The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සා.පෙළ ලියන දරුවන්ට සහනයක් දෙන්න - (කුසල් පෙරේරා)

T

The Leader Desk

May 23, 2022 • 9:37 AM

සා.පෙළ ලියන දරුවන්ට සහනයක් දෙන්න - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු රජයෙන් ඉල්ලා සිටියි.
  • ඒ සඳහා ජනප්‍රිය ජාතික පාසල් 370 ක පමණ සිසු සිසුවියන්ට හැර අනෙක් සියල්ලන්ට එක් එක් විෂයට ලැබෙන්නේ ළකුණු 45 ට අඩු ප්‍රමාණයක් නම්, විෂමතා පියවීම සඳහා ඒ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු 20 බැගින් එකතු කළ යුතු යැයි යෝජනා කර ඇත්තේ ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරාය.
  • ඒ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කරමින් ඔහු එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
  • අද මැයි 23 වන දින සිට මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙනි සය මසක් ප්‍රමාද වී අද මැයි 23 වන සඳුදා දින ආරම්භ කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් පුදුමාකාර අභියෝගයකට මුහුණ දෙන ළමුන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු රජයෙන් ඉල්ලා සිටියි.

ඒ සඳහා ජනප්‍රිය ජාතික පාසල් 370 ක පමණ සිසු සිසුවියන්ට හැර අනෙක් සියල්ලන්ට එක් එක් විෂයට ලැබෙන්නේ ළකුණු 45 ට අඩු ප්‍රමාණයක් නම්, විෂමතා පියවීම සඳහා ඒ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු 20 බැගින් එකතු කළ යුතු යැයි යෝජනා කර ඇත්තේ ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරාය.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කරමින් ඔහු එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

එම ෆේස්බුක් සටහන පහත පළවේ.


අද මැයි 23 වන දින සිට මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙනි


සය මසක් ප්‍රමාද වී අද මැයි 23 වන සඳුදා දින ආරම්භ කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් පුදුමාකාර අභියෝගයකට මුහුණ දෙන ළමුන් ය.

ඔවුන් අත් විඳි බාධාවන් හා ඛේදවාචක සළකා ඔවුන් සියලු දෙන මේ සා.පෙළ විභාගයෙන් සමත් කළ යුතු ළමුන් වෙති.

ඔවුන් මෙන් සමාජ ආර්ථික ඛේදවාචක, සේවා බිඳ වැටීම්, පාසල් වසා තැබීම්, ගුරුවරුන් ඉගැන්වීම් වර්ජනය කිරීම්, පැය ගණන් විදුලි කප්පාදු සහ හෙට දිනය ගැන ඇති අවිනිශ්චිතය සමග පාස්කු ප්‍රහාරයේ සිට ගෝලීය වසංගතයක් හරහා ආර්ථික අර්බූදයකටද හසුවූ තම ජීවිත මහා අවදානමක තැබූ වසර 03 ක් ගත කළ වෙනත් ළමා පරපුරක් ගැන මම නොදනිමි.

මීට පෙර මා දන්නා ඉතිහාසයෙහි පළමු වරට ‘71 ජ.වි.පෙ ත්‍රස්තවාදී කැරැල්ලේදී පාසල් පැවැත්වීම අඩපණ වූ සහ දෙවන වරට නැවත ‘88 - 90 වසරවල ජ.වි.පෙ දියත් කළ ම්ලේච්ඡ දේශප්‍රේමී ඝාතන රැල්ලෙහි පාසල් සහ විශ්ව විද්‍යාල වසර 02 ක් වසා තැබීමට සිදුවූවත් සමස්ථ සමාජ ක්‍රියාකාරිත්වය හා සේවාවන් මෙලෙසින් බිඳ වැටුණු සහ විධිමත් අධ්‍යාපනය මෙලෙසින් අයාලේ යැවුනු කාලයක් නොවුනි.

 

මේ ගත වුනු අවාසනාවන්ත කාල පරිච්ඡේදයේ මේ ළමුන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය ගැන කතා කළ කිසිවකු නොවුනි.

