The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මගුල් හතරයි අවමගුලයි - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

May 21, 2022 • 7:45 AM

 මගුල් හතරයි අවමගුලයි - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු අවස්ථා එමට ය.
  • විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ 'දෙවියන් විසින් එක්කල මොවුන් දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි' කියා ය.
  • රනිල් වික්‍රමසිංහ මනාලයා ලෙස ඒ වෙන විටත් හැඳ පැළද, තම කබායේ පහතට වැටෙන කොලරයේ පොහොට්ටුවක් ගසා ගනිමින් සිටියේ ය.
  • මනාල සිහිනය තිබුණත්, මගුලෙන් පසු හරි හම්බ කරගෙන ගෙදර කටයුතු කරගෙන යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය සැක සංකාවක ලෙස දෙදෙනාට ම දරුණුවට තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු  අවස්ථා එමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ 'දෙවියන් විසින් එක්කල මොවුන් දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි'  කියා ය.


මෙවැනි මංගල්‍යයකට ගියා වැනි හැඟුමක මා හට දැනුණේ මැයි දොළොස් වැනි දින ප.ව. හයයි තිහට පැයකට දෙකකට කලින් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ කඩා වැටුණු මුහුණු දැකීමෙනි.


රනිල් වික්‍රමසිංහ මනාලයා ලෙස ඒ වෙන විටත් හැඳ පැළද, තම කබායේ පහතට වැටෙන කොලරයේ පොහොට්ටුවක් ගසා ගනිමින් සිටියේ ය. අනුර මනාල සූට් මසා ගත්තේ මීට බොහෝ කලකට පෙර ය. සජිත් සිතුවේ ආර්ථික අර්බුද කාලයක සූට් මහනට නිරපරාදේ සල්ලි වියදම් නොකොට තම සුපුරුදු ඇටෙන්ඩන් සූට් එක ම ඩ්‍රයි ක්ලීන් කර ඇඳීමට ය.

මනාල සිහිනය තිබුණත්, මගුලෙන් පසු හරි හම්බ කරගෙන ගෙදර කටයුතු කරගෙන යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය සැක සංකාවක ලෙස දෙදෙනාට ම දරුණුවට තිබිණ. ඒ නිසා ඔවුන් දෙදෙනා ම සිතුවේ තරමක කලක් 'ආශ්‍රය කර' හොඳ නැකතක් බලා පසු කලෙක මනාලයා වීම ය.


ගෙදරට වයසට නොගොස් කසාදය අද හෙට ම කර ගත යුතු ය යන සොඳුරු තර්ජනාන්ගුලියක දැම්මේ කොළඹ කොටුවේ ලොකු බැංකුවක වැඩ කරන මනාලියගේ මාමා ය. දෑවැද්ද දෙන්නේ මාමා නිසා ඔහුට පිටුපෑම අසීරු ය.



දැනට පස් වතාවක් විවාහ වී සිටි නිසා වික්‍රමසිංහට ඕනෑ වෙලාවක ඇඳිය හැකි මනාල සූට් රාක්කයක් ම ඇති බව මනාලියගේ පාර්ශවය ද තානාපති ඥාතීහු ද දැන සිටිය හ. හදිසියේ ම මංගල්‍යය කෙරුණේ මේ නිසා මිසක එල්.බී.ඩබ්ලිව් තත්ත්වයක නිසා නොවේ.        

Four Weddings and a Funeral 362264622 large

බ්‍රිතාන්‍යයේ 1994 දී නිෂ්පාදිත, අතිශය ලෙස ජනප්‍රිය වූ සිනමා පටයකි 'ෆෝ වෙඩින්ස් ඇන්ඩ් අ ෆියුනරල්'. වැඩිහිටි මිතුරු කැලක වටා ගෙතුණු මේ සිනමා පටයේ විවාහ මංගල්‍ය අවස්ථා හතරක් හා අවමංගල්‍යයක් හුවා දැක්වේ.

අවසාන මංගල්‍යය පැවැත්වෙන්නේ ඇන්ග්ලිකානු පල්ලියක ය. විවාහ මංගල්‍යයේ සරණ බන්ධන පූජාව මෙහෙයවන්නේ ආධුනික පාදිලි තුමෙකි. වැඩි අත්දැකීමක් නැති මෙතුමා පූජාව මෙහෙවන්නේ දැඩි ආතතයකින් හා ආත්ම ශක්තියකින් තොරව ය.

