The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපි හරි අවාසනාවන්ත පරපුරක් -(චින්තන ධර්මදාස)

T

The Leader Desk

May 7, 2022 • 10:41 PM

අපි හරි අවාසනාවන්ත පරපුරක් -(චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනටමත් අපි පෙට්‍රල් ටිකක් ගහගන්න පැයකට ආසන්න කාලයක් පෝලිමේ ඉන්නවා.
  • ඇත්තටම අරගලය කියන්නෙ බලාපොරොත්තුව.
  • ඔහොම සුබවාදී අපේක්ෂාවකින් එකට රොක්වී පුංචි ෆැන්ටසියක් හෝ සාමූහිකව නිර්ම‍ාණය කර නොගත්තා නම් අපි මේ වෙද්දි ඉන්නෙ සිහිනයක් පවා අහිමිවයි.
  • ඇත්තටම රටේ හැම මනුස්සයෙක්ම පාහේ මේ වෙලාවෙදි එකට හිටගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

 


දැනටමත් අපි පෙට්‍රල් ටිකක් ගහගන්න පැයකට ආසන්න කාලයක් පෝලිමේ ඉන්නවා. ඒක සාමාන්‍යයක්. සුපිරි වෙළඳසැල්වල රාක්ක හිස් වෙමින් යනවා. තියෙන දෙයක් ගන්නවා මිස තෝරලා දෙයක් ගන්න අවකාශයක් නෑ. හැමදෙයක්ම තියෙන්නෙ අද හෝ හෙට සියල්ල නතර විය හැකිය යන හැඟීම පෙරදැරිවයි.

ඇත්තටම අරගලය කියන්නෙ බලාපොරොත්තුව. ඔහොම සුබවාදී අපේක්ෂාවකින් එකට රොක්වී පුංචි ෆැන්ටසියක් හෝ සාමූහිකව නිර්ම‍ාණය කර නොගත්තා නම් අපි මේ වෙද්දි ඉන්නෙ සිහිනයක් පවා අහිමිවයි.



දැන් අපි පොඩි පොඩි මිනිස්සු මේ රට යම් පමණකට හෝ යහපත් තැනක් කරන්නට ගන්නා වෙහෙස දකිනවා. එහෙම මිනිස්සු මේ රටේ ජීවත් වෙනවා කියල දන්නවා. ඒකට මං කියන්නෙ රටට ආත්මයක් තියෙනවා කියල දෙන හැගීම.

ඇත්තටම රටේ හැම මනුස්සයෙක්ම පාහේ මේ වෙලාවෙදි එකට හිටගත්තා. රාජපක්ෂලාට දරුණුවටම කඩේ ගිය අය පවා රාජපක්ෂලා එලවන්න පාරට බැස්සා. සමහරු තමන් කළ වරදට සමාව ගත්තා. රාජපක්ෂලාගෙන් ඉතාම දැඩිව සංග්‍රහ ලැබූ ඇතැමෙක් පාරට නොබැස නිහඩ වුනා. ඒක වුනත් ශිෂ්ට ලකුණක් කියලයි මං හිතන්නෙ.

තමන්ගේ ජීවිතය ගොඩදාපු කෙනෙකුට විරුද්ධව කවරම හේතුවක් නිසාවත් එලියට බහින්නෙ නැතිකම එක විදිහකට හොඳ ගුණයක්. නිහඩව පැත්තකට වෙලා තමන්ගේ හිතර්ශියා වෙනුවෙන් ලැබෙන අවමානය බෙදාගැනීමක්.

ඇත්තටම අපි අපේ ජීවිතය දිහා ආපහු හැරිලා බැලුවොත් අපේ ජීවිත කාලය ඉතාම අවාසනාවන්ත විදිහට ගතවුනු එකක්. ඉපදුනු දවසෙ ඉඳන් අවුරුදු තිහක්ම යුද්දෙ තිබුන. ඊට පස්සෙ මුස්ලිම් මිනිස්සු එක්ක සටන. තුන්සිය ගානක් මැරිලා ගෝටාවත් ජනාධිපති කරලයි ඒක නතර වුනේ.


