The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

බුද්ධි (ගේ) ගලනය - උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

February 15, 2022 • 2:50 PM

බුද්ධි (ගේ) ගලනය - උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා පාසල් යන අවධියේ, නිශ්චිත ව කියතොත් හය සිට දහය ශ්‍රේණි දක්වා කාලයේ, අප අතර ඉතා කැපී පෙණෙන සිසුවෙකු විය. ශාස්ත්‍රාලීය කටයුතු පමණක නොව මලල ක්‍රීඩාවලින් ද හේ මහත් දස්කම් පෑවේ ය.
  • අප පාසැලින් පසු උසස් පෙල කරනට අප මිතුරා ගොස් ඇත්තේ එංගලන්තයේ රජ පවුලේ දරුවන් ද යන 'ඊටන්' නම් කොලීජියට යි.
  • ඉන් පසු ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියට ගොස් ගණිතය, දර්ශනය, ඉතිහාසය හා ආර්ථික විද්‍යාව වැනි අමුතු විෂය සංකලණයක් හදාරා ඇත.
  • ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යන කාලයේ  අපගේ මිතුරාගේ 'බැචා'ලා වී ඇත්තේ පසු කාලීන ව එක්සත් රාජධානියේ අගමැතිවරුන් වූ ඩේවිඩ් කැමරන් (2010-2016 ) හා බොරිස්  ජොන්සන් (2019-මෙතෙක්) වැන්නන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අපොස සා/පෙ විභාගයට එකල සියළු විෂයන්ට ඩී හෙවත් විශිෂ්ඨ සම්මාන ලැබෙන්නේ ලංකාවෙන් ම දහයකටත් අඩු ප්‍රමාණයකි. අපේ මිතුරා ඉන් එක් අයෙකු විය. එහෙත් සා/පෙල විභාගයෙන් පසු ඔහු එක වර ම අතුරුදහන් විය.

මා ගිය පාසැල ශාස්ත්‍රාලීය කටයුතුවලට වැඩි ප්‍රසිද්ධියක් දැරුවේ නැතත් දක්ෂ ක්‍රිකට් හා රගර් ක්‍රීඩකයින් ද අගමැතිවරුන් හා ව්‍යාපාරික නායකයින් ද නිෂ්පාදනයෙහි ලා ප්‍රකට ය. කලකට පසු  හෝ එම පාසැලෙන් විශිෂ්ඨ ශාස්ත්‍රාලීය උගතෙක් බිහි කරනට තිබුණ ඒ අවස්තාව අහිමි වීම ගැන සියල්ලෝ කණගාටු වූ හ.

අවුරුදු විස්සකින් පමණ පසු ව යටකී මිතුරා නැවත ප්‍රාදුර්භූත වුණේ අප සියළු දෙනා මවිත කරමිණි. ඒ අවුරුදු විස්ස තුල ඔහුගේ දිවිය මෙසේ සංක්ෂිප්ත කළ හැක.

අප පාසැලින් පසු උසස් පෙල කරනට අප මිතුරා ගොස් ඇත්තේ එංගලන්තයේ රජ පවුලේ දරුවන් ද යන 'ඊටන්' නම් කොලීජියට යි. ඉන් පසු ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියට ගොස් ගණිතය, දර්ශනය, ඉතිහාසය හා ආර්ථික විද්‍යාව වැනි අමුතු විෂය සංකලණයක් හදාරා ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යන කාලයේ  අපගේ මිතුරාගේ 'බැචා'ලා වී ඇත්තේ පසු කාලීන ව එක්සත් රාජධානියේ අගමැතිවරුන් වූ ඩේවිඩ් කැමරන් (2010-2016 ) හා බොරිස්  ජොන්සන් (2019-මෙතෙක්) වැන්නන් ය.

 ඔක්ස්ෆර්ඩ් සරසවියේ ම හමු වූ ස්විස් ජාතික කතක (ඇය පසු ව ප්‍රකට  මහාචාර්යවරියක විය) හා විවාහ  වී යුරෝපයේ හා ලෝකයේ විවිධ රටවල ඉහල මට්ටමේ රැකියා කර ඇත.



2020 වසරේ මේ මිතුරා මට පෞද්ගලික ව හමු වී පැය ගණනක කළ කතාවක කී දෙයක් මට අදහා ගත නොහැකි විය. එවිට අවුරුදු පනස් තුනක් වූ ඔහු, මුළු ජීවිත කාලය තුල ම ලාංකීය පුරවැසිභාවය හා පාස්පෝර්ටය අත් නොහළ බව යි. එංගලන්තයේ හෝ ස්විස්ට්සර්ලන්තයේ දීර්ඝ කාලයක් සිටි ඔහුට නිරායාසයෙන් එම රටවල පුරවැසිභාවය ලැබිය හැකි වුවත් ඔහු එය නොකළ බවයි.




