The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවට ස්ථිර සර්ව-පාක්ෂික ආණ්ඩු පද්ධතියක්? - (ධම්ම දිසානායක)

T

The Leader Desk

June 12, 2022 • 10:59 AM

ශ්‍රී ලංකාවට ස්ථිර සර්ව-පාක්ෂික ආණ්ඩු පද්ධතියක්? - (ධම්ම දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී රෙජීම් චේන්ජ් යන දෙ පද සඳහා තන්ත්‍ර වෙනස් කිරීම යන්නත් සිස්ටම් චේන්ජ් යන දෙ පද සඳහා පද්ධති වෙනස් කිරීම යන්නත් යොදා ගැනෙනු ඇත.
  • රෙජීම් යන්න දේශපාලන සන්දරභයක ලා හඳුනාගන්නා විට ඊට ඇත්තේ නිශේධනීය තේරුමකි.
  • බ්‍රිටනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය, මාධ්‍යවේදීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වැනි ඇතැමුන් විසින් රෙජීම් යන්න භාවිතා කරනුයේ මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ නීත්‍යනුකූල නොවන ආණ්ඩු හැඳින්වීම සඳහා ය.
  • ඒ අනුව රෙජීම් චේන්ජ් යන්නෙන් අදහස් කරන්නේ බාහිර බලවේගයක් විසින් නීත්‍යානුකූල නොවන ලෙස සලකන ආණ්ඩුවක් පෙරලා දමා එම බලවේගය විසින් ප්‍රවර්ධනය කරන අදහස් හෝ අවශ්‍යතා අනුව නව ආණ්ඩුවක් ප්‍රතිස්ථාපනය කිරීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

අරමුණ වේ.

එහි දී රෙජීම් චේන්ජ් යන දෙ පද සඳහා තන්ත්‍ර වෙනස් කිරීම යන්නත් සිස්ටම් චේන්ජ් යන දෙ පද සඳහා පද්ධති වෙනස් කිරීම යන්නත් යොදා ගැනෙනු ඇත.


රෙජීම් යන්න දේශපාලන සන්දරභයක ලා හඳුනාගන්නා විට ඊට ඇත්තේ නිශේධනීය තේරුමකි. බ්‍රිටනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය, මාධ්‍යවේදීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වැනි ඇතැමුන් විසින් රෙජීම් යන්න භාවිතා කරනුයේ මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ නීත්‍යනුකූල නොවන ආණ්ඩු හැඳින්වීම සඳහා ය.


මෙම සන්දර්භය තුළ රෙජීමය පිළිබඳ සංකල්පය මතවාදී හෝ සදාචාරාත්මක අප්‍රසාදය හෝ දේශපාලන විරුද්ධත්වය පිළිබඳ හැඟීමක් සන්නිවේදනය කරයි. ඒ අනුව රෙජීම් චේන්ජ් යන්නෙන් අදහස් කරන්නේ බාහිර බලවේගයක් විසින් නීත්‍යානුකූල නොවන ලෙස සලකන ආණ්ඩුවක් පෙරලා දමා එම බලවේගය විසින් ප්‍රවර්ධනය කරන අදහස් හෝ අවශ්‍යතා අනුව නව ආණ්ඩුවක් ප්‍රතිස්ථාපනය කිරීමය.

මෙම ක්‍රියාවලිය ගෝලීය සහ කලාපීය දේශපාලන-ආර්ථික අරමුණු වෙනුවෙන් විනාශකාරී ලෙස භාවිත කල බවට වූ ප්‍රසිද්ධ නිදසුන් ලෙස ඊජිප්තුවේ හොස්නි මුබාරත් පාලනය, ඉරාකයේ සදාම් හුසේන් පාලනය, ලිබියාවේ මු’අම්මර් අල්-ගඩාෆි පාලනය, බිඳ දැමීම සහ සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය බිඳ දැමීමට උත්සාහ දැරීම ඉදිරිපත් කළ හැකිය.


