පීඩාව ට පත් මිනිසුන් තමන් නොදැනිම පීඩකයාගේ භුමිකාවට මාරු විය හැකි බැවිනි. එසේ වන්න ට ඕනෑ තරම් ඉඩකඩ වර්තමානයෙහි ඇත. මිනිසුන් අයුක්තිය, අසාධාරණය සහ දූෂණය සිදුවන අවස්ථාවලදී නිහඬ නම්, එවිට ද තෝරාගෙන ඇත්තේ පීඩකයාගේ පැත්තයි. තවද, සංහිඳියාව මේ අරගල බිමට ගෙන එන්නට අපි සියලු වෙනස්කම් අබිබවා ගොස් ඇති බව පෙන්වා සිටිමු. එහෙත් සැබෑ සංහිඳියාව ට ඉඩ ඇත්තේ මතුපිටින් සිදුකරන ආගමික සංස්කෘතික පිලිවෙත්වලින් පමණක් නොව, ඉන් ඔබ්බට යන්න ට සැබෑ අද්ධ්‍යාත්මීක පරිවර්තනයක් ගිහි පැවිදි සියලු ජන කොටස් ඇතිවන්නේ නම් පමණි.
ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආරමිභ වු ජන අරගලය, ගෝල්ෆේස් භුමිය තුළ විවිධ හැඩ ගනිමින්, දින ගණන් ගෙවෙමින්, තරුණ ජවයෙන් සහ කලාකරුවන්ගේ අනේකවිධ රැඟුම් වැයුම් ගැයුම් වලින් පිරී ඇති අයුරු අපි විමසුම් ඇසින් නැරඹිය යුතු වෙමු. මේ දසුන් අතරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ නැගිටීම මෙන්ම ඔවුන් සතු අත් නොහරින එඩිතර බුද්ධිමත් මැදිහත්විම සහ කැපවීම ද වැඩිහිටි පරපුරේ අවධානය ට ලක් විය යුත්තකි.
දකුණේ ජනතාවගේ වීදී බැසීම

අද ජනතාව වීදි බැස ඉන්නේ තමන්ගේ කුසගින්න, ජීවත්වීමට ඉඩක් නොමැතිකම, දරුවන්ගේ අධ්‍යාපනය සහ තමන්ගේ දෛනික ජීවිතය පවත්වාගන්නට නොහැකි බවටත් ඔබ්බෙන් ගිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැතිකම, කොටින්ම කියතොත් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් සහමුලින්ම කප්පාදු වී තිබීම හේතුවෙනි. මේවනවිට ජනතාවට රාජපක්ෂවාදය හේතුවෙන් ජීවත්විමට තිබිය යුතු මුලික අවශ්‍යතාවන් පවා නැති වීම පමණක් නොව ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ද සිදුවී ඇත.
සිංහල සමාජය මෙදා අත්විදින මේ කටුක අත්දැකීම හා වේදනාව එදා අවුරුදු තිහක යුද්ධය අවස්ථාවේදී දෙමළ ජනතාව අත්වින්දා පමණක් නොව, එදා මෙන් අදත් ඒ වේදනාව අත්විඳිමින් සිටී. එදා දෙමළ ජනතාව ට එරෙහිව පීඩනය දියත් කරන විට සිංහල ජනතාව දෙමළ ජනතාවගේ දුක් ගැහැට සැබැවින්ම දුටුවේ නැත. පිටස්තර බලවේග සමග ද එක්වී සිංහල ජනයා තමන්ගේ වවනයෙන් සහ ක්‍රියාවෙන් කලේ දෙමළ ජනයා මත මහත් පීඩනයක් පැටවීම ය. එතරම් පීඩාවක් දෙමළ ජනතාව මුහුණ දෙන විට බොහෝ සිංහල ජනතාව තුළ සහකම්පනයක් සහ දයාවක් හටගත්තේ නැත්තේ ඇයිදැයි සිංහල අප මේ මොහොතේ අපෙන් ම ප්‍රශ්ණ කල යුතු වෙමු. සැබෑ ලෙස අප තුළ ස්වයංවිවේචනයකින් තොරව නියම සමාජ-දේශපාලනික විපරිණාමයක් බලාපොරොත්තු විය නොහැක.
ගෝල්ෆේස් පිටියෙන් දිස්වන බහු ආගමීක එකමුතුකම

