The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද? -(ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

January 21, 2022 • 9:09 AM

කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද? -(ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව,
  • බලශක්ති ඇමතිවරයා දැන් කියා ඇති පරිදි, විදුලි ජනනය සඳහා ඉන්ධන සැපයුවොත්, යානවාහන සඳහා සැපයීමට ඉන්ධන ඉතිරි නොවනු ඇත.
  • යානවාහන සඳහා ඉන්ධන දුන්නොත්, විදුලි ජනනය සඳහා ඉන්ධන දීමට බැරි වනු ඇත.
  • අද පුවත්පත් (20) වාර්තා කරන පරිදි, කැළණිතිස්ස තාප බලාගාරය ඊයේ මධ්‍යහ්නයේ සිට මුළුමණින් ඇනහිට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති බව අවබෝධ වන්නට පටන්ගෙන තිබේ.

බලශක්ති ඇමතිවරයා දැන් කියා ඇති පරිදි, විදුලි ජනනය සඳහා ඉන්ධන සැපයුවොත්, යානවාහන සඳහා සැපයීමට ඉන්ධන ඉතිරි නොවනු ඇත. යානවාහන සඳහා ඉන්ධන දුන්නොත්, විදුලි ජනනය සඳහා ඉන්ධන දීමට බැරි වනු ඇත.

අද පුවත්පත් (20) වාර්තා කරන පරිදි, කැළණිතිස්ස තාප බලාගාරය ඊයේ මධ්‍යහ්නයේ සිට මුළුමණින් ඇනහිට තිබේ. හේතුව, එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබී තිබීමයි.  

විදුලිය කැපීම යැයි කී සැණින් අපේ කල්පනාවට එන්නේ කළුවරේ සිටීමට සිදු වීම ගැන ය. අද වැනි පෘථුල, සංකීර්ණ, නූතන නිෂ්පාදන පද්ධතියක් සහිත සමාජයකට, විදුලිය කැපීමෙන් කළුවරේ ඉන්නට වීම යනු, විය හැකි අඩුම අලාභයයි.

 

එහෙත් ඒ විදුලිය කැපෙන පැය තුළ රටක නිෂ්පාදන යාන්ත්‍රණය නතර වීම විශාල නස්පැත්තියකි. දිනපතා පැයක විදුලිය කප්පාදුවක සතියක පාඩුව, සමස්ථ ආර්ථිකයේ නිෂ්පාදන වටිනාකමින් මණින්නට වන්නේ, බිලියන ගණනින් නොව, ට්‍රිලියන ගණනිනි.

 

අනිත් අතට, විදුලිය ජනනය සඳහා ඉන්ධන සැපයීමට ගොස් යානවාහන සඳහා ඉන්ධන නොදී සිටියොත් ඇති වන ආර්ථික අබග්ගයත් ඊට අඩු එකක් නොවේ. එය, මගේ කාර් එකට පෙට්‍රල් නැති වීමේ ප්‍රශ්නයෙන් එහාට ගිය, සමස්ත ප්‍රවාහන පද්ධතිය අඩපණ වීමෙන් යළිත් නිෂ්පාදන යාන්ත්‍රණය ඇනහිටීම පිළිබඳ ප්‍රශ්නයකි.


වරද කාගෙද?


“ගෙදර ගියොත් අඹු නසී-මඟ සිටියොත් තෝ නසී” වැනි තත්වයකට අද අප පත්ව ඇති බව මෙයින් පෙනේ. මේ අහේනිය කඩාපාත් වුණේ කෙසේද? ඒ සඳහා නිදහසට හේතුවාචක ගණනාවක් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කෙරේ.

කෝවිඩ් වසංගතයට මුහුණදීමට සිදුවීම ඉන් ප්‍රමුඛයි. එහි යම් ඇත්තක් තිබේ. එහෙත් සම්පූර්ණ කතාව එතැන නැත. අප වාගේම හෝ අපටත් වඩා කෝවිඩ් වසංගතයට බිළි වූ අනිත් රටවල්වල, ගෑස් පෝලිම් සහ පිටි පෝලිම් නැත්තේ මන්දැයි ආණ්ඩුව අපට කියාදෙන්නේ නැත.

අප මෙන් ඔවුන් පැයක් හෝ කළුවරේ නොසිටින්නේ මන්දැයි ආණ්ඩුව අපට කියාදෙන්නේ නැත. එවැනි අනිත් රටවල මුදල් ඒකක අපේ මුදල් ඒකකය (රුපියල) මෙන් හෑල්ලු නොවුණේ මන්දැයි ඔවුන් විස්තර කරන්නේ නැත.

