෙන්ම තරහක් වගේ තියේ නම් ඒ ඇරියස් එක පිරිමහගන්න ජවිපෙ තියනවා. එච්චරයි. 
 
මැජික් පෙන්වන්න ආවොත් සේරම එකතුවෙලා අරිනවා. හරියට සරත් ෆොන්සේකාට උනා වගේ. 
 
ලංකාවේ දේශපාලනයට, මගේ ජීවිත කාලය ඇතුලත, පාට පාට හැඩයක් ගෙනාපු කිපදෙනෙකුගෙන් උඩින්ම ඉන්න කෙනෙක් තමා මංගල සමරවීර. 
 
එක්කෝ එයා තමන් හදපු ආණ්ඩුවත් එක්කම රණ්ඩු වෙනවා. 
 
එක්කෝ එයා හාමදුරුවරුන්ට බනිනවා. 
 
එක්කෝ අලුත් පක්ෂයක් හදන්න හදනවා. 
 
එක්කෝ කාදිනල්ට විරුද්ධව ලියුම් ලියනවා. 
 
එක්කෝ තමුන්ගේ ලිංගිකත්වය ගැන කතාකරනවා. 
 
එක්කෝ ජාතිකවාදීන්ගෙන් ගේම ඉල්ලනවා. 
 
ජන්දේ ඉල්ලනවා කියනවා. චන්දෙ ඉල්ලන්න බෑ කියනවා. 
 
Instagram ඉන්නවා. ටික් ටොක් ඉන්නවා. 
 
රගපානවා. බොනවා. සුරුට්ටු ගහනවා. ( ඒවා සාමාන්‍ය වැඩ වුනාට ලංකාවේ දේශපාලනයේදී මාරක ලිදේ යනව වගේ වැඩ )
 
නුතන දේශපාලනයේ මෙච්චර පාට ගොඩක් තිබ්බ, හැමදාම තටු සලපු, කැමති උනත් අකමැති උනත් ආසාවෙන් ඈත ඉදන් බලන් ඉන්න හිතෙන, මංගල සමරවීර තමා සිරිපා වදින්න නොයන දේශපාලන සමනළයා. 
 
මට මංගල සමරවීර හමුවුනේ මම කැම්පස් එකේ තුන්වෙනි හෝ හතරවෙනි අවුරුද්දේ විතර. එතකොට මංගල ආණ්ඩුවත් එක්ක තරහවෙලා එයාගෙම ඔෆිස් එකක් දාගෙන අලුත් දේශපාලන ගමනක් පටන් අරගෙන. මම IPPF එකත් එක්ක වැඩ. 
 
අපි තීරණය කළා ඒ චන්දෙදී චන්දය ඉල්ලන සියලුම පාර්ශව වල නායකයන්ට අපේ යෝජනාවලියක් දෙන්න. ඒක ඇතුලේ කාන්තා අයිතිවාසිකම්, ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වගේ ගොඩක් දේවල් තිබ්බා. 
 
ඒ කාලේ අයිලන්ඩ් පත්තරේ වැඩකරපු දසුන් එදිරිසිංහට කීවාට පස්සේ දසුන් මන් ඉන්න තැනම මංගලට කෝල් එකක් අරන් වෙලාවක් ඉල්ලා ගත්තා.
 
 අපි ඔෆිස් එකට ගිහින් එයාගේ කාමරේට වෙලා හිටියා ප්‍රෙස් එක ඉවරවෙනකන්. ඇතුලට ඇවිත් මගේ මුළු ලියුමම කියෙව්වා.
 
 මේ ඉල්ලලා තියෙන දේවල් කරගන්නනම් ඇවිත් සක්‍රීයව දේශපාලනය කරන්න කීවා. අපි හිනාවෙලා තේ බීලා පාරට බැස්සා. 
 
එයාගේ මේසෙ ගාව උඩ බිත්තියේ එල්ලලා තිබ්බා AFP ගත්ත සිරිමාවෝ මැතිණි මහා රැස්වීමක කතාවක් පවත්වන කළු සුදු ෆොටෝ එකක්. 
 
ඊට පස්සේ මගේ ජිවිතේ කවරදාකමවත් මංගල සමරවීරව දේශපාලනිකව හමුවෙලා නෑ. 
 
මේ ලගදී දවසක් එක්තරා තානාපතිතුමෙක් මට කීවා මංගල ඔහුට කීවා කියලා ‘මගේ ලිංගිකත්වය ගැන ප්‍රශ්නය තියෙන්නේ මට චන්දය දෙන මාතර ගමේ එවුන්ට නෙමේ ලිබරල් වෙන්න හදන කොලබ ඉන්න එවුන්ට’ කියල. 
 
මේ ලියමනේ මාතෘකාවට මම ‘කොළඹ අතහැර ගිය’ කියල විශේෂයෙන්ම දැම්මේ, මාතර එවුන්ට මංගල අමතක නොවන නිසයි. 
 
මංගල බුරුත පිටින් මිනිස්සු රස්සාවලට දාල තියෙනවා. මාතර පාරවල් බෝක්කු ඉස්කෝල හදල තියෙනවා. මාතර හැම එකාවම අදුරනවා.
 
 මාතර පොළවේ මංගල දේශපාලනය කරලා තියෙනවා. ඒ නිසා මාතර මිනිස්සුන්ගේ හිත් දාල මංගල යන්නේ නෑ. 
 
හැබැයි කොළඹ ලිබරල් දේශපාලනයට පාංශුකුළය දෙන්න වෙනවා.
 
