The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කලාව, දේශපාලනය, කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව

T

The Leader Desk

April 24, 2022 • 7:57 AM

කලාව, දේශපාලනය, කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වශයෙන් බැඳී තිබෙන ක්ෂේත්‍ර ද්විත්වයකි.
  • ශ්‍රී ලංකාවේ කලා සහ දේශපාලන ඉතිහාසය තුළ යට සඳහන් කළ ක්ෂේත්‍ර එකිනෙකාගෙන් වෙන්ව පවත්නා ක්ෂේත්‍ර යැයි මෙතෙක් කිසිවකු අදහස් කරගෙන සිටියේ නම් එය එසේ නොවේ යැයි සාක්ෂාත් කරගත හැකි වාතාවරණයක් මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ද කලා ක්ෂේත්‍රයේ ද ඉතා පැහැදිලිව දක්නට ලැබේ.
  • නමුදු ‘කලාකරුවා යනු අනාගතය විනිවිද දැකිය හැකි පුද්ගලයෙකි’ යනුවෙන් සංකල්පයක් සමාජය තුළ රෝපණය වී ඇති බව ද ඔවුන් අමතක නොකළ යුතු ය.
  • එසේ වුව ද ඇතැම් විට සංවේදි කලාකරුවකු හෝ කලාකාරියක දේශපාලනය නමැති මලපුඩුවේ එක්වරක් පැටලිය හැකි ය; එහෙත් එය අදාළ කලාකරුවාගේ මරණය (භෞතික මරණය නොවේ) සටහන් කරන්නට තරම් දරුණු නොවිය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වශයෙන් බැඳී තිබෙන ක්ෂේත්‍ර ද්විත්වයකි. සෑම ආකාරයක ම කලා නිර්මාණයක් තුළින් ම සමාජය තුළ පවත්නා සකලවිධ අංග විවිධ මාන හරහා ඉදිරිපත් කෙරෙන අතර දේශපාලනය යනු ම විවිධ මාන කිසිවකින් වියුක්ත කළ නොහැකි විෂයයකි.

 

දේශපාලනයෙන් තොර කලාවක් පැවතිය නොහැකි සේ ම කලාවෙන් තොර දේශපාලනයක් ද පැවතිය නොහැකි ය. ශ්‍රී ලංකාවේ කලා සහ දේශපාලන ඉතිහාසය තුළ යට සඳහන් කළ ක්ෂේත්‍ර එකිනෙකාගෙන් වෙන්ව පවත්නා ක්ෂේත්‍ර යැයි මෙතෙක් කිසිවකු අදහස් කරගෙන සිටියේ නම් එය එසේ නොවේ යැයි සාක්ෂාත් කරගත හැකි වාතාවරණයක් මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ද කලා ක්ෂේත්‍රයේ ද ඉතා පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම සැබෑ දේශපාලන කලාකරුවා සහ ඊනියා දේශපාලන කලාකරුවා කවුද යන්න ද හෙළිදරව්වෙමින් පවතී.

 

විවිධ කලා ඉසවු නියෝජනය කරන කලාකරුවන්ට සහ කලාකාරියන්ට තමන් කැමති දේශපාලන පක්ෂයක් සමග සබඳතා පැවැත්විය හැකි ය; අදාළ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තම තමන්ගේ කලා හැකියා භාවිත කළ හැකි ය. නමුදු ‘කලාකරුවා යනු අනාගතය විනිවිද දැකිය හැකි පුද්ගලයෙකි’ යනුවෙන් සංකල්පයක් සමාජය තුළ රෝපණය වී ඇති බව ද ඔවුන් අමතක නොකළ යුතු ය. එසේ වුව ද ඇතැම් විට සංවේදි කලාකරුවකු හෝ කලාකාරියක දේශපාලනය නමැති මලපුඩුවේ එක්වරක් පැටලිය හැකි ය; එහෙත් එය අදාළ කලාකරුවාගේ මරණය (භෞතික මරණය නොවේ) සටහන් කරන්නට තරම් දරුණු නොවිය හැකි ය. එසේ නම් එවන් කලාකරුවන් සහ කලාකාරියන් කළ යුත්තේ එළඹෙන නිමේෂයේ එම දේශපාලන මලපුඩුව ආසන්නයෙන් හෝ ගමන් නොකිරීම ය. ඊට හොඳ ම උදාහරණයක් ලෙස 2015 වසරේ දී ‘යහපාලන’ දේශපාලන ධාරව සමග අත්වැල් බැඳගත් ඇතැම් කලාකරුවන් සහ කලාකාරියන් 2019 ජනාධිපතිවරණයේ දී මෙන් ම 2020 මහ මැතිවරණයේ දී ස්වාධිනව කටයුතු කිරීම ගෙනහැර දැක්විය හැකි ය.

