The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් නඩුවේ වැදගත් අවස්ථා පෙළගැස්මක්

T

The Leader Desk

June 2, 2022 • 6:13 PM

ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් නඩුවේ වැදගත් අවස්ථා පෙළගැස්මක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සති හයක් පුරාවට හර්ඩ් සහ ඩෙප් විවාහයේ අවාසනාවන්ත සිද්ධීන් උසාවිය හමුවේ ඉදිරිපත් විය.
  • ජොනී ඩෙප්ට ජයග්‍රහණය හිමිකර දෙමින් ඊයේ (ජුනි 1) මෙම නඩුව අවසන් වූ අතර, ඔහුට වූ අපහාසය සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 15ක් ගෙවීමට නියම විය.
  • ඩෙප්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවලින් එකක් ඔප්පු කිරීමට හර්ඩ් සමත්වූයෙන්, ඇයට ද වන්දි ලෙස ඩොලර් මිලියන දෙකක් ගෙවීමට නියම විය.
  • හර්ඩ්, වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපියක් ලියමින් (ඔහුගේ නම සඳහන් නොකර) තමා ගෘහස්ථ හිංසනයකට ලක්වූ බව ප්‍රකාශ කළ අතර, එය අපහාසයක් ලෙස සැලකූ ඩෙප් ඇයට එරෙහිව නඩු පවරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):



සති හයක් පුරාවට හර්ඩ් සහ ඩෙප් විවාහයේ අවාසනාවන්ත සිද්ධීන් උසාවිය හමුවේ ඉදිරිපත් විය.

ජොනී ඩෙප්ට ජයග්‍රහණය හිමිකර දෙමින් ඊයේ (ජුනි 1) මෙම නඩුව අවසන් වූ අතර, ඔහුට වූ අපහාසය සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 15ක් ගෙවීමට නියම විය.

ඩෙප්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවලින් එකක් ඔප්පු කිරීමට හර්ඩ් සමත්වූයෙන්, ඇයට ද වන්දි ලෙස ඩොලර් මිලියන දෙකක් ගෙවීමට නියම විය.

හර්ඩ්, වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපියක් ලියමින් (ඔහුගේ නම සඳහන් නොකර) තමා ගෘහස්ථ හිංසනයකට ලක්වූ බව ප්‍රකාශ කළ අතර, එය අපහාසයක් ලෙස සැලකූ ඩෙප් ඇයට එරෙහිව නඩු පවරනු ලැබීය. ඇය ද ඔහුට විරුද්ධව නඩු පැවරුවා ය.

සති හයකට වැඩි නඩු විභාගයකින් පසු දින දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජූරි සභිකයන් ඊයේ තීරණය කළේ, ඇම්බර් හර්ඩ් ඇගේ විවාහය පිළිබඳ සිදුකළ ප්‍රකාශ "අසත්‍යබව" හා ඇය "ද්වේශසහගතව" ක්‍රියාකර ඇති බව යි.


"අන්‍යොන්‍ය අපයෝජකයන්"

ඇතැම් නිරීක්ෂකයින්ට අනුව ඇම්බර් සහ ඩෙප් යන දෙදෙනාම වචන දෙකක් මඟින් හැඳින්විය හැකි ය: ඒ, "අන්‍යොන්‍ය අපයෝජකයන්" යන්න යි.

මේ, ඩෙප් හා හර්ඩ් විවාහ වී සිටි කාලය අතරතුරු ඔවුනට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සැපයූ මනෝවිද්‍යාඥ ලෝරල් ඇන්ඩර්සන්ගේ වදන් ය. ඇය ඩෙප් වෙනුවෙන් කරුණු දක්වමින්, දෙදෙනාගේම වෛවාහක අරගල පිළිබඳ කරුණු දැක්වූවා ය. තව ද, ඩෙප් "ස්වයං පාලනයෙන්" යුතු අයෙක් බවත්, මින් පෙර සහකාරියන් වෙත හිංසනයන් නොකර ඇති බවත්, සහ බොහෝ රණ්ඩුවල මූලිකත්වය ගෙන ඇත්තේ ද ඇම්බර් බවත් ඇය ප්‍රකාශ කළා ය.

