The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගලප්පච්චිලා - (විමලෙගෙ කොලම)

T

The Leader Desk

May 16, 2022 • 2:51 PM

ගලප්පච්චිලා - (විමලෙගෙ කොලම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් පස් පාරක් අගමැතිකමේ ඉඳලත් කරපු දෙයක් නැහැනේ කියාය.
  • ඒ නම කොල්ලො කෙල්ලෝ සජිත්ට දාපු නමක් වෙන්න ඇතැයි සිතූ ජනාධිපති තුමා කිව්වේ ඉතිං මිනිහා විහිළු කර කර හිටියා මිසක් වචනෙ දුන්නේ නැහැනේ රනිල් එකෙන්ම හා කිව්වා කියාය.
  • ඇත්තටම සර් ප්‍රකෝප වෙච්ච මිනිස්සු පොහොට්ටු කාරයන්ගෙ ගෙවල් වලට ගහන්න යනකොට ඒ කවුරුවත් ගෙවල් වල ඉඳලා නැහැ, මේ යක්කු පට්ට ගෙවල් හැදුවට රෑට කොයි ලෝකෙ අන්තරස්දාන වෙනවද මන්දා කියාය.
  • ජනාධිපතිතුමා කිව්වේ එහෙනම් උන් දෙන්නා දේශපාලනයට සම්බන්ධ නැතුව ඇති කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් පස් පාරක් අගමැතිකමේ ඉඳලත් කරපු දෙයක් නැහැනේ කියාය.

ඒ වෙලාවේ තිබුණු සිග්නල් අවුලක් නිසා ජනාධිපතිතුමාට කෙල්ල කියපු මෝටි කෑල්ලයි අල්නයන්නයි නෑසුනු අතර යකු නැග්ග එතුමා ඇසුවේ ඒ ජාතියෙ එකෙක් ඉඳලා කරලා ගිය හරිය මදැයි, ඔය ළමයා කියන්නේ තව ඒ වගේම ලෙඩක් පටලවාගන්න ද කියාය.

ඒ  පාර කෙල්ල කීවේ එහෙනම් සර්ට "රැට්ටා" ගැන සලකා බලන්න තිබුණා කියාය. ඒ නම කොල්ලො කෙල්ලෝ සජිත්ට දාපු නමක් වෙන්න ඇතැයි සිතූ ජනාධිපති තුමා කිව්වේ ඉතිං මිනිහා විහිළු කර කර හිටියා මිසක් වචනෙ දුන්නේ නැහැනේ රනිල් එකෙන්ම හා කිව්වා කියාය.

ජනාධිපතිතුමා ඩබල් එකේම කීවේ ඔය ළමයා කියපු අසභ්‍ය අප්පච්චියි කියන හාදයා පිටරටින් සල්ලි එකතු කළා කියලා මගේ ගමෙන් ගහලා පැන්නුවා නේද ඔතන වෙන දේවල් මම නොදන්නවා කියල හිතන්න එපා කියාය.

කෙල්ල කීවේ මිනිහා හෙල්පින් ගෝටාගෝගම ජාතියෙ දහදුරා වැඩක් කළ නිසා තමයි අගමැතිකමට සුදුසුයි කියලා අපි කල්පනා කළේ කියාය.

ඒකට ජනාධිපතිතුමා මීක් නොගෑ අතර කෙල්ල අනතුරුව ඇසුවේ ටික දවසකින් රනිල් අප්සට් ගියොත් ආයෙත් හිටපු අගමැති ම පත් කරනව ද කියාය.

ඉතින් රටේ මිනිස්සු දිගටම කළේ ඒකනෙ ළමයෝ කී ජනාධිපතිතුමාගෙන් කෙල්ල ඊළඟට තදින් ඇසුවේ නම වෙනිදා මැර ප්‍රහාරය ගැන නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදද කියාය.

මම නං යුක්තිය පසිඳලන ආයතනවලට කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා තරාතිරම නොබලා වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් කරන්නයි කී ජනාධිපතිතුමා ඒත් දැන් රනිල් එක්ක ඒවා කරන්න පුළුවන් වෙයිද දන්නෑ මිනිහා හැමදාම කළේ රාජපක්ෂලා රකින එක කියා කීවේය.

