The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
විශේෂාංග

බැලූ බැල්මට ඇදහිය නොහැකි සැබෑ සිදුවීමක් ! - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

October 22, 2021 • 8:33 AM

බැලූ බැල්මට ඇදහිය නොහැකි සැබෑ සිදුවීමක් ! - ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදුබව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානය පොලීසියෙන් වසා දමයි. (පුවත්පත් වාර්තාවක්)
  • මෙවැනි සේවාවක් සැපයීම සඳහා ව්‍යාපාරයක් තිබී ඇතැයි කීමෙන් අදහස් වන්නේ, එවැනි සේවාවක් මිලට ගත හැකි යැයි විශ්වාස කළ ගැණුම්කරුවන් පිරිසක්ද රටේ සිටිය හැකි බවයි.    එහෙව් රටක විකිණිය නොහැක්කේ කුමක්ද යන ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් වන්නේ නැත.
  •   තවත් විදිහකින් කිව්වොත් කාරණය මෙයයි: එනම්, මෙහෙව් රටක මිනිසුන් රැවටීම සඳහා පාවිච්චියට ගත නොහැකි දෙයක් තිබිය හැකිද යන්නයි.    බුදුබව ලබා දීමේ පොරොන්දුව පවා විශ්වාස කරන මිනිසා සිල්ලර දෙයකට නොරැවටී සිටියිද?
  •      බුදු බවට පත්වන්නේ එක් කෙනෙකු පමණක් නිසා, එක අයෙකුට එම සේවාව විකිණීමෙන් පසු එම ව්‍යාපාරය වසා දැමීමට සිදුවන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 බැලූ බැල්මට ඇදහිය නොහැකි දෙයක් සේ පෙනී ගියත්, මෙය සැබෑ සිදුවීමකි. මෙවැනි සේවාවක් සැපයීම සඳහා ව්‍යාපාරයක් තිබී ඇතැයි කීමෙන් අදහස් වන්නේ, එවැනි සේවාවක් මිලට ගත හැකි යැයි විශ්වාස කළ ගැණුම්කරුවන් පිරිසක්ද රටේ සිටිය හැකි බවයි. 
 
එහෙව් රටක විකිණිය නොහැක්කේ කුමක්ද යන ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් වන්නේ නැත.
 
තවත් විදිහකින් කිව්වොත් කාරණය මෙයයි: එනම්, මෙහෙව් රටක මිනිසුන් රැවටීම සඳහා පාවිච්චියට ගත නොහැකි දෙයක් තිබිය හැකිද යන්නයි. 
 
බුදුබව ලබා දීමේ පොරොන්දුව පවා විශ්වාස කරන මිනිසා සිල්ලර දෙයකට නොරැවටී සිටියිද? රැවටිලිකරුවා මෙහිදී නිර්මාණාත්මක දක්ෂයෙකු විය යුතු නැත. ‘දක්ෂ’ කම අවශ්‍ය කරන්නේ, රවටන කෙනාගේ පැත්තෙන් නොව, රැවටෙන කෙනාගේ පැත්තෙනි.  
  
බුදු බවට පත්වන්නේ එක් කෙනෙකු පමණක් නිසා, එක අයෙකුට එම සේවාව විකිණීමෙන් පසු එම ව්‍යාපාරය වසා දැමීමට සිදුවන්නේය. තවත් ගැණුම්කරුවන් සඳහා බුදු බවේ පුරප්පාඩුවක් අනතුරුව ඉතිරි නොවන බැවිනි. 
 
නැත, එසේ වන්නේ නැත. සෑහෙන පිරිසකට මේ භාණ්ඩය විකිණිය හැකි බවට විශ්වාසයක් මේ ව්‍යාපාරිකයාට තිබී ඇති බව අපට අනුමාන කළ හැකිය. එසේ නොවුණි නම් එවැනි ව්‍යාපාරයක් එක් ගැණුම්කුරුවෙකු සඳහා පමණක් ඔහු පටන්ගන්නට ඉඩක් නැති බැවිනි. කෙසේ වෙතත්, එම පිරිස විශාල ප්‍රමාණයක් විය නොහැක. 
 
එහෙත්, මේ ආකාරයේම සේවාවන්, මීට වඩා අඩු මාත්‍රාවෙන් සපයා ගත හැකි යැයි විශ්වාස කරන විශාල පිරිසක් රටේ සිටිති. ඒ, වෙනත් වේශයන්ගෙන් එන හාස්කම් සහ ගුප්ත බලවේග ගැන විශ්වාස කරන්නන් ය. ලංකාවේ දේශපාලනඥයන්ගෙන් අතිබහුතරය ඒ පිරිසට අයත් වෙති. 
 