සිස්ටම් චේන්ජ් නැතහොත් පද්ධති වෙනස් කිරීම යන්න තන්ත්‍ර වෙනස් කිරීමට වඩා පුළුල් සහ ගැඹුරු ක්‍රියාවලියකි. තන්ත්‍රයක් පවතින්නේද පද්ධතියක් තුළ ය. තන්ත්‍රයක් යනු මහා පද්ධතියක් තුල ඇති උප පද්ධතියකි. එහෙත් විශේෂත්වය වනුයේ එම උප පද්ධතිය දේශපාලන ආර්ථික සමාජ සහ සංස්කෘතික වශයෙන් තීරනාත්මක සාධකයක් වීමය. එබැවින් තන්ත්‍ර වෙනසක් යනු පද්ධති වෙනසක් සිදු කිරීමේ තීරණාත්මක පුර්වාගාමී ක්‍රියාවකි. නමුත් බොහෝ විට සිදුවන්නේ තන්ත්‍ර වෙනසකට පමණක් සමස්ථ ක්‍රියාවලිය ම සීමා වීම ය; අපේක්ෂිත පද්ධති වෙනස සිදු නොවීම ය.


දේශපාලන අර්ථයකින් පද්ධති වෙනසක් යනු පැවති දේශපාලන පද්ධතිය ව්‍යුහාත්මක ආකාරයෙන් වෙනස් කොට නව දේශපාලන පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමකි. එහෙත් එය පටු තේරුම් ගැනීමකි.

 පුළුල් සහ ගැඹුරු අර්ථයකින් පද්ධති වෙනසක් යනු දේශපාලන පමණක් නොව ආර්ථික සමාජ පරිපාලන නීතිමය අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන වෙළඳපොළ සුබසාධන යනාදී සියලු උප පද්ධතීන්වල ව්‍යුහාත්මක වෙනසක් ය. ලියොන් ට්‍රොස්කි වරක් පැවසුයේ විප්ලවයක් පරිපුර්ණ වීම ට නම් මිනිසුන්ගේ ඔලු තුල විප්ලව දසදහස් ගණනක් සිදුවිය යුතු බවය.

පද්ධති වෙනසක් සඳහා සිතනමතන ක්‍රියාකරන යමෙකු වේ නම් මතුවන ගැටළු කීපයක් විසඳා ගත යුතුමය. එනම්, අපේක්ෂා කරන පද්ධති වෙනස සඳහා පදනම් වන දෘෂ්ටිවාදී පදනම සහ මුලෝපායික වැඩපිළිවෙල කුමක් ද; එකී පදනමක් සහ වැඩපිළිවෙලක් ඇත්තේ කවර නම් සමාජ-දේශපාලන සංවිධානයක් හෝ ව්‍යාපාරයක් සතුවද යන්න ය;

එවැනි පදනමක් සහිත වැඩපිළිවෙලකට පොදු ජන සමාජයේ කැමැත්ත ලබා ගන්නේ කෙසේද?; පැරණි පද්ධතියෙන් එල්ලවිය හැකි බාධා තර්ජන සහ කඩාකප්පල් කිරීම් පරාජය කරන්නේ කෙසේද? යනු එකී විසඳා ගත යුතු ප්‍රමුඛ ගැටළු කීපයක් ය.


ඒ සියල්ලටමත් වඩා තීරණාත්මක ගැටළුවක් වන්නේ අපි සියල්ලෝම මේ පවත්නා ප්‍රතිගාමී සමාජ-දේශපාලන පද්ධතිය නඩත්තු කරමින් සිටින්නෝය සහ මේ සියල්ලට අප ද වගකිව යුතු ය දායකයන් ය යන කරුණු දෙක පිළිගැනීමට තරම් අප විවෘතද? අවංකද? යන්නය. එසේ නො වී වගකීම අන් අය මත පමණක් පටවා අප පැමිණිළි කරුවන්/කාරියන් ප්‍රගතිශීලින් පමණක් වනවා නම් කිසි දිනෙක මේ ප්‍රතිගාමී සහ නොදියුණු පද්ධතිය වෙනස් කල නො හැකි ම ය.


සමස්ත පද්ධතියේ වෙනසක් සිදු විය යුතුය, සිදු කළ යුතු ය යන මතයේ මා සිටියත් මෙම ලිපිය තුල සමස්ථ පද්ධතිය වෙනස් කළ යුතු ආකාරය ගැන කතා නොකරමි. මන්ද සමස්ථය පිලිබඳ සාර්ව මිස සකලාකාරයේ ක්‍ෂුද්‍ර අවබෝධයක් මා සතුව නැත.

