The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු !

T

The Leader Desk

February 19, 2022 • 11:20 AM

දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මහා විජයබාහු - අමරණීය නරපති" - කර්තෘ ආචාර්ය පී ජී පුංචිහේවා -(පොතක් පිලිබඳ විමර්ශනයක්)
  • දේශප්‍රේමීත්වය, වීරත්වය, අප්‍රතිහත ධෛර්ය, නිහතමානී බව, නායකත්වය, ජාතික සමගිය පිළිබඳ තිබු පුළුල් දැක්ම, රාජතාන්ත්‍රික විචක්ෂණභාවය සහ තවත් අපමණ ගුණාංග රැසක සම්පිණ්ඩනයක් වන ඒ චරිතය පිළිබඳව මෙතෙක් කෙරී ඇති අධ්‍යනයන් අතලොස්සකි.
  •  මහා වංශයෙන් විශාල කොටසක් දුටුගැමුණු රජුටත්, මහා පරාක්‍රමබාහු රජුටත් වෙන්වී ඇත.
  • එනමුත් මහා විජයබාහු රජු ගැන ලියැවී ඇත්තේ පිටු කිහිපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබිය යුතු ගෞරවය නිසි ලෙස නොලැබුණු සිංහල රජෙකු වන්නේ නම් ඒ මහා විජයබාහුය. එක්සත් ශ්‍රී ලාංකිකත්වයක් ගොඩනැඟීමට ඉවහල් කරගත හැකි පරමාදර්ශී රජු ඔහුයි.

දේශප්‍රේමීත්වය, වීරත්වය, අප්‍රතිහත ධෛර්ය, නිහතමානී බව, නායකත්වය, ජාතික සමගිය පිළිබඳ තිබු පුළුල් දැක්ම, රාජතාන්ත්‍රික විචක්ෂණභාවය සහ තවත් අපමණ ගුණාංග රැසක සම්පිණ්ඩනයක් වන ඒ චරිතය පිළිබඳව මෙතෙක් කෙරී ඇති අධ්‍යනයන් අතලොස්සකි.

 මහා වංශයෙන් විශාල කොටසක් දුටුගැමුණු රජුටත්, මහා පරාක්‍රමබාහු රජුටත් වෙන්වී ඇත. එනමුත් මහා විජයබාහු රජු ගැන ලියැවී ඇත්තේ පිටු කිහිපයකි. එම පිටු කිහිපය සෙමෙන් හදාරන්නෙකුට එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය වටහා ගැනීම අසීරුවෙන් කල හැක.


Punchi hewa 1

එතුමාගේ මහඟු ඓතිහාසික කාර්ය භාරය අප හට පැහැදිලි කරදීමේ දුෂ්කර කටයුත්ත, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ආචාර්ය පී. ජී. පුංචිහේවා මැතිතුමා අතින් ලියවුණු "මහා විජයබාහු - අමරණීය
නරපති" ග්‍රන්ථය තුලින් මැනවින් ඉටුවී ඇත. මහා විජයබාහුට රජුට ලංකා ඉතිහාසයේ හිමිවිය යුතු නිසි තැන ලබාදීමට පුංචිහේවා මැතිතුමා දරා ඇති උත්සාහය අති මහත්ය.




පරසතුරන් පලවා හල රජෙකු ගැන කී විට කුඩා දරුවෙකුගේ පවා සිතට එන්නේ දුටුගැමුණු මහරජතුමාය. පී. ජී. පුංචිහේවා මහතා අතින් ලියැවී ඇති මහා විජයබාහු රජුගේ චරිතාපදානය කියවන්නෙකුට ඔහු දුටුගැමුණු රජුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකු බව හැඟුණහොත් එය පුදුමයට කරුණක් නොවේ.



මහා විජයබාහු උපන්නේ රජෙකුට දාව නොවේ. සිරිලක අත්පත් කරගත් සොළීන් (චෝලයන්) ගෙන් ගැලවීමට පලාගිය ලම්බකර්ණ රාජවංශික කුමරෙකුට පුත්ව ඉපදී, ඔහු හැදී වැඩුනේ දකුණේ ඌරුබොක්ක ප්‍රදේශයේ ඇති "රන්මලේ" කන්දෙහිය. මහාවංශයේ එම කන්ද හැඳින්වෙන්නේ "හිරන්‍ය(රන්) මලය" ලෙසිනි. එහි ගඩා ගෙඩි, කටුසර බෝග කමින් තමන් තම දෙමවුපියන් හා සොයුරු සොයුරියන් සමඟ ගතකල දුෂ්කර ජීවිතය එතුමා "පනාකඩුව තඹ සන්නස" හි සටහන් කරයි.




