The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තාරුණ්‍යයට බලය දෙමු - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

May 14, 2022 • 3:40 AM

 තාරුණ්‍යයට බලය දෙමු - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයම දැක්කා පසුගිය මාසය පුරාවට ඒ තරුණ තරුණියන් කොයිතරම් සුන්දරව, සාර්ථකව ගෝඨාගෝගම පවත්වාගෙන ගියාද කියලා.
  • විවිධ උදවිය ඔවුන්ව මොනතරම් ප්‍රකෝප කරන්න උත්සාහ කළත්, ඔවුන්ගේ සංවරශීලි විනයගරුක බව දිගටම රැකගන්නත් ඔවුන් සමත් වුනා.
  • ඔවුන් ශිෂ්ඨත්වය, සාධාරණත්වය, සවන් දීම, ඇතුළත් කරගැනීම (inclusiveness), ඉවසීම (tolerance) වාගෙ මානව ගුණධර්ම වලින් පිරිලා වාගේම නවීන තාක්‍ෂනයෙනුත් බොහොම දියුණුයි.
  • පහුගිය මාසය පුරාවටම ඔවුන් ඒ බව පෙන්නුම් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලයක් පවත්වනවා.

ලෝකයම දැක්කා පසුගිය මාසය පුරාවට ඒ තරුණ තරුණියන් කොයිතරම් සුන්දරව, සාර්ථකව ගෝඨාගෝගම පවත්වාගෙන ගියාද කියලා. ඒ ගම පුස්තකාල, නාට්‍ය, සංගීතය සහ තවත් නොයෙකුත් විනෝදාත්මක දේවල් වලින් අංගසම්පුර්ණයි.

ඒ සියළු දෙයින් විනෝද වුනත් එක මොහොතකටවත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ගැන තිබුන අවධානය අංශුමාත්‍රයක් වත් සෙලවුනේ නැහැ.

විවිධ උදවිය ඔවුන්ව මොනතරම් ප්‍රකෝප කරන්න උත්සාහ කළත්, ඔවුන්ගේ සංවරශීලි  විනයගරුක බව දිගටම රැකගන්නත් ඔවුන් සමත් වුනා.

ඉතින් හිතලා බලන්න මේ වාගේ තරුණ පිරිසකට අවස්ථාව ලැබුනොත් අපේ රට මොනතරම් දියුණු තැනකට අරගෙන යාවිද කියලා. මේ අය බහු කාර්ය (multi-tasking) පරම්පරාවක්.  

ඔවුන් ශිෂ්ඨත්වය, සාධාරණත්වය, සවන් දීම, ඇතුළත් කරගැනීම (inclusiveness), ඉවසීම (tolerance) වාගෙ මානව ගුණධර්ම වලින් පිරිලා වාගේම නවීන තාක්‍ෂනයෙනුත් බොහොම දියුණුයි.



ඒ පරම්පරාවේ බහුතරයක් අපේ පරම්පරාවේ අය වාගෙ පෙට්ටි, මුට්ටි, හට්ටි වලට කොටුවෙලා හිරවෙලා නැහැ. වික්ටෝරියානු සදාචාරාත්මක වටිනාකම් වලට මුල්තැන දුන් අපේ පරම්පරාවලට අයත් බහුතරයට වඩා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් ප්‍රගතිශීලියි. ඔවුන්ට සහකම්පනය, සංවේදීකම හොඳින් තියෙනවා. කිසිම විදියක භේදයක් නැහැ. පහුගිය මාසය පුරාවටම ඔවුන් ඒ බව පෙන්නුම් කළා.



ඒ අරගලයේ ස්වභාවය නිසා මනුෂ්‍යත්වයේ ඉහල ස්ථර වල සිටි නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි වාගෙ අය අපේ යෞවනයින් අතරත් ඉන්න බව මුළු ලෝකෙම දැක්කා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට විවිධ රටවල ගෝඨාගෝගමවල් ඇතිවුනා.

ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ රටේ මානව හිමිකම් සුරැකීම කොයි තරම් පහල මට්ටමකද කියලා ආයෙ පුන පුනා කියන්න ඕන නැහැ. කිරි කොක්කු වගේ සුදු ඇඳගෙන, මල් වට්ටි ඔළුව උඩ තියාගෙන නොසිටියාට, මා නම් දකින්නේ ඔවුන් තමයි නියම බෞද්ධ දර්ශනය පිළිපදින්නේ කියලා. ඔවුන් බුදුන් වහන්සේ කිවූ ලෙසම මිත්‍යා විශ්වාස බැහැර කරලා, සමානාත්මතාවය අවිහිංසාව පිළිපදිනවා.



