The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක් - මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader Desk

May 2, 2022 • 9:32 AM

ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක් - මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අප රට පෙර නොවී විරූ අර්බුදයක ගිලෙමින් පවතියි.
  • බඩු මිල දරා ගත නොහැකි ලෙස ඉහල යමින් පවතී.
  • රාජ්‍ය දත්ත (CCPI) අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර මිල උද්ධමනය 46.6% දක්වා වැඩිවී තිබේ.
  • දිනපතා කෙරෙන විදුලි කප්පාදු නිසා ජන ජීවිතය අවුල් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



අද අප රට පෙර නොවී විරූ අර්බුදයක ගිලෙමින් පවතියි. බඩු මිල දරා ගත නොහැකි ලෙස ඉහල යමින් පවතී. රාජ්‍ය දත්ත (CCPI) අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර මිල උද්ධමනය 46.6% දක්වා වැඩිවී තිබේ.

වැඩි මිලට හෝ ලබාගත් ආහාර ද්‍රව්‍ය පිස ගැනීමට ගෑස් හොයාගැනීම දුෂ්කරය, දෙගුණයක් මිලය. දිනපතා කෙරෙන විදුලි කප්පාදු නිසා ජන ජීවිතය අවුල් වී ඇත.

විදුලිය පදනම් කරගත් සුළු සහ මහා ව්‍යාපාර අමාරුවේ වැටී ඇත. ෂෙඩ් ළඟ පෝලිම් රට පුරා දකින්නට ඇත. බෙහෙත් හිඟය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතී. පෝලිම්වල මිනිසුන් මියැදෙති. අසාධාරණයනට විරුද්ධව හඬ නගන මිනිස්සු පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙති. මේ පිළිබඳව ත්‍රෛනිකායික මහනායකවරුන් පවා ජනාධිපතිවරයා වෙත යොමු කල සංදේශයක් මගින් තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

සිදු කරන සියලු දේ වරද්දා ගත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රශ්න තවත් උග්‍ර කරන ලදි. එයට උදාහරණ එමටය.

# ලංකාව සියයට සියයක් කාබනික කෘෂිකර්මයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත් කිරීමේ කතාවක් කියා පොහොර ආනයනය තහනම් කළද, අවසානයේ රටට සිදු වුයේ භාවිතා කළ නොහැකි ආනයනික පොහොර සඳහා ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්නටය; අති විශාල මුදලක් ආනයික ආහාර සඳහා ගෙවීමටය; දශක ගණනාවක් තිස්සේ අමාරුවෙන් ගොඩ නගා ගත් ස්‌වයංපෝෂිතබව නැති කර ගන්නටය.  

# කෘතිම විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට කල උත්සාහය හේතුවෙන් විදේශයන්හී වැඩ කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සම්ප්‍රේශණයන්ද අඩු කරගෙන ඇත.


''හානිය සිදුවුණු පසු එම නිලධාරීන් ඉවත්කිරීම ප්‍රමාණවත් නොවේ''


ආර්ථිකයෙන් පටන් ගත් අර්බුදය මුළුමහත් දේශපාලන ව්‍යුහය සහ සමාජය වෙලා ගෙන ඇත. තවම අපි අර්බුදයේ පතුල දැක නැත. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇරඹුනු විරෝධතා තරුණ පරම්පරාවේ බලාපොරොත්තු විනාශ කර දැමීමේ වගකීම දක්වා පුළුල් වී ඇත. සක්‍රිය පුරවැසියන් නිර්මාණය වී ඇත. ගාලු මුවදොර ප්‍රමුඛව අලුත් පන්නයේ විමධ්‍යගත අරගල භූමි නිර්මාණය වී ඇත.

ජනාධිපතිවරයා යම් වැරදි පිළිගත්තද, ඒවායේ වගකීම භාරගැනීමට කටයුතු කරන බවක් නොපෙනේ. තමන්ගේ තනි අභිමතය මත පත් කර ගන්නා ලද නිලධාරීන්ට වගකීම් පැටවීම නායකයෙකුට කල නොහැක. හානිය සිදුවුණු පසු එම නිලධාරීන් ඉවත්කිරීම ප්‍රමාණවත් නොවේ.

1 1
අරගල කරුවන් ඉල්ලා සිටින ආකාරයට ඔවුන් පත්කළ, ඔවුන්ගේ උපදෙස් ඇසු ජනාධිපතිවරයාද ඉල්ලා අස් විය යුතුය. එම වැරදි තීරණ අනුමත කල අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයද වග කිව යුතුය. දැනට ඉල්ලා අස් නොවී සිටින අග්‍රාමාත්‍යවරයාද ඉල්ලා අස් විය යුතුය.