අපි ඇස් පනාපිට දැක්කා අපේ වටිනාකම් විනාස වෙමින් යන විදිහ. අපි හැදී වැඩුනු බුද්දාගම පරිහානියට නෙමෙයි විසකුරු දහමක් බවට පෙරලෙන විදිහ. මිනිහෙකුට තමන්ගේ ආගම අත්හරින්න වෙනවා කියන්නෙ ලේසි කාරණයක් නෙමෙයි. ආගමක් කියන්නෙ අවසාන වශයෙන් පොදු යහපතක් ගැන විශ්වාසයක්. පුද්ගලික ආධ්‍යාත්මයේ දියුණුව පිණිස වදාරන දහමක් සංස්ථාපිත ආගමක් බවට පත්වෙන්නෙ එහෙමයි. පන්සලක් කියන්නෙ හිත නිවන තැනක් කියන සංකල්පයෙන් ගැලවිලා ගිනි තියන තැනක් බවට පත්වෙන හැටි අපිට බලන් ඉන්න වුනා.




අපේ ජීවිතේ සතුටු විය හැකි සියල්ල ලැබුනෙ බටහිර තාක්ෂණය හින්ද. ටීවී එක, ඊට පස්සෙ කොම්පියුටරේ, ඉන්ටර්නෙට් එක, ස්මාර්ට් ෆෝන් එක මේ දේවල් තමයි අපේ දූපතේ ජීවිතේට යම් අස්වැසිල්ලක් දුන්නෙ. නැත්තං අපේ ජීවිත ගතවුනේ ඛේදවාචක විදිහට.

අපේ රටේ විශාලම පරිහාණිය විදිහට මං දකින්නෙ බුද්දාගමේ සිද්ද වුනු පරිහාණයයි. රටේ සංස්කෘතික පරිහාණය කියන්නෙ තනිකරම ඒකට. නැතුව මිනිස්සු අරක්කු බොන, සංසර්ගය කරන, විනෝද වෙන ආකාරය නෙමෙයි.

රටේ ආධ්‍යාත්මික කේන්‍ද්‍රය ජාතිවාදයට ගියා. හතුරෙක් මවාගෙන ජීවත් වීම ස්වභාවික වුනා. ආගම ආධ්‍යාත්මික ගැලවීම වෙනුවට ජාතිය ගැලවීම කියන මිත්‍යාවට තල්ලු වුනා. මේ ජාතිවාදය ඇතුලෙ තිබුනෙ දූෂනය හොරකම සහ මෝඩකම විතරයි.‍

 


දැන් තව අවුරුදු දහයක් විතර අපිට සිද්ද වෙනවා අර්බුදය ඇතුලෙ ගත කරන්න. මොනම ආණ්ඩුවක් ආවත් ඒ තත්වෙ වෙනස් වෙන්නෙ නෑ. හැබැයි මේ ආණ්ඩුව හිටියොත් ගත කරන්න නෙමෙයි මැරිලා යන්න වෙනවා. වෙන ආණ්ඩුවකට පුළුවන් අඩුම තරමෙ බලාපොරොත්තුවක් ජීවත් කරන්න.

අපි 2015දිත් හිතුවෙ ඔහොමයි කියල ගොඩක් අය මට නැවත කියනවා. ඔව්, 2015 කියන්නෙ දේශපාලනයේ සුන්දරම හීනයක්. ඒකෙ තිබුනා අද අරගලයේ හැගීමම. රාජපක්ෂලාගේ ප්‍රබලකමත් එක්ක ආතතිය වඩා දරුණුවට. හැබැයි එතන හිටියෙ පොඩි පිරිසක්. එතන හිටියෙ විකල්පය. ඒක සමාජ අභ්‍යන්තරයේ උවමනාවක් විදිහට පරිණත වෙලා තිබුනෙ නෑ.