ගෝල්ෆේස් පිටියෙන් නැගෙන ආගම් අතර ඇති සංස්කෘතික එකඟතාව සැබෑ වෙනසක් රට තුළ ගෙන එන්නට නැගෙන හඬක් දැයි අප විමසිය යුතු වෙමු. ගෝල්ෆේස් පිටියේ දකින්න ට ඇති ආගම්, ජාති, පාට නැති සමාජයක් පිළිබඳ පරමාදර්ශය, සංඛ්‍යාවෙන් කුඩා වූ ආගම් හා ජාතීන් රකින යථාර්තයක් විය යුතු බව අවධාරණය කරමු. සිංහල බෞද්ධ ජනතාව සැබැවින්ම “අප සමගයි” කියා විශ්වාසයක් තමන් තුල තැන්පත් කරගැනීමට මේ අරගලය හරහා සියලු සංඛ්‍යාවෙන් කුඩා වූ ආගම් වලට සහ ජාතීන් ට අයත් ප්‍රජාව ට දැනිය යුතුය. මේ සුහදත්වය රටේ බහුල වූ සමාජය යළි ස්ථාපිත කරන්නට දරන අව්‍යාජ උත්සාහයක් වුවහොත් පමණි සැබෑ ලෙසම බහුලත්වය අගය කරන සමාජ පරිසරයක් නිර්මාණය වනු ඇත්තේ.
ලෞකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මුලපිරීම සඳහා ජනතා අරගලය යොමු කල හැකි නම්, හැබැවින්ම ජනතාවන් අතර සාමය, සමානාත්මතාවය, සහ සංහිඳියාව ස්ථාපිත වෙනු ඇත. වර්තමාන අරගල බිම අලුත් ආගමිකත්වයක්, බහුලත්වය අගයන, විවිධ ජාතීන්ගේ සහ ආගම්වල අනන්‍යතා තහවුරු කරන සමාජයක් බිහිකරන්නට හැකි වටපිටාවක් ඉල්ලාසිටියි. මගේ අදහස අනුව අන්තර්-ආගමික සංවාදය ගැඹුරු කරගැනීමට සැම ගිහි පැවිදි පාර්ශවයන්ගේ අවංක දායකත්වයක් අවශ්‍යය. මේ අලුත් ආගමිකත්වයේ අන්තර්ගතයන් සංවාදය තුළින් අර්ථවත් සහ පලදායි කරගැනිම අත්‍යවශ්‍ය වෙි.
අරගලය භුමියේ වඩාත් ඉස්මතුවන ජාතික කොඩිය

අද, අපි අරගල බිමේ දකින ජාතික කොඩිය, සියලු දෙනාගේ බහුලත්වය, එකමුතුකම ප්‍රකාශ කරන සංඛේතයක් නම්, එය ඉතා හොඳය. නමුත් එය තිස් අවුරුදු යුද්ධයේදී දෙමළ ජනතාව මර්ධනය කරන්නට සහ දිනාගත් යුධ ජයග්‍රහණයේ ජාතිවාදි ආඩම්බරය පෙන්වීමේ මානසිකත්වයෙන් වැනූ ජාතික කොඩිය හා සමානාර්තයෙන් ඉදිරිපත් වේ නම්, අපි තවමත් පසුගාමී මිනිසුන් වෙමු.
සටන්බිමේ සිටින සියලු සහෝදර සහෝදරයින් තමන්ගේ ආවර්ජනයන් ඔස්සේ තමන් කොතරම් නිර්ව්‍යාජ ව මේ කාරණා සලකා බලනවා ද යන්න අපට වැදගත් ය. මන්ද, යලිත් සමාජයේ කෙටවිලි, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැති වන්නේ නිර්ප්‍රචණ්ඩව, වගකීමෙන් යුතුව අනෙකා දෙස වටිනාකමක් දෙන්න ට අප තුළ නිපුණතාවක් වැඩෙන්නේ නම් පමණි.
සියලු ජාතීන් නියෝජනය වන පරිදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වී තිබුණ ද, කොඩියෙන් ප්‍රකාශිත සමානාත්මතාවය ශ්‍රී ලංකාව තුළ තවමත් වචනවලට පමණක් සීමාවී ඇති හෙයින්, සියලු ජාතීන් සමානාත්මතාවයෙන් හා එකම මානූෂීය වටිනාකමිකින් යුතුව සළකනු ලබමින් ජාතික කොඩියට හිමි සැබෑ අභිමානය ලබාදෙන්නට ආරම්භය ගතහැක්කේ ද මෙම අරගල භූමියෙන් ම ය. වසර ගණනාවක සිට තවමත් වෙර දරන සැබෑ සංහිඳියාවේ ආරම්භය ගතහැක්කේ ද මෙම අරගල භූමියෙන් ම ය.