ජනාධිපති තුමා සහ රාජපක්ෂවරුන් දේශපාලන කරලියෙන් ඉවත්වීම සක්‍රිය පුරවැසියන්ගේ ප්‍රධාන ඉල්ලීම් බවට පත්වී ඇත. ජනමත සමීක්ෂණ මගින්ද මෙය සනාත කෙරේ.

 

රට මෙම අගාධයට ඇද දැමු දේශපාලන ක්‍රමයට විකල්පයන් ජනතාව ඉල්ලා සිටී. නමුත්, රට සුවපත් කිරීමේ කාර්යයට නායකත්වය දීමට සහ රාජපක්ෂවරුන් ගෙන් තොර ආණ්ඩුවක් සාදා ගැනීමට පාර්ලි‌‌මේන්තුව අසමත් වී ඇත. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය මෙම අසමත් බවට ප්‍රධාන සාධකයකි. මෙතුලින් සාමකාමී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ක්‍රමවේදයන් ගැන ජනතා විශ්වාසය පලුදු වීමේ අවදානමක් මතු විය හැක.

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාදවී පටන් ගත් නිසා, ඉදිරි මාස කිහිපය තුල අත්‍යවශ්‍ය සැපයුම් පවත්වා ගැනීම සඳහා අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන (bridge financing) ඉක්මනින් සකසා නොගත හොත් ජන ජීවිත අදටත් වඩා දුෂ්කර වනු ඇත.

මානුෂික ආධාර වශයෙන් ලබාගන්න බෙහෙත් තියෙනවා යැයි සිතමු. එහෙත් රෝහලට යන්න වාහනයක් නැතිනම්, ගිලන් රථ පවා ඩීසල් නැතුව දුවන්නේ නැතිනම්, ඒත් අවසන් ප්‍රතිපලය ලෙඩා මැරෙන එක නොවේද?

 මෙය ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැක තත්ත්වයන් නිර්මාණය කිරීමේ අවදානම ඇති කරයි.

ජනාධිපති අග්‍රාමාත්‍ය දෙබෑයන් තියාගෙන කැබිනට්ටුවේ පුද්ගලයින් මාරු කිරීමෙන් අරමුදල් සපයා ගෙන ඉදිරි මාස කිහිපය තුල ආර්ථිකය පවත්වා ගැනීමට නොහැකි බව දැන් ඔප්පු වී හමාරය.

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන පරිදි අද අවශ්‍යව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇතුළු අවම පොදු වැඩ පිළිවෙලක් මත පදනම්වූ සර්ව පාක්ෂික ආණ්ඩුවකි. මෙය අපට සහන දිය හැකි ජාත්‍යන්තර පාර්ශවයන්ගේද අපේක්ෂාව විය හැකැයි උපකල්පනය කල හැක.

 

රට තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති ජනාධිපති වරයෙකු සහ අගමැතිවරයෙකු නොමැතිව ජන දුක අවම කර අර්බුදයෙන් ගොඩ ඒමට මගක් නැත. ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි, එමෙන්ම අර්බුදයෙන් ගොඩ ඒමට ගතයුතු පියවර ගැන හොඳින් කරුණු පහදා දිය හැකි නායකත්වයක් නොමැතිව මෙය සාර්ථක කර ගත නොහැක.

20වන සංශෝධනය මගින් විධායකය සර්ව බලධාරී කර ව්‍යවස්ථාදායකය බල රහිත කර තිබූ නිසා, එය නිශේධ කිරීමට 21වන සංශෝධනයක් කඩිනමින් අනුමත කර ගැනීම බහු පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය යැයි සලකා එසඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරනු ලැබූ නමුත් මොනයම් හේතුවක් නිසා හෝ එම ක්‍රියාදාමය කඩාකප්පල් කරනු ලැබීය.

 

කමිටු පිහිටුවා කල් මැරීම විසඳුමක් නොවන නිසා, දැන් කල යුතු වන්නේ නීතිඥ සංගමය මගින් නිර්දේශ කර ඇති ආකාරයට දහතුන් වැදෑරුම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. වඩා සවිස්තරව ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සංක්ෂිප්ත ලෙස පහත ඉදිරිපත් කරනු ලැබේ.

 


1). සිදු කරනු ලබන සියලු දෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කල යුතුය.

2). අප්‍රමාදව 20වන සංශෝධනය අහෝසි කරන 21වන සංශෝධනය ඉදිරිපත් කල යුතුය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු නොකිරීමට වග බලා ගත යුතුය.

3.) මහ බැංකු අධිපති සහ මුල්‍ය මණ්ඩල සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව කිරීම ආදී එකතු කිරීම් කිහිපයක්ද යෝජනා කෙරේ.

