The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්වභාවික විද්‍යාව : 'ලීනියන් පදක්කම' දිනූ පළමු ශ්‍රී ලාංකිකයා

T

The Leader Desk

May 27, 2022 • 3:15 PM

ස්වභාවික විද්‍යාව : 'ලීනියන් පදක්කම' දිනූ පළමු ශ්‍රී ලාංකිකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.
  • විද්‍යාවට කරන සේවය සඳහා සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයේ විශිෂ්ඨ සේවයක් කළ විද්‍යාඥයින් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට (ඕනෑම ක්ෂේත්‍රයක) කවුන්සිලය විසින් වාර්ෂිකව පදක්කම් ප්‍රදානය කරනු ලැබේ.
  • සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම (Linnean Medal - Zoology 2022) මෙවර රොහාන් පෙතියාගොඩට හිමිව තිබේ.
  • තමන් සිදු කළ පර්යේෂණවලට අමතරව අංකුර පර්යේෂකයන්ට සහ ආධුනික විද්‍යාඥයින්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) ආරම්භ කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):



එම පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.

ලන්ඩනයේ ලිනියන් සංගමය ස්වභාවික ඉතිහාසයට කැප වූ ලොව පැරණිතම ක්‍රියාකාරී සමාජයයි. විද්‍යාවට කරන සේවය සඳහා සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයේ විශිෂ්ඨ සේවයක් කළ විද්‍යාඥයින් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට (ඕනෑම ක්ෂේත්‍රයක) කවුන්සිලය විසින් වාර්ෂිකව පදක්කම් ප්‍රදානය කරනු ලැබේ.

සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම (Linnean Medal - Zoology 2022) මෙවර රොහාන් පෙතියාගොඩට හිමිව තිබේ.


අංකුර විද්‍යාඥයින්ට මග පෙන්වීම:

නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ විදු ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු, සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තිබේ.

තමන් සිදු කළ පර්යේෂණවලට අමතරව අංකුර පර්යේෂකයන්ට සහ ආධුනික විද්‍යාඥයින්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) ආරම්භ කරන ලදී.

ඒ හරහා ශ්‍රී ලංකාවට ආවේණික ජීව විශේෂ රැසක් විදු ලොවට හඳුන්වා දීමට ආධුනික විද්‍යාඥයින්ට හැකිවිය. එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ දමන්නට හේතු වූ අතර වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

ශ්‍රී ලංකාවේ සත්ත්ව හා ශාක සන්තතිය පිළිබඳව නව දැනුම සමාජගත කිරීම සඳහා ඔහු මෙන්ම වෙනත් පර්යේෂකයන් විසින් රචනා කරන ලද කෘති රැසක් වනජීවී උරුම භාරය හරහා ප්‍රකාශයට පත්කිරීමට රොහාන් පෙතියාගොඩ ක්‍රියා කළේය.

එම කෘති ඕනෑම අයෙකුට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බාගත කර ගැනීමට ඉඩ සළසා තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ වනජීවින් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි බසින් පළ වූ ග්‍රන්ථ රැසක් සිංහල බසින් ප්‍රකාශයට පත්කිරීමට ඔහු විශේෂයෙන් කටයුතු කර තිබේ.


තේ වතු ආශ්‍රිතව ගෙවුණු ජීවිතය:

1956 නොවැම්බර් මස 19 වැනි දින පේරාදෙණියේදී උපත ලද රොහාන් පෙතියාගොඩ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකි.

පියා තේ වතු කළමණාකරුවෙකු වූ අතර 'බෝඩිමක' නැවතී අධ්‍යාපනය ලද ඔහුගේ නිවාඩු කාලය තලවකැලේ සහ ළිඳුල ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව ගෙවුණි.

සාමාන්‍යපෙළ විභාගයෙන් පසු ඔහු එංගලන්තයට ගොස් ලන්ඩන් නුවර පිහිටි කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා තිබේ. ඉන්පසු සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී (MPhil) උපාධිය ලබා ඇත.

කුඩා කල සිට ගහකොළට, ඇලදොළට පෙම් බැඳි පෙතියාගොඩ 1981දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙසයි.

පසුව ඔහු ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රජයේ පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය.

තේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වන ඔහු ලෝක සංරක්ෂණ සංගමයට (IUCN) සම්බන්ධවී සිය පරිසර විද්‍යාත්මක දැනුම සංරක්ෂණය සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. එමෙන්ම ඔහු පර්යේෂකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ ද සේවය කර තිබේ.

90 දශකයේ අග භාගය වනවිට ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරවලට තර්ජන එල්ල විය. එබැවින් ආගරපතනේ අත්හැර දැමූ තේ වත්තක් ඔහු යළි ස්වභාවික කැලයක් බවට පත් කිරීම ආරම්භ කළේය. අද ඒ සිහිනය සැබෑ වී තිබේ. ඒ පරිසරහිතකාමි මෙහෙවර වෙනුවෙන් ඔහුට Rolex Award for Enterprise සම්මානය ද හිමි විය.

esasrශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් එම කෘතිය නව පර්යේෂණ සඳහා උත්තේජයක් සැපයූ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් බව පරිසරවේදීහු පවසති.


රොහාන් පෙතියාගොඩ ලොවට හඳුන්වාදුන් ජීවින් විශේෂ අතර බන්දුල පෙතියා (Pethia bandula) සුවිශේෂී මත්සයෙකි.

ඒ එම මත්සයා මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් වීම සහ ශ්‍රී ලංකාවේද එකම ස්ථානයක පමණක් දක්නට ලැබීමයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ, මිනීමරුකොලනිය ප්‍රදේශයෙන් ගලා යන දොළ පහර දෙකක ඉතා සීමිත ප්‍රදේශයක පමණක් එම මත්ස්‍යයා දක්නට ලැබේ.


sedfwserබන්දුල පෙතියා (ඡායාරූප මූලාශ්‍රය, SAMANTHA GUNASEKARA)



රාජ්‍ය සේවයෙන් ඉවත්වී සිහිනය හඹා යෑම:

1987 දී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුට මිරිදිය මසුන් පිළිබඳ අධ්‍යනය කිරීමට කාලය ඉතිරි විය. එහි ප්‍රතිපලයක් ලෙස Freshwater fishers of Sri Lanka නමින් ඔහුගේ පළමු කෘතිය 1991දී ප්‍රකාශයට පත් විය. ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් එම කෘතිය නව පර්යේෂණ සඳහා උත්තේජනයක් සැපයූ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් බව පරිසරවේදීහු පවසති.

එක් රටක ජීවත්වෙන සියලුම මත්ස්‍ය විශේෂවල ඡායාරූප ඇතුළත්ව පළ කළ ලොව පළමු කෘතිය ලෙස බොහෝ දෙනාගේ පිළි ගැනීමට ලක් වූ එම කෘතිය විදේශ රටවල ද අලෙවි විය.

ජීව විශේෂ 100කට අධික සංඛ්‍යාවක් විදු ලොවට හඳුන්වාදුන් රොහාන් පෙතියාගොඩට කරන ගෞරවයක් ලෙස මෙන්ම ඔහුගේ මග පෙන්වීමට කරන ගෞරවයක් ලෙස දේශීය මෙන්ම විදේශීය විද්‍යාඥයෝ රොහාන් පෙතියාගොඩගේ නමින් නව ජීව විශේෂ නම් කර ඇත.

ආසියාවේ සහ අප්‍රිකාවේ දක්නට ලැබෙන ගස් ගෙම්බන් විශේෂ අටක් ඇතුළත් ඝනයක් Rohanixalus නමින් නම් කිරීමට දිල්ලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ඩී බිජූ ඇතුළු කණ්ඩායමක් ක්‍රියා කිරීම ඊට නිදසුනකි.

එමෙන්ම පහත විද්‍යාත්මක නම් සහිත මත්ස්‍යයන්, මැඩියන්, මකුළුවන් සහ බත්කූරන් විශේෂ නම් කර තිබෙන්නේ ද රොහාන් පෙතියාගොඩට කරන ගෞරවයක් ලෙසිනි.

Dawkinsia rohani

Rasboroides rohani

Uperodon rohani, Calotes pethiyagodai

Onomastus pethiyagodai

Macromidia donaldi pethiyagodai



(BBC සිංහල සේවය)

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...