ඇත්තටම සර් ප්‍රකෝප වෙච්ච මිනිස්සු පොහොට්ටු කාරයන්ගෙ ගෙවල් වලට ගහන්න යනකොට ඒ කවුරුවත් ගෙවල් වල ඉඳලා නැහැ, මේ යක්කු පට්ට ගෙවල් හැදුවට රෑට කොයි ලෝකෙ අන්තරස්දාන වෙනවද මන්දා කියාය. ජනාධිපතිතුමා ඒ ගැන කල්පනා කරන්නට කාලය මිඩංගු කරන අතරේ කෙල්ල කීවේ ලොකුගේලගේ ගෙදර විතරක් බල්ලො දෙන්නා ඉඳලා තියෙනවා උන් දෙන්නම මිනිස්සු අරන් ගිහින් කියලා නිවුස් එකක් ගියා කියාය. ජනාධිපතිතුමා කිව්වේ එහෙනම් උන් දෙන්නා දේශපාලනයට සම්බන්ධ නැතුව ඇති කියාය.




කෙල්ල කීවේ කාල්ටන් එකට ගහපු වෙලේ එක බල්ලෙක් ඉඳලා මිනිස්සු ගෙනිච්චයි කියලා ආරංචියි කියාය. ජනාධිපතිතුමා ඇසුවේ මෙච්චරම විනාශයක් කරලත් තාමත් ඕකෙ බල්ලො මිනිස්සුන්ට එපා වෙලා නැද්ද කියාය.

කෙල්ල ඇසුවේ ඇත්තටම මැයි නම වැනිදා මයිනාගෝගමටත් ඇතුලෙ තියන ගමන් වෙච්ච අරලියගහමුළ ඉදලා පොලු අරගෙන ආපු එවුන් කරපු මැර ප්‍රහාරය ගැන සර්ට කලින් දවසේ ඔය කිසිම නගරාධිපති කෙනෙක් නිකමටවත් දැනුම් දුන්නේ නැද්ද කියාය. අම්මප නැහැ ළමයෝ කී ජනාධිපතිතුමාගෙන් කෙල්ල ඇසුවේ සර් මේ රටේ ජනාධිපති ද නැත්නම් හඳට ගල් ගහපු එවුන් හිටියයි කියන පළාතේ කෝරලේ මහත්තයා ද කියාය .

ඊට ටිකක් ලැජ්ජාවෙන් ඇඹරුණ ජනාධිපතිතුමා කීවේ අපේ රටේ නගරාධිපතිවරු හෙන ගල් කාරයෝ කියලා මම අදයි දැනගත්තේ කියාය. ගල්කාරයෝ කියන විට වෙන කල්පනාවකට වැටී ම්...ම්... ගගා හිටපු කෙල්ලට ජනාධිපතිතුමා කීවේ නෑ නෑ මං කිව්වේ මුං ගල් අරක්කුමද ගහන්නේ කියලා උන්ගෙ ප්‍රාඩෝ වලින් මතුවෙච්ච ගල් බෝතල් දැක්ක ගමන් හිතුනා ඒකයි කියාය.

උන් අනිත් එවුන්ට ගස්සන්න ගල් ගේන්න ඇත්තෙ කියා කෙල්ල කී විට ජනාධිපතිතුමාට එක පාරටම කියැවුනේ මොන පිස්සුද ළමයෝ මං ඒකත් හොයල බැලුවා, ඔය යක්කු නගරාධිපතිවරු වෙන්න කලින් අමු කසිප්පුවො, අපේ අයියා තමයි ගල් හරි ගහන්න පුරුදු කළේ. අයියත් ඉස්සර ගැහුවෙම ගල් පස්සේ ශිවාස් රීගල් කියාය.

 කෙල්ල ඇසූවේ රනිල් අගමැති උනාට ඔබතුමා නේ කට්ටිය කැබිනට් එකට අපොයින්ට් කරන්නේ, අගමැතිතුමා ඒ වැඩේට කැමති ද කියාය. ජනාධිපතිතුමා කීවේ අගමැතිතුමාට කට්ටිය නැති නිසා මං ඒක උදව්වක් හැටියට කරන්නෙ කියාය. එහෙනම් හතරක් එයා දානවා කිව්වේ කියා ඇසූ කෙල්ලට ජනාධිපතිතුමා කීවේ ඒ දානවා කිව්වෙත් අපේ හතරක්ම වෙන්න ඇති කියාය.


