The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැසිල් කේන්ද්‍රීය විවේචනයේ හෙට දවස?

T

The Leader Desk

June 9, 2022 • 6:16 PM

 බැසිල් කේන්ද්‍රීය විවේචනයේ හෙට දවස?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවිට බලයේ සිටින බැසිල්ට වඩා බලය නැති බැසිල් දේශපාලනික වශයෙන් ප්‍රභල බව බොහෝ දෙනෙකුට යළිත් තේරුම් යනු ඇත.'' හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ අද දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූයේය.
  • ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු ජනමාධ්‍යය හමුවක් කැඳවූ අතර ඊට සහභාගී වී සිටි සියලුම ජනමාධ්‍යවේදීන්ට කිසිඳු කොන්දේසියකින් තොරව ප්‍රශ්න ඇසීම සඳහා ඔහු නිදහස ලබා දුන්නේය.
  • ඔහුගේ ඉල්ලා අස්වීම පුදුමය දන්වන කරුණක් නොවන නමුත් ඔහු ජනමාධ්‍යය හමුවක් කැඳවා ඔහු ගැන සමාජයට ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා කොන්දේසි විරහිතව නිදහස ලබාදීම අගයකළ යුතුය.
  • හොර රහසේ පැන දිවීම වෙනුවට සමාජය පිළිගත්තද නොගත්තද තමන්ගේ අදහස සමාජයට පැවසීම ඔහු තෝරාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එවිට බලයේ සිටින බැසිල්ට වඩා බලය නැති බැසිල් දේශපාලනික වශයෙන් ප්‍රභල බව බොහෝ දෙනෙකුට යළිත් තේරුම් යනු ඇත.''

හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ අද දින සිය පාර්ලිමේන්තු  මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූයේය.

ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු ජනමාධ්‍යය හමුවක් කැඳවූ අතර ඊට සහභාගී වී සිටි සියලුම ජනමාධ්‍යවේදීන්ට කිසිඳු කොන්දේසියකින්  තොරව ප්‍රශ්න ඇසීම සඳහා ඔහු නිදහස ලබා දුන්නේය.

එහිදී ඔහු තම දේශපලාන ප්‍රතිපත්ති ගැන ඉතා පැහැදිළි අර්ථ නිරූපන ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම පැසසිය යුතු කාරණයකි.

ඔහුගේ ඉල්ලා අස්වීම පුදුමය දන්වන කරුණක් නොවන නමුත් ඔහු ජනමාධ්‍යය හමුවක් කැඳවා ඔහු ගැන සමාජයට ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා  කොන්දේසි විරහිතව නිදහස ලබාදීම අගයකළ යුතුය. එය මෙරට බොහෝ දේශපාලනඥයින් නොකරන කටයුත්තකි.

පරාජයේදී හැංගීම සහ ජයග්‍රහණයේදී පුරසාරම් දෙඩීම මෙරට බොහෝ දේශපාලනඥයින්ගේ පුරුද්දය.


2015 දී බැසිල් නියෝජනය කළ දේශපාලන කඳවුර පරාජය වීමේදී ඔහුගේ හැසිරීම සහ මෙවර ඔහුගේ දේශපාලන බලය සමාජය පුරා ප්‍රතික්ෂේප වී තිබියදී ඔහුගේ ප්‍රතිචාරයේ ස්වභාවය වෙනස් වීම සුභාවාදීය. හොර රහසේ පැන දිවීම වෙනුවට සමාජය පිළිගත්තද නොගත්තද තමන්ගේ අදහස සමාජයට පැවසීම ඔහු තෝරාගෙන ඇත.


දේශපාලන බලය සහ රටේ මූලය බලය අවභාවිතය ගැන ඔහුට බරපතළ චෝදනා තිබේ. එසේම සමස්ත රට පුරා ඔහුට එරෙහිව නිර්මාණය වී ඇති චිත්තරූපය එතරම් සුභවාදී එකක් නොවන අතර රටේ සියලුම ප්‍රශ්න වල කේන්ද්‍රය ඔහු ලෙස අර්ථ නිරූපනය කිරීමක් පොදුවේ දක්නට ලැබේ.

සමාජය තුල ජනප්‍රිය චරිතයක් වීමට බැසිල් උත්සහ කළ නමුත් වත්මන් ජනාධිපතිවරයා මෙන්ම ඔහුටද ක්‍රමෝපායික සන්නවේදන වැඩපිළිවෙලක් නොතිබුණි.

ජනාධිපතිවරයාගේ සමස්ථ සන්නිවේදන කටයුතු රටට හෙණ වැදුනද ලාභය සහ බලය ගැන පමණක් සිතා කටයුතු අන්තගාමී පුද්ගලයෙකු මත තීරණයවිය.

