The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියාව වෙනුවෙන් සටන්වැදීමට මැදපෙරදිග ස්වේච්ඡා භටයින්ට අවසර

T

The Leader Desk

March 12, 2022 • 3:42 AM

 රුසියාව වෙනුවෙන් සටන්වැදීමට මැදපෙරදිග ස්වේච්ඡා භටයින්ට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, නැගෙනහිර යුක්රේනයේ දී රුසියාව වෙනුවෙන් සටන් වැදීම සඳහා මැදපෙරදිග ස්වේච්ඡා භටයින්ට අවසර ලබා දුන්නේ ය.
  • රුසියාව, යුද වැදීමට ඉතා හුරුපුරුදු සිරියානු රජයේ හමුදාවන්ට මුදල් ගෙවා යුක්රේනයේ සටන් කිරීම සඳහා යෙදවිය හැකිබවට අනුමාන කිරීම් පැවතියේ ය.
  • සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහාය දැක්වීමේ ප්‍රධාන කාර්යයභාරයක් රුසියාවේ ගුවන් හමුදාව සහ ඇතැම් විශේෂ හමුදා ඒකක ඉටුකර ඇත.
  • මින්පෙර යුක්රේන රජය කියා සිටියේ රුසියානු හමුදාවට එරෙහි සටනට සහාය වීමේ කැමැත්තෙන් පසුවන විදේශිකයින්ගෙන් ස්වේච්ඡා බලකායක් පිහිටුවනබව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ෂොයිගු ඔහුට පවසා ඇති පරිදි, මැද පෙරදිග සිට 16,000ක් දෙනා රුසියාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඩොන්බාස් වෙත පැමිණීමට සූදානම්ව සිටියි.

රුසියාව, යුද වැදීමට ඉතා හුරුපුරුදු සිරියානු රජයේ හමුදාවන්ට මුදල් ගෙවා යුක්රේනයේ සටන් කිරීම සඳහා යෙදවිය හැකිබවට අනුමාන කිරීම් පැවතියේ ය.

සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහාය දැක්වීමේ ප්‍රධාන කාර්යයභාරයක් රුසියාවේ ගුවන් හමුදාව සහ ඇතැම් විශේෂ හමුදා ඒකක ඉටුකර ඇත.

මින්පෙර යුක්රේන රජය කියා සිටියේ රුසියානු හමුදාවට එරෙහි සටනට සහාය වීමේ කැමැත්තෙන් පසුවන විදේශිකයින්ගෙන් ස්වේච්ඡා බලකායක් පිහිටුවනබව යි.

පුටින් කියා සිටියේ, "බටහිර අනුග්‍රාහකයන්" විසින් යුක්රේන ගැටුම සඳහා "විවෘතව, ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝනය කරමින්" කුලී හේවායන් බඳවාගනිමින් සිටිනාබව යි.

විරුද්ධ පාර්ශවයෙන් අත්පත්කර ගත් බටහිර ආයුධ - විශේෂයෙන්ම ජැවලින් යුද ටැංකි නාශක මිසයිල සහ ස්ටින්ජර් ගුවන් යානා නාශක මිසයිල - ඩොන්බාස්හි රුසියානු-ගැති සටන්කරුවන්ට ලබාදීමට ශොයිගු කළ යෝජනාවට ද ඔහු එකඟවිය.



ගැටලු කීපයකට ද පිළිතුරු....



රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ඔබට බොහෝ ගැටලු මතුවී ඇතිවා විය යුතු ය. එවැනි ගැටලු කීපයකට ද පිළිතුරු සැපයීම මෙම ලිපියේ අරමුණ යි.




නේටෝව පියාසර තහනම් කලාපයක් බලාත්මක නොකරන්නේ ඇයි?



'පියාසර තහනම් කලාපය' යන යෙදුම ඉතා උදාසීන සහ ආරක්‍ෂිත යමක් ලෙස පෙනෙන නමුත්, ඇත්ත වශයෙන්ම එයට ආක්‍රමණික හමුදා ක්‍රියාමාර්ගයන් ඇතුළත් වේ.