"ඇම්බර් නිසා එයා ඇවිස්සුණා. මට පේන විදියට දෙන්නාම අන්‍යොන්‍ය අපයෝජකයන්."

එක්වරකට වැඩි වාර ගණනක්, ඩෙප් නිවසින් පිටව යාම වැළැක්වීම සඳහා හර්ඩ් ඔහුට පහර දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.

zsrffඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES



'ඇම්බර්ව පුච්චමු'


නඩු විභාගය පැවති දින හතරක් පුරාවට ඩෙප් යැවූ කෙටි පණිවිඩ සහ ඊමේල් කිහිපයක්ම හරහා, එවක බිරිය වූ හර්ඩ්ට දරුණු අපහාස කර ඇති ආකාරය සභාවට ඉදිරිපත් විය.

එවන් එක් අවස්ථාවක් වූයේ, 2013 දී බ්‍රිතාන්‍ය නළු පෝල් බෙටනි වෙත යැවූ කෙටි පණිවිඩ කිහිපයකි.

"එයාව පුච්චලා දාමු" ‍හර්ඩ් පිළිබඳ සඳහන් කරමින් ඩෙප් ලියයි. "පුච්චන්න කලින් එයාව වතුරෙ ගිල්වමු". මෙම අශ්ලීල යෝජනා ඉදිරියට ගෙනයමින් "එතකොට හරියටම දැන ගන්න පුළුවන් මැරුණ ද කියලා,"යි ද ඔහු සටහන් කර තිබුණි.

පිළිතුරු ලෙස ඩෙප් ප්‍රකාශ කළේ, මෙය කුඩාකල ඔවුන් නැරඹි මොන්ටි පයිතන් නමැති චිත්‍රපටය ආශ්‍රයෙන් විහිළුවට කී යමක් පමණක් බව යි. මේ සම්බන්ධයෙන් තමා දැඩි ලැජ්ජාවට පත් වන බවත් ඔහු ජූරියට කීවේ ය.


අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය

ඩෙප් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි ව සිට ඇති බව ද නඩු වාර අතරතුර දී වාර්තා විය.

ඩෙප් පවසන්නේ 2014 දී ඔක්සිකෝඩෝන් භාවිතය නවතා දැමීමත් සමග, හර්ඩ් හා විවාහය පුරාවට තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටි බවයි.

නමුත් හර්ඩ් පවසා සිටියේ, ඩෙප් සිය දරුවන් ඉදිරියේ පවා මත්පැන්, කොකේන්, සහ වේදනා නාශක අධික ලෙස භාවිතා කළ බව යි. එය නවතා දමන්නැයි තමා ඉල්ලා සිටියත්, ඔහු එය ප්‍රතික්ෂේප කළ බව ඇය පැවසුවා ය.

ඩෙප් වරක් බහාමාස්හි පිහිටි ඔහුට අයත් පෞද්ගලික දූපතක දී තම පුතා ඉදිරියේ සිහිසුන්ව වැටී සිට ඇති බවත් ඇය පැවසීය.

ඩෙප් පාර්ශවය මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඇම්බර් ද ඇතැම් අවස්ථාවල මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කළ බව පෙන්වා දිනි.

weszඡායාරූප මූලාශ්‍රය, REUTERS


ඇම්බර්ට 'කිසිවිටෙක' පහර දුන්නේ නැහැ

ඩෙප් උසාවියට කරුණු ඉදිරිපත් කරමින්, ඇයට ඔහු පහරදුන්නැ යි හර්ඩ් කළ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළේ ය. "මම කවදාවත් හර්ඩ් මෙනවියට පහරදීලා නැහැ. මම මගේ ජීවිතේ කවදාවත් කාන්තාවකට පහර දීලා නැහැ," ඔහු දිවුරා සිටියේ ය.