පිටරට වෙසෙන හෝ එහි වසනට පෙරුම් පුරණ ලක් දනන්ගේ සෝවාන් තත්ත්වය වන්නේ සංවර්ධිත රටක, බොහෝ විට බටහිර, ස්ථිර පදිංචි වීමේ අවසරය හෙවත් 'පී-ආර්' එක ය. ඔවුන්ගේ අමා මහ නිවන් තත්ත්වය වන්නේ 'පොත' ලබා ගැනීමයි. 'පොත' යනු නව රටක පුරවැසිභාවය ලැබුමත් සමග දානය කෙරෙන පාස්පොර්ටය යි.

අප රටේ 'පොත',  හාල් පොතක් තරම්වත් නොවටනා බව පැහැදිලි ව දන්නා මොවුහු සංවර්ධිත රටක 'පොත'ක ට කරනට නොහැකි දෙයක් නැති බව හොඳාකාර ව දනිති.

පෙරෙට්ටු ගාන පක්ෂයක නායක තුමෙකු පැහැරගෙන, දරුණු ලෙස පහර දී (ලිංගික අවයව ද තැළෙන පොඩිවෙන පරිදි) අත් අඩංගුවේ සිටින විට ඔහු තම වෘෂණ ද්වය ද පක්ෂය ද නූලෙන් බේරාගත්තේ තමන් ඕස්ට්‍රේලියානු පාස්පෝර්ට්ධාරියෙකු වූ නිසා ය. එකල ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ව සිටි මූඩි මැතිණිය, නැවතුණේ තම 'සිටිසනා' ව අනතුරින් බේරාගෙන, කටුනායකට ම තේ රථයේ ම කැන්දන් ගොසින්, මෙල්බර්න් බලා යන අහස් යාත්‍රාවේ පුටුවක හිඳුවා ය. පොතේ බලේ පෙණේ ?              

Priyanathe1231 1
'පොත' ගැන මේ සිතිවිලි මට පහල වුණේ සති දෙක තුනකට පමණ පෙර ප්‍රකට කලා කරුවෙක් 'අප තනි කර, ආයේ නොඑන්නට ම යන බව' කියමින් බුකි දනා ඒ ගැන විලාප ගී, කවි පංති හා කෙටි රචනා දිගට හරහට ලිවීම නිසා ය.

පැහැපත් සමක තිබුණ ද වයසින් වියපත් - දේශපාලනික ව ජරපත් අඩියක සිටි මේ පුද්ගලයා මිය පරලොව ගොස් ඇත් ද යන්න ය මට මුලින් ම සිතුණේ.

සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය අවමංගල සභා දිවා රෑ නොතකා පැය හතලිස් අටක් පමණ කාලයක පමණ පවත්වා ඉන් අනතුරු ව වෙනත් මාතෘකාවකට මාරු වීම සාමාන්‍ය සිද්ධියකි. ඒ නිසා ඒ ගැන මා එතරම් කරදර නොවීම්.

එහෙත් 'මේ ආරංචිය දැනගත් වහා ම මං අයියට කතා කළා ම අයියා මා සමග පැයක් පමණ කතා කරමින් ....' වැනි කෙටි රචනාවලින් ඉඟි කළේ අදාල අයියා තවමත් ජීවතුන් අතර සිටිනා බවයි. ඉන් අනතුරු ව ය මට තේරුම් ගියේ අයියා ඉස්තිර පදිංචියට සඳහා යට කී වෘෂණ කෝෂ කතා වස්තුවේ සහෝදරයා ඉන්නා රටට යාමට ගමන් මල්ල අඩුක් කරමින් සිටින බව.    



ගෝලීය සංක්‍රමණය අප හිතනවාට වඩා ගතික හා විශාල එකකි. සංක්‍රමණය පිලිබඳ අන්තර් ජාතික සංවිධානයේ (IOM) 2020 ගෝලීය සංක්‍රමණ වාර්තාව අනුව, ලෝ ජනගහණයෙන් මිලියන 272ක් සංක්‍රමණිකයෝ වෙති.



ඉන් තුනෙන් දෙකක් ශ්‍රමය විකිණීම (රැකියා) කරණ අතර ඉතිරි කොටස කෙටි හෝ දීර්ඝ කාලීන, ස්ථිර පදිංචියට, පුරවැසිභාවය ලබනට හෝ දේශපාලන රැකවරණය සඳහා යති. සමස්තයක් ලෙස, මිලියන් 272ක් යනු ලෝක ජනගහණයෙන් 3.5% වේ. එහෙත් රටකින් වෙන රටකට පිටවීමේ ප්‍රතිශතය වෙනස් වේ.

උදාහරනයක ලෙස ලංකාවේ ශ්‍රම බලකායෙන් 10% සිටින්නේ රටින් පිටරට රැකියා කරමින් ය. ලාංකීය ආර්ථිකය සම්ප්‍රේෂණ මත යැපෙන ආර්ථිකයක් (රෙමිටන්ස් ඩිපෙන්ඩන්ට් ඉකොනොමි) ලෙස සැළකෙන්නේ ආර්ථිකයේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය පිටරට වෙසෙන ශ්‍රමිකයින් එවන දිනාර්, යුරෝ හා ඩොලර් නිසා ය.  

