The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ! - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

March 2, 2022 • 3:40 PM

යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ! - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ථාවරයන් මුලධර්ම මත පදනම් විය යුතු ය. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක් විය යුතු ද ? අතීත භාවිතයන් අපට ලබා දෙන පාඩම් කවරේද?
  • 1971 මාර්තු 26 දා ශෙයික් මුජිබර් රාහ්මාන් බංග්ලාදේශයේ ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය.
  • 1971 දෙසැම්බරයේ ඉන්දියාව සටනට පිවිසුනේ ය.
  • පකිස්තාන හමුදාවේ 90,000 කට වැඩි පිරිසක් යටත් වුහ.
අකුරු ප්‍රමාණය (Font Size):



බංග්ලාදේශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය 

1971 දී බටහිර පකිස්තානයේ හමුදාව සහ එහි බලයේ සිටි උදවිය, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් එවකට නැගෙනහිර පකිස්තානය ලෙස හඳුන්වනු ලැබූ බංග්ලාදේශයේ මර්ධනයක් දියත් කළේ ය. 1971 මාර්තු 26 දා ශෙයික් මුජිබර් රාහ්මාන් බංග්ලාදේශයේ ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය.

කලින් තිබු නැගෙනහිර පකිස්තානයේ ජනතාවට සහය දැක්වූ ඉන්දියාව පකිස්තාන හමුදා ගුවන් යානාවලට ඉන්දියාව හරහා ගමන් කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුන් ඉන්දියාව වටා ගමන් කරමින් කොළඹට පැමිණ ඉන්ධන ලබාගෙන ඩකා බලා ගමන් කළේ ය.  

අපි බංග්ලාදේශයේ සිදු වූ මර්දනයේ නිහඬ ආධාරකරුවෝ වූවෙමු.

පකිස්තාන හමුදාවේ මර්දනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට ඉන්දියාවේ සහය හිමිවීය. 1971 දෙසැම්බරයේ ඉන්දියාව සටනට පිවිසුනේ ය. පකිස්තාන හමුදාවේ 90,000 කට වැඩි පිරිසක් යටත් වුහ.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බංග්ලාදේශ් ජනතාවට සහය පළ කළහ. කොළඹ වීදිවල පැවති  විරෝධතා මහේ මතකයට නැගෙයි.

එසේ වුව ද, බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව දැඩි ලෙස සිටි ස්ථාවරය වුයේ නැගෙනහිර පකිස්තානයේ සිදුවීම් ඔවුන්ගේ අභ්‍යන්තර කටයුත්තක් බව යි.

අනෙක් සියලු අසල්වැසි රාජ්‍යයන් සහ සමස්ත යුරෝපයම වාගේ බංග්ලාදේශය පිළිගැනීමෙන් ද සෑහෙන කාලයකට පසු 1972 මාර්තු වන තෙක් එරට ස්වාධින රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගත්තේ නැත. නේරු -ගාන්ධි පවුල සහ බන්ඩාරනායකවරුන් අතර පැවති බවට පුරසාරම් දොඩන හිතවත්කමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරයට බලපෑමක් සිදුවුයේ නැත.

IndiraGandhig132a g29 02 2008 12 8 34

බණ්ඩාරනායක මැතිනියගේ ස්ථාවරය පිටුපස තිබු මුලධර්මය කුමක්ද? එය නම් සාමාජික රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවය සහ දේශපාලන නිදහස සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් ලබා දී තිබෙන නිරපේක්ෂ වටිනාකම යි.

ශ්‍රී ලංකාවේ එවකට පැවති ආණ්ඩුවට අනුව පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට කිසිවෙකුට අයිතියක් නැත. පාකිස්තානයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමට ඉන්දියාවට අයිතියක් තිබුනේ නැත.

එම ස්ථාවරය පිටුපස ප්‍රබල ස්වයං ලැදියාවක් තිබිණි. ශ්‍රී ලංකාවේ පැවැත්මට තර්ජන එල්ලවන්නේ ඉන්දියාවෙන් බව අපේ බලධාරීන් නිගමනය කර තිබිණි. ශ්‍රී ලංකාවේ සුළුතරයන්ට ඉන්දියාවේ සහය දීමට සහ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමට උපකාරී විය හැකි කිසිදු පුර්වාදර්ශයකට ඉඩ නොතැබිය යුතු ය යන්න ලංකාවේ ස්ථාවරය විය.