මැයි මාසේ නමවෙනිදා සිදුවූ දේ ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. පැය කිහිපයක් ඇතුළත මහා විනාසයක් කරලා, බොහොම සාමකාමීව එකතුවෙලා හිටපු ඒ නිරායුධ තරුණ තරුණියන්ට බරපතළ ලෙස පහර දීපු විදිය සහ ඒ සිදුවීමට කේන්ද්‍රස්ථානය වුන අරලියගහ මන්දිරයේ සිදුවුණ ජවනිකා පිළිකුල් සහගතයි.

ලංකා දේශපාලනයේ ඉතාම පරිණත, ඒ වාගෙම කූට බුද්ධියෙනුත් අග තැන්පත් හිටපු අගමැතිවරයා එදා ඒ සිදුකළ කතාව හරිම අමනොඥයි.

හිටපු අගමැතිවරයා ඒ තත්ත්වයට පත්වුණේ, වටේ හිටපු තකතීරු හෙන්චයියලා නිසා කියන හේතුව මට නම් පිළිගන්න බැහැ. මොකද හිටපු  අගමැතිවරයාට ඔවැනි දේවල් ගැන හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්, ලේසියෙන් රවටන්න බැහැ.  

තාර්කිකව පිළිගත හැකි හේතුව විදියට මා නම් දකින්නේ වයෝවෘද්ධ බව නිසා ඔහුගේ විචාර බුද්ධිය, දුර දක්නා නුවණ අඩුවී අවිචාරවත් වූ බවයි.

මා දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන නැතත්, යම් පමණකට මානව ජීව විද්‍යාව හදාරා තියෙනවා. මගේ දැනුමේ හැටියට, මානවයා වයසට යද්දී මොළයේ වෙනස්කම් ඇති වෙනවා, විශේෂයෙන්ම මොළයේ ඉදිරිපස ෆ්රන්ටල් ලෝබ් කොටස, හිපොකැම්පස්  වගේ කොටස් හැකිළීමට පටන් ගන්නවා. ඒකත් හරියට වයසට යද්දී මූණ රැලිවැටිලා, කොණ්ඩේ සුදු වෙනවා වාගෙ තමයි.

මූණේ රැලි සහ සුදු කෙස් ඇතිවීම මේකප් සහ ඩයි වලින් විසඳා ගත්තට, මොළය හැකිළීමට මේකප් එකක් තාම නැහැ. ඒවා තාම තියෙන්නේ පර්යේෂණ අදියර වල. ෆ්රන්ටල් ලෝබ් කොටස මානවයාගේ පෞරුෂය, හැසිරීම් සහ චිත්තවේග පාලන මධ්‍යස්ථානය විදියටත්, හිපොකැම්පස් කොටස ඉගෙනීම සහ මතකය සඳහාත් ක්‍රියා කරනවා.



ඉතින් වියපත් වීම නිසා මොළයේ විවිධ කොටස් දෝෂ සහිත වුනාම වෙනදේ තමයි අවිචාරවත් වීම. කිසියම් ආයතනයක හෝ විශේෂයෙන්ම රටක තීන්දු තීරණ ගන්නා උදවියගේ මොළය හැකිළුනොත් ආයතනයේ සේවකයන්ට හෝ රටේ වැසියන්ට මුහුණ දෙන්න වෙන්නේ හරිම භයානක තත්ත්වයකට. මැයි මාසේ නම වෙනිදා සිදුවුණ දේ දැක්කානේ. මොන තරම් විනාශයක්, ජීවිත සහ දේපල හානියක් වුණාද?



වයස්ගත වෙද්දී මොළය විතරක් නෙවෙයි ඇඟේ තියෙන හෝමෝන, සෛල, ක්‍රෝමසෝම වැනි හැම කොටසක්ම කාලය හා එක්ව පිරිහිලා යනවා. ඒ විශ්වීය සත්‍යය අභිබවා යන්නට මොන ජගතෙකුටවත් බැහැ.

නමුත් රටේ තරුණ පරම්පරාවේ මොළය තාම හැකිළිලා නැහැ, ඒ වාගෙම ඔවුන්ගේ ඵලදායිතා වර්ධනය, ජවය උපරිම අවස්ථාවේ තියෙන්නේ. එයින් ප්‍රයෝජන නොගැනීම කෙතරම් අනුවණද?

ගව හිමියෙක් සබුද්ධික නම් හොඳ නාඹර ගොන් වස්සෝ ඉන්දැද්දී, මහළු ගොනුන් කරත්තයට බඳින්නේ නැහැනේ. එහෙම කලොත් වෙන්නේ කරත්තය ඉදිරියට යනවාට වඩා ගමන අතරමැදදී මහළු ගොනාට සාත්තු කිරීමට සිදුවීමයි. ගමනාන්තය ගැන හීන දකින්න විතරයි හැකි වන්නේ.

