The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

මංගල නම් බෞද්ධයා - හර්ෂ ගුණසේන

T

The Leader Desk

November 21, 2021 • 7:54 AM

මංගල නම් බෞද්ධයා - හර්ෂ ගුණසේන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ.25 කොළඹ - 26 මාතර)
  • මේ රටේ බහුතරය බෞද්ධ බව ඇත්ත.
  • ඇත්ත වශයෙන්ම විශ්ව නීතිය ගැන කථා කරන දර්ශනයකට තමයි අපි බුද්ධාගම කියල කියන්නේ.” අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා මේ අදහස් ප්‍රකාශ කලේ 2019 මැයි 23 දා පාර්ලිමේන්තුවේදීය.
  • පාර්ලිමේන්තුවෙන් පිටත ඔහු ප්‍රකාශ කළ මේ හා සමාන අදහස් නිසා ඔහු එවකට විශේෂයෙන්ම භික්ෂූන් ගේ බරපතල විවේචනවලට ලක් වෙමින් තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):



“මම කිව්වාම මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ රටක් කියල මට කුණුහරුපෙන් බැන්නා. මේ රටේ බහුතරය බෞද්ධ බව ඇත්ත. නමුත් මේ රට සියලු ශ්‍රී ලාංකිකයන්ට අයිතියි....බුදුරජාණන් වහන්සේ දේශනා කල බෞද්ධ දර්ශනය රටකට ආගමකට ජාතියකට කුලයකට සිමා වුන එකක් නෙවෙයි. ඒක මේ ලෝකයට සිමා වුන දර්ශනයකුත් නෙවෙයි. මේක මුළු විශ්වය ගැනම කථා කරන දර්ශනයක්. ඇත්ත වශයෙන්ම විශ්ව නීතිය ගැන කථා කරන දර්ශනයකට තමයි අපි බුද්ධාගම කියල කියන්නේ.”


අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා මේ අදහස් ප්‍රකාශ කලේ 2019 මැයි 23 දා පාර්ලිමේන්තුවේදීය. එවකට ඔහු මුදල් ඇමති විය. පාර්ලිමේන්තුවෙන් පිටත ඔහු ප්‍රකාශ කළ මේ හා සමාන අදහස් නිසා ඔහු එවකට විශේෂයෙන්ම භික්ෂූන් ගේ බරපතල විවේචනවලට ලක් වෙමින් තිබිණ. සිංහල බෞද්ධ රටක් පිළිබඳව ඔහු මේ ප්‍රකාශ කරන්නේ සත්‍යයයි.  

 

මෙය ලිබරල් මතවාදය බව සමහරු කියති. එසේම  නොවේ. එය සාමාන්‍ය නෛතික තත්ත්වයයි. මෙය සාමාන්‍ය විචාර බුද්ධිය ඇති සියලු දෙනාටම වැටහේ. එමතු ද නොවේ. පසුව කරන ප්‍රකාශය මගින් ඔහු  අසාමාන්‍ය ලෙස බුදු දහම ඔසවා තැබීය. එසේ ඔසවා තැබුව ද ඔහු භික්ෂූන් ගේ සහ සිංහල බෞද්ධයන්ගේ විවේචනයට ලක් විය. මේ කෙටි ලිපියේ අරමුණ “එහෙම වෙන්නේ ඇයි” යන ප්‍රශ්නයට “අයි ඩෝන්ට් නෝ වයි” යනුවෙන් නොකියා යම් පිළිතුරක් දීමට උත්සාහ කිරීමය.

 

ක්‍රි. පූ. පළමුවන ශතවර්ෂයේ වළගම්බා යුගයේ  ඇතිවූ බැමිනිටියා සාගතයෙන් පසු එතෙක් මුඛ පරම්පරාගතව පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදි.  එයින් පසුව අංගුත්තර නිකාය අටුවාවට අනුව පාංසුකූලික සහ ධර්මකථික භික්ෂුන් අතර ඇතිවූ විවාදයක දී නිවන් අරමුණු කරගෙන ප්‍රතිපත්ති රැකීමට වඩා ත්‍රිපිටක ධර්ම ඉගෙනීම උසස් බවට  මතයක් සම්මත විය.

සාසනය පවතින්නේ ත්‍රිපිටකය තිබුනොත් පමණි. දීඝ සහ මජ්ජිම නිකාය අටුවා ද මෙය සනාථ කරයි. මෙය බුදුන්ගේ දැක්මට සපුරා පටහැණි වුවත් බැමිනිටියා සාගතය නිසා මතුවූ සමාජ තත්ත්වය එයට හේතු වන්නට ඇත. දැන් නම් ත්‍රිපිටකය අන්තර්ජාලයේ ද තිබේ.

ධර්මකථික භික්ෂුන් ශක්තිමත් වීම හේතුවෙන් මුල් කාලයේ භික්ෂූන්ගේ පරමාර්ථය වූ මේ ආත්මයේ දීම නිවන් දැකීම අභිබවා මතු නිවන් දකින බලාපොරොත්තුවෙන් ශක්ති පමණින් ආත්මාර්ථ පරාර්ථ දෙකෙහි යෙදීම ඉදිරියට පැමිණියේය.

එවකට අධ්‍යාපනය තිබුනේ පිරිවෙන් ආශ්‍රිතව බැවින් බෞද්ධ භික්ෂූන් ත්‍රිපිටකය මතු නොව වෙනත් ලෞකික විෂයයන් පිළිබඳවද දැනුම ලැබූහ. වර්තමාන භික්ෂුව සිය මූලික අරමුණින් බැහැරට ගෙන ආ පරිවර්තනීය ක්‍රියාදාමය මෙයයි.