ඒ හින්ද 2015 කියන්නෙ මතුපිට වෙනසක් විතරයි. එඩිසන්ගෙ පළවෙනි බල්බ් එකත් පත්තු වුනේ තත්පර කීපයක් වගේ ඒ බලාපොරොත්තුව දැල්වුනෙත් කෙටි කාලයක්.

ඒත් 2022 වෙද්දි ඒක සමාජයේ පොදු උවමනාවක් බවට පත්වෙලා තියෙනවා. ආර්ථික අර්බුදයත් එක්ක ඒ අර්බුදයට බලපාපු සමාජ දේශපාලන සංස්කෘතියත් පොදු අව‍බෝදයක් මට්ටමට ඇවිත් තියෙනවා. ජාතිවාදය ආපහු දූෂණය වංචාව සහ මුග්ධබව හැටියෙන් පෙන්න අරගෙන තියෙනවා. විකල්පයේ අදහස පොදු වෙමින් මේන් ස්ට්‍රීම් පැවතුන අදහස සුළුතර වෙමින් යනවා.

ඒක හින්ද මේක 2015 වගේ නෙමෙයි. මේක ලංකාවෙ සිද්ද වෙන දැවැන්තම දේශපාලන වෙනස බවට පත්වෙනවා.



Gotagogama London 6මේ වෙද්දි අරගලය පාර්ලිමේන්තුව ඇතුලෙ විස‍දෙන ප්‍රශ්නයක් කියන සීමාවෙන් ඔබ්බට ගිහින් ..




මං හිතන විදිහට මේ වෙද්දි අරගලය පාර්ලිමේන්තුව ඇතුලෙ විස‍දෙන ප්‍රශ්නයක් කියන සීමාවෙන් ඔබ්බට ගිහින් තියෙන්නෙ.

ප්‍රතිසංස්කරණවාදියෙක් විදිහට ම‍ගේ දැඩි උවමනාව තිබුනෙ මේක පාර්ලිමේන්තුව ඇතුලෙ විසදෙන ක්‍රමවේදයකට තල්ලු කරන්න. ඒත් පාර්ලිමේන්තුවේ විපක්ෂයට එලියෙ දේශපාලන වෙනස අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. තමන් අහෝසි වෙමින් යන වග තේරුම් ගන්නවත් ඒ අයට දැනුමක් තිබුනෙ නෑ. පිටත සමාජය නව නූතනවාදයකට ප්‍රවිශ්ට වෙද්දි පාර්ලිමේන්තුව තමන්ගේ වැඩවසම් පෙරලි දමමින් කාලය අපතේ ඇරියා.

දැන් ජනතාවගේ අපේක්ෂාව තියෙන්නෙ පාර්ලිමේන්තුවෙන් පිටත. ඒක ව්‍යවස්ථාවෙ නෑ. ඒ කියන්නෙ ජනතා උවමනාව නියෝජනය කරන්න පවතින ව්‍යවස්ථාව අසමත්. රටක් විදිහට ඒක ලොකු අරාජික තත්වයක්. නමුත් අවාසනාවන්ත විදිහට අපිට ඒ හරහා යන්න නියමිතව තියෙනවා. මේ සිද්ද වෙන සමාජ සංස්කෘතික වෙනස ප්‍රකාශමාන කළ හැකි පාලනයක්, ව්‍යවස්තාවක් අපිට උවමනා වෙනවා.



ඒක කරන්නෙ කොහොමද? ඒක ප්‍රායෝගිකද? මං හිතන්නෙ මේ ප්‍රශ්න අදාල නෑ කියලයි. වැඩේ තියෙන්නෙ ඒක කරන්න සිද්ද වෙන එකයි. රට බංකොලොත් කරන තරමෙ හොරු රැලක් පාලනය කරද්දි උන් ටික එලවන්න ප්‍රතිපාදන නැති ව්‍යවස්තාවක් කියන්නෙ ජාතික ආරක්ෂාවට තියෙන ‍විශාලතම තර්ජනය බව දැන් ඔප්පු වෙලා තියෙනවා.

