The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔබ තවම අප සමගයි - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

April 12, 2022 • 2:21 PM

ඔබ තවම අප සමගයි  - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පක්‍ෂ, පාට, ජාති, ආගම්, ගෝත්‍ර, කුල මල, ගෑණු පිරිමි, සමනල, දේදුණු වාගෙ බෙදීම් පැත්තකට දමා, දැන් දැන් රටේ බොහොමයක් දෙනා පුරවැසියන් බවට පත්වෙන බවක් පේනවා.
  • ලක් පොලොව මත ඇතිවේවි කියල කවදාවත් නොහිතපු මේ තත්ත්වය ගැන මුලින්ම ප්‍රායෝගික හීනයක් දැක්කේ මංගල සමරවීරයන්.
  • ඔහු "True Patriot" ව්‍යාපෘතිය දියත් කරමින් කිවුවේ වමේ සහ දකුණේ එදිරිවාදී දේශපාලනයෙන් ඔබ්බට ගිය සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය අලුත් කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇති බව.
  • ඔහු කීවේ සිස්ටම් චේන්ජ් එකක ඇති අවශ්‍යතාවයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පක්‍ෂ, පාට, ජාති, ආගම්, ගෝත්‍ර, කුල මල, ගෑණු පිරිමි, සමනල, දේදුණු වාගෙ බෙදීම් පැත්තකට දමා, දැන් දැන් රටේ බොහොමයක් දෙනා පුරවැසියන් බවට පත්වෙන බවක් පේනවා. ලක් පොලොව මත ඇතිවේවි කියල කවදාවත් නොහිතපු මේ තත්ත්වය ගැන මුලින්ම ප්‍රායෝගික හීනයක් දැක්කේ මංගල සමරවීරයන්.


ඔහු "True Patriot" ව්‍යාපෘතිය දියත් කරමින් කිවුවේ වමේ සහ දකුණේ එදිරිවාදී දේශපාලනයෙන් ඔබ්බට ගිය සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය අලුත් කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇති බව.

ඒ වගේම ඒකීය රටක් ගොඩනැගීමට රැඩිකල් මධ්‍යවාදී ව්‍යාපාරයක් (radical centrist movement) නිර්මාණය කිරීමේ අරමුණින් දේශපාලන මතවාද යළි නිර්වචනය කිරීමට මෙරට තාරුණ්‍යය සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් ඔහු අපේක්ෂා කළා.

එසේම තවත් වරෙක ඔහු කිවුවේ බුදුන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවේ සිට මහත්මා ගාන්ධි පටන්ගත්, නේරු, මැන්ඩෙලා, ඔබාමා වැනි නායකයින් පිළිපැදි අවිහිංසාවාදී මාවත දක්වාවූ හර පද්ධතීන් මත පදනම් වූ අළුත් දේශපාලන සංස්කෘතියක් වහාම නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ගැන. ඔහු නියම ප්‍රජාතන්ත්‍රවාදය සමාන කළේ බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනයටයි (අන් වාර්ගිකයන්ට, අන් ආගමිකයන්ට හිරිහැර කළ සිංහල බුද්ධාගමට නෙවෙයි). 

 

 

ආසියාවේ බුද්ධිමත් ජනතාවක් සිටින, හොඳ අධ්‍යාපනයක්, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙන, ලෝකයේ ප්‍රධානම ආගම් වලින් පෝෂණය වුන අපේ රට, මහා විනාශයකට යමින් ඇතිබව කී ඔහු පුර වැසියනට, විශේෂයෙන්ම තාරුණ්‍යයට, ආයාචනා කලේ වහාම එය තේරුම් ගන්න කියලයි.

ඔහු කීවේ සිස්ටම් චේන්ජ් එකක ඇති අවශ්‍යතාවයයි. ඒ සඳහා ඇත්තේ එකම විකල්පයක්, එනම් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මනුෂ්‍යත්වය සහ විද්‍යාව පදනම් කොටගත් විකල්පයක් බව ඔහු කිවුවා. එක් පුද්ගලයකුට, එක් පවුලකට ඔටුණු පළඳන යුගය අවසන් කරලා සාධාරණත්වයට, නීතියේ ආධිපත්‍යයට, වගකීමට සහ වගවීමට ඔටුණු පළඳවන්න ඕන කියලයි කිවුවේ.