පරමාධිපත්‍ය බලය හිමිකරුවන් වන පුරවැසියන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වන්නේ අසීමිත විධායක බලය විමධ්‍යගත කරන්න කියලා. ඒක අත්‍යවශ්‍යයි.

ඒ වාගෙම රටේ පුරවැසි බලය හිමි පුරවැසියෙක් ලෙස මගේ ඉල්ලීමක් තමයි ව්‍යවස්ථා සංශෝධනයේදී උගත්, බුද්ධිමත් තරුණ පිරිස් පාර්ලිමේන්තුවට වැඩියෙන් ඇතුල් වියහැකි ලෙසට වගන්තියක් යොදලා, ඔවුන්ව පසුපෙළට විතරක් නොදා තීන්දු තීරණ ගතහැකි ආකාරයෙන් ඉදිරිපෙළටත් ගන්න කියන එක.

කාන්තාවන්ට ලිංගික අපහාස කරන, හුස්ම ගන්න ඔක්සිජන් ඕන බව දන්නේ නැති වාගේ තරුණ උදවිය නම් පුනරුත්ථාපනය කරලා එවන ක්‍රමයක් ඇති කරන්න ඕන.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස, ජනතා අභිමතය පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය තිබිය යුතුයි. ඔවුන්ගේ අත්දැකීම්, පළපුරුද්ද තරුණ දේශපාලකයින්ට අවශ්‍ය විටදී ලබාදිය යුතුමයි. ඒ වාගෙම වයස්ගත වෙද්දී නිද්‍රාශීලි වීම සාමාන්‍ය දෙයක් නිසා විවේක ගැනීමට සුදුසුම තැන පසුපෙළ කියලයි මට හැඟෙන්නේ.

නව අගමැතිතුමා පත් කරලා ඉවර නිසා ඒ ගැන දැන් අදහස් දක්වලා වැඩක් නැහැ. එතුමා හොඳ ආර්ථික දැක්මක් තියෙන පළපුරුදු දේශපාලකයෙක් බව පිළිගන්නවා.

නමුත් කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් එතුමාට විතරමයි, එතුමා තමයි ආර්ථික විශ්වකර්මයා, එතුමාට විතරයි ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන්නේ කියලා නම් මා කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒවා මිත්‍යා මත, හරියට අර දියසේන එනකල් බලා ඉන්නවා වාගෙ.

 

 106975212 053976404 1

                 නවසීලන්තයේ ජසින්ඩා ආර්ඩන් - ප්‍රංශයේ එමෑනුවෙල් මැක්රෝන් 


දෙස් විදෙස්ගත ශ්‍රී ලංකික තරුණ පිරිසේ නවීන තාක්ෂණ දැනුම සහිත ආර්ථික කළමනාකරණයට විශේෂඥතාව, සක්‍යතාවය තියෙන බොහෝ අය ඉන්න බවට කිසිම සැකයක් නැහැ. කිසිම කෙනෙක් අජරාමර නැති නිසා පුද්ගලයින් මත නොව ප්‍රතිපත්ති මත දේශපාලනය සිදුවිය යුතුයි.

පහුගිය කාල වකවානු වලදී පුද්ගලයින් මත සිදුවූ දේශපාලන බල හුවමාරු වල අත්දැකීම් හොඳටම ප්‍රමාණවත්. හැටනව ලක්ෂයක් ජනතාව තනිකරම එක් පුද්ගලයකුගෙන් සෞභාග්‍යය බලාපොරොත්තු වීමේ ප්‍රතිඵලය දැන් රටම අත්විඳිනවා.

ප්‍රංශයේ එමෑනුවෙල් මැක්රෝන්, නවසීලන්තයේ ජසින්ඩා ආර්ඩන් වැනි තරුණ, උගත්, බුද්ධිමත් නායකයින් මේ රටටත්  අවශ්‍යයි. ඒ තරුණ ජවයට කළ හැකිදේ අපමණයි. ඔවුන්ගේ පරිකල්පනයේ සීමාව අනන්තය දක්වාම විහිදිලා තියෙන්නේ.

අතීතයේ අපට වැරදුණු තැන් වලින් පාඩම් උගත යුතුයි. නහයටත් උඩින් ගිලී යමින් තිබෙන මේ මොහොතේ ආත්මාර්ථකාමී, බල ලෝභී, පටු අරමුණු පසෙක දමා උගත්, බුද්ධිමත් තාරුණ්‍යය බලගැන්වෙන ලෙස නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළොත් අඩු තරමින් අනාගත දරු පරපුරට දියුණුවන ලෝකය සමග ඉදිරියට යාහැකි  රටක් නිර්මාණය වේවි.

කාන්ති කාරියවසම්
kariyawasamkek@gmail.com

Kanthi kariyawasam1



 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...