ඔවුන් එක් නිශ්චිත නිමේෂයක, ඒ නිමේෂයේ රටේ පැවති දුරේධාන්ත පාලනයට එරෙහිව ඔවුනොවුන්ගේ කලා කුසලතා ද භාවිත කරමින් වෙනස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටියේ ය. නමුත් සිවු වසරක් ඉක්ම යන මොහොතේ අදාළ දේශපාලන කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් නුසුදුසු ක්‍රියාමාර්ග හේතුවෙන් ම පෙර පැවති මැතිවරණයේ දී මෙන් නොව ඊළග මැතිවරණයේ දී අදාළ දේශපාලන කණ්ඩායම සමග කටයුතු නොකරන්නට වග බලාගත්තේ ය. එය සබුද්ධික ක්‍රියාවකි. එබැවින් ‘‘කලාකරුවන් සහ කලාකාරියන්’’ ලෙස එතෙක් පවත්වාගෙන ආ ප්‍රතිරූපය තව දුරටත් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකි විය. එය ඔවුන් පුද්ගලිකව ද සමාජීය වශයෙන් ද අත්පත් කරගත් ජයග්‍රහණයකි.

කලා සහ සාහිත්‍ය ක්ෂේත්‍රෙය් නියුතු එක් පාර්ශ්වයක් එලෙස කටයුතු කරන් අතර ම තවත් පිරිසක් අනෙක් දේශපාලන පාර්ශ්වයේ පරාජය අබියස නොසැලී සිටිමින් (ඔවුන්ගේ විග්‍රයට අනුව) එම පාර්ශ්වය සමග ම කටයුතු කළේ ය. ඒ, යහපාලන පාර්ශ්වයට වඩා අනෙක් පාර්ශ්වය දේශපාලනමය වශයෙන් සාධනීය නොවන බව දැන දැන ම ය. ඊට බලපෑ ප්‍රධාන හේතුව වූයේ එම කලාකරුවන් සහ කලාකාරියන් අදාළ දේශපාලන පාර්ශ්වය වෙතින් ලබාගත් විවිධ ලාබ, ප්‍රයෝජන, පදවි, ඨානාන්තර යනාදියට කෘත ගුණ සැලකීමක් වශයෙනි. ඔවුන් සමග ම බැඳුණු තවත් කලාකරුවන් සහ කලාකාරියන් පිරිසක් අනාගතයේ ඔවුනොවුන්ට ලබාගත හැකි යැයි විශ්වාස කළ වරදාන, වරප්‍රසාද යනාදියට ලොබ බඳිමින් එම දේශපාලන පාර්ශ්වය සමග කටයුතු කළේ ය. 

 

මෙම දෙපාර්ශ්වය වෙනුවෙන් ම පෙනී නොසිටි සාහිත්‍ය කලාකරුවන් සහ කලාකාරියන් පිරිසක් ද මේ වන විට පැවති සහ පවතින දේශපාලන නාඩගම් දෙස අවධානයෙන් සිටියහ; ඔවුහු තම සාහිත්‍ය කලා කටයුතුවල නිරතවන අතර ම විවිධ අවස්ථාවල දී පරම්පරාගත සහ පවුල් සංවර්ධනය වෙනුවෙන් දේශපාලනයේ නිරතවන පිරිස පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ නිරත වූහ. නමුදු ඔවුන්ට ද දේශපාලනයක් තිබිණ. ඒ දේශපාලනය වටහා ගන්නට ඇතැම් කලාකරුවෝ අසමත් වූහ. එසේත් නොවේ නම් එය වටහාගෙන ම නොවැටහුණා සේ කල්ගත කළහ; තව දුරටත් පවතින දේශපාලන නාරා වළේ ම ලැග සිටියහ. අවසන සාමාන්‍ය ජනතාව එබඳු කලාකාර පිරිස් ‘‘කලාකරුවන්’’ ලෙස නොව ‘‘නළාකරුවන්’’ ලෙස හඳුන්වන්නට තරම් නිර්භීත විය.