ඩෙප් පවසන්නේ ඔහුට අපහාස සහ අපචාර සිදුකළ හර්ඩ් ඔහුට පහරදීම් ද සිදු කළ බව යි.

"සමහර වෙලාවට ඒක පටන්ගන්නේ කම්මුලට ගහන එකෙන්, එක්කෝ තල්ලු කරන එකෙන්. නැත්නම් ටීවී රිමෝට් එක වීසිකරලා මගේ ඔළුවට ගහනවා," ඔහු පැවසුවේ ය. "එයාට හැමතිස්සේම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන. හේතුවක් නැතුවම එහෙම කරනවා."

ඩෙප් පාර්ශවය මෙය සනාථ කිරීමට ඇම්බර්ගේ හඬපට හා ලියුම් යොදා ගත්තේ ය.

එක් හඬපටයක ඇම්බර් ඩෙප්ට පහරදුන් බව පිළිගනිමින්, ඔහු ළදරුවෙකැ යි ද පවසමින් අපහාස කරනු ඇසෙයි. තවත් ලිපියක් හරහා ඇය "පිස්සියක සේ හැසිරුණාට" සමාව අයැද සිටියි.

"ඔයාට රිද්දුවාට සමාවෙන්න," ඇම්බර් ලියයි. "මට [හිත] රිදුනාම මට හරියට තරහා යනවා."


ඩෙප්ගේ ඇඟිල්ල සහ එඩිට් කළ ඡායාරූප

2015 දී වරක් ඇය ඩෙප්ට වොඩ්කා බෝතලයකින් පහර දී තිබූ අතර, ඉන් තමාගේ මැද ඇඟිල්ලේ කෙළවර කැපී ගිය බව ඩෙප් කීය. එයින් දැඩි කම්පනයට පත්වූ ඔහු ඇඟිල්ලෙන් ගැලූ රුධිරයෙන් බිත්තියේ ඇම්බර්ට පණිවිඩ ලියූ බවත් පැවසීය.

මෙය ප්‍රතික්ෂේප කරමින් ඇම්බර් පැවසුවේ එදින ඔහු තමාට මත්පැන් බෝතලයක් යොදාගනිමින් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව යි.

නමුත්, ඩෙප්ගේ ඇඟිල්ලේ නියපොත්තේ වැඩි කොටසක් හානි රහිතව පවතින බැවින් ඩෙප් කියන ආකාරයේ යමක් සිදුවන්නට ඉඩක් නොමැති බව හර්ඩ් වෙනුවෙන් උසාවියේ දී කතා කළ ශල්‍ය වෛද්‍යවරයකු කියා සිටියේ ය.


නඩුවේ තාරකාවක්

sawerwaඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES


හොලිවුඩ් තරු වූ ඩෙප් හා හර්ඩ් උසාවිය වෙත තරු ගුණය රැගෙන ආව ද, නඩු විභාගයේ තාරකාව වූයේ වෙනත් තැනැත්තියකි - ඒ, ඩෙප්ගේ නීතිඥවරියක වූ කැමීල් වැස්කස් ය.

තරුණ නීතිඥවරියක වූ ඇයට විශාල ජනතා ප්‍රසාදයක් හිමිවූ අතර, ඇගේ සේයාරුව යෙදූ ටී ෂර්ට් පවා නිපදවනු ලැබිණ.

ඇම්බර් හර්ඩ් හරස් ප්‍රශ්න කිරීම්වලට ලක්කරද්දී වැස්කස්ගේ තියුණු විලාසය විශේෂයෙන්ම කැපී පෙනිණි. දෙදෙනා අතර වූ වචන හුවමාරුවීම් විටින් විට උණුසුම් අතට හැරුණි.