නිවැරදි සන්නිවේදන වැඩපිළිවෙලක් නොතිබීම හේතුවෙන් දේශපාලනඥයෙකු ලෙස බැසිල් මුහුණ දුන්නේද ඒ හා සමාන තත්වයකටය. ඔහුට, ඔහුගේ දේශපාලන මතය සමාජය පුරා ප්‍රචාරය කිරීමට සහ ඔහුගේ ජනප්‍රියතාවය රඳවා තබා ගැනීමට අවශ්‍යය වැඩපිළිවෙලක් නොතිබුණි.

නමුත් දේශපාලන පක්ෂයක් තනා එය ඉතාම කෙටි කාලයකදී මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා ධාවනය කිරීම ඔහුගේ දේශපාලන කියවීමේ ඇති ශක්‍යතාවය මැනවින් විදහා පාන්නේය.


අද පැවති ජනමාධ්‍යය හමුවේදී ඔහු මෙම කාරණය වඩාත් නිවැරදිව පැහැදිළි කරමින් ඔහුට ගමන් කළ හැකි සීමාවන් ගැන සඳහන් කළේය. ඔහු දේශපාලනික වශයෙන් ඔහු ගැන තක්සේරුවකට පැමිණ සිටින ආකාරය නිරීක්ෂණය කළ හැකිය.  එහිදී ඔහු කියා සිටියේ දේශපාලනය සහ ආණ්ඩුකරණය එකක් නොව දෙකක් බව ඔහු සෑම විටම පිළිගත් මූලික සිද්ධාන්තයක් බවයි.එය විහිලුවට ලක් නොකොට පරෙස්සමින් ලිහා බලා අවබෝධකරගත යුතු වෙනස් කියවීමකි.


එසේම ප්‍රජාතන්තවාදය යනු වියදම් සහිත වැඩපිළිවෙලක් ලෙස ඔහු කියන්නේය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපායික සෙවනැළි සංවිධානය වන ආර්එස්එස් ගැනද ඔහු එහිදී සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ පියවර ඒ හා සමාන ව්‍යාපාරයක් බවට පත්කිරීම විය හැකි බව ඔහු සඳහන් කළේය.


වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලුත තම පක්ෂයේ දෘෂ්ටිවාදය චීනයේ කොමියුනිස්ට් පක්ෂය හා සමාන බව කී බැසිල් වසර තුනකට අඩු කාලයක් ඇතුළත ඔහු ඉන්දීයාව කේන්ද්‍ර කරගත් දේශපාලන ප්‍රවාහයකට අවධානය යොමුකොට ඇත.


බැසිල් බැසිල්ගේ කතාව කිව්වේය. බොහෝ දෙනෙකු අනුමාන නොකළ ආකාරයෙන් ඔහු තම හැසිරීම වෙනස් කොට ඇත. මෙම ඉල්ලා අස්වීම තවත් වසර පහකින් පමණ මෙරට ඇතිවිය හැකි යැයි අනුමාන කරන දේශපාලන වාතාවරණය ගැන කල්පනා කොට කරන ලද්දක් බව අපේ වැටහීමයි.  

අවසාන විග්‍රයෙදී අපට පැවසිය හැකි නිශ්චිත කාරණයක් තිබේ. එනම් බැසිල් කේන්ද්‍රීයව නිර්මාණය කොට ප්‍රචාරණය වෙමින් පැවති ආණ්ඩු විරෝධී විවේචන රැල්ල තවත් දින කිහිපයකින් යා යුතු පාර සොයා ගැනීමට නොහැකිව උභතෝකෝටිකයකට මුහුණ දෙනු ඇත. පුද්ගල කේන්ද්‍රීය විවේචන මුහණ දෙන ඛේදනීය සහ හාස්‍යය ජනක ඉරණම මෙයයි. එවිට බලයේ සිටින බැසිල්ට වඩා බලය නැති බැසිල් දේශපාලනික වශයෙන් ප්‍රභල බව බොහෝ දෙනෙකුට යළිත් තේරුම් යනු ඇත.

ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක් යැයි ඔහු කියන්නේ ඒ නිසාය. වියදම් සහිත ප්‍රජාතන්ත්‍රවාදයේ මීළඟ පියවර ගැනීමට ඔහු සූදානම්ය. එය බොහෝ දුරට තම පවුලෙන් ස්වායක්ත වූ වෑයමක් විය හැකිය. කාලය විසින් එහි සමත් බව හෝ අසමත් බව තීරණය කරනු ඇත.

 (ශ්‍රී ලංකා ගාර්ඩියන් කතුවැකිය) 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...