මේ ලිපිය ලියන මොහොත වන විට (2022/05/28) ‘ආදරයේ අරගලය’ හෙවත් ‘ගොඨාගෝ ගම’ අරගලයට දින පනහක් සපිරේ.
මේ අරගලය ලංකාවේ මතු නොව ජාත්‍යන්තරව පවා අවධානය යොමු වූ අරගලයක් මෙන් ම සුවිශේෂ වූ අරගලයකි. ඒ මන්දැයි වෙසෙසින් පැවසිය යුතු නැත.
නමුත් අරගලයේ මුඛ්‍ය අරමුණ තවමත් සඵල කරගත නොහැකි වී ඇති බව අපි අවංකව ම පිළිගත යුතු ය.
යට සඳහන් අවසන් වාක්‍ය යෙන් කිසි සේස්ත් ම අරගලය හෑල්ලුවට ලක් නොකරන බව අවධාරණය කරමින් ම යළි ලිපියට පිවිසෙමු.
රාජපක්ෂලා පැරදුණා ද...?
අරගලයේ මුඛ්‍ය අරමුණ වූයේ කුමක් ද...? කෝටි ප්‍රකෝටි ගණින් මහජන මුදල් සොරකම් කළ, තමන්ගේ බසට අවනත කරගැනීමට නොහැකි වූ සියලු පුද්ගලයන් අතුරුදන් කළ හෝ ඝාතනය කළ, LTTE සංවිධානයෙන් බිඳී විත් තම පවුලේ සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සහ කණ්ඩායම් වෙත විවිධ වරදාන වරප්‍රසාද ලබා දුන්, එම සංවිධානය සතුව පැවති මුදල් සහ රත්තරං සංචිත තම බාරයට ගත් රාජපක්ෂ පරපුර ම ලාංකිය දේශපාලන භූමියෙන් අතුගා දැමීම ය.
නමුත් අරගලයට දින පනහක් ගෙවී යන මොහොතේ දී ද රාජපක්වරු තවමත් තම බලය අත්පත් කරගෙන සිටිති.
‘‘නැ එහෙම නෑ... අපි රාජපක්ෂවරු අරලියගහ මන්දිරයෙන් එළවා දැමුවා,’’ යැයි කිසිවකුට උදම් ඇනිය හැකි ය. සැබැවින් ම නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස පලා ගියේ නැත. සිදු කළේ තාවකාලික පසුබැසීමක් පමණි. එය මේ වන විට ඉතා පැහැදිලිව දක්නට තිබේ.
ආසන්නතම උදාහරණ දෙකක් ලෙස නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කරගැනීමේ දී පාර්ලිමේන්තුව තුළ පැවති තත්ත්වය පෙන්වා දිය හැකි ය. එම සිදුවීම් දෙක ම කියා පෑවේ රාජපක්ෂවරුන්ගේ මජර පාලන ක්‍රමය තව දුරටත් සක්‍රීයව පවතින බව නොවේ ද...? තවමත් රට පාලනය කරන්නේ රජපක්ෂලාගේ නූල් නැටවීමට අනුව බව නොවේ ද...?
රනිල් කොපමණ කලක් වලංගු ද...?
රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වීම පිළිබඳ විවිධ මත පැවතිය ද මගේ පුද්ගලික හැඟීම නම් පොළොව බදා වැලඳ ‘‘පළමුවත් මව් බිම, දෙවනුවත් මව් බිම, තෙවනුවත් මවු බිම’’ යැයි ප්‍රදර්ශනය කරන රාජපක්ෂවරුන්ට වඩා යථාර්ථවාදී ලෙස කටයුතු කරන පුද්ගලයෙකු යන්න ය.
නමුත් මේ වන විට ඔහුට රාජපක්ෂලා අභිභවන්නට හැකි වී තිබේ ද...? එය එසේ යැයි රනිල්වාදින් තර්ක කළ හැකි ය. නමුත් එය එසේ සිදුවී නැත.
ඒ වෙනුවට කර තිබෙන්නේ කුමක් ද...? ගෝඨාගෝ ගමට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කුපිත වු මහජනතාව එම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම දඩමීමා කරගනිමින්, ඔවුන් කඩාකප්පල්කාරින් යැයි පවසමින් අත්අඩංගුවට ගැනීම ය; රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම ය.