එහෙත් සමාජ පද්ධතියක් යනු එකිනෙකට බැඳුණු, අන්තර් ක්‍රියා සිදුවන, එකිනෙක මත යැපෙන, උප පද්ධති සහ අංග වෙන්ව හඳුනාගත හැකි අනන්‍යතා සහිත, වෙන්වුනොත් විනාශවෙන හෝ අර්ථ සහ කාරිය අහිමිවෙන ඒකාබද්ධ ප්‍රපංචයක් බව මා දනිමි.


ඉතින්, එකී පද්ධතිය තුළ ඇති දේශපාලන උප පද්ධතියේ එක අංගයක් ගැන පමණක් කතා කිරීමට මා කැමතිය. සෙස්සෝ අන් උප පද්ධති සහ අංග ගැන අවධානය යොමු කරත්වා. මගේ කතාව පදනම් වන්නේ සමාජ-ප්‍රජා නියෝජිත තන්ත්‍රවාදය සහ සර්වන්තරීය ආණ්ඩුකරණය යන ප්‍රගතිශීලී ප්‍රතිමාන මතය. නැතහොත් වටිනාකම් සහ ඇගයුම් මතය.



ශිෂ්ඨසම්පන්න සමාජ-ප්‍රජා නියෝජිත තන්ත්‍රයක වැදගත්ම අංගයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එය සමාජ යහපත සුබසාධනය විනය නීතිය ආරක්ෂණය ජනතා සහභාගිත්වය අරමුණු කරගත් මහා සම්මුතියකි. එයට ඉහළින් තනතුරු ආයතන සහ ක්‍රියාමාර්ග නැත. සියලු තනතුරු සහ ආයතනවල වගකීම් වනුයේ ඉහත කී සම්මුතිය ක්‍රියාත්මක කිරීමය. එය සිදුකිරීම සඳහා නියෝජිත පද්ධතිය සකස් විය යුතු ආකාරය පිලිබඳ අළුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට මා උත්සහ දරමි.

201811230930307687 Sri Lankas Parliament to meet again today SECVPF

මෙරට කාලාන්තරයක් තිස්සේ නඩත්තු වන්නේ පාර්ලිමේන්තු ආකෘතිය මිස සම්ප්‍රධාය නම් නොවේ ය. මන්ද අප අත් දකිමින් සිටින පාර්ලිමේන්තු ක්‍රියාවලිය දියුණු සහ බරසාර පාර්ලිමේන්තු සම්ප්‍රධායක් නඩත්තු කරන්නේ නැත. ඒ නිසා මේ ආකෘතිය ගැන අපි කතා කරමු. මේ ආකෘතිය ට අනුව ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් ඇත. එහෙත් ඒවා අතර සීමා එතරම් ගනකම් නැත.



විටෙක ආණ්ඩු පක්ෂයේ සිටින කෙනා තවත් විටෙක විපක්ෂයේ ය. විටෙක විපක්ෂයේ සිටින කෙනා තවත් විටෙක ආණ්ඩු පක්ෂ කඳවුරේ ය. එසේම පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගන්නා කණ්ඩායම ආණ්ඩුවක් පිහිට වූ පසු අනෙක් අය හුදු විපාක්ෂිකයින් මිස ප්‍රතිසංස්කාරකයින් ලෙස කටයුතු කිරීමක් දකින්නට නැත. ඒ නිසාම මෙරට පාර්ලිමේන්තුව කල්ලිවාදී ස්ථානයක් මිස ජාතික සම්මුති සහිත ජාතික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන තැනක් නොවේ.
අප මෙම ක්‍රියාවලියෙන් ඉවත් විය යුතු ය.



එනම් පාර්ලිමේන්තු ආකෘතිය සහ සම්ප්‍රදාය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ සඳහා පාර්ලිමෙන්තුවට තේරීපත්වන සියලු පාර්ශව හෝ පක්ෂ නියෝජනයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු ය. එය අරෙන්ට් ලිජ්පාර්ට් (Arend Lijphart) ගේ මහ සන්ධානවාදී ප්‍රජාතන්ත්‍රවාදය (Consociational Democracy,1968) හෝ 1970 දශකයේ ෆින්ලන්ත ආණ්ඩුක්‍රමය අරබයා යෝජනා වූ ඩේවිඩ් අර්ටෙර් (David Arter,1978) ගේ සර්ව-පාක්ෂික ආණ්ඩුවක් (All-party Government) හෝ 1931 මෙරට ආරම්භ වූ ඩොනොමෝර් ආණ්ඩුක්‍රමය හා ඇතැම් විට සමාන විය හැකිය. ඇතැම් විට ඒවාට යම් තරමකින් පරස්පර විය හැකිය.
 
