The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

කොවිඩ්: අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව ප්‍රභේදයක්

T

The Leader Desk

November 27, 2021 • 5:36 AM

කොවිඩ්: අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව ප්‍රභේදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි නැවතත් හුරුපුරුදු අත්දැකීමක් ලබන තැනකට පැමිණ සිටිමු. මන්ද, නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ සිත් කලබල කරන පුවතක් නැවත මතුව ඇති හෙයිනි.
  • එය පෙන්වන විකෘතීන්ගේ ලැයිස්තුව කොතරම් දිගු ද යත්, එක් විද්‍යාඥයෙකු එය විස්තර කරනු ලැබුවේ එය ඉතාමත් "බිහිසුණු" ලෙස ය.
  • තවත් අයෙකු අපට පැවසුවේ එය මෙතෙක් ඔවුන් දැක ඇති නරකම ප්‍රභේදයබව යි.
  • නමුත් එය තව දුරටත් ව්‍යාප්ත වී ඇතැ යි පෙන්වන ඉඟි ද දක්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 
මේ නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදය යි. එය පෙන්වන විකෘතීන්ගේ ලැයිස්තුව කොතරම් දිගු ද යත්, එක් විද්‍යාඥයෙකු එය විස්තර කරනු ලැබුවේ එය ඉතාමත් "බිහිසුණු" ලෙස ය. තවත් අයෙකු අපට පැවසුවේ එය මෙතෙක් ඔවුන් දැක ඇති නරකම ප්‍රභේදයබව යි.

මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි දවසක් ගෙවී නැති අතර, තහවුරු කරන ලද රෝගීන් බොහෝකොටම දකුණු අප්‍රිකාවේ එක් ප්‍රාන්තයකට සංකේන්ද්‍රණය වී සිටියි. නමුත් එය තව දුරටත් ව්‍යාප්ත වී ඇතැ යි පෙන්වන ඉඟි ද දක්නට ඇත.

නව ප්‍රභේදය කෙතරම් වේගවත්ව පැතිරෙන්නේ ද, එන්නත මඟින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිභවා යෑමට එයට ඇති හැකියාව කෙසේ ද, ඒ සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ කුමක් ද ආදී ගැටලු මේ වන විට ඔබට මතුව තිබෙනවා විය හැකි ය.

ඒ සම්බන්ධයෙන් බොහෝ අනුමානයන් ඇතත්, පැහැදිලි පිළිතුරු ඇත්තේ අල්පයකි.


අලුත් ප්‍රභේදය ගැන අපි දන්නේ මොනවා ද?

නව ප්‍රභේදය B.1.1.529 යනුවෙන් හැඳින්වෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝවිට අද දිනය තුළ එයට ග්‍රීක කේත නාමයක් ('ඇල්ෆා' සහ 'ඩෙල්ටා' වැනි) ලබා දෙනු ඇත.

එසේම, මෙය ඉතාම දැඩි ලෙස විකෘති වී තිබේ. දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන මහාචාර්ය තූලියෝ ඩි ඔලිවේරා පැවසුවේ එහි "අසාමාන්‍ය විකෘතිතා කාණ්ඩයක්ම" ඇතිබව යි. මෙතෙක් පැතිරුණු ප්‍රභේදයන්ට වඩා එය "ඉතාම වෙනස්යැ"යි ද ඔහු සඳහන් කළේ ය.

"මෙම ප්‍රභේදය අපිව පුදුමයට පත්කළා. ඒක විශාල පරිණාමික පිම්මක් පැනලා තියෙනවා වගේම, අප අපේක්ෂා කරපු තවත් බොහෝ විකෘතිත් ඒකෙ තියෙනවා," ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක දී මහාචාර්ය ඩි ඔලිවේරා ප්‍රකාශ කළේ සමස්තයක් වශයෙන් විකෘතීන් 50ක් පමණත්, ස්පයික ප්‍රෝටීන මත විකෘතීන් 30කට වැඩි ප්‍රමාණයකුත් ඇතිබව යි. බොහෝ එන්නත්වල ඉලක්කය වන්නේ ස්පයික ප්‍රෝටීන වන අතර, එය වෛරසය අපගේ ශරීරයේ සෛල තුළට "ඇතුළුවීමට" භාවිතා කරන යතුර ලෙස හැඳින්විය හැකි ය.