4). 21වන සංශෝධනය බලාත්මක කල වහාම සියලු ලේකම්වරුන් සහ සියලු ස්වාධීන කොමිෂන් සභාවන්ගේ (අධිකරණ සේවා කොමිෂන් සභාව හැර) සාමාජිකයන් අලුතින් පත් කල යුතුය.

5). ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් භාර නොදිය යුතුය.
 
 
6). හැකි ඉක්මනින්, උපරිම වශයෙන් මාස 15ක් ඇතුලත, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලි‌‌මේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් කේන්ද්‍ර කරගත් ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය.
 
 
7). අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික සමගි ආණ්ඩුවක් වහා පිහිට විය යුතුය. පිළිගත් දේශපාලන පක්ෂ අතර මැදුම් සම්මුතියක් ගොඩ නැගිය හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත යුතුය. එවන් පුද්ගලයෙකු පාර්ලි‌‌මේන්තුව තුල නොමැති නම් ජාතික ලැයිස්තුව මගින් පත්කරන ලද මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලා අස්වීම හරහා පරිබාහිර අයෙකු පත් කර ගත යුතුය.

8). අදාළ නිර්දේශපාලනික වෘත්තීයවේදී, වාණිජ සහ සිවිල් සංවිධාන මගින් ඒ ඒ අමාත්‍යාංශවලට අනුරූප වන 15 දෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන උපදේශක මණ්ඩලයක් පත් කර ගත යුතුය. සියලු තීන්දු තීරණ පාරදෘශ්‍යව ඔවුන්ගේ සහභාගිත්වයෙන් ගත යුතුය.

9). දේශපාලන පලිගැනීම් සම්බන්ධව පත් කල විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අහෝසි කර, ඊට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මත පදනම්ව ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුය.

10). අසරණතම ජන කොටස් කෙරේ විශේෂ අවධානයක් යොමු කරමින් රට ගොඩ ගැනීමේ අවම පොදු වැඩ පිළිවෙලක් ඉහත සඳහන් උපදේශක මණ්ඩලය සහ කැබිනට් මණ්ඩලය ආරම්භයේදීම අනුමත කර ගෙන ක්‍රියාත්මක කල යුතුය. එහි ඇතුලත් කල යුතු උපාංග 12ක් උදාහරණ වශයෙන් සඳහන් කර ඇත.

මෙහි ප්‍රමුඛතම වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට කරන කටයුතු විධිමත්ව කරගෙන යෑම සහ අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා පවත්වාගෙන යෑමයි. දූෂණයට සහ රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහි නෛතික ක්‍රමවේදයන්ද මෙහි අඩංගු වේ. වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නෛතික වෙනස්කම්ද ඇතුලත් වේ. සුදුස්සන්ට ඉඩ සැලසෙන අයුරින් ජනතාවගේ නියෝජිතයන් පත් කර ගැනීමේ ක්‍රමය සකස් කර ගැනීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

11). විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අවම පොදු වැඩ පිළිවෙලෙහි අනිවාර්ය අංගයක් විය යුතුය.

12). අවම පොදු වැඩ පිළිවෙල මත පදනම්ව අලුත් අයවැයක් සකස් කල යුතුය.
 
 
13). ජාතික සමගි ආණ්ඩුවේ ආයු කාලය මාස 18කට සීමාවේ. මාස 18 ට පසුව පාර්ලි‌‌මේන්තුව විසුරුවා හරිනු ලබන අතර, මැතිවරණය පවත්වන තෙක් සති 6ක් භාරකාර ආණ්ඩුවක් ලෙස ක්‍රියා කල හැක.
 
 
 
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛව පැවති කැබිනට් මණ්ඩලය රටට කර ඇති හානිය පිලිබඳ වගකීම භාර ගනිමින් සහ අරගලභූමියේ ඉල්ලීමට අවනත වෙමින් ඉල්ලා අස්වීම රට ගොඩ ගැනීමේ මූලික පියවර බව අවධාරණය කල යුතුය.

විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ අතුරින්, අන් අයගේ අදහස්ද ගොනු කරමින් සකස් කරන ලද ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කල හැකි ආකාරයේ යෝජනා මාලාවක් ලෙස නීතිඥ සංගමයේ යෝජනාවලිය හඳුනාගත හැක. එය වැඩිදුර සාකච්ඡා කර අවශ්‍ය නම් සුළු වෙනස්කම් කිහිපයක් කර වහාම ක්‍රියාත්මක කල යුතුය.


එයාර් ඉන්දියා' විකුණුව වගේම 'ශ්‍රී ලංකන්' විකුණා දමනු ! - රොහාන් සමරජීව(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net


BASL 1
 BASL 2
 
 
BASL 3
BASl 4
 
BASL 5
BASL 6
BASl 7
BASL 8

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

.

Leader Whats app

 

 

WhatsApp Image 2022 05 02 at 1.08.35 PM

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...