කලකට ඉහත මම, මා ඉත මිතුරු ජේෂ්ඨ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා සමඟ, විජයබාහු රජු කුඩා කල විසූ, මෙම කන්දට නැග්ගෙමි. දැඩි නියඟයක් පැවති එසමයෙහි එහි දිය උල්පත් සිඳී තිබුනත්, කැලයෙහි කූඩැල්ලන් නම් අනූන විය. සුන්දර පරිසරයක් වුවත්, කටුක එතැන්හි ඇති සංග්‍රාමික වැදගත්කම මා හට වැටහී ගියේ එම කන්දට නැගුනු විටය.

එතැනට යාල ප්‍රදේශයෙහි මුහුද දක්වා දකුණේ මුළු තැනිතලා බිමම පෙනේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම අසලින්, අටකලන්පන්න හරහා, දකුණු වෙරළට තිබු මාර්ගය ඇදී ගියේද මෙම කන්ද පාමුලිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උසම ස්ථානය වන මෙය, කුමරුකුව සිටියදී "කිත්ති" නමින් හැඳින්වුණු විජයබාහු මුලින්ම කුඩා සටන් සගයන් කණ්ඩායමක් තැනු ස්ථානයයි.

වයස අවුරුදු පහලොවෙහිදී ගරිල්ලා නායකයෙකු ලෙස තම සංග්‍රාමික දිවිය ඇරඹු තැන් සිට, පියවරෙන් පියවර, ඉතා අසීරුවෙන්, සොළීන් ලක්බිමෙන් පලවා හරින තුරු, කිත්ති කුමරුන් කල අරගලයෙහි සියලු කරුණු පාඨකයා වෙත සරල බසින් ඉදිරිපත් කිරීමට පුංචිහේවා මහතා සමත්වී ඇත. මෙම අරගලයේදී ඔහු මුහුණ දුන් අභ්‍යන්තර සතුරන්, පාවාදීම්, පරාජයන්, පලායාම්, මානසික බිඳවැටීම් අපමණය.



දුටුගැමුණු මහරජු සටන් කලේ ඉන්දියාවේ කුමන පෙදෙසක සිට පැමිණියාදැයි හරිහැටි නොදන්නා, කිසිදු රාජ වංශයකට අයත් නොවන, කිසිදු බලවත් දකුණු ඉන්දියානු රාජධානියක අනුග්‍රහය නොලැබුණු "එළාර" නම් පුද්ගලයෙකු සමඟය. එනමුත් විජයබාහු සටන් වැදුනේ මුළුමහත් දකුණු ඉන්දියාවත්, එහි නැගෙනහිර වෙරළත් අයත් කර ගෙන සිටි මහා චෝල අධිරාජ්‍යයකට විරුද්ධවය.



ඇත්, අස් ,රිය පාබල, සිවුරඟ සේනාවන් ගෙන් සමන්විත චෝලයන් යුද්ධයට යනවිට මහපොළව කම්පාවූ අයුරු ද්‍රවිධ වීර කාව්‍යයන්ගේ ලියැවුණි. බලවත් නාවුක හමුදාවක් තැනූ චෝලයන්, ඉන්දියන් සාගරය තරණය කොට ඉන්දුනීසියානු කොදව් සමුහයේ  "ශ්‍රී විජය" අධිරාජ්‍යයද යටත් කරගති. මෙම චෝල අධිරාජ්‍යයේ ප්‍රබලත්වය පුංචිහේවා මහතාගේ පොතෙහි මැනවින් විස්තරවී ඇත.

 වසර විස්සක දිගු අරගලයකින් පසු චෝලයන් පරදවා මහා විජයබාහු පොලොන්නරුවෙහි රජවනවිට ද්‍රවිධ සම්භවයක් ඇති විශාල පිරිසක් සිංහලයන් අතර ජීවත් විය. දළදා වහන්සේ රැකි, රජුට පුද්ගලික ආරක්ෂාව සැපයූ භට කණ්ඩායම් පවා ද්‍රවිධයන් විය.



මහා විජයබාහු ද්‍රවිඩ චෝලයන්ට විරුද්ධව සටන් කලත්, දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ පාන්ඩ්‍ය රාජවංශික "ලීලාවති"ය තම අග බිසව කරගත් පුවත මෙම පොතෙහි ඇත. මහා සටනකින් පසු ජාතික සමගිය ගොඩනැගිය හැකි අයුරු එතුමා ප්‍රයෝගිකව පෙන්වා දුන්නේ එලෙසිනුයි. ලීලාවතියට දාව පුත් කුමරෙකු නුපන් නිසා, එතුමාගේ දෙවන බිසව වුයේ කාලිංගයෙන් පැමිණි "තිලෝකසුන්දරි"යයි. පාන්ඩ්‍යයන් සහ කාලිංගයන් චෝලයන්ට විරුද්ධ රාජ්‍යයන් විය. මෙම සම්බන්ධතාවයන් ගෙන් බියට පත්වූ චෝලයන්, විජයබාහුගේ පවුලට ඥාති සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට කැමැත්ත පළකළේය. විදේශ කටයුතු පිළිබඳ එතුමාගේ විචක්ෂණ භාවය මෙයින් පිළිබිඹු වේ.




