The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද? - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

December 31, 2021 • 7:21 AM

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද? - ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ.
  • තවත් ඉතා වැදගත් මුල් පුටුවල කරන ලද වෙනස්කම් දැන් අපට මතක නැති වෙන ගානට වැටී ඇත.
  •   බැසිල් රාජපක්ෂගේ සම්ප්‍රාප්තියෙන් පසුව, එතෙක් පැවති ආර්ථිකය තවත් අඩියකින් හෝ පස්සට ගියා විනා, අඟලකින්වත් ඉස්සරහට ගිය බවක් නම් පෙනෙන්ට නැත.
  • ගිය සතියේ අපේ විදේශ සංචිතය ඩොලර් මිලියන 1.2 දක්වා පහළ වැටී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ.

කැබිනට් මණ්ඩලයේ වෙනසක් අලුත් අවුරුද්දේ සිදුවිය හැකි වෙතත්, (ඉස්සර, ජනේරුවට අපිත් අලුත් ඇඳුම් ඇන්දා), රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවා ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ‘ශූර’ ඥානයක් ගෝඨාභයටවත්, මොළේ අමාරුවක් රනිල් වික්‍රමසිංහටවත් තිබේද යන්න සැකසහිත ය.  

අලුත් තනතුරු, අලුත් පත්වීම් කීයක් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දැන් අප දැක තිබේද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් ලේකම්වරුන් හතර දෙනෙකු මේ වන විට විටින්විට අලුතෙන් පත්කොට තිබේ. තවත් ඉතා වැදගත් මුල් පුටුවල කරන ලද වෙනස්කම් දැන් අපට මතක නැති වෙන ගානට වැටී ඇත.

විදේශ ඇමති වශයෙන් සිටි දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමති පුටුවේ වාඩි වී, අධ්‍යාපන ඇමති වශයෙන් සිටි ජී. ඇල්. පීරිස් විදේශ ඇමති පුටුවට මාරු විය. එවිට අධ්‍යාපනයත් දියුණු වී, විදේශ කටයුතුත් දියුණු වන්නේලු.

මුදල් ඇමති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂගේ අකාර්යක්ෂමතාව නිසා රටේ ආර්ථිකය කඩාවැටී ඇතැයි සිතාගෙන මෙන්, ඒ ආර්ථිකය සහ මූල්‍ය තත්වය බැසිල් රාජපක්ෂගේ බුද්ධියෙන් සහ දැනුමෙන් (මොළ හතෙන්) ගොඩගත හැකි යැයි කියමින්, මහින්ද රාජපක්ෂ ඉවත් කොට බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාට අපේ මුදල් ආර්ථිකය භාර දුනි. 

 
(දැන් නම්, ඇමරිකාවට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව හීනෙන්වත් නොබණින්නැයි රාජපක්ෂවාදීන්ගෙන් සහ රාජපක්ෂවාදය සමග සිටින ඊනියා සමාජවාදීන්ගෙන්, දණ නමා ආයාචනා කරනු කැමැත්තෙමි).
 
IMG 20211231 WA0009

බැසිල් රාජපක්ෂගේ සම්ප්‍රාප්තියෙන් පසුව, එතෙක් පැවති ආර්ථිකය තවත් අඩියකින් හෝ පස්සට ගියා විනා, අඟලකින්වත් ඉස්සරහට ගිය බවක් නම් පෙනෙන්ට නැත.



ගිය සතියේ අපේ විදේශ සංචිතය ඩොලර් මිලියන 1.2 දක්වා පහළ වැටී තිබුණි.

දෙසැම්බර් 28දා මාධ්‍යයට අදහස් දක්වමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා තිබුණේ අද වන විට එම සංචිතය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ නංවා ගැනීමට තමන්ට හැකි වූ බවයි. ඒ මට්ටම මේ වසර අවසානය දක්වා පවත්වා ගැනීමට තමන්ට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවත් ඒ සමගම ඔහු කියා තිබුණි.

IMG 20211229 WA0064

මහබැංකු අධිපති නොකියන රහස ?