 
මගේ යෝජනාව වනුයේ පාර්ලිමෙන්තුවට තේරීපත්වන සියලු නියෝජිතයින් සංයුක්ත වන අයුරින් අමාත්‍යංශ, උපදේශක කාරක සභා, සහ ආංශික කාරක සභා සකස් කළ යුතු ය යන්නය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අමාත්‍යංශ නිශ්චිතව දක්වා ඒ ඒ අමාත්‍යංශවල සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වන නියෝජිතයින් ඇතුළත් කළ යුතු ය.
 
 
එවිට හැම නියෝජිතයෙකුම යම් කිසි අමාත්‍යංශයක සාමාජිකයෙකි. ඇමතිවරුන්/වරියන් පාර්ලිමේන්තුවේ ඒ ඒ කණ්ඩායම්/පක්ෂ ලබාගත් නියෝජිත අනුපාතයට අනුව බෙදිය යුතුය. අවශ්‍ය නම් වැඩිම නියෝජිත කණ්ඩායමේ අනුපාතයට හිමි විය යුතු අමාත්‍යංශ මොනවාදැයි ව්‍යවස්ථාවටම ඇතුලත් කළ හැකිය. එවිට බෙදීමේ ගැටුම් අවම වෙනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ වැඩිම කැමැත්ත ලබා ගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්විය යුතු ය.

මේ මගින් සියලුම නියෝජිතයින් ආණ්ඩුවේ කොටස් කාරයින් වනු ඇත. සංවාද සහ විවාද ප්‍රතිපත්තිමය පදනමකට සීමා වනු ඇත. තමන් අයත් අමාත්‍යංශ තුල ස්වකීය මැදිහත්වීම් ඊ ළඟ වාරයේ දේශපාලන අවස්ථා සඳහා හේතු වනු ඇත. එසේම සියලු දෙනා අදාල කාල සීමාව තුල රාජ්‍යයට වගකියන වගඋත්තර බඳින ආණ්ඩුවේ සාමාජිකයින් වෙනු ඇත. සම්ප්‍රදායික ආණ්ඩු පක්ෂ විපක්ෂ ගැටුම වෙනුවට ප්‍රතිසංස්කරණවාදී විවාද බලවත් වෙනු ඇත. දේශපාලන පක්ෂ අතර ගැටුම පාර්ලිමේන්තුවෙන් පිට නියෝජිතවරණ තරඟයකට සීමා වෙනු ඇත. බල තරඟය පාර්ලිමේන්තුවෙන් එපිටට යනු ඇත.

එසේම විවිධ අනන්‍යතා සහිත ස්ථාවර සහිත පක්ෂ සහ කණ්ඩායම් වලට ජාතික ආණ්ඩුකරණයට සහභාගිවීමට හැම විටකම අවස්ථාව ලැබෙනු ඇත. මෙය එක්තරා ආකාරයකට සර්වාන්තරීය ආණ්ඩුකරණ මොඩලයකි. එනම් කිසිම කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් ජාතික ආණ්ඩුකරණ ක්‍රියාවලියෙන් බැහැර නොකරන උපාය මාර්ගයකි. ඉතාම සරලව කිවහොත් ප්‍රගතිශීලී පද්ධති වෙනසකි; සිස්ටම් චේන්ජ් එකකි.
 
 
 
පවතින පාර්ලිමේන්තුවට මෙය ආදේශ කළහොත් පොහොටුවත්, සජබත්, ශ්‍රීලනිපත්, තමිල් අරසු කච්චියත්, ජාතික ජන බලවේගයත්, එකම ඇමති මණ්ඩලයක ව්‍යවස්තානුකුල ඇමතීන් ය; සාමාජිකයින්ය. සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රයක (Deliberative Democracy)  සහභාගිකයින් ය. මේ යෝජනාව සංකල්පීය තලයේ ඇති එකක් නිසා එහි තාක්ෂණික කටයුත්ත අන් අයට බාර කරමි.
 
 
සෙස්ස පසුව.



DhammaD(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය
dhammadissa@gmail.com

(10.6.2022/කිවි දා දැක්ම/ලංකාදීප)





{gallery}radicalcenter2022531{/gallery}
 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...