මිතුරු රටවල් සතුරු කිරීමට උවමනා වන්නේ පෑනෙන් අත්සනක් දැමීම පමණි.
පෑනට ඇති බය කොතරම් ද කියනවා නම් සමහර රටවල නායකයෝ රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කිරීමක දී තමන්ගේ පෑන හැර වෙනෙකක් නොඇල්ලිමට පවා ප්‍රවේසම් වූ අවස්ථා ගැන මෑත ඉතිහාසය තුල ද ඕනෑ තරම් උදාහරණ ඇත්තේ ය.
ලංකාවේ දේශපාලනය තුල ද එසේමය. මෙරට විධායක ජනාධිපති ධුරය දැරූ නායකයෙක් ලෝක දේශපාලනයේ අතිශය වැදගත් ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් තැබූ පෑන කටුගෙට පරිත්‍යාග කරද්දී තවත් නායකයෙක් බෝල්ට් පොයින්ට් පෑනෙන් විධායක ජනාධිපති ධුරයට අත්සන් තැබූවේ ය.
එරට, මෙරට පෑනේ භූමිකාව එහෙව් එකකි.
අද අප ජීවත් වන ඩිජිටල් ලෝකයේ පවා පෑනට ඇත්තේ නොනැසෙන අනන්‍යතාවයක්.
කෙනකුගේ තරාතිරම සංඛේතවත් කරන, පෞරුෂය පිළිබිඹු කරන මේ අකාලික මෙවලම තමන්ගේ විලාසිතාවක් කරගත් කෙනෙක් මෙරට දේශපාලනයේ සිටියේ නම් ඒ මංගල සමරවීර යි. දේශපාලනය සහ විලාසිතාව දෙකම හැඳිනූ කෙනෙක් ලෙසින් ඔහුගේ තෝරා ගැනීම වුණේ උසස් තත්වයේ ජර්මන් නිෂ්පාදනයක් වන ලැමී පෑන කි. මංගලගේ සාක්කුවේ නිතරම පාහේ තීන්ත වර්ණ තුනකින් යුත් මේ ලැමී පෑන් තුනක් තිබුණි.
ලැමී සන්නාමය ලොව ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් අතර සුප්‍රකට සන්නාමයකි. මේ පෑන් වර්ගය අන්තර්ජාතික මට්ටමේ සුප්‍රසිද්ධ නිර්මාණ ශිල්පින්ගේ අනුදැනුම යටතේ ඊටම අවේනික වූ විලාසිතා භාෂාවකින් නිර්මාණය වන්නකි.මංගල සමරවීර විටෙක සිය දේශපාලන සගයන්ට ද ලැමී පෑන් තෑගී කළේ ය.
2001 සැප්තැම්බර් 05 වැනි දින පාලක පොදුජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අතර පරිවාස ආණ්ඩුවක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී ඔහු විමල් විරවංශට විශේෂ රතු තීන්ත ලැමී පෑනක් තෑගී කර තිබුණි.
මංගල සිය දේශපාලන නැමියාව ද මේ විලාසිතාවට අළලා ගත්තේ ය. ඔහුගේ අත්සන බොහෝ වෙලාවට කොළ පාට තීන්තෙන් ලියවුණේ එනිසා ය.
සරලවම කියනවා නම් ලැමී පෑන මංගලගේ ජීවන විලාසිතාව විය.