මේ වසරේ අවසානය යනු කවදාද? මේ ලිපිය ඔබ අතට පත්වන දිනය වන විට මේ වසර අවසන්ව දින දෙකකුත් ගතව තිබෙනු ඇත. ඉතිං, මහබැංකු අධිපතිවරයා මේ කියන්නේ, දවස් කිහිපයක් දක්වා පමණක් පවත්වා ගැනීමට සමත්ව තිබෙන ‘ප්‍රාතිහාර්යයක්’ ගැනයි.

ඒ කතාව පැත්තකින් තියන්න: මේ ප්‍රාතිහාර්ය, එනම් මේ කියන ඩොලර් බිලියන 3.1 හදාගත්තේ කෙසේදැයි ප්‍රශ්න කරන විට මහබැංකු අධිපතිවරයා කියන්නේ එය ‘රහසක්’ බවයි.
 
 
මීට කලින්, ඩේසි ආච්චි කෙනෙකුට මැණික් මල්ලක් ලැබුණු බවත්, එය කවුරුන් විසින් ඇගේ ගේ දොරකඩ ගෙනැවිත් තබා ගොස් ඇත්දැයි ඈ නොදන්නා බවත්, ඉන්පසුව ඒ මැණික් මල්ල මුදල්වලට හැරෙව්වේ කෙසේදැයි ඈ නොදන්නා බවත් අප අසා තිබේ. මල්වානේ මහ මන්දිරය කාගේදැයි තමා නොදන්නා බව බැසිල් රාජපක්ෂ උසාවිය ඉදිරියේ කියා ඇති බවත් අපට මතකයි. මහබැංකු අධිපතිවරයාගේ කතාව එවැන්නක් නොවෙතැයි දැනට අපි විශ්වාස කරමු.
 
 
විදේශ සංචිතය යනු, ‘අතින් කටට’ ගිණුමක් නොවේ.


දිනපතා යම් විදේශ මුදල් ප්‍රමාණයක් අපේ බැංකු පද්ධතිය තුළට කොහොමත් ලැබීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ අනුව, අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් සහ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ආදී වශයෙන් ඩොලර් යම් ප්‍රමාණයක් සතියක් තුළ ලැබිය හැකිය.

එහෙත් ඒ මුදල එම සතිය තුළ ලැබුණු පමණින් එය තමන්ට ස්ථාවර භාවයක් සපයාදෙන ධනයක් වශයෙන් අර්ථගැන්වීම සමාන වන්නේ, උදේ සතයක්වත් අතේ නැතිව සිටි දෛනික කම්කරුවෙකු හැන්දෑවේ පඩි ලැබුණු විට දැන් තමන් රුපියල් දෙදහසක පොහොසතෙකියි කීමට සමාන ය.

රුපියල් දෙදහසක මුදලක් හවස පඩි ගැනීමෙන් පසු මේ කම්කරුවා, තමන් විසින් උදේ ඉල්ලා ගත් ණය ගෙවිය යුතු අතර, රෑ කෑමට සහ පසුවදා කෑමට, තමන්ටත් තම පවුලේ දරුමල්ලන්ටත් අවශ්‍ය ආහාරපානාදිය අරගෙන ගෙදර යා යුතුය. එසේ වූ පසු, හෙට උදේට ඔහු සිටින්නේ, ඊයේ උදේ සිටි හිඟන තත්වයේමයි.

මහබැංකු අධිපතිවරයා පාරම්බෑව රුපියල් බිලියන 3.1 සැබෑවක් වූවත්, එය සමාන වනු ඇත්තේ ඒ කම්කරුවාගේ තත්වයටයි.

එසේ නොවන්නට නම්, දෛනික වියදම් පියවීමෙන් පසුව, අඩුම වශයෙන් ඩොලර් බිලියන හයක පමණ සංචිතයක්වත් නිත්‍ය වශයෙන් ඉදිරි මාස තුන දක්වාවත් නඩත්තු කරගැනීමට, හෙවත් අතේ රඳවා ගැනීමට තරම් ආදායමක් හෝ ආධාරයක් හෝ ණයක් හෝ අපට ලැබිය යුතුව තිබේ.
 
 
ලබන ජනවාරි මාසයේ පමණක් අප විසින් ගෙවිය යුතුව තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 500 කි. ලබන අවුරුද්ද තුළ අප විසින් පියවිය යුතුව ඇති ණය සහ පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 7 කි.  
 