ඉන් එක් අවස්ථාවක් වූයේ, වයින් විසිරුණු ඡායාරූපයක් සම්බන්ධයෙන් ඩෙප් හා හර්ඩ් වාදකරගත් මොහොත යි. එය, 2016 දී යුවළ අතර ඇති වූ විශාල ගැටුමක් ඩෙප් ඇයට පහරදීමෙන් අවසන් වූ බව කියමින් හර්ඩ් ඉදිරිපත් කළ පින්තූර කිහිපයෙන් එකකි. වැස්කස්ගේ ප්‍රශ්න කිරීම් අතරතුර දී හර්ඩ් ජූරි සභිකයින් වෙත හැරී, ඇගේ හිටපු සැමියාගේ නඩුවට ප්‍රයෝජනවත් වනු පිණිස ඔහුගේ නීතීඥයින් විසින් එම ඡායාරූප නැවත සකස්කර හෝ සංස්කරණය කර ඇතැ යි කියා සිටියා ය.

"ඔබ ජූරි සභාවට තර්ක ඉදිරිපත් නොකරනවා නම් මම අගය කරනවා," වැස්කස් එහිදී දැඩි ලෙස පැවසුවා ය. "මම ඔයාගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ."


කේට් මොස් උසාවියට


අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය නිරූපිකාවක් වන කේට් මොස් සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට එකතු වූවා ය.

ඇයට ඩෙප් සමග 1994-98 කාලයේ පෙම් සබඳතාවක් පැවති අතර, ඩෙප් විසින් ඇය පඩිපෙළකින් තල්ලු කළබවට හර්ඩ් පැතිරවූ කටකතාවක් පිළිබඳව විමසීමට ඇය උසාවියට කැඳවනු ලැබිණි.

හර්ඩ්, ඩෙප් හා ඇය අතර 2015 දී සිදුවූ ආරවුලක් විස්තර කළා ය. එවර තමා ඩෙප්ට පහර දුන්නේ ඔහු තමාගේ නැගණිය පඩිපෙළකින් තල්ලු කළ නිසා බව ඇය පැවසුවා ය.

වීඩියෝ ඇමතුමක් ඔස්සේ උසාවිය හා සම්බන්ධ වෙමින් මොස් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළා ය.

"වැස්ස දවසක මම කාමරෙන් එළියට එද්දි ලිස්සලා පඩිපෙළෙන් වැටිලා කොන්ද රිදෙන්න ගත්තා," මොස් පැවසුවා ය. "එයා [ඩෙප්] දුවගෙන ඇවිල්ලා මට නැගිටින්න උදව් කරලා, මාව කාමරේට උස්සගෙන ගිහින්, වෛද්‍යවරයෙකුට කතා කළා."

"එයා මාව තල්ලු කළේවත්, පඩිපෙළෙන් වැටෙන්න පයින් ගැහුවේවත් නැහැ" මොස් වැඩිදුරටත් කීවාය.

Watch Kate Moss testify: "Did Mr Depp push you down the stairs?"


සිය ගණනක් වූ මරණ තර්ජන


නඩු විභාගයේ අවසන් දිනයේ දී, ඩෙප්ගෙන් දික්කසාද වීමෙන් පසු තමා විඳදරාගත් හිරිහැර ගැන හැඟීම්බර ප්‍රකාශයක් හර්ඩ් විසින් ඉදිරිපත් කෙරිණි.

"මට දිනපතාම මරණ තර්ජන සියගාණක් එනවා. මේ නඩුව පටන්ගත්තට පස්සේ දහස් ගාණක් එනවා. මිනිස්සු මට සමච්චල් කරනවා, මගේ සාක්ෂිවලට හිනාවෙනවා," ඇය පැවසුවා ය. "මට දිනපතාම ඒ කම්පනෙත් එක්ක ජීවත් වෙන්නවෙලා."

නඩු විභාගය "ඝෝර" හා "නින්දාසහගත" එකක් ලෙස ඇය හැඳින්වූවා ය.

"අමතක කරන එක ලේසි ඇති, ඒත් මාත් මනුස්සයෙක්," ඇය කියා සිටියා ය. "මට දැන් වෘත්තියක් කරන්න බැහැ. මට තියෙන මරණ තර්ජන නිසා, අඩුගාණේ තව කෙනෙක් එක්ක වැඩ කටයුතු කරන්නවත් බැහැ".


(BBC සිංහල සේවය)

  


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...