The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජන නායකයින්ට හා මහජනයාට කරන ආයාචනයක් !

T

The Leader Desk

May 14, 2022 • 4:47 PM

ජන නායකයින්ට හා මහජනයාට කරන ආයාචනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමිනි.
  • එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
  • මැයි මස නම වන දින දී, ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ එම සිදුවීමෙන් මතු වූ අහිතකර බලපෑම් දැඩි ලෙස හෙළා දකිමු.
  • මෙම තීරණාත්මක මොහොතේදී සාමකාමී හා නීති ගරුක ලෙස ක්‍රියා කරන ලෙස අපි මෙම අර්බුදයට සම්බන්ධ සියළු පාර්ශව වලින්ද, මහජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


''ජන නායකයින්ට හා මහජනයාට කරන ආයාචනයයි''

'මෙම ප්‍රකාශනයට අත්සන් තබන අප සියළු දෙනා ජනාධිපතිගෙන් ද, විරුද්ධ පක්ෂ නායකයාගෙන් ද, සෙසු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් ද, ආගමික නායකයින්ගෙන් ද, මහජන නැගිටීමට සම්බන්ධ වගකිවයුතු සාමකාමී අරගලකරුවන්  හා ප්‍රහාර මත ප්‍රතිප්‍රහාර එල්ලකල අසංවිධිත මහජන කණ්ඩායම් වලින් ද, රාජ්‍ය නිලධාරින්ගෙන් ද, වෘත්තියවේදින්ගෙන් හා මහජනතාවගෙන් ද ඉල්ලා සිටිනුයේ මේ වන විට අරාජික තත්වයකට පත්ව තිබෙන රට ඒ තත්වයෙන් මුදාගනිමින් නීතියෙන් අවසර ඇති ජනහිතකාමී සියළු පියවර වගකිව යුතු බලධාරින් විසින් නොපමාව ගත යුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහාය මහජනයා විසින් එම බලධාරීන්ට ලබා දිය යුතු බවත්‍ ය.

මැයි මස නම වන දින දී, ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ එම සිදුවීමෙන් මතු වූ අහිතකර බලපෑම් දැඩි ලෙස හෙළා දකිමු.

මෙම තීරණාත්මක මොහොතේදී සාමකාමී හා නීති ගරුක ලෙස ක්‍රියා කරන ලෙස අපි මෙම අර්බුදයට සම්බන්ධ සියළු පාර්ශව වලින්ද, මහජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.

රටට ආණ්ඩු පාලනයක් නැතිකමේ ප්‍රශ්නය නොපමාව විසඳා ගත යුතුය.

ඉක්මණින් ආණ්ඩු පාලනයක් ඇති කරගැනීමට නොහැකි වෙතොත් මහජනයාට ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදු වනු ඇති අතර රටේ ඇති වී තිබෙන අරාජිකත්වය පාලනය කිරීමද ඉතා දුෂ්කර දෙයක් බවට පත්වනු ඇත.



ආණ්ඩු පාලනයක් ඇති කර ගැනීම සඳහා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බියෙන් තොරව පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට අවශ්‍ය වාතාවරණයක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියළු පියවර ද ගත යුතුය. ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගැනීමට දිය යුතු ප්‍රමුඛතාවයද අත් නොහැරීමට වග බලා ගත යුතුය.

පුපුරා ගිය මහා අර්බුදය ලංකාව දිගින් දිගටම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ මග හැරීම නිසා ඇතිවූ තත්ත්වයක තර්කානුකූල ඵලයක් ලෙස සැළකිය හැකිය.

නිදහස ලැබී දශක හතකට වැඩි කාලයක් ගෙවී  තිබියදීත් ලංකාවේ ජීවත්වන සියළු ජන කණ්ඩායම් ඇතුළත්වන ලෙස හා ඒ සියලු දෙනාට සමාන මනුෂ්‍ය ගෞරව හා සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රවේශයක් තුළ  ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට අද දක්වා අප අසමත් වී සිටිමු. එය රටේ ඇතුවූ ලේ වැගිරීම් කෙරෙහි ද බලපෑ වැදගත්ම  සාධකයකි.

78 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට රාජ්‍යයේ සකල විධ බලය ලබාදී ඔහු නීතියට ඉහළින් සිටින තැනක තැබීමේ ප්‍රතිපත්තියද රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුන අතර තිබිය යුතු සංවරණය හා තුලනය බිද දැමීමට හේතු විය.

නීතියට ඉහළින් සිටීමට ලැබී තිබුණ එම බලය ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිවරුන්, ඔවුන්ගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් හා දේශපාලන ගජ මිතුරන් එකට කල්ලි ගැසී මහා පරිමාණයෙන් අයථා ලෙස ධනය උපයන ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එම තත්ත්වය රාජ්‍යය හා එහි සමස්ථ ආයතන ක්‍රමය දූෂිත කිරීමට හේතුවීමෙන් නොනැවතී රට බංකොලොත් කිරීමටද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය.

