The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂලාගේ තුවාල රාසමානික්කම්ලා ලෙව කන්නේ ඇයි? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න )

T

The Leader Desk

May 27, 2022 • 3:59 AM

 රාජපක්ෂලාගේ තුවාල රාසමානික්කම්ලා ලෙව කන්නේ ඇයි? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ චතුර සිංහල භාවිතය සත්තකින්ම සජිත්ගේ සිංහල හැසිරවීමට වඩා ව්‍යක්තය.
  • එහෙත් පසුගිය මැයි 20 වෙනි දින චානක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී කතා කළේ ආකර්ශනීය ලෙස සිය මව් බසවත් කතා කිරීමට අසමත් සජිත් ප්‍රෙමදාස වෙනුවෙන් මිස රටේ පීඩාවට පත් බහුරතය වෙනුවෙන් නොවේ.
  • මැයි 17 වෙනිදා නියෝජ්‍ය කතානායක තේරීමෙන් පසුව, ස්ථාවර නියෝග අත්හිටුවීම සදහා ඡන්දයක් ඉල්ලා සිටියේ තම යෝජනාව පරදින බව පැහැදිලිව දැන දැනය.
  • සුහන්දිරන්ට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තු බහුරතය තවමත් රාජපක්ෂලා සතු බව තහවුරු කිරිමටය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ චතුර සිංහල භාවිතය සත්තකින්ම සජිත්ගේ සිංහල හැසිරවීමට වඩා ව්‍යක්තය. සමීපය. සරලය.

එහෙත් පසුගිය මැයි 20 වෙනි දින චානක්‍යන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී කතා කළේ ආකර්ශනීය ලෙස සිය මව් බසවත් කතා කිරීමට අසමත් සජිත් ප්‍රෙමදාස වෙනුවෙන් මිස රටේ පීඩාවට පත් බහුරතය වෙනුවෙන් නොවේ.

රාජපක්ෂ රෙජිමයට එරෙහිව සකල විපක්ෂයම මතවාදිව ගොනු කරමින් සිටි එම්.ඒ.සුහන්දිරන් මන්ත්‍රිවරයා වෙතින්ද ද්‍රවිඪ සංවිධානයට නුහුරු අමුතු දේශපාලන හැසිරීමක් නිරුපනය වේ.



මැයි 17 වෙනිදා නියෝජ්‍ය කතානායක තේරීමෙන් පසුව, ස්ථාවර නියෝග අත්හිටුවීම සදහා ඡන්දයක් ඉල්ලා සිටියේ තම යෝජනාව පරදින බව පැහැදිලිව දැන දැනය. සුහන්දිරන්ට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තු බහුරතය තවමත් රාජපක්ෂලා සතු බව තහවුරු කිරිමටය. ඒ සදහා භාණ්ඩාගාරය හිස්ව පවත්නා රටේ  මුදල්  සෑහෙන ප්‍රමාණයක් නාස්ති කළා හැර සුහන්දිරන් රටේ යහපත වෙනුවෙන් කළ දෙයක් නැත.



සජබය සහ ජවිපෙය අර්බුදය ආරම්භයේ සිට අනාගත පාර්ලිමේන්තුවේ පාලක පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමේ ගිවිසුමකින් බැදී ක්‍රියා කරමින් සිටිති.

ඔවුන්ට අවශ්‍ය ඉන්ධන, බෙහෙත්, විදුලිය නැතිව බිද වැටුණ රටේ ජනතාව ප්‍රපාතයට යවා උපක්‍රමශිලීව මහ මැතිවරණයක් ලබා ගැනීමය. වැඩිවන ජන පිඩාව හරහා තම ජයග්‍රහණ වඩාත් තහවුරුවන බව ඔවුන් විශ්වාස කළහ.

එජාපයක් නැති රටේ සජබයට ආණ්ඩුව පිහිටුවීමටත් ජවිපෙට ප්‍රධාන විපක්ෂයවීමේත් එකගතාවකින් ක්‍රියා කළහ.  