එමෙන්ම මහා වංශයේ සිට මෙරට ඉතිහාසය අධ්‍යයනය කරන ලද්දේ ද්‍රවිඩයන්ට එරෙහි සිංහල බෞද්ධ  සංස්කෘතියේ ප්‍රගමනයක් ලෙසයි. නිදර්ශනයක් වශයෙන් එළාර බුදු දහම ආරක්ෂා කළ බව මහා වංශයේම ඔහු ගැන එන විස්තරයෙන් සනාථ වුවත් දුටුගැමුණු ප්‍රධාන කොටගත් වීර කාව්‍යයක් ලෙස රචිත මහා වංශයේ සමස්තාර්ථය ලෙස ලැබෙන පණිවුඩය වන්නේ එළාර බුදු දහම විනාශ කළ බවයි.

අද පවා මෙරටට බරපතලම විනාශය කල ද්‍රවිඩයකු නොවූ කාලිංග මාඝ ට වඩා විනාශයක් එළාර විසින් බුදු දහමට කළැයි සිතන බොහෝ දෙනෙක් වෙති.

 

එකල ජනවාර්ගික යුද්ධ නොවූ අතර යුද්ධ පැවතියේ රජවරුන් සහ කුමාරවරුන් අතර බලය ලබා ගැනීම උදෙසාය. එළාර ගේ හමුදාවේ හරි හරියට සිංහලයන් සිටි අතර මෙරට රජවරු මෙරට සිටි සිය ප්‍රතිමල්ලවයන් සමග යුද්ධ කිරීම සඳහා ද්‍රවිඩ හමුදාවල සහය ලබා ගත්හ. එමෙන්ම සමහර සිංහල රජවරු දකුණු ඉන්දියාව ආක්‍රමණය කළහ.

 

නුවර යුගයේ දී සිංහලයන් ද ද්‍රවිඩයන් ද මුස්ලිම් වරුන් ද ඔවුන්ගේ අනන්‍යතාවන්ට ගරු කරමින් එකට ජීවත් වූ ආකාරය එකල සමාජයෙන් අපට උගත හැකිය.

ඉංග්‍රීසි යුගයේ දී අධ්‍යාපනය අනුක්‍රමයෙන් පිරිවෙන්වලින් ඉවතට ගොස් මිෂනාරීන් අතටද පසුව ගිහියන් අතටද පත් විය. ඒ යුගයේ දී අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ඇතිවූ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයේ සම්පුර්ණ අවධානය තිබුනේ සිංහල ජන වර්ගය  වෙත පමණි. මෙය ඉන්දීය නිදහස් ව්‍යාපාරයට සපුරා වෙනස් විය.

ධර්මපාලතුමා මූලික වශයෙන් සිංහලයන්ගේ සානුකම්පිත තත්ත්වය සහ ඔවුන්ගේ දුර්වල ආර්ථික බලය ගැන දුක් විය. ව්‍යාපාරික පවුලකින් පැවත එන ඔහු රටේ ආර්ථික බලය අන්‍ය ජාතිකයන්ගෙන් සිංහලයන් අතට පත්වනු දැකීමට රුචි විය. එබැවින් ඔහු අන්‍ය ජාතිකයන් විශේෂයෙන්ම මුස්ලිම්වරුන් විවේචනය කළේය. සිංහල බෞද්ධ අනන්‍යතාවය ඔහු අවධාරණය කළේය. “තේ රබර් වැවීම ඉංග්‍රීසින් අතට වී තිබේ. වෙළෙඳාම මරක්කල දෙමළ ජාතීන් අතට පත්ව තිබේ. අප නැති කරන මත්පැන් වෙළෙඳාම පමණක් සිංහලයන් විසින් කරනු ලබන්නේ මන්ද?” (1911 දෙසැ 30 සිංහල බෞද්ධයා)

යටත් විජිත යුගයේ දී සිංහලයන්ට සහ බෞද්ධයන්ට විවිධ අතවරවලට මුහුණ පෑමට සිදු වුවත් ගුණදාස අමරසේකර සූත්‍රගත කරන පරිදි මෙය ජාතික චින්තනය නොවේ. එය බෙදුම්වාදයේ උපතයි. මෙය වර්තමාන සිංහල බෞද්ධ ජාතිකත්වයේ ද උපතයි.

බුදු දහමේ හරයෙන් ඉවතට ගමන් ගනිමින් සිටි භික්ෂූහු ද  මෙම ප්‍රවාහයට අසු වූහ.  පසුව බණ්ඩාරනායක විසින් බලයට ඒම සඳහා පාවිච්චි කළේ ද  මෙම බලවේගයයි.

වර්තමාන පාලක පන්තිය ද බලයට ඒම සඳහා අවුස්සා ගත්තේ මොවුන්ගේ මේ චින්තන ධාරාවයි. මෙම දේශපාලන මැදහත්වීම් නිසා මෙය දැඩි විශ්වාසයන්ගෙන් සමන්විත ආගමක් බවට වර්ධනය වී තිබේ. එය බුදු දහම නොවේ.

මංගල සමරවීර අභියෝග කළේ මෙම තත්ත්වයට එරෙහිවයි. ඉතාම තාර්කික වූ මෙම ක්‍රියාව අපේ රටේ පවතින පසුගාමීත්වය විසින් විවේචනයට ලක් කර ඇත.


(හර්ෂ ගුණසේන)
වරලත් ගණකාධිකාරී 

(උපුටා ගැනීම සමබිම පුවත්පත)

 

Mathaka Mangala 2021.11.18 1

 


1- ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති ! | The Leader TV

 

 

2- මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...