 
සමහර දේශපාලනඥයන්ගේ අතේ ඇඟිලි බොහොමයක්, තඩි මුදුවලින් පිරී තිබේ. ඒවා, සෞන්දර්යාත්මක අර්ථයකින් පළඳින ඒවා නොවේ. මෑතක සිට තවත් සමහරුන්ගේ අත්වල පිරිත් නූල් කඹ පිටින් ඔතා ඇත්තේද, ඉහත කී ගුප්ත බලවේග පිළිබඳ වෙනත් මාත්‍රාවක විශ්වාසයක් නිසා ය.
 
 
එලියන්ත වයිට්ගේ දරුවන්ට පොලිස් ආරක්ෂාව:
 
 
 
ඔක්තෝම්බර් 19  ප්‍රවෘත්ති වාර්තාවක දැක්වෙන පරිදි එලියන්ත වයිට්ගේ දුවට සහ පුතාට, 21 දෙනෙකුගෙන් යුත් පොලිස් බලඇණියක ආරක්ෂාව සපයා තිබේලු. එලියන්ත වයිට් යනු, කෝවිඩ් උවදුරෙන් මුළු රටම ආරක්ෂා කරගැනීමට තරම් විශ්ව බලයක් ඇතැයි කී පුද්ගලයෙකි. 
 
ඔහුගේ ‘බලය’ විශ්වාස කළ රාජ්‍ය නායකයෝ සිටියහ. මැතිඇමතිවරු සිටියහ. සුපිරි ක්‍රීඩකයෝ සිටියහ. අවසානයේ මුළු රටම කෙසේ වෙතත් තමාගේ ජීවිතයවත් ඒ උවදුරෙන් ආරක්ෂා කරගැනීමට ඔහුට නොහැකි විය. 
 
කෙසේ වෙතත්, පියා මෙන් ගූඪ සහ ආධ්‍යාත්මික බලයකින් නොව, ඉතා ලෞකික පොලිස් බලඇණියක් යොදවා තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට තරම් ඔහුගේ දරුවන් දෙන්නා ප්‍රඥාවන්ත වීම අගේ කළ යුතුය.   
 
120801092306 gore vidal 304x171 ap 
ගෝර් විදාල් නමැති ඇමරිකානු නවකතාකරුවා යම් තැනක කියා ඇති පරිදි, මිනිසා අසාර්ථක වන තරමට හාස්කම් කෙරෙහි විශ්වාසය තබයි. 
 
 
එය අපට තේරුම්ගත හැකිය. ලෞකික ලෝකයේ අඩුව, ආධ්‍යාත්මික ලෝකයේදී පුරවා ගැනීමට බැලීම නිර්මාණාත්මක ආවේශයකි. යතිවරු සම්බන්ධයෙන් ඒ තත්වය අපට දැකිය හැකිය. එහෙත්, ලෞකික ප්‍රශ්නවලට ඒ මගින් පිළිතුරු ලැබෙතැයි සිතීම මුළාවකි.
 
දේශපාලනඥයන් සම්බන්ධයෙන් ගත්තොත්, ඔවුන් මුහුණදෙන ලෞකික ප්‍රශ්නවලට පිළිතුරු ලෞකික දැක්මක් තුළින්ම සොයාගත හැකිය. අවශ්‍ය කරන්නේ විවෘත මනසකින් ඒ පිළිබඳව සොයා බැලීමයි. 
 
එහෙත් එසේ සොයා බලනවා වෙනුවට, තමන්ගේ යල්පැනගිය මතිමතාන්තර මත රැඳී සිටීමට ගොස් මේ දේශපාලනඥයෝ සියල්ල අවුල් කරගනිති. 
 
  
ගෝඨාභය රාජපක්ෂ, මීට පෙර කිසි රාජ්‍ය නායකයෙකු නොකළ අන්දමින් එසේ සියල්ල අවුල් කරගත් නායකයෙකි. රාජ්‍ය පාලනය යනු ප්‍රායෝගික කර්තව්‍යයක් බවත්, මහපොළොවේ පිහිටුවිය යුතු ශාස්ත්‍රයක් බවත් ඔහු අමතක කොට ඇති සෙයක් හෝ නොදැන සිටින සෙයක් බොහෝ අවස්ථාවල පෙනෙන්ට තිබේ. 
 