පියාසර තහනම් කලාපයක් බලාත්මක කිරීමට නම්, ඔබට සතුරාගේ ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කිරීමටත්, රුසියානුවන් විසින් පාලනය කෙරෙන භූමි රේඩාර් මධ්‍යස්ථාන වෙත මිසයිල ප්‍රහාර එල්ලකර ඔවුන් මරා දැමීමටත් සිදුවේ. අනතුරුව ඔබ පියාසැරියේ සිටින රුසියානු ගුවන් නියමුවන්ට වෙඩි තබා බිම හෙළිය යුතු ය.

එය තෙවන ලෝක සංග්‍රාමයක් ආරම්භ කිරීමකි.

මෙය ජනාධිපති සෙලෙන්ස්කි නැවත නැවතත් ඉල්ලා සිටි යමක් වනවා සේම, පියාසර තහනම් කලාපයක් බලාත්මක නොකරන්නේ මන්දැ යි බොහෝදෙනෙකුට අවබෝධකර ගැනීමට ද අපහසු ය.

නමුත් එවැනි කලාපයක් බලාත්මක කිරීමේ දී අදාල ගුවන් කලාපයට පිවිස රුසියානු ගුවන් නියමුවන්ට එරෙහිව සටන් කිරීමට නේටෝ ගුවන් හමුදාවන්ට සිදුවනු ඇති අතර, එය භයානක ය.



රුසියාව රසායනික අවියක් භාවිතා කළහොත් එය "රතු ඉර පැනීමක්" වනු ඇත්ද?



එය නිසැකවම "රතු ඉර පැනීමක්" වන අතර, මහා පරිමාණ ගෝලීය විරෝධයක් ද එල්ලවනු ඇත්තේ ය.

ජෛව සහ රසායනික අවි නිෂ්පාදනය සඳහා "යුක්රේනය සකස්කළ සැලසුම්" බව පවසන දෑ සාකච්ඡා කිරීම සඳහා රුසියාව ඊයේ  (මාර්තු 11) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

රුසියාව මෙම ප්‍රකාශයන් ඔප්පුවන අන්දමේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත්කර නොමැති අතර, මෙම චෝදනාවන් යුක්රේනය සහ එක්සත් ජනපදය යන දෙරටම විසින් ප්‍රතික්ෂේපවී ඇත.

එනිසා එය රතු ඉර පැනීමක් වනු ඇති නමුත්, නේටෝව ඊට හමුදාමය වශයෙන් සම්බන්ධවීමට අතිශයින් මැලිවනු ඇත.

මන්ද, ජනපති බයිඩන් පැවසූ පරිදි, රුසියානුවන් සහ ඇමරිකානුවන් එකිනෙකාට වෙඩි තබා ගැනීමට පටන්ගත් විට ඔබට ලැබෙන්නේ තුන්වන ලෝක යුද්ධය යි.

රුසියාව එම "රතු ඉර පැනීමෙන්" පසු සිදුවනු ඇත්තේ කුමක්ද යන්න තවමත් අපැහැදිලි ය. මක්නිසා ද යත් රුසියාවට පැනවිය හැකි සියලු අන්දමේ සම්බාධකයන් දැනටමත් පනවා තිබේ.



සම්බාධක නිසාවෙන් රුසියාවේ ආර්ථිකයට එල්ලවී ඇති පහර කුමනාකාර ද?



රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක එරට ආර්ථිකයට බලපෑමක් ඇති කරමින් සිටිනබව ආර්ථික විද්‍යාඥ ලින්ඩා යූ ප්‍රකාශ කරයි. පොලී අනුපාත 20% දක්වා ඉහළගොස් තිබේ.

රුසියාවෙන් තෙල් සහ ගෑස් මි ලදී ගැනීම නැවැතීමට එක්සත් ජනපදය සැලසුම් කරමින් සිටීම ද රුසියාවට බලපෑම් කරනු ඇතිබව ලින්ඩා යූ පවසයි.