 

2020 සහ 2021 වසරවලත් මේ වසරේත් සමාජ ආර්ථික අස්ථාවරත්වයක බලාපොරොත්තු කිසිවක් තබා ගත නොහැකි අවිනිශ්චිත අනාගතයක් හමුවේ, වාර කිහිපයක අතපසු වුනු පාඩම් සම්පූර්ණ කිරීමේ කිසිදු පැහැදිලි වැදගත් සැළසුමක් ඉදිරිපත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් හෝ ජාතික අධ්‍යාපන කොමිසම මගින් සිදු නොවුනි.

වගකිව යුතු බලධාරීන්ගෙන් අවශ්‍ය වගකීම් ඉටු නොවන විට ඒවා ඉල්ලා සිටින්නට වැඩි වැටුප් ඉල්ලා සිටි විදුහල්පතිවරුන්, ගුරුවරුන් තබා ඔවුන්ගේ වෘත්තීය සමිති හෝ ඉදිරිපත් වූයේ නැත.

කෝවිඩ්-19 වසංගතය සමග 2020 වසරේ මාස කිහිපයක්ම පාසල් වසා තබන්නට සිදුවූ අතර, කිසිදු ශ්‍රේණියක ඒ වසරේ නිර්දිශ්ට පාඩම් සියල්ල සම්පූර්ණ කරන්නට නොහැකි වූ බව රටම දන්නකි.

 

ඊළඟ 2021 වසරේද පාසල් වසා තැබුණු කාලයට අමතරව පාසල් විවෘත කෙරුණු කාලයේද හරියාකාර ඉගැන්වීමක් නොවුනි. ඒ වසර දෙකේ නොකෙරුණු පාඩම් සම්පූර්ණ නොකර මේ 2022 වසරේ පාඩම් කළ නොහැකි බව ගුරුවරුන් පමණක් නොව, ළමුන් සහ බහුතරයක් දෙමාපියන්ද දන්නා කාරණාවකි.

 

එබැවින් 2021 ඔක්තෝම්බරයේදී මම 2022 වසර සඳහා ඉගැන්වීම් වෙනුවෙන් සහ ළමුන්ට ඉගෙන ගැනීමට ශ්‍රේණි අතර වසරක් පාසා තිබිය යුතු අඛණ්ඩ පාඩම් මාලාවක අවශ්‍යතාව මතු කරමින් විෂය නිර්දේශ සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය කාරණාවක් බැව් අධ්‍යාපන බලධාරීන්ගේ සහ ගුරු සංගම්වල අවධානයට යොමු කළෙමි. එහෙත් ඒ ගැන අධ්‍යාපන බලධාරීන් පමණක් නොව, ළමුන්ගේ අනාගතයද උගසට තබමින් ගුරු සටන් මෙහෙය වූ විදුහල්පති හා ගුරු සංගම් පවා පාසල් අධ්‍යාපනය සම්බන්ධ තමන්ගේ වගකීම් ගැන සැළකිලිමත් නොවූහ.

 

ගෙවුනු දසකවල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යැයි ගෝසා නැගූ කිසිවකු සියලු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුත්තේ සමාන අවස්ථා සමග සමාන පහසුකම් සමගින් යැයි නොදත්හ. එනිසා නිදහස් අධ්‍යාපනය රකින්නට කරන කතා කිසිවක සියලු ළමුන්ට සමාන අවසථා සහ සමාන පහසුකම් තිබිය යුතු යැයි කිසිදු කතාවක් නොමැත.

 

පසුගිය කාලයේ සියලු ආණ්ඩු විසින් අතහැර දැමුණු, විදුහල්පති සහ ගුරු සංගම් කිසිදු අවධානයක් යොමු නොකළ පාසල් අධ්‍යාපනයෙහි හැම අංශයකම බරපතල විෂමතා වර්ධනය විය.

පංති කාමරයේ ඉගැන්වීම්වල සිට, පාසලේ බාහිර ක්‍රියාකාරකම් සඳහාවන පහසුකම් වලට අමතරව, පාසලක අනිවාර්යෙන් තිබිය යුතු පානීය ජලය හා වැසිකිළි පහසුකම්ද (10,000 ට වැඩි පාසල් අතුරින් පාසල් 4,000 ට වැඩි සංඛ්‍යාවකට වැසිකිළි නැත) බහුතර දූ දරුවන්ට සහ ගුරුවරුන්ට අහිමිව ඇත.

