The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන් දෙන්නම රිවස් - කාන්ති කාරියවසම්

T

The Leader Desk

May 4, 2022 • 7:06 AM

දැන් දෙන්නම රිවස් - කාන්ති කාරියවසම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොයි මොහොතේ හරි සුබ ආරංචියක් අහන්න ලැබෙයි කියලා ඇස් දෙකයි, කන් දෙකයි විතරක් නෙවෙයි කටත් ඇරගෙන තමයි හුඟක් වෙලාවට ඉන්නේ.
  • ඒ වාගේම යන්න කලින් 20 වන සංශෝධනය අහෝසි කරලා 19 බල ගන්වන්න යනවා, බලය විමධ්‍යගත කරන තවත් වගන්ති එකතු කරලා.
  • ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලාංකික ජාතියෙන් සමාව ඉල්ලා නිවේදනත් නිකුත් කරන බව කියනවා.
  • අයථා ලෙස පරිහරණය වුණා කියන රටේ දේපල සොයන්නත් සහාය වෙනවාලු.
අකුරු ප්‍රමාණය (Font Size):

කොයි මොහොතේ හරි සුබ ආරංචියක් අහන්න ලැබෙයි කියලා ඇස් දෙකයි, කන් දෙකයි විතරක් නෙවෙයි කටත් ඇරගෙන තමයි හුඟක් වෙලාවට ඉන්නේ.

 

හිටපු ගමන් විශේෂ ප්‍රවෘත්තියක් පෙන්වන්න පටන් ගත්තා. ජනාධිපති සහ අගමැති දෙන්නාම තනතුරු අතහැරලාලු. ඒ වාගේම යන්න කලින් 20 වන සංශෝධනය අහෝසි කරලා 19 බල ගන්වන්න යනවා, බලය විමධ්‍යගත කරන තවත් වගන්ති එකතු කරලා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලාංකික ජාතියෙන් සමාව ඉල්ලා නිවේදනත් නිකුත් කරන බව කියනවා. අයථා ලෙස පරිහරණය වුණා කියන රටේ දේපල සොයන්නත් සහාය වෙනවාලු.

 

අනේ බලනකොට යකා කියපු තරම් කළු නැහැනේ.

 

මෙන්න මෙන්න තවත් නිවේදන එනවා. ඒ එක්කම පෙරහැරකුත් එනවා පේනවා. කවුද මේ කසකාරයෝ දෙන්නා? හරි, හරි මේ අර ලී ක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් දෙන්නාම එක කදේ අරගෙන අහවල් "සුළඟත්" එක්ක ආපු දෙබෑයෝ නේ. සීවරං දෙයියනේ, එදා උජාරුවට හිටි රයිගමයයි, ගම්පලයයි දැන් හතර වටේට ජාතියට දණ්ඩ නමස්කාර කරමින් රටෙන්ම සමාව ඉල්ලනවා.

 

ඊලඟට එන්නේ කහ කුරුල්ලො වගේකුයි, සිවුරු හොරා කුරුල්ලො වගේකුයි නේද?


නෑ, නෑ, මේ එන්නේ අර වොයිස් කට් නිකායේ සෙට් එකනේ. ඉස්සරහින්ම එන්නේ සිවුර දණහිසටත් උඩින් උස්සා ගෙන වීරයා වගේ ගෑණුන්ට ජාති දාපු, හිරේ ගිහින් ලොක්කාගෙන් සමාව අරන් එලියට ආපු මැරවර උන්නාන්සේනේ. ඉන් පස්සේ අර පැලෝපීය නාල ගැන විශේෂ ඥාණයක් තියෙන ගනින්නාන්සේ එනවා. බලමු කවුද මේ පොතක් ඔළුව උඩ තියාගෙන එන්නේ කියලා. මේ අපේ හතේ පොත ගැන මූලග්ගාය හැදුන සාදුනේ. නාගරාජයා නැතුව හිස් කොකාකෝලා බෝතලයක් විතරක් දෝතින් වඩම්මාගෙන තවත් සාදු කෙනෙක්. නයිටිංගේල් සේවාවේ ලොකු උන්නාන්සේත්, එයිට පිටිපස්සෙන් තවත් කීප දෙනෙකුත් වඩිනවා පේනවා. ඔක්කෝම එකතුවෙලා මොකක්දෝ සජ්ඣායනා කරනවා වගේ  ඇහෙනවා. ආ, මේ ඉල්ලන්නේ එයාලා අතින් බුද්ධ ශාසනයට වුන වැරදි වලට විනය කර්ම කරන්න සංඝ සංගායනාවක් සුදානම් කරන්න කියලා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන්.  