මට කිසි දවසක කතා කරලා දූෂනය වංචාව සහ අසමත්කම ගැන තේරුම් කරන්න බැරි වුනු උග්‍ර ගෝටාවාදියො ඉන්නවා. ඒ අයගෙ දරුවො මේ වෙද්දි අරගලයේ පදිංචිකරුවො. ඒ දෙමව්පියෝ වෙනස් වෙන්නෙ දරුවො හින්ද.

තමන් ජීවිත කාලයේම පක්ෂවලට නැමීගෙන ගතකරපු ජීවිතය වෙනුවට පොදු අනාගතයක් වෙනුවෙන් දේශපාලනය කරන්න පක්ෂ පාට නැතුව පාරට බැහැපු තමන්ගේ දරුවො ගැන උන්ට ආඩම්බරයක් තියෙනවා. ඒක හින්ද ඩබල් එකේ වෙනස් වුනු උන් ‘උඹලා මොකක්වත් කරන්නෙ නැද්ද?’ කියල අපිට බනිනවා. ඒක හරිම සුන්දර තත්වයක්.

අම්මලා තාත්තලා තමන්ගේ දරුවො ගැන ආදරය වෙනුවෙන් පැරණි දේශපාලනය අත්හරිමින් ඉන්නවා.

ගොඩක් අය රටෙන් යනවා වගේම තව ගොඩක් අය ආපහු රටට එමින් ඉන්නවා. මේ වෙලාවෙ තමන්ගේ හැකියාවෙන් කුමක් හෝ තමන්ගේ රට වෙනුවෙන් කරන්න ඕන කියන ‍රොමාන්තික හැගීමෙන් වැඩකරන ‍මිනිස්සු මට මුනගැහෙනවා. අපිට සතුටු වෙන්න තියෙන්නෙ අරගලය විතරයි. ජීවිතය කියල තියෙන්නෙ අරගලය විතරයි. ලංකාවෙ මෙතුවක් සිද්ද වුනු එකම විප්ලවය මේ අප්‍රේල් විප්ලවය විතරයි.




හැබැයි අපි හරිම අවාසනාවන්ත පරපුරක් කියන හැගීම මට තියෙනවා. එක පවුලක් විසින් විනාශ කරපු ආර්තිකයක් නිසා අපේ ජීවිතේ තවත් අඩුම වශයෙන් අවුරුදු දහයක් දුක් විඳින්න නියමිතයි.

ලංකාවෙ මිනිස්සු අතිසුඛෝපභෝගී ජීවිත ගත කලේ නෑ. සතියකට සැරයක් විතර පවුලත් එක්ක එලියට ඇවිත් රෙස්ටුරන්ට් එකකින් මොනවා හරි කාලා, ෆිල්ම් එකක් බලලා, ලයිට් තියෙන ගෙදරක ෆෑන් එකක් දාගෙන, තමන්ගේ රස්සාව ගැන අවිනිශ්චිත හැගීමක් නැතුව මනුස්සයෙකුට නිදාගන්න  තියෙන අයිතිය විතරයි උන් අවමයෙන් සපුරගෙන හිටියෙ.

දැන් ඒ ජීවිතය වෙනුවට පෝලිම්වල සටනක් උන්ට නිර්මාණය වෙලා තියෙනවා. සමහරු පෝලිම්වල මැරිලා වැටෙනවා.  

මේ ඇත්ත වේදනාව අමතක කරන්න තියෙන එකම විදිහ අරගලය. කෙලවුනු යතාර්ථයක හීනයක් දකින්න තියෙන පොඩි ඉඩක් අරගලය.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -'අනිද්දා' පුවත්පතින් )

 

 

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...