වහා ව්‍යවස්ථා සංශෝධනයක් කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මානය වේද නැද්ද යන්න ඔවුන්ට අදාළ නැත.



90571 20200820T123731Z 349658119 RC2OHI93012Q RTRMADP 3 SRILANKAPOLITICS 1603407076998
අනුර සජිත් දෙදෙනාම තමන් ආණ්ඩුව භාර නොගන්නා පරිසරයක පාර්ලිමේන්තුවට පහරදී ජනතාව මැතිවරණයක් ඉල්ලා සිටිතී යයි විශ්වාස කරති. ඔහුන් කතා කරන්නේ හැසිරෙන්නේ කලුපටි බැද එන්නේ ඊළග මැතිවරණයකින් ලබාගත හැකි වාසිය අපෙක්ෂා කරමිනි.

සක්‍රිය දේශපාලනයෙහි නොයෙදෙන රටේ බිද වැටුණ ආර්ථිකය අතර, ජීවත් වෙමින් හුස්ම ගන්නා කිසිදු සිවිල් සාමාජික පුරවැසියෙකු මේ අරමුණට සහාය දෙන්නේ නැත. පාර්ලිමේන්තුව, රටේ ආර්ථිකය බිද වැටීමට හේතුවී නැත.

 පාර්ලිමේන්තුව නොතකා හරිමින් දිගු කලක සිට රටේ ආර්ථීකයට ජන ජීවිතයට ඍජුව අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති තීරණ මේ ක්ෂණික සහ අනපේක්ෂිත කඩා වැටීමට හේතුවිය.

එහෙව් තත්වයට අධිබලැති ගෝටා සහ ක්‍රමය වෙනස් කිරීම එකම පිළියම වන අතර, එකී ක්‍රමය වෙනස් කිරීම තෙක් කාලය සදහා අන්තර් වාර සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බවත් සිවිල් සමාජය විශ්වස කරයි.




කාබනික පොහොර ප්‍රතිපත්තිය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාමද තමන් ගත් වැරදි තීරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ පිළිගැනීම ඉහත කී සිද්ධි මාලාවේ කූඨ ප්‍රාප්තිය වේ. ඒ තීරණ ගැනීමේදී රටේ ජනාධිපති පාර්ලිමේන්තුවේ තබා කැබිනට් මණ්ඩලයේවත් අනුමැතිය ලබාගෙන නැති බවට වීරවංශලා සාක්ෂි කියති.



බෙහෙත් නැති, පෙහොර නැති, ඛනිජ තෙල් නැති, ඩොලර් නැති රටේ ජනතාවට වහා අවශ්‍ය හදිසි මහා මැතිවරණයක් නොවේ. පවත්නා පාර්ලිමේන්තුව මූලිකව ඒකමතිකව නිර්මානය කර ගන්නා සර්ව පාක්ෂික අන්තර් පාලනයක් හරහා පවත්නා තත්වය කළමනාකරණය කිරීමය.

ඒ සිවිල් සමාජයේ තාර්කිත යථාර්තවාදි අපෙක්ෂාව වෙනුවට කඩිනම් මැතිවරණයකට යාමට සජිත් අනුර සූදානම්ව සිටීම පුදුමයක් නොවේ. ද්‍රවිඪ සන්ධානයත් ඔවුන් සමග පෙළ ගැසීම මවිතයකි.

මේ දක්වා උතුරේ ජනමතය තිරණාත්මක අවස්ථාවකදී පෙනී සිටියේ දකුණේ බහුතර සමාන්‍ය ජනතාව දැරෑ මතය සමගය. දකුණේ පාලකයන් ගත් අතාර්කික ආර්ථික තීරණ නිසා දකුණේ මෙන්ම උතුරේත් ජනතාවගේ බඩ පිට දෙකම එකට ඇලී පවතී. උතුරේත් ගෝඨාගෝගමක් ඇත්තේ ඒ නිසාය.



