The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බුදුන් සහ දහසක් නිම්න...- (මහේෂ හපුගොඩ)

T

The Leader Desk

May 15, 2022 • 6:11 PM

බුදුන් සහ දහසක් නිම්න...- (මහේෂ හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආත්මය සොයාගත හැක්කේ කරන ක්‍රියාව තුළන් බවත් සොයා යාම, සැක කිරීම සහ නිශේධනය යන ප්‍රපංච තුළ බුදුදහමේ ගවේෂනාත්මක ආත්මය (spirit of inquiry) සැඟව ඇති බව සුසුකිගේ මතයයි.
  • යමෙක් ගවේෂණය ආරම්භ කරන්නේ ද ඒ තැනැත්තා සත්‍යය සහ ආලෝකය වෙත ක්‍රමානුකූලව ලංවෙන බව සෙන් බුද්ධාගම සඳහන් කරනවා.
  • ගවේෂණය කරන ආත්මය (මම) යන්න මුලික වශයෙන් පවතින බව මේ අනුව අප පිළිගත යුතු වෙනවා.
  • හැබැයි සත්‍යයෙහි ස්වභාවය නම් අවසාන වශයෙන් මේ 'ගවේෂක මම' පවා සත්‍යාබෝධය ඇතුලේ දියවී යන යමක් බව අවබෝධ වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ආත්මය සොයාගත හැක්කේ කරන ක්‍රියාව තුළන් බවත් සොයා යාම, සැක කිරීම සහ නිශේධනය යන ප්‍රපංච තුළ බුදුදහමේ ගවේෂනාත්මක ආත්මය (spirit of inquiry) සැඟව ඇති බව සුසුකිගේ මතයයි. යමෙක් ගවේෂණය ආරම්භ කරන්නේ ද ඒ තැනැත්තා සත්‍යය සහ ආලෝකය වෙත ක්‍රමානුකූලව ලංවෙන බව සෙන් බුද්ධාගම සඳහන් කරනවා.


ගවේෂණය කරන ආත්මය (මම) යන්න මුලික වශයෙන් පවතින බව මේ අනුව අප පිළිගත යුතු වෙනවා. හැබැයි සත්‍යයෙහි ස්වභාවය නම් අවසාන වශයෙන් මේ 'ගවේෂක මම' පවා සත්‍යාබෝධය ඇතුලේ දියවී යන යමක් බව අවබෝධ වීමයි.



සිදුහත් අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ගවේෂණය කළ සත්‍යය සහ සත්‍යාවබෝධය බුදුන් ලෙස රූපාන්තරණය වෙමින් මුලින් ම දේශනා කරන්න තෝරාගත්තේ පස්වග මහණුන්ට. පස්වග මහණුන් කියන්නේ බුදුන් ඒ වනවිටත් දැනගෙන හිටපු පෞරුෂයන් කිහිප දෙනෙක්.

බුද්ධ ඥාණයෙන් එයාල ගැන නැවත හිතුවා කියන්නේ 'දන්නා කලාපයක්' (familiar entity) වෙත එතුමන් ආපසු හැරුණ කියල මට හිතෙනවා. ඒ කියන්නේ තමන් අවබෝධ කරගත්ත ගැඹුරු ම සත්‍යයක් වෙනත් කෙනෙකුට තේරුම් කරලා දෙන්නත් යම් දාර්ශනික -අධ්‍යාත්මික පසුබිමක් තිබ්බ අයවලුන් පිරිසක් අවශ්‍යයි කියල බුදුන් මුලින් උපකල්පනය කරනවා.

ඒ අනුව තමයි එතුමා ඒ වනවිටත් දැන සිටපු පස්වග මහණුන් තෝරා ගන්නේ. ඒක තේරුම්ගත හැකි දෙයක්.

නමුත් ඒ ආපසු හැරීම ඇතුලේ තවත් විශාල ගමනක් ආරම්භ කරන එක එතුමන් වහන්සේට මඟ හැරුණාද කියල මට වෙලාවකට හිතෙනවා. මොකද අපි හිතමු පස්වග මහණුන් නෙවෙයි වෙනත් මේ සත්‍යය ගැන කිසිම් දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ සත්‍යාවබෝධය ගැන දේශනා කරන්න පටන්ගත්තා නම් ඒක ලොකු අහියෝගයක් වෙන්න තිබුණා. සමහර වෙලාවට ධර්මය පවා අපි දන්නා ආකෘතියෙන් වෙනස් වෙන්න තිබුණා.