 
ඉන්දියාව සහ චීනය යම් ණය මුදලක් සහ අතමාරුවක් සපයා දීමට කැමැත්තෙන් සිටින බව පසුගිය දා වාර්තා විය. ඒ පිළිබඳ සාකච්ඡා අවසන් වූ සැණින් එම ණය මුදල් සහ අතමාරුව ලැබෙනු ඇතැයි කියැවෙයි.

එය සත්‍යයක් විය හැකිය. එසේ වුවහොත්, ඊළඟ අවුරුද්දේ පළමු කාර්තුව තිස්සේම, එනම් මාර්තු අවසානය දක්වාම රුපියල් බිලියන 3 ක පමණ විදේශ මුදල් සංචිතයක් ආරක්ෂා කරගැනීමට ආණ්ඩුවට හැකි වෙතැයි උපකල්පනය කළ හැකිය.

එහෙත් එය, මේ මොහොතේ ඇති කරගත හැකි උපරිම මට්ටමේ සොඳුරු අපේක්ෂාවක් මිස යථාවක් නොවීමට ඉඩ ඇති බවත් අමතක නොකළ යුතුය. මන්ද යත්, ඉදිරි මාස කිහිපයක කාලය ඒ තරම් හෝ අපේක්ෂා දල්වා ගැනීමට තරම් අපේ හිතසුව පිණිස වේ යැයි හිතාගැනීම දැනට උගහට බැවිනි.


අතමාරුවක්, එදා වේල පිරිමැසීමට හොඳයි
 
 
තේ සඳහා ණය හිලව් කිරීමට ඉරානය උනන්දු වීම පුදුමයක් නොවේ.
 
 
මුලින්ම, මේ ලබාගන්නා ණය යනු, තවත් අපේ ණය කන්ද උසට ඔසවන තත්වයක් බව අප මතක තබාගත යුතුය. ණය හැරුණු කොට, ඊට අමතරව, රටවල් දෙකක් අතර කෙරෙන අතමාරුවක් යනු, මුදලින් ලැබෙන ණයක් නොවේ.

 උදාහරණයක් වශයෙන් ගත්තොත්, පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි, ඉරානය සහ ලංකා ආණ්ඩුව අතර එවැනි හුවමාරුවක් ඇති කරගැනීම ගැන සාකච්ඡා පටන්ගෙන තිබේ.

ඒ මෙසේ ය: අද වන විට, පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ අපේ රටට තෙල් ආනයනය කිරීම වෙනුවෙන් ලංකාව විසින් ඉරානයට ගෙවිය යුතුව තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 251 කි.

ඇත්ත වශයෙන්ම, එතරම් ණයක් ප්‍රමාණයක් ගොඩගැසෙන තෙක් සිටින්නට ලැබීමත් අපේ වාසනාවකි. ඒ වාසනාව අපට ලැබුණේ, ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක නිසා ය. එනම්, ඉරානය සමග වෙළෙඳාම තහනම් නිසා ය. ඉරානය සමග මුදල් ගනුදෙනු කිරීම තහනම් නිසා ය.

එනම්, කටුනායක ගුවන්තොටුපොළෙන් හොරෙන් සාක්කුවේ දාගෙන ඩොලර් තොගයක් ගෙන ගොස් ඉරානයේ තෙල් සඳහා අප විසින් ගෙව්වොත් මිස, එසේම, අපේ තේ සඳහා ඉරාන නිලධාරියෙකු ඩොලර් තොගයක් සාක්කුවේ දාගෙන ටෙහෙරාන් නුවරින් ගුවන්ගත වී ලංකාවට ඇවිත්, අපේ තේ මණ්ඩලයට ගෙව්වොත් මිස, ආර්ථික සම්බාධකවලට යටත්ව තිබෙන සහ ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටින ලෝක බැංකු ක්‍රමය හරහා එම මුදල් ගෙවීමේ හෝ ලැබීමේ හැකියාවක් අප දෙරටටම නොලැබෙන බව ය.