 දෛනිකව පාසල් පැමිණීමට තිබිය යුතු ප්‍රවාහන පහසුකම්ද බහුතරයකට එළෙසින්ම ප්‍රශ්නකාරී වූවකි.

බොහෝ දේ සම්බන්ධ විෂමතා එළෙසින් සීඝ්‍රයෙන් බරපතල වන්නට විය. ගම හා නගරය වශයෙන්ද නගරයේ ජනප්‍රිය හා සෙසු පාසල් අතරද ඒ විෂමතාවන් වර්ධනයවී ඇත.

children s 

රට පුරා ඒ විෂමතා වර්ධනය වී ඇති සැටි දැකිය හැකි වූයේ සියලු පාසල් වසා තිබියදී ළමුන් සඳහා වැදගැම්මකට නැති, අධ්‍යාපන පරිපාලකයින්ද විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද නොදන්නා “මාර්ග ගත” ඉගැන්වීම් ආදේශ කළ විටය.

 

ඒ සඳහා අවශ්‍ය වූ උපකරණ, අන්තර්ජාල සේවා හා පහසුකම්, ගුරුවරුන් සතු විය යුතුව තිබූ ඉගැන්වීමේ තාක්ෂණික දැනුම, ඒවා නියාමනය කිරීමේ පිළිවෙත් කිසිවක් නොවුනු පසුබිමක මාර්ග ගත ඉගැන්වීම් පලදායි වූයේ නගරයේ ළමුන්ගෙන් සියයට 15 ට යැයි අධ්‍යාපන අමාත්‍යාංශයම පසුව පිළිගෙන තිබුණි. ඒ, පහසුකම් අතින් දියුණු ජනප්‍රිය පාසල් අතළොස්සෙහි ළමුන් වූ බවට සැක නැත.


පහසුකම් හීනවූ, ඉගැන්වීම් අඩාල වූ පාසල් වල පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ සිට කෝවිඩ්-19 ගෝලීය වසංගතය හරහා ආර්ථික කඩා වැටීමෙන් ඌණ පහසුකම්ද අහිමිවූ ඉතිරි ළමුන් සියයට 85 ත් අද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන බව අමතක නොකළ යුත්තකි. මේ ළමුන් පිළිතුරු දිය යුත්තේද සියලු පහසුකම් හා මාර්ග ගත අධ්‍යාපනයෙන්ද ප්‍රයෝජනයක් ලැබූ නාගරික මැද පංතික ළමුන් පිළිතුරු ලියන ප්‍රශ්න පත්‍ර වලටම ය.


අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන්ට සහනය ලබාදෙන්න


ඔවුන්ට සාධාරණයක් ඉල්ලා දෙමාපියන් කතා කරන්නේද නැත. විෂමතා ගහණ මේ නිදහස් අධ්‍යාපනයෙහි ආර්ථික වාසි ගැන පමණක් ගණන් හදන විදුහල්පති හා ගුරු සංගම් කතා කරන්නේද නැත. ඒ මේ දරුවන් මුහුණ දෙන අනෙක් ඛේදවාචකය වන්නේය.

එවැනි බරපතල අසාධාරණයන්ට හා අවාසි ගණනාවකට හසුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියන ළමුන්ට යම් සහනයක් හෝ ලබා දිය යුතු යැයි මම කියමි.

 

ඒ සඳහා ජනප්‍රිය ජාතික පාසල් 370 ක පමණ සිසු සිසුවියන්ට හැර අනෙක් සියල්ලන්ට එක් එක් විෂයට ලැබෙන්නේ ළකුණු 45 ට අඩු ප්‍රමාණයක් නම්, විෂමතා පියවීම සඳහා ඒ පිළිතුරු පත්‍ර සඳහා ළකුණු 20 බැගින් එකතු කළ යුතු යැයි මම යෝජනා කරමි.

 

විභාගය අවසන් වී ප්‍රශ්න පත්‍ර බැලීම ආරම්භ කිරීමට තව සති දෙකක පමණ කාලයක් ගත විය හැකි බැවින් මේ යෝජනාව තම ළමුන් වෙනුවෙන් දෙමාපියන් හෝ අදාල බලධාරීන් හට ඉදිරිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.



සියලු දේශපාලන නායකයින්ට කෙරෙන විවෘත ඉල්ලීමක් ! - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 මැයි 23

  

Leader Whats app

  

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...