 

පසුගිය යහපාලන රජයෙන් අරගෙන තිබූ ණය ගෙවීමට සිදු වූ නිසා මේ තත්වයට අද අප පත්ව ඇතැයි කීම ඊළග නිදහසට ඉදිරිපත් කරන හේතුවාචකයයි. එහෙත්, මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට මේ දක්වා ගෙවා දමා ඇති ණය ප්‍රමාණයෙන් සියයට 89.9 ක්, රාජපක්ෂ පාලන කාලය තුළ ලබාගත් ණය පියවීම් බව ඔවුන් කියන්නේ නැත.

 

ඒ කාරණා මදකට පසෙකින් තැබුවොත් ඇත්ත කතාව මෙයයි: රට තුළ දශක ගණනාවක් තිස්සේ වැඩෙමින් තිබූ ආර්ථික අර්බුදය යම් දවසක මේ අවාසනාවන්ත තත්වයට පත්වීමට කොහොමත් ඉරණම් කෙටී තිබුණි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ඒ ඉරණම සීග්‍ර කොට තිබේ. තීව්‍ර කොට තිබේ.

ඒ සීග්‍රතාව සහ තීව්‍රතාව නිසාම, කළමනාකරණය කරගත නොහැකි මට්ටමට අර්බුදය පුපුරා ගියේය. එසේ නොවන්නට, අර්බුදය මැද්දේ වූවත්, පෝලිම්වල සිටීමෙන් සහ අඳුරේ සිටීමෙන් වැළකී ඉන්නට අපට පුළුවන්කම තිබුණි. අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකට මුහුණදීමෙන් වැළකී ඉන්නට පුළුවන්කම තිබුණි. ආහාර හිඟයෙන් වැළකී ඉන්නට පුළුවන්කම තිබුණි.

Lawsuit vs Sri Lankan presidential favourite dismissed in US

ගෝඨාභය පාලනය දවසක ඉතිහාසගත වනු ඇත්තේ, නිදහසෙන් පසු ලංකාව පාලනය කළ ප්‍රථම ළදරු පාලන තන්ත්‍රය වශයෙනි. නිදහසෙන් පසු ලංකාවේ පාලනය තුළ ‘වියත් මඟක්’ පළමු වරට අත්හදාබැලූ පාලන තන්ත්‍රයත් එයම වීම, ඒ කතාවේ ඇති අපූරු උත්ප්‍රාසය හෙවත් සරදමයි. ළදරු වියතුන් මොන වගේදැයි දැන් අපි දනිමු.


යථාර්ථය කුමක්ද?

 
ඇත්ත ප්‍රශ්නය මෙයයි: ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට, රටේ අභ්‍යන්තර ආදායම සහ වියදම අතර විශාල හිඟයක් තිබේ. අයවැය හිඟය යනුවෙන් එය හැඳින්වෙයි.

රටක අයවැය හිඟයක් තිබීම අසාමාන්‍ය දෙයක් නොවේ. ඇත්තෙන්ම, එක්තරා සීමාවක් ඇතුළේ පවත්වාගෙන යන අයවැය හිඟයක්, ඇතැම් කොන්දේසි යටතේ, ආර්ථිකය පණගන්වන්නටත් සමත් විය හැකිය.

එහෙත් ලංකාවේ අයවැය හිඟය එවැන්නක් නොවේ. අප අධිකතර හිඟ අයවැයක් පවත්වාගෙන ගොස් ඇත්තේ, ප්‍රතිලාභ ජනනය කරන ආයෝජන වෙනුවෙන් දැරූ වියදම් නිසාවෙන් නම්, එම අයවැය හිඟය ආර්ථිකයට බරක් වන්නේ නැත.

එහෙත්, නෙළුම් කුලුනකට හෝ හම්බන්තොට ක්‍රීඩා පිට්ටනියකට හෝ සම්මන්ත්‍ර ශාලාවකට කෙරෙන ආයෝජන නිසා ගොඩගැසෙන අයවැය හිඟය, ආර්ථිකය තව තවත් ප්‍රපාතයටම ඇදහෙලනු ඇත.

 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ අයවැය හිඟය තවත් උත්සන්න කෙළේය. 2019 දී රුපියල් බිලියන 1016 ක් වූ අයවැය හිඟය, 2020 වන විට රුපියල් බිලියන 2090 දක්වා වැඩි විය. එය, සියයට 106 ක වැඩි වීමකි.

 

මේ අයවැය හිඟයේ බරපතල කම අවබෝධ කරගැනීම සඳහා අප කරන්නේ එය අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණ වන්නේදැයි සොයා බැලීමයි.

ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගෝඨාභය ආණ්ඩුවේ අයවැය හිඟය සියයට 11.10 ක් විය. ඊට කලින් පැවති අයවැය හිඟය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 9.6 කි.


අයවැයේ නොතිබුණු අලුත් වියදමක් !