පාදිලිතුමාගේ චරිතයට පන පොවන්නේ විශිෂ්ඨ නළුවෙකු වන රෝවන් ඇට්කිංස් හෙවත් මිස්ටර් බීන් ය. පාදිලිතුමා විරෝධය පිලිබඳ ප්‍රශ්නය අසද්දී ඊට ප්‍රතිචාරයක ලෙස යමෙකු අතත් ඔසවාගෙන ඉදිරියට පැමිණ කරුණු පවසන්න ලැහැස්ති වේ. ගොළුවෙකු වූ ඔහු මනාලයාගේ බාල සහෝදරයා ය.

පරිවර්තකයෙකු ආධාරයෙන්, ඔහු පවසන්නේ මනාලයා ඇත්තෙන් ම ආදරය කරන්නේ මනාලියට නොව වෙන තැනැත්තියකට කියා ය. මේ බව කියැවෙත් ම මනාලිය මනාලයාට කම්මුල හරහා සිහි වැටෙන මට්ටමේ පහරක් දෙන අතර, ඉන් මංගල්‍ය සභාව එසැණින් ම විසිරේ.



 සජිත් හා අනුර මේ තරම් අකාරුණික නොවී විරෝධය පෑම පසෙක ලා, කලෙක නයාගේ සින්දුව ලෙස ජනප්‍රිය වූ 'සදාදර නයෝ ඔබේ මංගල දිනේ' ගීතය කඳුළු පුරෝගෙන ගැයුවේ තමන් ජෙනුයින් ප්‍රජාතන්ත්‍රවාදී මනාලයින් බව ලොවට ම ඔප්පු කරමිණි.    

යට කී සිනමාපටය මෙන් ලාංකීය දේශපාලන තලයේ මැයි නම වැනිදායින් පසු ව මගුල් හතරක කෙරෙන බව පෙනෙයි.  


පළමු මගුල : 

ජවිපෙ හා සෙසු වාමාංශික පක්ෂවලට වික්‍රමසිංහගේ අගමැති පත්වීම අයිස් පෙට්ටියෙන් ගත් රෙඩ්-බුල් කෑනයක් වැනි ය. වික්‍රමසිංහ සම්භාව්‍ය දුෂ්ඨයෙකි. ඔහු ධනවාදී ය, ලිබරල් ය එපමණක් නොව නව ලිබරල් ය. ඔහුගේ දේශපාලනය ආර්ථිකය පමණි. ඒ අරභයා ඔහු කරන ප්‍රතිසංස්කරණ කුරිරු ය. මේ තත්ත්වය තුල ජවිපෙ හා ඒ පන්නයේ කණ්ඩායම්වලට දිවා රෑ නොතකා වැඩ කෙරුමට සිදුවේ. ඔවුන්ගේ විශේෂ ප්‍රාගුණ්‍යය වන විරෝධතා කුසලතා වගා කර ගැනුමට වික්‍රමසිංහ සරුබිමකි. පක්ෂයක ලෙස තව දුරටත් විකාශණය වීමට මින් ඉඩ සැළ සේ.    


දෙවැනි මගුල: 

ජයවර්ධනට පසු ලංකා ඉතිහාසයේ බිහි වූ අනර්ඝත ම දේශපාලන මුවහම වික්‍රමසිංහ ය. තම ආර්ථික හා සමාජ පැවැත්ම යහමින් තහවුරු කරගත්, දේශපාලනික ව ආලෝලණය වූ, උගත් කොටස් තමන්ගේ බුද්ධිමය ජිම් ආම්පන්නය ලෙස භාවිතා කරන ට්‍රේඩ්මිලයකි වික්‍රමසිංහ ය. නිශ්චිත දේශපාලන වැඩ පිළිවෙලක කොටස් නොවුනත් ඔවුන් විදග්ද බසින් ලියන කියන දේ සමාජය තුල යම් බල පෑමක් කරයි.

හවසට ටෙනිස් අතක් ගසා (හෝ ෆේස්බුක් බලන ගමන්) බියර් වීදුරුවක් තොල ගෑමේදී බයිටය ලෙස ඇණවුම් වෙන්නේ වික්‍රමසිංහ ය. මේ සමාජ තීරුවට ද දැන් හොඳ කල දසාවකි. ඔවුන්ගේ සන්ධ්‍යා පොපියන කාලයන් වන අතර ඉන් පසු ව ලියැවෙන විචාර ලිපි අපගේ දේශපාලනික සවිඥානකභාවය තවත් වැඩවීමට නියමිත ය.              