 

ඔන්න දැන් එන්නේ උත්තරීතර සභාවේ අනාදිමත් කාලයක් තිස්සේ ඉන්න, කෙලින් ඇවිද ගන්නත් අමාරු, අර මහා ගෝසාව අතරෙත් නිදා වැටෙන, කට ඇරියොත් අමන කතා කියන සෙට් එකනේ. ඒ සමහර උදවිය ජීවිත කාලයක් තිස්සේ දැකලාම අපිත් ඉන්නේ ඉඩෝරයට අහුවෙලා වගේ, වේලිලා කරකුට්ටන් වුන මානසික තත්ත්වයක. මෙන්න.

 

සෙට් එක දැන් කියනවා ආයේ දියවන්නාව පැත්ත පළාතේ යන්නේ නෑලු. ඒ කතාවට නම් හිතට දැනෙන්නේ කාන්තාරයට පොද වැස්සක් නෙවෙයි, මහා ධාරාණිපාත වැස්සක් වැටෙනවා වගේ සැනසීමක්.

 

අනේ, කවුද මේ සෙම් සොටු කඳුළු පෙර පෙරා බෑඟිරි ගහගෙන, ජාතියෙන් සමාව ඉල්ලා අඬමින් එන බවලතා? ඒ නෝනා පස්සෙන් තව නඩයක් එනවා පේනවා. මේ අපේ කියත්මගේ ගිය වියත්තු නේ.

 

ඒ එක්කම රජයේ නිළධාරි බුරුත්තක් එනවා. පිට කොන්ද රබර් වලින් හදාගෙන, ඇස් කන් පියාගෙන "එහෙයි" කිවුවාට සමාව අයදිනවාලු.

 

නොයෙක් විදියේ අයුතු ලාභ ප්‍රයෝජන ගත්තු බිස්නස් කාරයෝ රැළක් බොහොම අමාරුවෙන්  හති දමමින් ඇවිදගෙන එනවා "සොරි" කියාගෙන.

 

ඒත් එක්කම එනවා පේන්නේ ඒකාලේ අපි බොහොම ආදරය කරපු කලාකාරයෙක් නේ. අනේ එයා අඬ අඬා කියනවා සුද්ධෝදන රජුට සහ දුටු ගැමුණු රජුට නෑකම් හොයලා දීලා මහරජාට අන්දවපු එක ගැන අනේක වාරයක් සමාවෙන්න කියලා. එයා නිකමටවත් හිතුවේ නැතිලු මහලා දුන්න පළියට ඔය තරමටම අඳීවි කියලා.  එයත් එක්කම එනවා අර බයිසිකල් ට්‍රැක් එක අරින වෙලේ ලොක්කට ප්‍රශස්ති ගී කියලා මිලියන ගණන් මහජන මුදල් ගත්තු සිංදු කාරයෝ දෙන්නා සහ තවත් කලාකරුවෝ. ඔක්කොම කියන්නේ එකම සිංදුව, “සමාවෙන්න” කියලා.

 

දැන් එන්නේ මාධ්‍ය කාරයෝ. මේ ඉස්සරහින්ම ඉන්නේ අර කොම්බු ලකුණයි, සුර්යා ලකුණයිනේ. උදේ ඉඳන් රෑ වෙනකල් මිනිස්සුන්ගේ ඔළුගෙඩි බොරුවෙන් පුරවලා, මිත්‍යා විශ්වාස, අවිද්‍යාව වැපුරුවාට වගේම, උදේ පටන් ගන්න කොටම කට්ටඩියෝ සහ සාස්තර පුංච‍ලාට කියලා බේගල් දෙසා බෑවට සමාවෙන්න කියනවා.

 

අනේ අපි රටක් විදියට මොන තරම් වාසනාවන්තද? වගකිවයුතු සෑම කෙනෙක්ම තමන්ගේ අතින් සිදුවුණ වැරදි නිහතමානීව පිළිගෙන, සමාව භජනය කරලා, වැරදි නිවැරදි කරගෙන එකට එක්වෙලා ඉදිරියට යන්න තීරණය කිරීම මොනතරම් උසස්ද? අනාගතයේ අපේ රට කේතුමතී නුවර වගේ වෙනවාට කිසිම සැකයක් නැහැ.

 

ඒත් එක්කම ඤාව් ගාගෙන ගෙදර ඉන්න බළල් තඩියා ඇඟට පැන්නා. අපොයි, අපොයි රූපවාහිනිය ඉස්සරහා නින්ද ගිහින් හීනයක් නේ දැකලා තියෙන්නේ.

 

මෙන්න මේ දැන් රූපවාහිනියේ බ්‍රේකින් නිව්ස් කියනවා "ඉල්ලා අස්වෙන්නේ බහුතරය පෙන්නුවොත්ලු". දෙයියෝ සාක්කි. ජනාධිපති විතරක් නෙවෙයි දැන් අගමැතිත් රිවස්.



image(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com



WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...