තමන් බලයට පත්වුණු පසුව කුඩා කල තමන් රැකි "බුදල්නා" (මහාවංසයේ බුද්ධරාජ) හට පිදීමක් කල "පනාකඩුව තඹ සන්නස" හි තමන් දුප්පත් කුඩා දරුවකුව සිටියදී ,"බුදල්නා" ගෙනවිත් දුන් ගඩා ගෙඩි වලින් බඩගින්න නිවාගත් සැටි මෙනෙහි කිරීමට තරම් විජයබාහු කෙලෙහි ගුණ සලකන්නෙක් විය.

මෙවන් ගුණාංග නැති නායකයන් සිටින අද ලංකාවට, මනා පාඩමක් උගන්වන "පනාකඩුව තඹ සන්නස"ට ඉතිහාසයේ ලැබිය යුතු නිසි තැන ලබාදීමට පුංචිහේවා මැතිතුමා උත්සුක වී ඇත.

 සටනින් ජයගෙන රට එක් සේසත් කල පසු චෝලයන් අතින් විනාශවූ වෙහර විහාර, දාගැබ්, වැව් අමුණු පිළිසකර කිරීමට මහා විජයබාහු රජතුමා ගත් උත්සාහය මෙම පොතෙහි විස්තරව ඇත.

කෙටි කලකින් ලංකාව සශ්‍රීක කලත්, තම ජයග්‍රහණ හෝ තම නම සනිටුහන් කිරීමට අලුත් දාගැබක් හෝ අලුත් වැවක් තැනීමට එතුමා උත්සුක නොවීය. එසේ නොකිරීමට තරම් නිහතමානී බවක් එතුමාට තිබුනද, ඒ නිසා දෝ "මහා රජ" පරපුරේ එතුමා සිටින්නේ මඳක් පහළිනි.

wijya 2022.01 1
මා සිතන අයුරින් සංවර්ධනය යනු ඇස්බැන්දුමක්, තම නම බැබලවීමට සඳහා කලයුතු කර්තව්‍යයක්, නොවන බවට ඉතිහාසයේ අපට හොඳම පාඩම උගන්වා ඇත්තේ විජයබාහු රජතුමායි.


මහා විජයබාහු ගොඩනගා ගත් බලයෙන් උමතුවූ ඔහුගේ ඥාතීන් ඔහු ජිවත්ව සිටියදීම බලය බෙදාගැනීමට කැරලි ගැසීය. එතුමා මියගිය පසු ශ්‍රී ලංකාවේ අග රජු වුයේ අර්ධ කාලිංගයෙකුවූ ඔහුගේ පුත් වික්‍රමබාහුය. ලීලාවතියට පුතෙකු සිටියේ නම් සිරිලක අග රජු වනු ඇත්තේ ඔහුය.

මහා විජයබාහු රජුගේ මුණුබුරු, අර්ධ කාලිංග ජාතික, මහා පරාක්‍රමබාහු රජු එක්සේසත් කලේ විදෙස් සතුරන් නොව තම ඥාතීන් විසින් කැබලි කරගත් ලංකාවකි. මහා විජයබාහුට පිං සිදුවන්නට මහා පරාක්‍රමබාහුට ලැබුණේ සශ්‍රික, පර සතුරු උවදුරුවලින් තොර වූ ලංකාවකි.

 ඓතිහාසික කරුණු මත පදනම්ව, විද්‍යාත්මක ලෙසින්, විජයබාහු රජුගේ ජීවිත කථාව "මහා විජයබාහු - අමරණීය නරපති " ග්‍රන්ථයෙහි විස්තර කර ඇත්තේ ඉතා රසවත් ලෙසිණි. එය කියවන්නෙකුට මෙය කතාන්තර පොතක් දැයි විටෙක සිතේ. ඓතිහාසික සාධක මත පදනම් නොවී, ඉතිහාස කතාන්තර ගොතන්නන් සුලබව සිටින වත්මන් ලංකාවේ, සැබෑ ඉතිහාස කරුණුද රසවත් ලෙසින් ඉදිරිපත් කල හැකි බව, පුංචිහේවා මැතිතුමා ස්පුථ කර ඇත.

 දනින් වැටී ලොවෙන් යදින අතරතුර අපේ ඉතිහාසය භේදයන් වැපිරවීමට මෙවලමක් කරගත් මෙවන් යුගයක, රටක් එක්සත් කල මහා විජයබාහු පිළිබඳව ලියැවුණු මෙම පොත කාලීන අවශ්‍යතාවයක් පිරිමසයි.



(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
රාජ්‍ය සම්මානලාභී ඉතිහාස පර්යේෂක
amarasinghe_ajith@yahoo.com


Dr Ajith Amarasinghe

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු ! | The Leader