 
බලයට පත්වූ මුල් කාලයේ බොහෝ ආයතනවලට හදිසියේ කඩාවැදී ප්‍රශ්න එසැණින් නිරාකරණය කළ හැකි බවක් ඔහු විශ්වාස කෙළේය. 
 
රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙක් සරමක් සහ බැනියමක් ඇඳගෙන ගහක් උඩ නැඟගෙන පළාත්වාසීන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන විකාරරූපී දර්ශනයත්, පැලක් ඇතුළේ ඉඳගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ළාමක ආකාරයත් එදා එක්තරා ප්‍රචාරක වැඩසටහනක් ඔස්සේ දකින්නට ලැබුණි.
 
 ඒ සංදර්ශනාත්මක පාලන ශෛලිය අද වන විට සෝඩා බෝතලයක් ඇරිය ගානට වැටී ඇත.
 
 
ප්‍රශ්නය නොතේරීම නිසා විසඳුම මඟහැරීම:
 
 
යම් ප්‍රශ්නයක ප්‍රායෝගික පැත්ත දැකීමේ වැදගත්කම, අද උදේ අන්තර්ජාලයේ ලියා ඇති සටහනකින් දකින්නට ලැබුණි. ලේඛකයාගේ නම වරුණ රත්නභාරතී ය. “කාබනික ගොවිතැන ගැන මගේ සත දෙක..” යන්න එහි මාතෘකාවයි. ඔහුගේ වචනවලින් සටහන මෙසේ ය:
 
 
245942472 4330910517004386 3768368414801756232 n
                               වරුණ රත්නභාරතී
 
 
“2001 කැම්පස් එකෙන් අවුට් වුණ දවසෙ ඉඳලා 2014 වෙනකල් ලංකාවේ කාබනික ගොවිතැන එක්කම රස්සාවක් කරපු නිසාත්, එම්.එස්.සී. ඇතුළු වෙනත් රටවලදී කරපු අනිත් උසස් අධ්‍යාපනික සීන් කාබනික ගොවිතැනට අදාළවම කරපු නිසාත්, මේ වෙලාවෙ මේක ලියන්න ඕනෙ කියලා හිතුණා. තඩි විස්තර නැතුව කාරණා කිහිපයක් කියන්නං:
 
 
1. කාබනික ගොවිතැන කියන්නෙ ඉතා ඉහළ තත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක්.. ඒකට දාන යෙදවුම්, ශ්‍රමය සහ සහතිකරණය ආදියේ මිල අධික නිසාත්, ලැබෙන අස්වැන්න සාපේක්ෂව අඩු නිසාත් අපි අතට එන භාණ්ඩයේ ගාන පට්ට වැඩියි. ඒ කියන්නේ, සාමාන්‍ය හාල් කිලෝ එකකට වඩා කාබනික හාල් කිලෝ එකක්, හතර පස් ගුණයක් ගණං. ඒක තමයි කාබනික භාණ්ඩවල ස්වභාවය.. (කාබනික භාණ්ඩ කිව්වහම ආහාරපාන විතරක් නෙවෙයි, ඇඳුම්, සබන් වර්ග වගේ ලොකු වපසරියක දේවල් තියෙනවා). 
 
 
2. කාබනික නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් තියෙන්නේ, ඉතාම ධනවත් පාරිභෝගිකයන් ඉන්න රටවල්වලින්. ඒ කියන්නේ, ලෝකෙ හැම දේටම සිද්ධවෙන විදිහට, ලෝකෙ තියෙන හොඳම දේ වැඩිපුරම සල්ලි තියෙන සුළු පිරිසක් භුක්ති විඳිනවා. ලංකාවේ කාබනික මාර්කට් එක ගැන දැනගන්න හොඳම විදිහ “ගුඩ් මාර්කට්” එකට ඔළුව දාලා බලන එක. එතනින් බඩු ගන්නෙ කවුද, ඒවායේ මිල ගණන් කොහොමද කියලා බලන එක.. ලෝකේ ගත්තහම, ප්‍රංශය සහ ජර්මනිය වගේ රටවල ඕර්ගනික් (කාබනික) පරිභෝජනය ඉහළ අගයක් ගත්තට, අනික් බොහොමයක් රටවල පාරිභෝගිකයෝ ඕර්ගනික් ගන්න තරං පොහොසත් නැහැ. හැබැයි, වසවිස ගහපුවා ගන්නවත් සල්ලි නැති බර ගානක් ඉන්න රටක, ඒ වගේ පස් ගුණයක් විතර ගනං වැඩි දේවල් ගනිං කියන එක දරුණු තක්කඩිකමක්.. පාන් නැත්නං කේක් කාපං වගේ තමයි. 
 