ප්‍රතිග්‍රාහක බන්ධන සෑදෙන අයුරු පිළිබඳව තවත් ළංවී බැලූවිට (අපගේ ශරීරයේ සෛල සමග ප්‍රථමයෙන්ම සම්බන්ධ වන වෛරසයේ කොටස එය යි), ලොව පුරා පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති දෙකට සාපේක්ෂව මෙහි විකෘති 10ක් ඇතිබව පෙනේ.

බොහෝ දුරට මේ තත්ත්වයේ විකෘතිතා ඇතිවන්නට ඇත්තේ වෛරසය පැරදවීමට අපොහොසත් වූ එක් රෝගියෙකුගෙනි.

විකෘතිතා බහුලව තිබූ පළියට ඒවා නරකයැ යි කිව නොහැකි ය. මේ විකෘතීන් මඟින් ඇත්තෙන්ම සිදුවන්නේ කුමක්දැ යි දැන සිටීම වැදගත් වේ.



නමුත් සිත් කරදරයට පත්කරන කාරණය වන්නේ, චීනයේ වූහාන්වලින් මතුවූ මුල් වෛරසයට වඩා මේ නව ප්‍රභේදය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වීම යි. මෙහි අරුත වන්නේ මුල් ප්‍රභේදය යොදාගනිමින් නිපදවූ එන්නත් මේ නව ප්‍රභේදයට එරෙහිව එතරම් සාර්ථක නොවීමේ ඉඩකඩක් ඇතිබව යි.



මින් ඇතැම් විකෘතිතා මින් පෙර මතුවූ අනිත් ප්‍රභේදයන්හි දක්නට ලැබුණු බැවින්, ඒවායේ කාර්යයභාරය කුමක් ද යන්න පිළිබඳ දළ අදහසක් ලැබේ.

උදාහරණ ලෙස, N501Y නම් විකෘතිය මඟින් කොරෝනාවෛරසයේ පැතිරීම පහසු කරයි. ප්‍රතිදේහවලට වෛරසය හඳුනාගැනීම අපහසු කරවන විකෘතීන් ද එහි ඇති අතර, එමඟින් එන්නතේ ඵලදායීතාව පහත හෙළීමට හැකි ය. නමුත් සම්පූර්ණයෙන්ම අලුත් විකෘතීන් ද එහි වේ.

දකුණු අප්‍රිකාවේ ක්වාසූලු-නතාල් සරසවියේ මහාචාර්ය රිචර්ඩ් ලෙසල්ස් මෙසේ පැවසීය: "මේවා [විකෘතිතා] නිසා මේ වෛරස් එකට වඩාත් වේගවත්ව පැතිරීමේ හැකියාවක්, මිනිසෙකුගෙන් මිනිසෙකුට පැතිරීමේ වැඩි හැකියාවක් වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් කොටස්වලින් ගැලවීමේ හැකියාවක් ද තියෙන්න පුළුවන් කියන කණස්සල්ල අපට ඇතිවෙනවා."

මෙසේ බියකරු ලෙස පෙනුණත්, බලාපොරොත්තු වූ අන්දමේ කිසිදු හානියක් සිදු නොකළ වෛරසවලට උදාහරණයන් ද බොහෝ ය. මේ වසර මුල දී බීටා ප්‍රභේදය බොහෝදෙනා තුළ බියක් ඇතිකර තිබුණේ එය ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ගැලවීමේ සමතෙකු වූ නිසාවෙනි. නමුත් අවසානයේ ලෝකය ආක්‍රමණය කළේ වේගවත්ව පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය යි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රවී ගුප්තා පැවසුවේ, "බීටා කළේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ගැලවෙන එක විතර යි, එච්චර යි. ඩෙල්ටාවලට තිබුණා ඉහළ පැතිරීමේ හැකියාවකුත්, ප්‍රතිශක්තියට එරෙහි ප්‍රමාණවත් හැකියාවකුත්. මේ අලුත් ප්‍රභේදයට මේ ගුණයන් දෙකම ඉහළ මට්ටමෙන් තිබීමට ලොකු ඉඩක් තියෙනවා," යනුවෙනි.