මේ පසුබිම යටතේ චානක්‍යන් රාසමානික්කම් මැයි 20 වෙනිදා කළ කතාව විපක්ෂයේ පැවැත්ම සදහා මිස රටේ ජනතාවගේ ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ භාෂාවෙන් නම් නිට්ටඹුවේදි අමරකීර්ති අතුකෝරාළට අත්වූ ඉරණම එක් කපුටු තට්ටක් එල්ලීමක් පමණකි.

මේ හැදින්වීම සදාචාර සම්පන්න නැත ද දිනේෂ්ලා අලි සබ්රිලා උඩුයටිකුරුව පාර්ලිමේන්තුවේ ඔලුවෙන් හිටගෙන කතා කළේ ඒ නිසාය.

20ට අත් ඉස්සූ දිනේෂ්ට සොල්බරි ව්‍යවස්ථාව මතක් විය. අලි සබ්රි බෞද්ධ රටක මෙවැන්නක් සිදුවීම ගැන මවිත විය. ගෝඨාට හිට්ලර් වීමට බෞද්ධ භික්ෂුවක් ප්‍රසිද්ධියේ ආරාධනා කළ අවස්ථාවේ අලි සබ්රිට බුද්ධාගමේ අහිංසාව මතක් වුණේ නැත. අලි සබ්රිලා සමග සිටි තවත් බෞද්ධ භික්ෂුවක් මුසල්මානුවන්ට එරෙහිව මහනුවර මහමලුවේ උපවාස කළාත් අමතකය.




රෝමේෂ් පතිරණ පාර්ලිමේන්තුව නොමග යැවීය. ඔහු මැයි 9 වෙනිදා පවුලක් එක්ව සැලසුම් කළ ප්‍රහාරය අසාර්ථකවූ තැන ඒ අපවාදයෙන් ගෝඨාභය බේරා ගැනීමට මුසාවාද කෙළියා පමණකි. රොමේෂ්ගේ ගෙදර ගිණි ගත් පසුව ඒ ගැන ලිපිද පළවිය. සමහරු එහි වාසය කළේ රිචඩ් නම් සුද්ධවන්තයෙකු බව කීමට ලිපි පවා පළ කළහ. රොමේෂ්ට තබා රිචඩ් පතිරණටවත් දේශපාලන සදාචාරයක් නොවීය.



මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික පන්ති ආරම්භ කරන ලෙස කටුකැලේ අනිවත්ත ප්‍රදේශවාසීන් ජනාධිපති ඩී.බී. විජේතුංගට බල කළහ. විජේතුංගගේ ස්ථාවරය වුණේ ප්‍රාථමික පන්ති සඳහා විවෘත කළොත් හසලක මහියංගනය පොළොන්නරුව අම්පාර වැනි දුෂ්කර පළාත්වලින්  5 ශිෂ්‍යත්වය ඉහළින්  සමත් කුඩා දැරියන්ට එයින් අසාධාරණයක් බව බවය.

රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිව එක් පෑන් පහරකින් ජනාධිපති ඩී.බී. විජේතුංගගේ ස්ථාවරය වෙනස් කොට, මහනුවර උසස් බාලිකාවේ ප්‍රාථමික පන්ති ආරම්භ කිරීමට නියෝග කළේය.

සිහියෙන් හෝ අසිහියෙන් බෙන්තොට සංචාරක නිකේතනයක විදෙශිකයන් පැන් සැනහෙමින් සිටි නාන තටාකයට මුත්‍රා කළ බවට විදේශීය ජන මාධ්‍ය වාර්තා කළ ලංකාවේ අධ්‍යාපන ඇමති කවුදැයි ඩලස්ලායටත් මතක තිබිය යුතුවේ.