 

long queues for gas and filling stations in sri lanka 623049e424d16 600

 

නළාකරුවන් නියෝජනය කළ දේශපාලන පාර්ශ්වයේ නොහැකියාව සමාජයට ප්‍රදර්ශනය වන මොහොත වන විට මෙරට වෙසෙන සාමාන්‍ය පුරුවැසියෝ පමණක් නොව විවිධ වරප්‍රසාද ලාභී ජන කොටස් පවා විවිධාකාරයේ ජීවන ගැටලු රාශියකට මුහුණ පෑහ. ලක්ෂයක මුදලක් ගෙවා හෝ: ගෑස් සිලින්ඩරයක්, කිරිපිටි පැකට්ටුවක්, ඉන්ධන ලීටර කිහිපයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා විය. යතුරු පැදියෙන් ගොස් ලොතරැයි ටිකට් පතක් විකුණා ජීවිතය සරි කරගන්නා පුද්ගලයාගේ සිට ඉහළම ධනපති පංතියේ පුද්ගලයා දක්වා වූ සැම සියලු දෙනා ම මෙම අර්බුදයට ගොදුරු විය. මේ අතර පෙර කී කලාකරුවෝ, කලාකාරියෝ මෙන් ම නළාකරුවෝ සහ නළාකාරියෝ ද වූහ. නළාකාර පාර්ශ්වය: ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ ද, කෂාය බිවු ගොළුවන් සේ ද නිහඩ ව්‍රතයේ ම රැඳී සිටියේ ය. එහෙත් කලාවට මෙන් ම ජනතාවට ද ආදරය කරන, කලාවේ මෙන් ම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින ‘‘කලාකරුවෝ’’ ඔවුහු මෙතෙක් දරා සිටි ස්ථාවරය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යන අතර ම පවතින දූෂිත රාජ්‍ය පාලනයට එරෙහිව හඬ නගන්නට වූහ; ක්‍රියාශීලිවන්නට වූහ. ඒ, ශ්‍රී ලාංකීය භූමියේ මෙතක් පැවති දේශපාලන සටන් නව්‍ය මාවතක් වෙත යොමු කරමිනි. ඒ සඳහා සාහිත්‍ය කලාවට සම්බන්ධ පිරිස් පමණක් නොව නූතන තාක්ෂණය ඔස්සේ සමාජ අවධානයට ලක්ව සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පිරිස් ද සහභාගී වූහ.

 

 

මේ අවස්ථාවේ දී දේශපාලනයේ කලාව සහ කලාවේ දේශපාලනය නමැති බෙදුම් රේඛාව ඉතා පැහැදිලි ලෙස දර්ශනය විය; කලාකරුවා සහ නළාකරුවා කවුදැයි නිවැරැදිව ම සමාජයට හෙළිදරව් විය; කලාකරුවෝ වීදි සටන් සඳහා එළියට බටහ; සමාජයේ විවිධ පාර්ශ්ව ඔවුන් ඉතා ආදරයෙන් වැලඳගත්හ. මේ උද්‍යෝගිමත් මොහොතේ එතෙක් නිහඬ ව්‍රතය රැකි තක්කඩි නළාකරුවන්ගේ: අගුළු වැටී තිබූ දෙසවන්වල අගුළු විවරවන්නටත්, අන්ධව තිබූ දෑස්වල පෙනුම ලැබෙන්නටත්, වචනයකුදු නොදෙඩූ මුව විවරවන්නටත් විය.

මේ අතර තමන් ස්වාධින යැයි සමාජය අබියස් පෙනී සිටි, කලාකරුවෝ ද නළාකරුවෝ ද නොවූ ඇතැම් තක්කඩියෝ ද නින්දෙන් අවදි වූහ; පළමු රැල්ලේ දී දඩිබිඩියේ පැමිණ අරගලකරුවන් සමග සිටගන්නා බව පවසමින්, වසර ගණනාවකට පෙර අලෙවි කළ ගීත යළි ගයන්නට වූහ. ඔවුන් කෙතරම් මුග්ධ ද යත් ඔවුන් ම දැන හෝ නොදැන ගැයූ ඇතැම් සිංහල, බෞද්ධ ගීත ද ශුද්ධ වූ අරගල භූමියේ ගැයුහ; එතෙක් ශුද්ධ ලෙස තමන්ගේ අරගලය පවත්වාගෙන ගිය අරගලකරුවෝ සහ අරගලකාරියෝ ද ඔවුන් ද නොදැනුවත්ව ම සිංහල, බෞද්ධ ගීත වෙනුවෙන් අත්වැල් ඇල්ලූහ. ඇතැම් විට ඔවුන් එසේ කළා යැයි පිළිගන්නට ඔවුන් සුදානම් නැති වන්නට ද පිළිවන. ඒ, නාමධාරි කලාකරුවෝ සහ කලාකාරියෝ දුටු මනතින් ඔවුන්ගේ දෙනෙත් අදහාගත නොහැකිව අන්ධානුකරණයට ලක්වු බැවිනි. නමුදු මා ඔවුන්ට අභියෝග කරන්නේ යළි ආපසු හැරී බලන ලෙස යි. එවිට නම් ඔවුන්ට යථාවබෝධය ලැබෙන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි සිතේ; ඔවුන් නොදැන සිදු කළ හෝ සිදු වූ වරදින් ඔවුන් නිදොස් කර නිදහස් කිරීමට ද පිළිවන. ඒ, අන් කිසිවක් නිසා නොව ඔවුන් මේ අරගලයේ මුඳුන් මුල් වන බැවිනි.