Covid-19හි නව ප්‍රභේද දිගින් දිගටම මතුවන්නේ ඇයි?



රසායනාගාර තුළ සිදුකෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින් මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙනු ඇති නමුත්, වඩා ඉක්මන් පිළිතුරු ලැබෙනු ඇත්තේ වෛරසය සැබෑ ලෝකයේ දී නිරීක්ෂණය කිරීමෙනි.

පැහැදිලි නිගමනවලට එළඹීමට තවමත් වේලාසන වැඩි නමුත් කණස්සල්ලට හේතු වන ලකුණු දැනටමත් දක්නට තිබේ.

මේ වන විට දකුණු අප්‍රිකාවේ ගෞටෙන් දිස්ත්‍රික්කයෙන් තහවුරු වූ රෝගීන් 77ක් වාර්තා වන අතර, බොට්ස්වානාවෙන් රෝගීන් සිව්දෙනෙකු ද, හොංකොංවලින් එක් රෝගියෙකු ද (දකුණු අප්‍රිකාවට කළ සංචාරයක් සමග සෘජුව සම්බන්ධ ය) වාර්තා වී ඇත.

කෙසේ නමුත්, මේ ප්‍රභේදය වඩාත් පුළුල්ව පැතිරී ඇතිබවට සාධක තිබේ.

මෙම ප්‍රභේදය සම්මත පරීක්ෂණවල දී අපූරු ප්‍රතිඵල ('S-gene dropout' ලෙස හැඳින්වේ) ලබා දෙන බව පෙනෙන්නට ඇති අතර, සම්පූර්ණ ජාන විශ්ලේෂණයකින් තොරව ප්‍රභේදය නිරීක්ෂණය කිරීමට මෙය භාවිතා කළ හැකි ය.

එයින් ඇඟවෙන්නේ දැනටමත් ගෞටෙන්හි රෝගීන් 90%කට වැළඳී තිබෙන්නේ මෙම ප්‍රභේදය විය හැකි අතර, එය දකුණු අප්‍රිකාවේ "බොහෝ පළාත්වල දැනටමත් පැවතිය හැකි"බව යි.

කෙසේ නමුත්, මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන්නේ ද, ඊට වඩා දරුණු ද, එන්නත මඟින් ලබාදෙන ප්‍රතිශක්තියෙන් ගැලවීමේ හැකියාවක් තිබෙන්නේ ද ආදී තොරතුරු එමඟින් පැවසිය නොහැකි ය.

එසේම, ජනගහණයෙන් 24%ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත්කර ඇති දකුණු අප්‍රිකාවට වඩා ඉතා ඉහළ එන්නත් අනුපාතයක් ඇති රටවල මෙම ප්‍රභේදය කෙතරම් හොඳින් ව්‍යාප්ත වේදැ යි මෙයින් කිව නොහැකි ය. කෙසේ නමුත් එරට විශාල පිරිසකට කොවිඩ් වැළඳී තිබේ.

එබැවින්, දැනට අපට ඉතිරිව ඇත්තේ අපගේ දැනුමේ විශාල සිදුරු ඇතත් අප තුළ සැලකිය යුතු කණස්සල්ලක් ඇති කරවන කොවිඩ් ප්‍රභේදයක් සමග කටයුතු කිරීම ය. එය සමීපව නිරීක්ෂණය කළ යුතු ප්‍රභේදයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කවදා කුමක් කළ යුතු ද යන්න වැනි ප්‍රශ්න ඇසීමට අපට සිදුවේ.

වසංගතයෙන් අප උගෙන ඇති පාඩම නම්, සියලු පිළිතුරු අප වෙත ලැබෙන තෙක් බලාසිටීමට අපට නොහැකිබව යි.

(BBC සිංහල සේවය)

 
 

 

 


 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොවිඩ්: අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව ප්‍රභේදයක් | The Leader