ඒ තත්වය, මේ මොහොතේ විදේශ විනිමය හිඟයකට මුහුණදී සිටින අපේ ආණ්ඩුවේ වාසියට සිටියේය. එහෙත්, ඉරානය හැමදාමත් එසේ තමන්ගේ ණය හිමිකම අතහැරීමට කැමති නැත. එසේම, අපටද අලුතෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් ඇත්තේ නැත.

ඒ නිසා, ඉරානයත් විශාල ඩොලර් හිඟයකට මුහුණදී ඇති තත්වය තුළ, ඔවුන් විසින් වැඩියෙන් පරිභෝජනය කරනු ලබන, අපෙන් ආනයනය කෙරෙන තේ සඳහා ඒ ණය හිලව් කිරීමට උනන්දු වීම පුදුමයක් නොවේ. ඒ අනුව, මුල් වටයේදී ඩොලර් මිලියන 5 ක් වටිනා තේ අපෙන් එරටට අපනයනය කරනු ලැබේ. ඒ ප්‍රමාණයට සරිලන පරිදි අපේ ණය හිලව් කෙරේ. ඒ ආකාරයෙන් දිගටම, අප විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය පියවෙන තෙක් අප විසින් ඉරානයට තේ සැපයිය යුතුය.
 
 
කෙසේ වෙතත් මෙය, ආණ්ඩුවේ විදේශ සංචිතය පිළිබඳව අද මුහුණදී සිටින අමාරු තත්වයට තාවකාලික පිළියමක් මිස, රටේ මූල්‍ය අර්බුදයට විසඳුමක් නොවේ.
 
 
එපමණක් නොව, එයින් අපේ තේ කර්මාන්තකරුවාට වාසියක් අත්වන්නේද නැත. ඊට හේතුව වන්නේ, නැවතත්, කබ්රාල්ගේ මෝඩ මූල්‍ය ප්‍රතිපත්තියයි. ඩොලරයේ අගය බලහත්කාරයෙන් රුපියල් 200 සීමාව තුළ හිරකරගෙන තබාගැනීමට ඔහු තවමත් තටමන නිසා, අපේ තේ අපනයනකරුවාට එක තේ කිලෝවකට ලැබෙන රුපියල් ප්‍රමාණය රුපියල් 40 කින් පමණ අඩු වන්නේය.

මන්ද යත්, ඉරානයට යවන තේ කිලෝවකට අපේ තේ මණ්ඩලය තේ අපනයනකරුවාට ගෙවන්නේ, ඩොලර්වලින් නොව, රුපියල්වලින් බැවිනි. ඒ, එක ඩොලරයට රුපියල් 210 ගණනේ ය.
 
 
එහෙත්, විවෘත වෙළෙඳපොළේ ඩොලරයක මිල රුපියල් 250 කි. ඒ අනුව, අපේ තේ අපනයනකරුවාට, තමන් ඉරානයට යවන සෑම තේ කිලෝවකින්ම රුපියල් 40 ක පාඩුවක් විඳින්නට සිදු වෙයි. මේ නිසා තේ නිෂ්පාදකයා ඉරානයට තේ යැවීමට පසුබට වෙනු ඇත. එය හරියට, මැද පෙරදිග සේවය කරන ලාංකිකයන්, පසුගිය මාසයේ ලංකාවට මුදල් එවීම හැකිතාක් අඩු කොට ඇතිවා සේ ය.
 
 
විධායක ජනාධිපති ක්‍රමය යටතේ ආණ්ඩු දෙකක් තිබේ:
 
 
යහපාලන ආණ්ඩුවේ අවසාන වසර දෙකේ අවුල සිහියට නඟාගන්න.
 
 
 
මෙයින් පෙනී යන්නේ පැලැස්තරවලින් වර්තමාන මූල්‍ය සහ ආර්ථීක අර්බුදය ජයගත නොහැකි බවයි. එසේ තිබියදී කවුරු හෝ වෙනත් පුද්ගලයෙකු අගමැති කොට, කැබිනට් මණ්ඩලයේත් වෙනස්කම් ඇති කොට අලුත් ආණ්ඩුවක් මේ පවතින පාර්ලිමේන්තුව තුළින්ම හදාගත්තා යැයි අපි සිතමු.