චානක්‍යම් රාසමානික්කම් මැයි 20 දා කතාවේ වැඩියෙන් තිබුණේ දේශපාලන අනුමාන අවලාද මිස, හරවත් කතා නොවේ. ආර්ථික තර්කද තිබිණ. රාජපක්ෂලා රැකීමේ රනිල් ඇති කරගත් ගිවිසුම් යනු ඔහුගේ දේශපාලන හිතලූවකි.



ගඩාපි ක්‍රමයට මිස, ව්‍යවස්ථාවට පරිබාහිරව ලංකාවේ විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට ඉවත් කළ නොහැකි බව පාසල් දරුවන් පවා දනිති. රටේ තැන තැන, තටු දෙක තුන ගැලවෙන විට, පාර්ලිමේන්තු බහුතරය අකමැත්තෙන් හෝ ව්‍යවස්ථානුකූලව අවශ්‍ය පියවර ගැනීමට පෙළඹෙනු ඇත.

මේ වනවිට අන්තර් පාලන කැබිනට් මණ්ඩලයට 21 ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කර හමාරය.

රාසමානික්කම්ගේ කතාවට පෙර සභාව ඇමතූ තොරතුරු දැන ගැනීමේ පනතටත් විරුද්ධව පෙනී සිටි, දිනේෂ්ට සෝල්බරි ක්‍රමය යහපත් බව සිහිපත්වීම ආශ්චර්යකි. එහෙත් පුතාගේ දේශපාලනය වෙනුවෙන් දිනේෂ් මැරෙන තෙක් වහලෙකි.


 පාර්ලිමේන්තු ප්‍රජාව තැති ගැන්වී සිටින එවැනි විරාමයක එහි රස්නය වැඩි කරනු වෙනුවට රාසමානික්කම්, රාජපක්ෂ තුවාලය දිවෙන් ලෙවකෑම හෙවත් අගමැති රනිල් වික්‍රමසිංහට ප්‍රහාර එල්ල කිරීම පාතාල කොනත්‍රාත්තුවක් මිස, පැසුණ දේශපාලන ක්‍රමවේදයකට අනුගත හැසිරිමක් නම් නොවේ.



රාජපක්ෂලා රකිතී යයි චෝදනා කරන රාසමානික්කම් ලෝක බැංකුවෙන් ලැබුණ ඩොල් මිලියන 170ක මුදල ඉන්දියාවෙන් ලැබුණ ආධාරයෙන් යකඩ මිලදී ගත්තා වැනිදේකට පාවිච්චි කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටින්නේද රනිල් ගෙනි.

රාසමානික්කම් කොතන හෝ මොකක් නමුත් පටලාගෙන ඇත. අන්තර්වාර පාලනය විධිමත් කළ යුතු නම් අන්තර් ජාතික ආධාර ලැබෙන බවද පිළිගනියි නම් විපක්ෂය කළ යුත්තේ ඒ පාලනයට සම්බන්ධවීම මිස ජනතාවගේ යහපතට බාධා කිරිම නොවේ.‍

රනිල් වික්‍රමසිංහගේ වැටෙන්න හෝ වට්ටන්න දෙයක් ඇත්තේම නැත. රනිල් යනු වර්තමාන දේශපාලන සංඛ්‍යා අතර බිංදුවට සමානය. එක් මන්ත්‍රි අසුනකි. ඒත් රනිල්ය. ඒ රනිල් අගමැති වුණේ රාසමානික්කම්ලා වර්ණනා කරන සජිත් ආසන පනස් ගණනක් අතැතිව සිටි මොහොතේය.

1652529145 Ranil Wickremesinghe and Sajith Premadasa Lරනිල් අගමැති වුණේ රාසමානික්කම්ලා වර්ණනා කරන සජිත් ආසන පනස් ගණනක් අතැතිව සිටි මොහොතේය.