තෙවැනි මගුල: 

බලවත් රටවලට හා ඒවායේ තානාපති කාර්යයාලවලට තමන්ගේ කෙනෙකු පත් කර ගත්තා වැනි ආශ්වාදජනක හැඟුමක මේ දිනවල ඇතිවෙනවා විය හැක. මේ අතරට ජා.මූ අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන ද අයත් ය. සබ්බිරි වැනි කොලු ගැටයෙකු කඩේට අවුත් පොතට බඩු දෙන ලෙස ඉල්ලූ විට මුදලාලී හැසිරෙන ආකාරයත්, වික්‍රමසිංහ වැනි කඩේට නිතර ම ආ ගිය කෙනෙකුට කරණ සැලකුමත් සපුරා වෙනස් ය.

වික්‍රමසිංහ ජා.මූ කඩේට ගොඩ වන්නේ බාල්කයේ එල්ලා ඇති කැනේ කෙසෙල් ගෙඩියක් ද කරකවා කඩා ගනිමිණි. පොතට බඩු ඉල්ලන කතාව කෙරෙන්නේ කෙසෙල් ගෙඩිය කන ගමන් වන අතර මුදලාලි බොයිලේරුවෙන් වික්‍රමසිංහ කැමති පදමට කිරි කහට කෝප්පය සීරුවට වත් කරයි.    


සිවුවැනි මගුල: 

වික්‍රමසිංහ, පරෙවි බසින් කිවතොත්, කොමනෙක් නොවේ. ඔහු චොක්කෙකි. ඒනිසා වික්‍රමසිංහ ආශ්‍රය කරන්නේ කුඩා පිරිසකි. ඉනුත් තෝරා බේරා ගන්නා ස්වල්ප දෙනෙකු ය ඔහුගේ විශ්වාසය දිනා ගන්නේ. ලබන වසරේ මාර්තුව තෙක් වික්‍රමසිංහට මගුල කරගෙන යාමට හැකි වුවහොත් වඩා සතුටු වන්නේ රෝයල්-තෝමියන් නිල්-සටනේ ටෙන්ට් සංවිධායකයින් ය. ඔහු වටා සිටිනා මේ ඉනර්-සර්කලයට යලිත් නව පණක් ලැබී ඔවුන්ගේ රැකි රක්ෂා ද ව්‍යාපාර කටයුතු සඳහා සුභ කාලයක් උදා වේ.


 
image 750x 62765e078e532                                             'අරගල අවකාශයට' නව සතුරෙකු මතුවීම..


යට කී සිනමාපටයේ මෙන් අපට දැන් අවමගුලක ද දක්නට සිදුවේ. එනම් 'අරගලය' ලෙස ලිහිල් ලෙස වර නැගුණු, නව දේශපාලන සාමූහික තරුණ නායකත්වයක් හා පුළුල් සහභාගිත්වයක් සහිත ව ගොඩ නැගුණු  නව දේශපාලන අවකාශයට නව සතුරෙකු මතුවීම නිසා එහි ගතිකත්වයේ පරිවර්තනය ය.

මැයි නවයට දිනකට දෙකකට පෙරාතුව ම කෙනෙකු එළවීම හා තවෙකෙකු වැළඳගැනීම තුල අරගලය රෝද ගණනාවකින් සැදි දුම්රියකින් වෙනස් වී තනි රෝදයක වීල්-බැරෝවක් වෙන ලකුණු පෙන්නුම් කළේ ය.

ගෝටාගෝහෝම් ගම අනුප්‍රාණයෙන්, පුළුල් ජන කොටස් ගණනාවකින් මතුවන නවමු දේශපාලන කතිකාව එක්තරා දේශපාලන දහරාවක සැමදා මතුරණ මන්තරයට ම ලඝු වීමේ අනතුර හා අවධානම අවමගුලේ නිමිත්ත යි.

විවිධත්වය නියෝජනය කරන වෛවර්ණ දේශපාලන අවකාශයක් මොනො-වර්ණ වීම ගැන දැනටමත් චෝදනා මතු ව ඇත.

යට කී සිනමාපටය රෝමාන්තික කොමඩියක වුව ද පශ්චාත් මැයි නවය අත්දැකීම අපට මාරාන්තික ට්‍රැජඩියක වේ ද යී සැක සිතෙන්නේ ඒ නිසා ය.


Udan(උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...