 
3. කාබනික ආහාර හදනවා නං, සහතිකකරණය අනිවාර්යයි. නැත්නං අපේ ගොයියෝ සුපිරියටම වමට ගසලා කාබනික තමයි කියලා දෙනවා.. ඉතිං, ඕර්ගනික සර්ටිෆිකේෂන් කියන්නේ මිල අධික ක්‍රමවේදයක්. මුළු රටකටම එහෙම එකක් කරන්න ලේසි නැහැ. 2010 දී ලංකාවේ පළවෙනි ඕර්ගනික සර්ටිෆිකේෂන් බොඩි එක අපි පටන්ගන්ද්දී ලංකාවේ තිබුණේ, නෙදර්ලන්ත, ස්විට්සර්ලන්ත සහ ඇමරිකාවල සහතිකකරණ ආයතන විතරයි. දැන් තත්වේ මං දන්නෙ නැහැ. හැබැයි, රටකටම මේ වැඩේ කරන්න තියා හිතාගන්නවත් පුළුවන් තැනක ලංකාව නෑ කියලා නං දන්නවා.
 
 
4. දැන් මේ උසස් වර්ගයේ කෑම රටටම කන්න දෙන්න බැරි හේතුව මොකක්ද? මොන සෙල්ලං දැම්මත්, කාබනික අස්වැන්න ඉතාම අඩුයි. ලංකාවේ දිස්ත්‍රික්ක 20 ක අත්දැකීම් එක්ක කියන්නේ... වැඩි වෙන ජනගහනය එක්ක, අඩු වෙන බිම් ප්‍රමාණය එක්ක, ආහාර නිෂ්පාදනය අම්බානකට වැඩි කරන්න වෙලා තියෙන මොහොතක, ඒක තවත් සියයට 40-50 විතර ප්‍රමාණයකින් අඩු කරගන්න හදන්නෙ හොඳ සිහියකින් නං නෙවෙයි. 1948 දී ලංකාවේ ජනගහනය මිලියන 6 ක් වුණාට, සියයට 60 ක් හාල් ගෙන්නුවේ පිටරටින්. හැබැයි මේ වෙද්දී, මිලියන 22 ක ජනගහනයකට සියයට 100 ක් හාල් රටේම හදනවා.. බිම් ප්‍රමාණය වැඩි වුණේ, 1948 දී වගේ දෙගුණයයි. ඉතිං, මේ සෙල්ලම දැම්මෙ, වැඩි දියණු කරපු ප්‍රභේද, රෝග පලිබෝධ පාලනය සහ වඩාම වැදගත්, පොහොර එක්ක. (පටලවා ගන්න එපා: දැනටත් ගම්වල මිනිස්සු ළඟපාත කැලෑවෙන්, ඕවිටෙන්, ගෙවතු වගාවලින් ගන්නේ සියයට 100 ක් කාබනික කෑම තමයි. හැබැයි, අපි මේ කතා කරන්නෙ, රටක ජනතාවට කන්න දෙන එක ගැන.)
 
 
5. පොහොර සීන් එක ගත්තහම, අපි වගා බිමකින් ගන්න අස්වැන්නට සමාන පොහොර සංඝටක ආපහු වගා බිමට දාන්න වෙනවා. ඒ කියන්නේ, අක්කරයකින් වී බුසල් 100 ක් ගත්තොත්, ඒකට හරියන්න පෝෂක පසට දාන්න ඕනෙ. කාබනික පොහොර ගත්තහම, ඒ අක්කරේට ගොම ලෝඩ් කීයක් දාන්නද? අක්කර දහස් ගානකට ගොම පොහොර, කොළ පොහොර ගේන්නේ මොන ලෝකෙන්ද? රසායනික පොහොර එන්නේ ඒ අවුල ලිහාගන්න තමයි.. මෙතනදී බලන්නේ, සියයට 100 ක් වසවිස නැති හොඳම දේ ලංකාවෙන් සියයට 1 කට විතර කවන්න නෙවෙයි, සාමාන්‍ය කෑම මුළු රටටම කවන්න..
 