 

.

 

මේ සියලු අකට විකට මධ්‍ය යේ වුව කලාකරුවාගේ දේශපාලනය යනු දේශපාළුවන්ගේ වේදිකා අබියස සිට: ඔල්වරසන් දීම, අත්පොළසන් දීම, එම වේදිකා මත නැග ගීත ගැයීම හෝ බෑඟිරි ගැසීම නොවන බව මෙම අරගල භූමියේ දී ප්‍රත්‍යක්ෂ කළේ ය. ඒ සඳහා විවිධ කලා ඉසවු නියෝජනය කරන කලාකරුවෝ සහ කලාකාරියෝ සහභාගි වූ අතර ඒ අතර විශේෂ පුද්ගලයන් තිදෙනෙක් විය. ඒ, සුජිත් රත්නායක, කලණ ගුණසේකර සහ ජෙහාන් අප්පුහාමි ය. ඒ අතුරෙන් ද ජෙහාන් අප්පුහාමි සුවිශේෂි ය.

 

මා දන්නා ඉතිහාසය තුළ දේශපාලන අරගල භූමියක නියැළිය හැකි අභියෝගාත්මක ම කර්තව්‍ය යේ නිරත වූයේ ඔහු ය. ඒ, පාස්කු ප්‍රහාරයට ලක්ව ජීවිතය අහිමි කරගත් සියලු දෙනා වෙනුවෙන් කරන උපහාරයක් මෙන් ම, බල ලෝභිත්ව උදෙසා ම එම ප්‍රහාරය මෙහෙයවූ ම්ලේච්ඡ දේශපාළුවන්ට විරෝධය පාමින් මීගමුව කටුවපිටියේ සිට අරගල භූමිය දක්වා කුරුසිය උර මත රඳවාගෙන දින තුනක් තිස්සේ පාගමනින් පැමිණීම ය. මෙම ලිපිය ලියන මොහොත වන විට ඔහු කිසියම් අසනීප තත්ත්වයක් මත රෝහල් ගතකර සිටින බව දැනගන්නට ලැබිණ. ඔහු එම තත්ත්වයට පත්වූයේ දේශපාළුවන්ගෙන් හෝ රටේ ජනතාවගෙන් වුව කිසිදු වරදානයක්, වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුගේ මුඛ්‍ය අරමුණ වූයේ පවතින මුග්ධ සහ ම්ලේච්ඡ දේශපාලන ක්‍රමය අබියෝගයට ලක්කිරීම ය; කලාකරුවාගේ දේශපාලනය යනු කුමක්දැයි ජනතාවට අවබෝධ කිරීම ය.

ඉදින්: නළාකරුවනි, ස්වාධින යැයි කියාගන්නා තක්කඩි කලාකරුවනි..., කලාකරුවා යනු කවුද, ඔහුගේ දේශපාලනය යනු කුමක් ද යන්න නිවැරැදිව අවබෝධ කරගැනිමට අවැසි නම් නුඹලා ජෙහාන් අප්පුහාමි ප්‍රමුඛ මෙම අරගලයට දායක වූ අවංක කලාකරුවන් පිළිබඳ කියවනු; ආදර්ශයට ගනු. ඉනික්බිති කලාව, දේශපාලනය, කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව යනු කුමක් ද යන්න නිවැරැදිව ම අවබෝධ කර ගනු.

 WhatsApp Image 2022 04 09 at 9.56.06 PM 1

නළාකරුවන්ගේ දැනගැනීම පිණිස

 

හැදුවේ පොඩි එවුන් මණ්ඩපයක් උසට

එනමුදු නැතේ උන් නැග්ගේ එය මතට

උස යැයි සිතා සිටිනා සමහරු කපට

අහසින් ඇවිත් පතබෑවුණි අව කලට

නළාකාර පිරිසකි උන් බැළ කෙරුව

රජාණෝ යදිති උන් නිති තුන් වරුව

අකා මකා ගන්නට උන්ගේ අඩුව

සභාවට පැමිණ මොර දෙන අපූරුව

කලාකරුවො ලෙද පිළිගත හැකි පිරිස

නොබා පසු නොබා පෙන්වති උන්ගෙ රැස

අනේ නළාකරුවනි තොප හොඳින් අස

තොපි දුහුවිලි සුඟකි මේ තුඟු දනන් අස

 


Trans+National New Left MagazineOpiuma Leftසංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි  අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2022/04/23

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කලාව, දේශපාලනය, කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව | The Leader