මෑත වසරවල තෙල් මිල ඉහළයෑම නිසා රුසියාවේ මූල්‍ය තත්ත්වය හොඳ මට්ටමක පවතිතැ යි ඇය පවසනමුත්, මෙම සම්බාධක නිසා රුසියානු යුද්ධයට අරමුදල් සැපයීම දුෂ්කරවනු ඇති.

ආර්ථිකය 12%කින් හැකිලෙනු ඇතැ යි අපේක්ෂා කරන අතර, එය රුසියානු ජනතාවට විශාල බලපෑමක් ඇතිකරනු ඇත.

අප නොදන්නා දෙය නම්, යුක්රේනය තුළ පුටින්ගේ ක්‍රියාවන්ට මේ සියල්ල කෙතරම් බලපානු ඇත්ද යන්න වග යූ පවසයි.

UK123 1
නිප්‍රො වෙත එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගියබව වාර්තා විය. (ඡායා.- GETTY IMAGES)



යුද්ධය කවදා, කෙසේ අවසන් වෙයි ද?



රුසියානු සහ යුක්රේන නිලධාරීන් අතර සාකච්ඡාවල "ධනාත්මක" වර්ධනයන් සිදුවෙමින් පවතිනබව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශකර තිබේ.

"අපේ පාර්ශවයෙන් සාකච්ඡාවට ඉදිරිපත් වූ අය මට විස්තර කළ පරිදි එහි යම් ධනාත්මක වෙනස්කම් සිදුව තිබේයැ"යි පුටින් මොස්කව්හි පැවති රැස්වීමක දී රුසියාවේ ප්‍රධාන මිත්‍රයෙකු වන බෙලාරුසියානු නායක අලෙක්සාන්දර් ලුකෂෙන්කෝට පැවසුවේ ය.

මේ වන විට යුක්රේන-බෙලරුස් දේශසීමාවේ සිටින දෙපාර්ශ්වයේ ප්‍රමන්ත්‍රණ කණ්ඩායම් අතර සාකච්ඡා වට තුනක් පවත්වා ඇත - බ්‍රහස්පතින්දා (මාර්තු 10) ද යුක්රේන සහ රුසියානු විදේශ අමාත්‍යවරු සාකච්ඡා සඳහා තුර්කියේ දී හමුවූහ.

කෙසේ වෙතත්, මෙතෙක් සාකච්ඡාවලින් ස්ථිර ප්‍රතිඵලයක් ලැබී නැත.

රුසියානු සහ යුක්‍රේන ප්‍රමන්ත්‍රණකරුවන් අතර හෝ, එම රටවල විදේශ අමාත්‍යවරුන් අතර හෝ සාකච්ඡා සිදුවන සෑම අවස්ථාවක දීමත්, යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා මාර්ගයක් සෙවීමට උත්සාහයක් ගන්නා වෙනත් සෑම අවස්ථාවක දීමත් යුක්රේනියානුවන්ගේ බලාපොරොත්තු දැල්වෙයි.

එසේවුව ද, කිසි විටෙකත් ඒවායින් ප්‍රගතියක් අත්ව නොමැත.

කියෙව් වැසියන් සිය නගරය ඉතිරිවනු ඇතැ යි බලාපොරොත්තුවීමට තරම් එඩිතර වූහ -

රුසියානුවන්ට සහ යුක්රේනියානුවන්ට එතරම් පූජනීය වූ නගරයකට පහර දෙන්නැ යි ජනාධිපති පුටින් තම හමුදාවන්ට කෙසේ නියෝග කරන්න ද? නමුත් එරට පුරා නගරවලටත්, නේවාසික ප්‍රදේශවලටත් ප්‍රහාර එල්ලවීම ඇරඹුණු විට යුක්රේනය පුරා වැසියන්ගේ බලාපොරොත්තු සුන්වී ගියේ ය.

එනිසා, යුද්ධය අවසන් වන්නේ කෙසේදැ යි අපි නොදනිමු. එය ඉක්මනින් අවසන්වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. විය හැකි බොහෝ සෙනාරිය තිබේ - නමුත් තවමත් අප සතුව ඇත්තේ බලාපොරොත්තු සහ අනුමානයන් පමණි.