මැතිවරණයකින් මෙපිට ආණ්ඩුවක් පිහිටුවීමට පැවති අවස්ථාව නැතිකර ගත් සජිත් රටේ අගමැති කර ජනතාව වහා අපේක්ෂා කරන සහන දෙන දවස රාසමානික්කම්ට සහතික කළ හැකිද?

රට අපේක්ෂා කරන්නේ සහන මිස ගිනි තැබීම් මිනි මැරීම් නොවේ. විසදුම්ය. ඒ සදහා ප්‍රවේශය, ක්‍රම වේදය තීරණය කළ යුත්තේ තෝරා ගත යුත්තේ නායකයන් විසිනි.

රනිල් කිසිදාක රටේ ආර්ථිකයට කළ හානියක් නැත. ඔහුට සියලු දේශපාලනික අවපාතයන්ට හසුවුණේ එජාපයේ නායකත්වය රැකගැනීමට යාම නිසාය. රනිල් අවස්ථානුකූලව රටේ අභියෝගය භාරගෙන අවසන්ය. රනිල් දාර්ශනිකයෙකි. අවංක නායකයෙකි. ආදි වශයෙන් ඩලස් අලහප්පෙරුම දෙන තක්සේරුව යනු රනිල් නම් බිංදුවට වමෙන් එකේ සිට නවය තෙක් ඉලක්කම් එකතු කළ යුතු බවට කරන ඉගියකි.

නිවැරදි නම් උතුර නියෝජනය කරන රාසමානික්කම්ලා දකුණේ ඩලස්ට පළමුව නිර්දේශපාලනිකව ඒ සදහා පෙළ ගැසිය යුතුව තිබිණ. එහෙම නොවුණේ ඇයි? රාජපක්ෂලාට එරෙහිව කටේ කෙළ නොසොල්වන සජිත් ඒ කාර්ය රාසමානික්කම්ලාට පවරා ඇති නිසාය. ඒ අර්ථයෙන් එයත් දේශපාලන ඩීල් එකකි.


නියෝජ්‍ය කතානායක තේරීම අවසානයේ සිය ස්තුති කතාව අතර, රෝහිණි විජේරත්න, තමන් වෙනුවෙන් පෙනී සිටි රනිල්ට ස්තුති කළ අතර, ඔහු පාර්ලිමේන්තුවේ තනිවී ඇතැයි උපහාසයෙන් සිනාසිණ. ලග්ගල ජනතාවට මේ මෙහොතේ අවශ්‍ය කෑම බීම විදුලිය ඉන්ධන ලබා ගැනීමට රෝහිණි මිස, රනිල් හෝ සජිත් නොවේ. 

 

ප්‍රබෝධමත් දේශපාලනයක හැඩතල සහිත රෝහිණි කළ යුතුව තිබුණේ රනිල්ට සිනාසීම නොවේ.‍ පාර්ලිමේන්තු බහුතරයට පීඩනයක් එල්ල කිරීමය.

රාසමානික්කම්ලා රෝහිණිලා රනිල් වික්‍රමසිංහට ගහන්නේ අනාගතයේ අවිනිශ්චිත දවසක සජිත් බලයට ගෙන ඒමට මිස, රටට ක්ෂණීකව සහන ගෙන ඒමට නොවේ. රටට අවශ්‍ය ක්ෂණික පිළියම්ය. විශේෂයෙන් රාජපක්ෂලා දැන දැන කළ වැරදි හේතුවෙන් ඇතිවූ බිදවැටීම් යථා තත්වයට පත් කිරීම්ය.

කාගෙන් හෝ ඉල්ලා ගත් මුදලකින් තමන් කැමති තැන් වලට පස් පංගුවෙන් ටික ටික බෙදිමෙන් පන අදින රට කෙළින් කර දෙපයින් ඇවිද්දවිය නොහැකි බව සජිත් ප්‍රේමදාස නොදනි. ඒ අර්ථයෙන් සජිත් මේ නිමේෂයෙහි ගෝඨාටත් වඩා අසාර්ථක චරිතයකි.