කාලයක් තිස්සේ වසරකට ලක්ෂ දෙකහමාරක් පමණ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රමික සංක්‍රමණිකයන් ලෙස පිට ව ගිය හ. මෙහි යම් වෙනසක් වුණේ කෝවිද වසංගතයක් සමග ය. එහෙත් නැවත එම තත්ත්වය ස්ථායි වෙමින් පවතී.      




ස්ථිර පදිංචියට රට හැර යෑමේ රටාව පටන් ගත්තේ පනස් හයෙන් පසු ව ය. භාෂා පනත නිසා අගතියට පත් විශාල බර්ගර් පුරවැසි පිරිසක් රට හැර ගිය හ. 1983 ද 19987/89 කාලය ද යුධ හා අභ්‍යන්තර දේශපාලන අර්බුද නිසා ලක්ෂ ගණනින් ලාංකීය පවුල් වෙනත් රටවලට ස්ථිර පදිංචියට ගිය හ.  



බුද්ධි-ගලනය හෙවත් 'බ්‍රේන්-ඩ්රේන්':



මේ අතර ඉහල වෘත්තීය කුසලතා ඇති ලක්ෂ ගණනක් ද වෙති. එවැනි පිරිස් රට හැර දා යෑම හඳුන්වන්නේ බුද්ධි-ගලනය හෙවත් 'බ්‍රේන්-ඩ්රේන්' කියා ය.

මෙවැනි අලුත් රට රාජ්ජවලට යන්නන්ට කියන්නේ ග්‍රීනර්-පාස්චර් හෙවත් නිල් තණ බිම් සොයා යන්නන් කියා ය. උළා කත නොහැකි වියලි මුඩු බිමක දිගේලි වී සිටිනවාට වඩා නිල්ල වැදුණු බිමක් සොයා යෑමේ එළු, බැටළු හා ගව චර්යාව ම ය මානවයා ද කරන්නේ.        

මේ කරුණු පසුබිමේ අප කලාකරුවාගේ රට හැරදා යෑමේ තීරණය 'බුද්ධි'මත් ය. සාමාන්‍ය ය. එහෙත් ඒ 'බුද්ධි'ගලනය අසාමාන්‍ය වන්නේ අප කලාකරුවා ගිණි-සසල කළ දේශප්‍රේමී උණකින් කලක් තිස්සේ පෙළී සිටීම ය.




WhatsApp Image 2022 02 15 at 4.52.05 PM

දේශප්‍රේමී දේශපාලන කර්මාන්තයේ 'පංචායුධ' සන්නමින් නිපද වූ බොහෝ දේශීය බඩු මුට්ටු රට පුරා අලෙවි කළ දක්ෂ සේල්ස් රෙප්වරයෙකු මෙලෙස එකවර ම එම සාර්ථක ව්‍යාපාරය හැර දා යන්නේ කිම ද යන්න අලෙවිකරණයේ පියා ලෙස සැළකෙන පිලිප් කොට්ලර්ගෙන් මම වට්සැපයකින් විමසීමි.



මහැදුරු කොට්ලර් කියා සිටියේ අලෙවි මාරකැට්ටු හෙවත් වෙළෙඳපොළ යම් අවධියකදී 'ප්ලැටෝ' (plateau) වෙන බව ය. ඉන් හඟින්නේ මාරකැට්ටුවේ සෑම සියලු දෙනා ම අදාල භාණ්ඩය මිල දී අවසන් බව යි. මෙවිට රෙපා ට කළ හැකි දේ දෙයාකාර බව කෙටි කාලයකින් පිට් වූ කොටා මට කීය. එකක් වන්නේ, භාණ්ඩය තරමක් වෙනස් කිරීම හෝ නව භාණ්ඩයක් නවෝත්පාදනය කිරීමයි. අනෙක වන්නේ, අළුත් මාරකැට්ටුවක් සොයා ගැනීම යි.



2019 දී දේශප්‍රේමී මාරකැට්ටුවේ අලෙවි පිරිවැටුම උපරිමයට ගියේ එම වසරේ ම පාස්කු දින දියත් කළ මෙගා සේල්ස් ප්‍රොමෝෂන කැම්පේනය නිසා ය.

නොවැම්බර් 16 පැවැති ජාතික අලෙවි සමුළුවේ දී හොඳ ම දේශප්‍රේමී සම්මානය එහි නිර්මාතෘ වෙත ප්‍රදානය කෙරිණ.

එහෙත් මේ වන විට දේශප්‍රේමී මාරකැට්ටුව 'ප්ලැටෝ' නොව 'ප්ලැට්' වී ඇති බව මා කොට්ලරයාණන් ට කීවිට ඔහු කෙස් ගසක්වත් නැති තම හිස කසමින්  මට කීවේ "ඩෝන්ට් අංඩර් එස්ටිමෙට් ද සිංගලීස් ඩයස්පෝරා මාර්කට්ස් ඇබ්රෝඩ්" කියා ය.


Udan
උදන් ප්‍රනාන්දු
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

 

Leader Whats app

 

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...