එම ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද? ගෝඨාභය රාජපක්ෂගේ සහ පොහොට්ටුවාදීන්ගේ ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්තියද? එසේ නැතහොත්, ඇතැමුන් කියා සිටින්නා සේ, මේ ආණ්ඩුව පෙරලුවොත් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් පක්ෂයක නායකත්වය යටතේ අලුත් පාර්ලිමේන්තුවක් සහ අලුත් ආණ්ඩුවක් පත්කරගත්තොත් හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට හැකි වේද?

එසේ පවතින ආණ්ඩුව පෙරළීමෙන්, දේශපාලනික සහ ආර්ථික ගමන් මඟ යම්තාක් වෙනස් කළ හැකි ක්‍රමයක් මීට වසර 44 කට කලින් තිබුණි. ඒ, විධායක ජනාධිපති ක්‍රමයක් නොතිබුණු කාලයයි. අද පවතින විධායක ජනාධිපති ක්‍රමය යටතේ පවතින්නේ, ඇත්ත වශයෙන්ම ආණ්ඩු දෙකක් එක විට ඇති විය හැකි තත්වයකි. එකක්, ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි. අනික, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක ආණ්ඩුවයි.

එවැනි ආණ්ඩු දෙකක් මේ මොහොතේ නොපවතින්නේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය එකම පක්ෂයක් සහ එකම කඳවුරක් (සහ එකම පවුලක්) නියෝජනය කරන බැවිනි.
 
 
එහෙත්, අනිත් අතට මෙසේ සිතන්න: පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැර පවත්වන හදිසි ඡන්දයකින් සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවක් පිහිටුවතැයි සිතන්න. එහෙත්, 2024 දක්වා ජනාධිපති වශයෙන් සිටිනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ය. අතීතයෙන් පාඩමක් අවශ්‍ය නම්, සිරිසේන සහ වික්‍රමසිංහ හොඳටම තරහ වීමෙන් පසු ගත වූ, යහපාලන ආණ්ඩුවේ අවසාන වසර දෙකේ අවුල සිහියට නඟාගන්න.
 
 
ඉන්තේරුවෙන්ම කුමන්ත්‍රණකාරී ලණුවක්:


මේ නිසා, වර්තමාන ආණ්ඩුව 2024 ට කලින් පෙරලා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි කියන කතා, සටන්කාමීත්වයක් ප්‍රදර්ශනය කිරීමට හොඳ වෙතත්, ප්‍රායෝගික දේශපාලනයට සහ රටේ සුභසිද්ධියට වැඩක් නැති නිරර්ථක කාර්යයක් පමණක් නොව, අලුත් සමාජාර්ථික ගමන් මඟක යාමට ඇති අනාගත ශක්‍යතා පවා අද සිටම විනාශ කරගන්නා ගමන් මාර්ගයක්ද වන්නේය.

දැන් මෙසේ සිතන්න: ගෝඨාභය රාජපක්ෂ හැම අතකින්ම අසාර්ථක, අදක්ෂ සහ අදූරදර්ශී නායකයෙකු බවත්, ඔහුගේ (වියත් මඟ සහ රාජපක්ෂ බළඇණිය ඇතුළු) කඳවුර තමන් විසින්ම කපා ගත් ගැඹුරු අගාධයක අද වැටී සිටින බවත් නොරහසකි.

එසේ නම්, (අලුතෙන් පත්වන) ඔහුගේ කඳවුරේ නොවන වෙනත් ඕනෑම අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් සමග ඔහු කටයුතු කරනු ඇත්තේ, ඒ වළෙන් ඔහුට ගොඩඒමට හැකි උපායමාර්ගික අත්වාරුවක් වශයෙන් ඒ ආණ්ඩුව පාවිච්චි කිරීමේ එල්ලය ඇතිව ය. එනම්, සියලු කුණු බේරේ වැවට බැස්සවීමෙනි. උපන් දා සිට කරපු වැරදි කැළණි පන්සලට ගොස් සෝදා හැරීමෙනි.

ඒ නිසා, රාජපක්ෂවාදී ආණ්ඩුව මේ මොහොතේ පෙරළීම යනු, ඉන්තේරුවෙන්ම කුමන්ත්‍රණකාරී ලණුවක් බව කිව යුතුය.
 