අසිරිමත් ඉන්දියාවේ බෂාම් කියනවා බුදුන් තමන් උපන් දේශයෙන් කිලෝමීටර් තිහකට වඩා ඔබ්බට ගමන් කළා කියල කියන්න ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක නැහැ කියල.

 

ඒක මදකට ඇත්ත කියල හිතුවොත් අපිට උපකල්පනය කරන්න වෙනවා බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට තමන් දන්නා කලාපයක් ඇතුලේ විතරක් කාලය ගතකරලා තියනවා කියන එක සහ එතුමන් වහන්සේ කුමන හේතුවකට හරි දහසක් සානු, දහසක් නිම්න මුණගැසෙන නොදන්නා චාරිකාවක් (unknown journey) සඳහා ආශා නොකළ බව (නැවතුන බව).

 බුදුන් වහන්සේ නොකළ මෙම දැවැන්ත දේශාටනය පස්සේ කාලෙක කරන්නේ ධර්ම ප්‍රචාරණය සඳහා ලෝකයේ හැම දිශාවකටම විසිරිලා ගිය භික්ෂුන් වහන්සේලා.

ඔවුන්ට තමයි මුණ ගැසෙන්නේ වෙනත් භාෂාවන් කතා කරන, වෙනත් දේශගුණික කළාපවල ඉන්න, වෙනත් සංස්කෘතීන් තිබ්බ මිනිස්සු.

එතැනදී තමයි බුදුදහම විශ්වීය වෙන්න පටන් ගන්නේ. මුල් සංකල්ප වලට වෙනස් අර්ථකථන දෙන්න සිද්ද වෙන්නේ (පරම ශුන්‍යතාව වගේ). වෙනත් බෞද්ධ සම්ප්‍රදායන් ඇති වෙන්න ගන්නේ. මුල් දෙයින් ඛණ්ඩනය වෙන්නේ.



ආපසු නොඑන ගමනක් ගැන නොසිතපු බුදුන්ට තමන්ගේ කළාපය ඇතුලේ හිටපු එකම භාෂාවක්, එකම සංස්කෘතික වටිනාකම් තිබ්බ හුරුපුරුදු පිරිසක් (familiar crowd) හමුඋණා වෙන්න පුළුවන්.

යශෝදරා නැවත හමුවුණා. රාහුල නැවත හමුවුණා. සුද්ධෝදන රජ්ජුරුවෝ නැවත හමුවුණා. ඒ අයට ධර්ම දේශනා කළා. ඒ අය සත්‍යාවබෝධය ලැබුවා. ඒක ඇත්ත.

හැබැයි භෞතිකව නැවත ආපසු නොඑන, එකම දෙයක් නැවත හමුනොවන, වෙනස් වෙනස් මිනිස්සු හමුවෙන සහ වෙන්වන, නොඅවසන් ගමනක් එතුමන් වහන්සේ ආරම්භ කළා නම් දේවල් කොපමණ වෙනස් වෙයිද කියල මට ගොඩක් වෙලාවට හිතනවා.

මේ නැවත නැවත හමුවීම නම් තේරීම (choice for returning) නිසා යශෝදරාට වගේම සුද්දෝධන රජ්ජුරුවන්ට උනත් නිදහසක් නැති උනාද කියලත් මට වෙලාවකට හිතනවා.

ආපසු ආවේ මුල් කෙනාම නොවන බව ඇත්තයි. හැබැයි කුමන විදියේ හෝ ආපසු ඒමක් තියනවා. මොකද බුදුන් වහන්සේ වෙනස් වෙලා තිබ්බට අනික් අය සාමාන්‍ය මිනිස්සු.


නැවත ආපසු නොඑන ගමනක් ගැන මට තියෙන්නේ ෆැන්ටසි එකක්. ඒකෙ කවුරුත් පැටලෙන්න එපා.

අද වෙසක්.

කෑගල්ලේ ගෝටාගෝ ගම ආරම්භයේ ගත්ත මේ ෆොටෝ එක සුජීවගේ. අරගලයේ දැක්ක අමුතුම ඉමේජ් එකක්. 'මම දෙස කිසිවෙකු බලා නොසිටි' වර්ගයේ නිදහසක් මේ ඝනීභවනය වූ ෆොටෝ එකේ තියෙනවා.


Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...