මේ හිඟයේ ප්‍රතිශතය 2022 දී සියයට 8.8 දක්වා අඩු කරගන්නා බව අලුත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය අයවැය ඉදිරිපත් කරමින් කීවේය. පොහොය දෙකක් ගියේ නැත. අයවැයේ නොතිබුණු අලුත් වියදමක් ප්‍රකාශයට පත් විය.

එනම්, රජයේ සේවකයන්ට රුපියල් 5000 ක දීමනාවක් ඇතුළු ‘සහන’ මල්ලකි. ඒ අනුව, 2022 අයවැය හිඟය, මේ වසර අවසාන වන විට තවත් උත්සන්න වීමට ඉරණම් කෙටී තිබේ.

මේ අභ්‍යන්තර වියවුල, අපේ බාහිර ආදායම් සහ වියදම් අතර අතිරික්තයක් තිබිණි නම්, විසඳාගත හැකිව තිබුණි. එනම්, පිටරටින් අපට ලැබෙන ආදායම, පිටරටට අපෙන් ඇදී යන වියදමට වඩා වැඩි විණි නම් ප්‍රශ්නය නිරාකරණය කරගත හැකිව තිබුණි.

එහෙත්, ගෙවුම් ශේෂය නමින් හැඳින්වෙන ඒ කියන අපේ බාහිර රිපෝර්ට් කාඩ් එක, ඉහතින් කී අභ්‍යන්තර රිපෝර්ට් කාඩ් එකටත් වඩා නරක ය. අපේ විදේශ විනිමය සංචිතය ඉතිහාසයේ පහළම මට්ටමට වැටීම මගින් ඒ බව පෙන්නුම් කෙරේ.

මේ ලිපියේ මුලින් සඳහන් කළ උභතෝකෝටිකය හෙවත්, වාහනවලට තෙල් දෙන්නේද, විදුලිය ජනනය සඳහා තෙල් දෙන්නේද යන උභතෝකෝටිකයට අප අද මුහුණදී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.


විහින් කරගත් වින්නැහිය:

PB basil kabral

මේ සියල්ල මෙතරම් සාහසික අන්දමින් එකට පුපුරා යන්නේ, සිදු විය යුතුව නොතිබුණු මන්දබුද්ධික තීරණ ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගැනීම නිසා ය.

 

1- වෙස්සන්තර ප්‍රතිපත්තිය:


ඉන් පළමුවැන්න වන්නේ, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන්ම, ආණ්ඩුවේ ආදායම ඕනෑකමින්ම අහිමි කරගැනීමයි. එසේ වුණේ, ව්‍යාපාරික ප්‍රජාවට අනවශ්‍ය සහනයක් ලබාදීම සඳහා එතෙක් ආණ්ඩුවට අය කරගනිමින් සිටි බදු මුදල් සිය කැමැත්තෙන්ම ආණ්ඩුව මගින් කපා හැරීම නිසා ය.

මේ වෙස්සන්තර ප්‍රතිපත්තිය නිසා, වසරකට රුපියල් බිලියන 450 ක මුදලක් ආණ්ඩුව අහිමි කරගත්තේය. 2019 දී රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 12.6 ක පංගුවක් වශයෙන් පැවති රජයේ බදු ආදායම, මේ බදු සහන දීමෙන් පසු, සියයට 9.6 ක් දක්වා පහළ වැටුණි. අප ඉහතින් කී අයවැය හිඟයට හේතු වූ ප්‍රධාන කාරණයක් වන්නේ එයයි.


2- රසායනික පොහොර තහනම


දෙවැන්න වන්නේ, රසායනික පොහොර තහනම් කිරීමෙන්, එතෙක් නොතිබුණූ ප්‍රශ්නයක් අලුතෙන් ඇති කරගැනීමයි. මේ පොහොර තහනම දැන් ආපස්සට හරවා ඇතත්, එකී තහනම යටතේ ගෙවුණු මාස හයක කාලය විසින් ඇති කොට තිබෙන විනාශය කෙතෙක්ද යත්, එළැඹෙන මහකන්නයේ අස්වනු නෙළන විට වී නිෂ්පාදනය සියයට 40 කින් පහළ වැටී තිබෙනු ඇතැයි දැනට ගණන් බලා තිබේ.

ඊයේ (19) පුවත්පත් වාර්තා කරන පරිදි, අපේ මහකන්නයේ එකී අඩු අස්වැන්න පියවීමට ලබන අප්‍රේල් මාසය වන විට චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දසලක්ෂයක් අපට සැපයීමට එකඟ වී සිටීලු.

 

ප්‍රශ්නය වන්නේ මෙයයි: සහලින් ස්වයංපෝෂිත වීමට ආසන්නයේ සිටි ලංකාව මේ තත්වයට පත්කිරීම ගැන වගවිය යුත්තෝ කවුරුන්ද? ගොවියෝද, පාලකයෝද?