පසුගිය පැය කිහිපය තුළ රුසියානු ප්‍රහාර ගණනාවකට මුහුණදුන් යුක්රේනයේ නවතම තත්ත්වය පිළිබඳ සටහනක් මෙන්න:



# ඊයේ උදෑසන යුක්රේනයේ ප්‍රතිවිරුද්ධ දිශාවන්හි පිහිටි නගරවල පිපිරීම් වාර්තා වී තිබේ. වයඹදිග නගරයක් වන ලුට්ස්ක්හි ගුවන්තොටුපොළක් සහ ජෙට් එන්ජින් කම්හලක් ඉලක්කකර ගනිමින් ප්‍රහාර එල්ලවිය. මධ්‍යම-නැගෙනහිර යුක්රේනයේ ප්‍රධාන බල කඳවුරක් වන නිප්‍රො වෙත එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතිබව වාර්තා වේ. නිරිතදිග ඉවානෝ-ෆ්‍රැන්කිව්ස්ක්හි පිපිරීම් ද වාර්තා වී ඇත.


# වටලනු ලැබ ඇති මරියුපෝල් වරායට උතුරින් පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් නගරයක් වන වොල්නොවාකා අත්පත්කර ගත්බව රුසියාව කියා සිටියි

# යුක්රේනයේ රසායනික හෝ මහා පරිමාණයෙන් විනාශකාරී ආයුධ නිපදවා ඇතිබවට රුසියාව කළ ප්‍රකාශයන් ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ ඇමතුමක් හරහා ප්‍රතික්ෂේප කළේ ය. යුක්රේනයට එරෙහිව එවැනි ආයුධ භාවිතා කළහොත් රුසියාවට "උපරිම වශයෙන් දැඩි සම්බාධකයන්" ප්‍රතිචාර ලෙස ලැබෙනු ඇතැ යි ද ඔහු අනතුරු ඇඟවීය.

# යුක්රේනය, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලබන රසායනික අවි නිෂ්පාදනාගාර පවත්වාගෙන යනබවට රුසියාව කරන ප්‍රකාශයන් "ව්‍යාජ ප්‍රකාශයක්" වන අතර, රුසියාව එවැනි ආයුධ භාවිතා කිරීමේ වියහැකියාව සාධාරණීකරණය කිරීමේ අදහසින් මෙම ප්‍රකාශ සිදුකරනබව ද එක්සත් ජනපදය මීට පෙර සඳහන්කර ඇත.

# රුසියාවේ ඔප්පු නොකළ ප්‍රකාශයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියාවේ ඉල්ලීම පරිදි සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ හදිසි රැස්වීමක් අද දිනයේ දී පැවැත්වෙනු ඇත.

# චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන්නේ රුසියානු සොල්දාදුවන් සෙමෙන් ඉදිරියට ඇදෙනබව යි. කියෙව් අගනුවර දෙසට ගමනේ යෙදෙන ඔවුන් නැවතත් වනාන්තර තුළට වැදී ඇතිබව ද පෙනී යයි.

# පුටින්ගේ හමුදා යුක්රේනයේ නගර කිහිපයක් වට කරමින් සිටිතැ යි වාර්තා වන අතර, හදිසි නිලධාරීන් අනතුරු අඟවන පරිදි මෙම වැටලීම් උපක්‍රමවලින් අදහස් වන්නේ මරියුපොල් වැනි නගරවල ආහාර අවසන් වෙමින් පවතින වග යි.

# රුසියානු සොල්දාදුවන්ට මරණය ඉල්ලා සිටීමට ඇතැම් රටවල පරිශීලකයින්ට ඉඩදීම සඳහා, සිය ප්ලැට්ෆෝමහි ප්‍රචණ්ඩකාරී අදහස් ඉදිරිපත් කිරීම තහනම් කිරීමේ නීති අත්හිටුවනබව ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාර මෙටා සමාගම කියා සිටියේ ය.

(BBC සිංහල සේවය)


Leader Whats app

 

 

 

 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...