 
 
දැන් ඔබේ සිතේ මෙවැනි ප්‍රශ්නයක් මතුවිය හැකිය: මොහුට (මට) උවමනා කරන්නේ, රට තව තවත් ප්‍රපාතයට ඇදවැටෙනු බලා සිටීමටද? එය, එක්තරා විදිහක පරපීඩාකාමී ආත්මාර්ථකාමීත්වයක් නොවන්නේද? සියලු පක්ෂ සහ කඳවුරු එක්සත් වී රට ගොඩගැනීමේ ආයාසයක නොවේද මෙවේලේ අප කවුරුත් නිරත විය යුත්තේ?
 
 
ඒ කල්පනාව ප්‍රශස්තයි. එහෙත් ප්‍රායෝගිකත්වය, අතපෙවිය නොහැකි තරමට, දුරස්ථයි. විධායක ජනාධිපති ක්‍රමයක් මෙරටේ තිබෙන තාක් කල්, ඒ සොඳුරු සිහිනය, නින්දේදී පමණක් බැලීමට තබාගත යුතු විදර්ශනාවකි.

ඇත්ත ලෝකය සමන්විත වන්නේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, එක පෙකෙණිවැලකින් සම්බන්ධ වී තිබිය යුතු ධූරාවලියකිනි. එය, දැනට පවතින මූලික ව්‍යවස්ථාමය පූර්ව කොන්දේසියයි.


වර්තමාන ආණ්ඩුව මේ අගාධයට වැටුණේ කෙසේද?
 
 

ඊළඟට, වර්තමාන ආණ්ඩුව මේ අගාධයට වැටුණේ කෙසේද යන්න සොයාබැලීමේදී අපට හමුවන ප්‍රධාන කාරණා කිහිපයක් තිබේ. ඉන් තුනක් ප්‍රමුඛයි.

1- පළමුවැන්න වන්නේ, ඔවුන්ගේ ජාතිකවාදී ආර්ථික සහ දේශපාලනික මොඩලයයි. එය, ගොම පොහොර දේවත්වයට පත්කිරීමට තරම් සාහසික ය. ගලගොඩඅත්තේ ඥානසාර, නීතියේ දේවතාවා කිරීමට තරම් මුග්ධ ය.


2-  දෙවැන්න වන්නේ, ඒ ජාතිකවාදී මාවත සමග ගැටගැසී කාලයක් තිස්සේ එක දිගට ප්‍රවර්ධනය කෙරුණු (රාජපක්ෂ) පවුල්වාදී ග්‍රාම්‍ය චින්තනයයි. (දැන්, මහින්ද වෙනුවට බැසිල්... එදා නඩුවක විනිශ්චයක් පිළිබඳ අනියමාර්ථයක් පැවති මොහොතක, ගෝඨාභය වෙනුවට චමල්...)


3- තෙවැන්න වන්නේ, එහිම අතුරුඵලයක් වන, අසීමිත දූෂණය, නාස්තිය සහ සොරකම, පොහොසත් රටකට වුව ඔරොත්තු නොදන මට්ටමට ආයතනගත වී තිබීමයි. (සුදු ලූනු, පොල්තෙල්, සීනි, පොහොර, ගෑස්, යුගදනවි, පුද්ගලික ජෙට් යානා...)



මගේ තර්කය මෙයයි: මේ සියල්ල එකට ගත් විට, සංකීර්ණ අවුල් ජාලයකි. එය කැබිනට්ටුවේ ඔළු මාරු කිරීමෙන් හෝ ජනාධිපති එසේම සිටියදී ආණ්ඩුව වෙනස් කිරීමෙන් හෝ කළ හැකි නොවේ. ඒ සඳහා, ප්‍රශ්නයේ මූලය වෙත දිවෙන, නව ආර්ථික දැක්මක් සහ නව සංවර්ධන සැලැස්මක් අවශ්‍ය කෙරේ.
 
 
ඊට අමතරව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන හෝ රැඩිකල් සංශෝධනයකට භාජනය කෙරෙන දිශානතියක් අවශ්‍ය කෙරේ. එසේ නොමැතිව, හුදෙක් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා පමණක්ම තදියම් වීම, කබලෙන් ලිපට වැටීමක් වනු ඇත.


GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)




Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip

  

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...