මේ සියල්ල සිදු වන විට මගේ වයස අවුරුදු 17 කි. මා සිතු ආකාරයට මගේ ආණ්ඩුවේ නිරාචාරවත් ස්ථාවරයට මම තදින් ම විරුද්ධ වීමි. පසු කලෙක මට මැතිනියගේ ස්ථාවරයේ පදනම අවබෝධ වී ය.


එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය :


එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අරමුණු ඉටුකර ගැනීමේ දී සංවිධානයේ ඇති බොහෝ දුර්වලතා විවේචනය කිරීම පහසු ය. තමන්ගේ න්‍යෂ්ටික අවි ස්වේච්ඡාවෙන් අත්හළ මිලියන 47 ක ජනගහනයක් සිටින රටක් යුද බලවතෙකු විසින් ආක්‍රමණය කර ඇති තත්ත්වයක එබඳු විවේචන දැන් නැවත අසන්නට ලැබෙයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පරිපූර්ණ ලියවිල්ලක් නොවේ. එසේ වුව ද, බලය මගින් පාලනයට එරෙහිව අපට ඇත්තේ එය පමණකි.

එමගින් ජාත්‍යන්තර සම්බන්ධතාවල මුලික ක්‍රියාකාරිකයා ලෙස ජාතික රාජ්‍යය පිළිගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත. එසේ වුව ද, කිසිදු විවේචකයකු ක්‍රියාවට නැගිය හැකි විකල්පයක් ඉදිරිපත් කොට නැත.

දේශ සීමා නැති ලෝකයක ජීවත්වීමට මම කැමැත්තෙමි. ජාතික ස්වාධිපත්‍යයට අතිවිශාල සෙනෙහසක්  මට නැත. එසේ වුව ද, ක්‍රියාත්මක කළ හැකි විකල්පයක් සකස් කර ගැනීමට අපට හැකිවන තෙක්, ජාත්‍යන්තර සම්බන්ධතාවල පවතින නිර්මිතියට මම සහය දක්වමි.


ශ්‍රී ලංකාවේ ස්ථාවරය :


ljsdlfsd


නීතියේ ආධිපත්‍යයේ විශාලතම වටිනාකම ඇත්තේ දුර්වලයාට ය. ජාත්‍යන්තර නීතිය නොමැති විට අපට ජීවත්වීමට සිදුවන්නේ බලවතුන්ගේ අනුකම්පාව යටතේ ය. තෝරාගත් ඓතිහාසික ලේඛන උපයෝගී කොට ගෙන ජනාධිපති පුටින් යුක්රේනයේ ස්වාධිපත්‍යය ප්‍රශ්න කර ඇත.

එසේ වුව ද, සත්‍ය කරුණ නම්, යුක්රේනය 1945 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමජිකයකුවූ බව සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් ලබා දී ඇති සියලු අයිතීන්ට එයට හිමි බව යි.

එරටේ ඇති දුෂණයේ ප්‍රමාණය ගැන හෝ යුරෝපා සංගමයට හෝ නේටෝ සංවිධානයට බැඳීමට ඇති කැමැත්ත පිළිබඳව හෝ කෙනෙකුට ප්‍රශ්න තිබිය හැකි ය.

එසේ වුව ද, ඒ කිසිවක් මගින් “කිසිදු රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට තර්ජනය කිරීම හෝ බලය යෙදවීම හෝ එක්සත් ජාතීන්ගේ වුවමනාවන්ට නොගැලපෙන වෙනත් ඕනෑ ම ආකාරයක ක්‍රියාවක්” සාධාරණීකරණය කල හැකි වන්නේ නැත.

කුඩා රටක් ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආරක්ෂාව අපට අවශ්‍ය වෙයි. තර්ජනය සහ බලය යෙදීම නොකළ යුතු ය යන මූලධර්මය ආරක්ෂා කළ යුතු ය.



ශ්‍රී ලංකාවේ ස්ථාවරය විය යුත්තේ විවාදයකින් තොරව ආක්‍රමණයට විරුද්ධ වීම සහ රුසියානු හමුදා ඉවත්කර ගැනීමට ඉල්ලා සිටීම යි. අපගේ භෞමික අඛණ්ඩතාවය සහ දේශපාලන ස්වාධීනත්වය අප අගය කරන්නේ නම් යුක්රේනය සමග සිටගැනීම හැර වෙනත් විකල්පයක් අපට නැත.




RohanSamarajeewa(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

 

 

 Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...