මේ බොහොමයක් දේ ඔහු කිවුවේ පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වුනාට පස්සේ. ඒ කියන්නේ අද ජීවත්ව හිටියානම්, හැමෝම එලවලා දාන්න හදන 225 ට ඔහු අයිති වෙන්නේ නැහැ. හැබැයි ඔහුගේ අදහස වුණේ 225 ම හොරු කියා ප්‍රතික්ෂේප කරනවාට වඩා සිදුකල යුත්තේ පාර්ලිමේන්තුව පිරිසිදු කර ගෙන පාර්ලිමේන්තුවට විධායක බලතල ලබා දීම බව.



දැන් තියෙන මනාප ක්‍රමය යටතේ ආසනයක් නොව දිස්ත්‍රික්කයක් දිනා ගත යුතුව ඇති නිසා, තරඟ කරන අයෙකුට විශාල මුදලක් එයට අවශ්‍ය බව ඔහු කිවුවා. මේ හේතුව නිසා පාතාල ලෝකය තම කළු සල්ලි සුදු කරන තැන බවට පාර්ලිමේන්තුව පත් කරගෙන තියෙන බවත් කිවුවා. එක තැනකට එක්රැස් වෙලා තියෙන විධායක බලය විමධ්‍යගත කරන තුරු කොහෙන් 225 ගෙනාවත් වෙනසක් නොවෙන බවත් ඔහු පුන පුනා කිවුවා.


 

 
දැන් සෑම සියළු බලයක්ම තියෙන්නේ, ස්පර්ශ කළ හෝ ලඟාවිය නොහැකි විධායක ජනාධිපති තනතුර වටේ එක් රොක් වෙලා. අපට තියා 225 ට වත් එතැනට කිට්ටු කරන්න අමාරුයි. 225 ට බලය ලැබුනොත් තමයි අපට ප්‍රශ්ණයක් ඇතිවෙන කොට ගිහිල්ලා අපේ නියෝජිතයාට යම් තරමක හරි පීඩනයක් ඇති කරන්න පුළුවන් වෙන්නෙ.

ඒ නිසා මේ දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ අපට අවැඩක්, අසාධාරණයක් වෙනකොට 225 ට කෑගැහුවයි කියලා ඇතිවෙන සෙතක් නැහැ. එයින් වැඩි දෙනෙක් ඉන්නෙ ඒ ගොල්ලොන්ගේ බෙල්ල බේරගෙන, වරදාන වරප්‍රසාද අරගෙන, "මා වත් මගේ අඹුවත් රැකුණොත් මදිද" කියන මානසිකත්වයේ. විපක්ෂයේ හුඟක් දෙනෙකුත් පාට පාට හීන ලෝක වල ජනාධිපති හීන දකිමින් ඉන්නවා වගේ තමයි අපට පේන්නෙ.

ඒ කාලේ වැඩි දෙනෙක් ඔහුට අවලාද, අපවාද කළාට, දැන්නම් ඒ කිවූ අනාවැකි හරියට කිරි ගහට ඇන්නා වගේ කියලා හුඟක් දෙනෙකුට හිතිලා තියෙනවා. මට හිතෙනවා ඔහුට එදා මේ කරුණු කාරණා තර්කානුකුලව, විද්‍යාත්මකව පැහැදිළි කරන්න යන්නෙ නැතුව, කිසියම් දේවාරූඪයකින් කියන බව කියන්න තිබුණා. එහෙම වුනානම් අපේ උන්දැලා සාධුකාර දෙමින් ඒ උපදෙස් පිළිපදින ආකාරය බලන්න තිබුණා, හරියට බෝතලේ ඇතුලේ වැඩ විසූ මණිඅක්ඛිත බලන්න වැල නොකැඩී පෝලිමේ ගියා වගේ.  

මේ රටේ පාලකයො වැඩිදෙනෙක් අනුරාධපුරේ අක්කණ්ඩි පස්සේ නොයා, මංගල සමරවීරයන් ගේ අනාවැකි පිළිපැද්දා නම්, අදටත් යහතින් ඉන්න තිබුණා.
පිරිහිලා, තුට්ටු දෙකට වැටිලා, රටක්ම සාප කරනවා දැක්කාම මතක් වෙන්නේ "රජකම් කළත් කළකම් පළදෙනවා" කියන මසුරන් වටින කියමන තමයි.


Kanthi kariwasa(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com


ලේඛිකාවගේ සබැඳි ලිපි :

ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත - (කේ. කාරියවසම්)

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

 

 

 


 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...