රට දැන් ඇද වැටී තිබෙන අරාජික හා බංකොලොත් තත්ත්වයෙන් ගොඩගැනීමට හැකිවනු ඇත්තේ තරුණ නැගිටීමෙන් ප්‍රක්ෂේපණය වන මහජන බලාපොරොත්තු අතර ඵක් ප්‍රධාන අපේක්ෂාවක් ලෙස සැළකිය හැකි දේශපාලන ක්‍රමයේ යහපත් හා ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමෙන් පමණය. එය සට කපට අරමුණෙන් නොව රටේ පොදු යහපත පිණිස අවංක අරමුණෙන් කරන දෙයක් විය යුතුය.



ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමේ ප්‍රශ්නයට ප්‍රමුඛ වැදගත්කමක් ලබා දෙනවාට අතිරේකව,

    (අ) ජාතිය ගොඩ නැගීම,
    (ආ) නීතියට ඉහළින් සිටින ජනාධිපති ක්‍රමය, අහෝසිකොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇති කර ගැනීම
    (ඇ) අධිකරණයට විමර්ශන බලය ලබාදීම,
    (ඈ) දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම,
    (ඉ) මැතිවරණ හා පක්ෂ අරමුදල් විගණනය කිරීම,
    (ඊ) දූෂණය තුරන් කිරීම හා නාස්තිය අවම කිරීම,
    (උ) ජාතික ප්‍රතිපත්ති රාමුවක් තනා ගැනීම,
    (ඌ) වාර්ගික, ආගමික, ලිංගික හා සංස්කෘතික ජන කණ්ඩායම් වල දුක් ගැනවිලි සොයා බැලීම,
    (එ) මහජන ව්‍යවස්ථාවක් හෙවත් මහජන සහභාගී ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම,
යන අංග එම ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් විය යුතුය.

එම ප්‍රතිසංස්කරණ වැඩ සටහන අයාලේ යාම වලකා එයට විශ්වාසනීය හා ස්ථාවර භාවයක් ලබාදීම සඳහා මෙවැනි අර්බුදයකට පත් වූ වෙනත් බොහෝ රටවල් කර තිබෙන්නා සේ එක්සත් ජාතින්ගේ සංවිධානය ද එම වැඩ සටහනේ නිරීක්ෂකයෙකු වශයෙන් සම්බන්ධකර ගැනීම සුදුසු බව අපි විශ්වාස කරමු.

මෙවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කළ යුත්තේ රටේ ප්‍රධාන විධායකය වන ජනාධිපති ධූරයයි.

ලංකාව මුහුණ දී තිබෙන එම අර්බුදය විසඳා ගැනීම සඳහා එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කරන්නේ නම් ඒ සඳහා රටට දෙනු ලබන සංඥාවක් ලෙස අත්අඩංගුවේ හෝ රඳවා තබාගෙන සිටින සියළු දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙන අතර ජනාධිපති වශයෙන් නීතියට ඉහළින් සිටින තත්ත්වය අත් හරිමින් නීතියට යටත් තත්වයකට පත් වන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් මහජනයා වෙත ලබා දෙන ලෙස අපි ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.

 අවසාන වශයෙන් අපි බලධාරින්ගෙන් ද මහජනයාගෙන් ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනුයේ ඇති වී තිබෙන අරාජික තත්ත්වය ඉවත් කර  විධිමත් රාජ්‍ය  පරිපාලනක් පිහිටුවා ලීම සඳහා එක්සිත්ව හා එක්සත්වද සාමකාමි හා නීති ගරුක ලෙසද ක්‍රියාකරන ලෙසය.

අත්සන්
1. වික්ටර් අයිවන්
2. චාල්ස් තෝමස් සහෝදරතුමා Charles Thomas
3. සාරා ආරුමුගම්
4. ඔස්ටින් ප්‍රනාන්දු Austin Marcus Fernando
5. බැසිල් ප්‍රනාන්දු
6. මහාචාර්ය බුද්ධි මාරඹේ
7. මහාචාර්ය සරත් අබේකෝන්  
8. සරත් ප්‍රනාන්දු
9. මංජුල සිල්වා
10. ජූඩ් ප්‍රනාන්දු
11. ආසිරි ප්‍රනාන්දු
12. හෂේන්ද්‍ර ප්‍රනාන්දු
13. ජයලත් බණ්ඩාර
14. මහේන්ද්‍ර ජයසේකර
15. ධණුක සමරසිංහ
16. හර්මන් ගුණරත්න
17. ලැසිල් ඩි සිල්වා
18. නීතීඥ මාස් යූසුෆ්
19. වෙෙද සයිෆුල් ඉස්ලාම්
20. ආචාර්ය ආර්. සමරතුංග
21. සරෝජ් පතිරණ Saroj Pathirana
22. මහාචාර්ය ඇන්ටන් මීමන Professor Anton Meemana
23. ප්‍රසන්න විතානගේ Prasanna Vithanage
24. නීතීඥ ජනක එදිරිසිංහ
25. ආනන්ද ජයසේකර
26. ප්‍රසන්ත අබේකෝන්
27. ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන Dr Chandima Wijegunawardana
28. දිනිල් පෙරේරා  
29. සොරායා එම්. ඩීන් Soraya Deen
30. ධනුෂි සේනානායක
31. ජයනි අබේසේකර
32. ආචාර්ය සොනාලි ටකර්
33. නිහාල් සහීඩ්

 

 

 


Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...