සජබය කඩති යයි බෙරිහන් නොදී හර්ෂ, පාඨලී වැනි සම්පත් දායකයන් කිහිප දෙනෙකු අන්තර් වාර පාලනයට යවා ජනතාවට සහන සලසා දෙන තරමට සජිත් කරුණා සහගත හෝ ජනතාවාදි නැත. ඔහු නැති බැරි එවුන් තමන්ගෙන් යැපෙනු දැකීමට කැමත්තෙකි. සජිත් තැන තැන බෙදන සල්ලි කාගෙද? එය සරදියෙල් මග රැක සිට අශ්ව කෝච්චි කොල්ල කා ගම්මුන්ට සොච්චමක් බෙදා දී වීරයෙකු වූ සරදියෙල්ට වඩා වෙනස් චරිතයක් නොවේ.

සක්විති රජකම දෙනවා කීවත් දොරටුපාල අගමැතිකම මම ගන්නේ නැත කියා සජිත් කියා තිබිණ. කාලයට දේශයට අනුව කල්පනා කළ නොහැකි මන්ද බුද්ධිකයන් රටට අවශ්‍යද යන්න පෙරළා විමසිය හැකිය. පක්ෂ විනය ප්‍රතිපත්ති රට වෙනුවෙන් වෙනස් කළ අත්හිටුවිය නොහැකි කිසිවෙකුට ජනතාවගේ හැගිම් තේරුම්ගත නොහැකිය.

එහෙත් ජනතාව ඒ කාගේ කාගේත් හැගිම් අවශ්‍ය අවස්ථාවේ තේරුම් ගනු නියතය. මියගිය මුසෝලිනිටත් ආර්.ප්‍රේමදාසටත් ජනතාව දැක්වූ සැලකිල්ල ඊට උදාහරණ වේ.
 

 
රාසමානික්කම්ලා කළ යුත්තේ නව දේශපාලන යුගයක් වෙනුවෙන් අත්පොත් තැබීම කැපවීම විනා දේශපාලනයේ අයන්නවත් ඇද නැතිව ලියන්නටවත් නොදන්නා සජිත්ලාට කාඩේ යාම නොවේ.


කොන්දේසි විරහිතව රටේ ආර්ථිකය ගොඩ දැමීමට රනිල් එකගවීම යනු කොයි මොහොතේ හෝ රනිල් විසිවී යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එය එසේ වේ අර්ථ දෙකකින්ම රනිල් තනිවීම, ජයග්‍රහණ දෙකක් ලෙස රාජපක්ෂලා විසින් අලෙවි කරනවාය.

පළමුව, ‘‘කෝ ගත්තාට කෙරුවාදැයි මහ හයියෙන් අසනු ඇත. දෙවනුව, ඒ නිසාවෙන් ඔන්න අපි යළි රටේ පාලනය ආරම්භ කළා යයි ප්‍රකාශ කර පරිච්ඡේය වසා දමනු ඇත. ඒ අතර මේ තුනෙන් දෙක යොදා තවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා සියලු කාල සිමා සදාකාලික කරගනු නියතය.

සිවිල් සමාජය රාසමානික්කම්ලා ආදි සියලු දෙනාට කියා සිටින්නේ, මේ මොහොතේ තනි බර කරට ගත් මිනිසා තනි නොකරව් කියාය. සජිත්ලා අනුරලා බැරි බව ඔවුන් තහවුරු කළහ.

රනිල් තනි කර හිටුවා පස් ගැනීමෙන් සිද්ධ වෙන්නේ අප හැර ලංකාව පාලනය කිරිමට කිසිවෙකු නැති කීමට රාජපක්ෂලාට අවස්තාව සලසා දීම පමණකි.  
 
 
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )
Chandrasiri Senevirathne 21


 
 
 
 
 

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...