එක මන්ත්‍රී කෙනෙක් ඉන්න පක්ෂෙකට අගමැතිකම දීම අවුලක් නෙමෙයි ද කියා ඇසූ කෙල්ලට ජනාධිපති තුමා කිව්වේ මොන අවුලක්ද අගමැතිතුමා බීබීසී එකට ඉන්ටවිව්  එකක් දීලා තිබුණේ චර්චිල්ට හතර දෙනෙක් ඉන්න වෙලාවක එයා අගමැති වුණා කියලා, එහෙම බැලුවොත් මෙතුමට තුනයිනෙ අඩු කියාය. එතුමා වැඩිදුරටත් කීවේ එකසිය දහතුන පෙන්නන කෙනෙකුට ඒක පෙන්න ගන්න ඉඩ දීලා රනිල් අගමැතිකම කරයි, ඒ ගැන ඔය ළමයි වද වෙන්න එපා කියාය.



ඊළඟට කෙල්ල ඇසුවේ මහ බැංකු හොරුයි,සීනි හොරුයි එකතුවෙලා ආණ්ඩුවක් කිරීම ගැන බීබීසී එකෙන් අහපු ප්‍රශ්නෙ අගමැති තුමා මග ඇරියේ ඇයි කියාය. ජනාධිපතිතුමා කීවේ වෙච්ච දේවල් ගැන එතුමා සාමාන්‍යයෙන් දුක් වෙන කෙනෙක් නෙවෙයි,  තවදුරටත් බීබීසී එකෙන් ඒ ගැන ප්‍රශ්න කරානම් විජය කුමාරයා ලංකාවට ආවේ නැත්නම් සීනි හොරකමයි, බැංකු හොරකමයි දෙකම වෙන්නේ නැහැ කියලා කියන්නත් ඉඩ තිබුණා කියාය.

කෙල්ල ඇසූවේ ගෝඨාගෝගමට සියලු පහසුකම් දෙන්න අගමැතිතුමා පොරොන්දු වුණ එක ගැන ඔබ තුමාගේ මතය මොකක්ද කියාය. ජනාධිපතිතුමා කීවේ "නෝ ඩීල්ගම" පදිංචි කාරයන්ට සමෘද්ධිය දීලා ලයිෆ් ඉන්ෂුවරන්ස් එකකුත් සෙට් කරලා රිටන් එක දෙන්න මං හිතන් ඉන්නේ කියාය.

එතුමා ඩබල් එකේම ඇසුවේ නෝ ඩීල් ගමයි,ගෝටාගෝගමයි කියන ගම් අතරෙ සම්බන්ධය කොහොමද කියාය. එහෙම විශේෂ අවුලක් නැහැ සර් කී කෙල්ල හැබැයි කලින් තිබ්බ මයිනාගෝගම එවුන් නම් ගෝටාගෝගම සෙට් එකට කොන්ට්‍රෝල් නැහැ කියලා ඒ දවස්වල පොඩි ප්‍රශ්නයක් තිබුණා කියාය. ජනාධිපතිතුමා ඒ ගැන සංතාපයට පත්ව කීවේ ඔයාලා හදපු ගම් වල විතරක් නෙමෙයි මෙච්චර දවසක් ඇත්තටම වුණෙත් ඒකම තමයි කියාය.

කෙල්ල අන්තිමට කිව්වේ පොඩි උදව්වක් ඉල්ලන්නත් එක්කයි කතා කළේ කියාය. කියන්න ළමයෝ ඕන දෙයක් කී ජනාධිපතිතුමාට කෙල්ල කිව්වේ මොන ප්‍රශ්නෙ තිබුණත් දැන් ඉතින් අලුත් අගමැතිතුමාගෙන් ඉන්ධන ප්‍රශ්නෙයි, ගෑස් ප්‍රශ්නෙයි, ඩොලර් සංචිත ප්‍රශ්නෙයි නෝමල් කරගන්න එපායැ  කියාය.

නැතුව නැතුව කී ජනපතිතුමාට කෙල්ල කීවේ ඒ උනාට සර් අගමැතිතුමා වෙනදා වගේ ඒ ඔක්කොම අමතක කරලා ඇච්චො පැච්චො එක්ක ඩෙඟා නටන්න ගත්තොත් මේ උත්සාහයත් වතුරේ කියාය.

මං නැහැ කියන්නෙ නැහැ කී ජනාධිපතිතුමාට කෙල්ල කීවේ එහෙනං සර් මේජර් ඔපරේෂන් එකක් හැටියට සලකලා අකිලයි, සාගලයි රටින් පිටුවහල් කරලා ඉන්න, නැත්තං මුළු ව්‍යාපෘතියම අඤ්ඤකොරොස් කියාය.

wimalanath weera(විමලනාත් වීරරත්න)
රාවය හිටපු කර්තෘ
wimale.ravaya@gmail.com

 

 


Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...