 
6. ඉස්සර පොහොර සහනාධාර දෙන්න කෝටි 400000 කට වඩා ගානක් යුක්රේනයට ගෙව්වා. ඒ ගෙවීම්වලට චෙක් එක ලියපු කෙනෙක් දවසක් මට කිව්වා, ඒ ගමන්ම තව චෙක් හතරකුත් ලියනවා කියලා වෙනම නම්වලට.. අර ගනුදෙනුවල කොමිස් චෙක්පත්.. ඒ කෝටි ගානේ චෙක් එකේ ඉලක්කන් පැය ගානක් ගැනපු හැටි ගැන අඩියක් ගහන වෙලාවක පොර කිව්වා. අර අනිත් චෙක්වල බිංදු ගානත් පොඩි නැහැ. ඉතිං වැඩේ ඔහොමයි. මේ වෙලාවේ රටේ සල්ලි නැති නිසා කාබනික පොහොර කොමිස් ගැහිල්ලක් බවට අරකම පරිවර්තනය වෙලා වෙන්න පුළුවන්, චීනෙත් එක්ක සෙට් වෙලා කරන.. චීනෙන් තග දාගෙන හොම්බට ඇනලා පොහොර දෙන්න යන්නෙ..
 
 
7. ලංකාවේ කෘෂිකර්මය මේ වෙද්දී අඩුපාඩු මැද්දෙ වුණත්, ඉතාම හොඳ මට්ටමක, ඒ කියන්නේ රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරගනිමින් කරගෙන යනවා. එහෙම තියෙද්දී, රටේම ඉන්න ඕර්ගනික් ඔස්තාර්ලා කියාගන්න ගොඩවෙද්දුන්ගේ උපදෙස් එක්ක රටම ඕර්ගනික් කරන්න ගියොත් වෙන්නේ, ධම්මික පැණියට, දුම් හට්ටිවලට වෙච්ච වැඩේම තමයි. හැබැයි මෙතන තියෙන භයානක වෙනස, මේ ගොංපාට් එක්ක ගොවීන් ගොවිතැනින් අයින් වෙලා වෙන වැඩ පටන්ගත්තොත්, අදාළ සේවා සපයන ආයතන වැහිලා ගියොත්, ආපහු හැරෙන්න ලේසි නැහැ. එහෙම වුණොත්, ලංකාවේ කෘෂිකර්මාන්තයට, ආහාර සුරක්ෂිතතාවයට කෙලවෙලාම යන්න මේ කාබනික උගුලම බලපාන්න පුළුවන්. එතකොට ආයිමත් පුළුවන්, තවත් කොමිස් ගහගෙන, චීනෙනුයි ඉන්දියාවෙනුයි කෑම ගෙන්නන්න..”
 
 
මේ සටහන අවසානයේ, යම් සභාවක ඔහු කතාවක් පවත්වන ඡායාරූපයක් තිබේ. ඒ ඡායාරූපයට පහළින් වරහන් ඇතුළේ ඔහු මෙසේ ලියා තිබේ:
 
 
(“2008 ඉතාලියේ තිබුණ ‘වර්ල්ඩ් ඕර්ගනික් කොන්ග්‍රස්” එකේදී මගේ රිසර්ච් පේපර් එකක් ප්‍රසන්ට් කරද්දී ගත්ත එකක්. ඒ දශක එකහමාරෙම තිබුණු හැම ඕර්ගනික් වර්ල්ඩ් කොන්ග්‍රස් එකකම මේ ආතල් එක දෙන්න මට පුළුවන් වුණා. මේ වගේ නයි පැටියෙක් අරින්න සිද්ධ වුණේ මට මේවා කතා කරන්න තියෙන සුදුසුකම් මොනවද කියලා කස්ටිය කල්පනා කරන නිසා.)   
 
 
අතුරලියේ රතන හිමියන් කලක් ‘වසවිස නැති’ ශීලයකට සමවැදී සිටියේය. අද ගොවියන් පාරට බැස හතරඅතේ කෑකෝගසද්දී ඔවුන්ට උත්තර බඳින්නට ඒ හිමියන් නැත. සමහරවිට ඔහු දැන් ඒ සිල්, වෙනත් සිල් වාගේම, පවාරණය කොට සිටිනවා ඇති.  
 
 
Gamini Viyangoda Colombo Telegraph(ගාමිණී වියන්ගොඩ) 
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
 
(උපුටා ගැනීම - anidda.lk)
  
 
 
 
 

THE LEADER TV 
 
හොරුන්ට රෙද්දෙ ගිය ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
 
විමල්ට බැසිල්ගෙන් විශේෂ සැලකිලි ! | The Leader TV | Gossip
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...