නමුදු බලහත්කාරී, අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිවන්නට රනිල් වික්‍රමසිංහ අසමත්ව සිටී. එසේ නොවේ නම් ඔහු අදාළ මර්දන ක්‍රියාදාමය අනුමත කරමින් සිටී. එය අරගලයේ ජයග්‍රණයට බාධාවකි.
ගෝඨාභය සහ මිලිටරි උම්මත්තකභාවය
ගොඨාභය රාජපක්ෂ යනු යුද උම්මත්තකයෙකි; මිලිටරි උම්මත්තකයෙකි. ඔහු ඒ බව ප්‍රත්‍යක්ෂ කළේ බහුතර රාජ්‍ය නිලධාරින් වෙත හමුදා පුහුණුවක් ලබාදී අනතුරුව ඔවුන් කර්නල්වරුන් බවට පත්කිරීම, පාසල් පද්ධතිය තුළ පවා හමුදා පුහුණු සංචිත ඇති කිරීම, සරසවි ශිෂ්‍ය ප්‍රජාව වෙත හමුදා පුහුණුවක් ලබාදීමට කටයුතු කිරීම, පොහොට්ටුවේ මැතිවරණ අපේක්ෂකයන් ලෙස හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිස් පත්කිරීම යනාදි කටයුතුවලිනි.
අනෙක් පසින් යුද ජයග්‍රහණයේ (මගේ පුද්ගලික හැඟීම නම් යුද්ධය තවමත් ජයග්‍රහණය කර නැත යන්න ය.) නියමුවෙකු වූ මේ වන විට ෆිල්ඩ් මාර්ෂල් ධුරයට උසස්විමක් ලබා සිටින සරත් ෆොන්සේකා සිරගත කිරිම මෙන්ම මෙතෙක් ගෝඨාභය රාජපක්ෂගේ පූර්ණ විශ්වාසවන්තයා මෙන් ම ආරක්ෂකයා ලෙස රට ඉදිරියේ ප්‍රදර්ශන භාණ්ඩක් වූ මේ වන විටත් රටේ යුද හමුදාපතිවරයා වන ශවේන්ද්‍ර සිල්වා කෙරෙහි මේ වන විට දක්වන ප්‍රතිචාරය ද ගෝඨාභය රාජපක්ෂගේ දෙබිඩි පිළිවෙත ප්‍රකට කරමින් පවතී.
ඒ අතර ඔහු තම මිලිටරි බලය තව තවත් වර්ධනය කරගැනීම සඳහා පිඹුරුපත් සකසමින් සිටී. අද මොනතරම් පිරිසක් වීදියේ සටනට සහයෝගය දැක්වුව ද, ගෝඨාභයගේ මෙම මිලටරි ක්‍රියා පිළිවෙත ඉදිරියේ අනාගතයේ කුමක් සිදුවේ ද යන්න අවිනිශ්චිත නොවේ ද...?

‘‘ආදරයේ අරගලය’’ හෙවත් ‘‘ගොඨාගෝ ගම’’ අරගලය ආරම්භයේ එය සැබැවින් ම නිර්පාක්ෂික අරගලයකි. නමුදු දේශපාලනික ය. මේ වන විටත් එය දේශපාලනික ය. නමුත් එය තව දුරටත් නිර්පාක්ෂික ද...?
අරගලය ආරම්භයේ එය පිළිබඳ ඍණාත්මක අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂය අද සිදුකරමින් පවතින්නේ කුමක් ද...?
මගේ පුද්ගලික හැඟීම නම් මෙම පක්ෂ දෙක ම තනි තනිව හෝ එක්ව අරගලය Hijack කරමින් සිටිති. මේ පිළිබඳව අදාළ පක්ෂ දෙක කුමන අදහසක් දැක්වුව ද මේ වන විට දක්නට ලැබෙන්නේ අරගලය අදාළ පක්ෂ දෙකෙහි පිළිබිඹුවක් ලෙසිනි.
එම තත්ත්වය සැබෑ අරගලයට කුමනාකාරයෙන් බලපාවි ද...?
මේ සියලු කරුණු සලකා බලන විට සැබැවින් ම අරගලයේ පනස්වන දිනය යනු පුර්ණ ප්‍රහර්ෂයකින් මෙන් ම විශ්වාසයකින් සැමරිය හැකි දිනයක් ද...? එසේත් නොවේ නම් අනාගතයේ දි එළඹෙන කුමන හෝ ව්‍යසනයක ඇරඹුමක් ද...?
(ජයසිරි අලවත්ත)නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2022/05/28