 
කොළඹ ලොකූ ලිබරල් දේශපාලනයක් නෑ. (තියෙනවා කියල ඉහල මැද පන්තිය හිතාගෙන ඉන්නවා, ඒ අයගේ ආතල් අපි කඩන්න ඕනෙත් නෑ) තියෙන්නේ මංගල වගේ සමනලයන් තටු ගහනකොට එන සංධ්වනියට කම්පාවීමක්. 
 
කොළඹ කිසිම ලිබරල් චන්ඩියෙකුට නැති හයියක් මාතරින් චන්දෙ දිනලා එන මංගලට තියෙනවා. 
 
එකයි පන්සිල් ගනිද්දී මිනිහා අත්දෙක පල්ලෙහාට දාල වටපිට බලබල ඉන්නේ. එතකොට කොළඹ කොර වෙනවා. 
 
හාමුදුරුවරුට, ජාතිකවාදීන්ට, වමේ එවුන්ට, මංගල තනියම අඩිය ඉස්සරහට තියල ගහනවා. 
 
එතකොට කොළඹ දේශපාලනය කරනවා කියල හිතාගෙන ඉන්න අය ට්වීට් කරනවා, ෆේස්බුක් එකේ විද්‍යාත්මක ලිපි ලියනවා, දිග ඉංග්‍රීසි WhatsApp මැසේජ් එවනවා. 
 
මංගල ගියේ අන්න ඒ අයව දාල. දැන් කොළඹ ලිබරල් දේශපාලනයට නායකත්වය දෙන්න කියන්නේ සජිත්ටද? නවීන්ටද? රුවන්ටද? අන්න එතන තමා ඇත්ත ෆියුනරල් එක. 
 
මුණට හමුනොවුනාට මගේ දේශපාලනය පුරාවටම මට වැඩියෙන්ම සම්මුඛ වුන පුද්ගලයෙක් තමා මංගල සමරවීර.  
 
මොකක්හරි දේශපාලන අලකලංචියක් නම්, අපිට සැරටම ගහලනම්, අපිට ලෙහන්න බැරි සන්නිවේදන ගැටයක් නම්, කවුරුහරි කියනවාමයි ඕක මංගලගේ වැඩක් වෙන්නැති කියලා. 
 
දේශපාලන සන්නිවේදන ගැටුමේදී බොහෝ අලුත් උපක්‍රම, අලුත් තාක්ෂනය භාවිතය මුලින්ම හදුන්වාදුන්න කෙනෙක් තමා මංගල. 
 
අපි ඒ බිමට එද්දිත් මංගලගේ ඇල්ල බැල්ම සහ ගද සුවද තිබ්බා.
 
 මගෙන් ඕනෑතරම් කට්ටිය අහල තියෙනවා මංගලලාගේ ඩිජිටල් කැම්පේන් එකට ගහන්න වැඩක් දෙන්න පුළුවන් නේද කියලා. 
 
මන් හිතනවා පහු ගිය යහපාලන අවුරුදු පහ මංගලව මොට කළා කියලා. එයාට ආයෙත් හරි ලයින් එක හම්බවුනේ මේ ලගදී. ඒකටනම් මම ගැස්සුනා. 
 
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමුර්තිය, දේශපාලන කාන්තාරයේ මහා වෘක්ෂය වගේ ගොන් පාට් මංගල ගැන ලියන විත්තිය මංගල දැක්කනම් සුරුට්ටුව හපල කනවා. 
 
මංගල පොරක් වෙන්නේ, චන්දෙ දිනුවත් පැරදුනත්, ලග ඉන්න උන් කලකිරුනත් නැතත්, රටේ මිනිස්සු අවලාද නැගුවත් නැතත්, ආණ්ඩු පෙරලුනත් නැතත්, මංගල සමරවීර තමුන් හරියි කියල හිතන දේ නොබියව ලෝකෙට කියනවා. 
 
දේශපාලනේ ඇතුලේ ඒක පට්ට අමාරු වැඩක්. අන්න ඒ අඩුව පුරවන්න සමනළයෙක් තියා පළගැටියෙක්වත් පේන තෙක්මානෙක නෑ. කොළඹට එහෙම සමනල්ලු හදන්නත් බෑ. ගමක ඉදන් පියාබාගෙන ආවොත් මිසක්. 
 
මංගලගේ ගුණ ගයලා ලියපු උන්ගෙන් 10 දෙනෙක් මංගල පෙනීසිටි ලිබරල් දේශපාලන දැක්ම අතට අරන් එතනිනුත් දෙන්නෙක් මංගල වගේ එඩිතර උනොත් එතනිනුත් එකෙක්හරි මේ දේශපාලන බිමේ සටනට ආවොත්, අන්න එදාට අපේ දේශපාලනයට ආයෙත් සමනළ වර්ණ එනවා. 
 
මංගල, ඔයා කැමතිම සිංදුවේ තියනවා වගේ ‘දේදුනු වලටත් එහා තියෙන සිහින සැබෑකරන ලෝකයේ’ ඉදන් කොළඹ දිහා බලන්න. මාතර උන්ගෙ එඩිතරකම මුන්ට නෑ.
 
 
 
 
(මිලින්ද රාජපක්ෂ)
කොළඹ නාගරික මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
 
(Milinda Rajapaksha ගේ ෆේස්බුක් පිටුවෙන්..21/8/25)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ අත්හැර ගිය දේශපාලන සමනළයා - මිලින්ද රාජපක්ෂ | The Leader