 

3- ඩොලරය කෘත්‍රීම ආකාරයෙන් පාලනය කිරීම


තුන්වැන්න වන්නේ, අපේ රුපියල සහ ඩොලරය අතර විනිමය අනුපාතිකය කෘත්‍රීම ආකාරයෙන් පාලනය කිරීමට තවමත් ආණ්ඩුව දරණ බොළඳ ප්‍රයත්නයයි.

ඕනෑම භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම තරමට සැපයුම ප්‍රමාණවත් නොවන්නේ නම්, එම භාණ්ඩයේ මිල ඉහළ යාම සාමාන්‍ය නියාමයයි. ඩොලර් යනු එවැනි භාණ්ඩයකි. ඒ සඳහා වන ඉල්ලුම, විනිමය අනුපාතිකය කෘත්‍රීම මට්ටමකින් බලහත්කාරයෙන් පවත්වා ගැනීමෙන් පාලනය කළ නොහැක.

මීට කලකට කලින් ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් පවත්වාගෙන යාමට ආණ්ඩුව තැත් කෙළේය. එහිදී සිදුවුණේ කුමක්ද? භාණ්ඩ හිඟ වීමයි. ඊට අමතරව කළුකඩයක් ඇති වීමයි. කල්ගත වී හෝ එය තේරුම්ගත් ආණ්ඩුව මිල පාලනය ඉවත් කෙළේය.

එම අවබෝධය, ඩොලරයේ වටිනාකම තීරණය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇති බවක් පෙනෙන්ට නැත. ඩොලරයක් සඳහා රුපියල් 250 ක් ලබා ගත හැකිව තිබියදී, මහබැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්ගේ ‘කාරුණික’ ඉල්ලීම පරිදි මිනිස්සු එම ඩොලරය රුපියල් 200 හෝ 210 ක මුදලට හුවමාරු කරගැනීමට ඉදිරිපත් වන්නේ නැත.

 

අපේ රටට ඩොලර් ගෙනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ, විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ය. මහබැංකුවේ ඉහත කී බලහත්කාරී විනිමය අනුපාතිකය නිසා, අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය බරපතල ලෙස පහළ ගොස් තිබේ.

 

2020 දෙසැම්බර් මාසයේදී මේ මාර්ගයෙන් ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 812.7 වෙනුවට 2021 දෙසැම්බර් මාසයේදී ඒ මාර්ගයෙන් ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 325.2 ක් පමණි. එය, සියයට 60 ක අඩු වීමකි.

හේතුව කුමක්ද? අපේ විදේශ ශ්‍රමිකයන් බැංකුව මගහැර වෙනත් මාර්ගවලින් මුදල් එවීමට පුරුදු වීමයි.


4- ඉවක්බවක් නැතිව මුදල් අච්චු ගැසීම


හතරවැන්න වන්නේ, ඉවක්බවක් නැතිව මුදල් අච්චු ගැසීමයි. පසුගිය නොවැම්බර් මාසය වන විට රුපියල් ට්‍රිලියන 1.1 ක් අලුතෙන් මුදල් අච්චු ගසා තිබේ. (ට්‍රිලියනයට බිංදු 12 කි). මේ මුදල් සාමාන්‍ය පරිහරණය සඳහා වෙළෙඳපොළට එන විට සෑම භාණ්ඩයකම මිල ඉහළ යාම ඉබේම සිදු වනු ඇත.

අද සතිපතා භාණ්ඩ මිල ඉහළ යාමේ එක හේතුවක් වන්නේ එයයි. රුපියල් 5000 ක දීමනාවක් අලුතෙන් ලබාගන්නා රජයේ සේවකයා සමහරවිට ඒ ගැන සතුටට පත්විය හැකිය.

එහෙත්, ඔහු අලුතෙන් ලබාගන්නා ඒ රුපියල් 5000 නිසා, නුදුරේදීම රුපියල් 5000 ට මේ මොහොතේ වෙළෙඳපොලේ ඇති බඩු ප්‍රමාණය මිලදී ගැනීම සඳහා රුපියල් 10,000 කුත් තමාට මදි විය හැකි බව ඔහු/ඇය නොදන්නවා ඇත.

 

ආණ්ඩුව කරන්නේ, අද තිබෙන ප්‍රශ්නය දෙතුන් ගුණයකින් වැඩි කොට හෙටට පැටවීමත්, තමන්ගේ සියලු පව් මෙවැනි දීමනා මගින් සමා කර ගැනීමට බැලීමත් ය. එය, ආණ්ඩුව විසින් හිතාමතාම මහජනතාව කබලෙන් ලිපට ඇදදමනු ලැබීමකි.  

 

GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)





එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! Gossip



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...