The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සදාකාලික තාරුණ්‍යයේ රෝග ලක්ෂණය - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 14, 2022 • 10:21 AM

සදාකාලික තාරුණ්‍යයේ රෝග ලක්ෂණය - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු හතරක් පුරා ගූගල් එකේ වැඩිම සෙවුම්වාර ගණනකට ලක්වුන ජනප්‍රිය ගායක ජස්ටින් බිබර් රැම්සි හන්ට් රෝගයට ගොදුරු වෙනවා.
  • ඒකෙ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ.
  • එයාල කොච්චර නම් තමන්ගේ මියගිය 'තරුණ බව' වසං කරන්න වෙහෙසෙනවද?
  • එක පැත්තකින් එයාල ව්‍යවස්ථාවට අනුව පෙන්නන්න හදනවා ඇති මට තව දේශපාලනය කරන්න හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් තියනවා කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අවුරුදු හතරක් පුරා ගූගල් එකේ වැඩිම සෙවුම්වාර ගණනකට ලක්වුන ජනප්‍රිය ගායක ජස්ටින් බිබර් රැම්සි හන්ට් රෝගයට ගොදුරු වෙනවා.

මේ රෝගය ගැන සමහරු කියන්නේ නැවත කවදාවත් මුල් විදියටම හිනාවෙන්න බැරිවෙන රෝගය කියල. ඒකෙ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. හැබැයි සෙලබ්‍රිටි කෙනෙක්ට මේ වගේ දෙයක් ලෝකෙන් හංගන්න බැහැ.

ඒ නිසා තමාගේ ඉතාම පුද්ගලික කළාපයක් මුලු ලෝකෙම දැනගැනීම කියන තත්වය එක්ක ජීවත් වෙන්න ලොකු ආත්ම ශක්තියක් ඔවුන් උපයා ගන්න ඕනි. හරියට ජොනී ඩෙප්ට උණා වගේම තමයි. තම ජිවිතයේ ඉතාම පුද්ගලික දෙයක් මුළු ලෝකය එක්ක බෙදා ගන්න වෙනවා. පුද්ගලික දේ පොදු වෙනවා. මාකට් වෙනවා.

හැබැයි නිකම් හිතන්න අපේ ගොඩක් දේශපාලඥයෝ ගැන. එයාල කොච්චර නම් තමන්ගේ මියගිය 'තරුණ බව' වසං කරන්න වෙහෙසෙනවද? ජීවිත කාලෙම අල්ලා හිටින ලෙඩක් තිබුණ උණත් ඒක ලෝකෙන් වසං කරන්න කොච්චර මුදලක් සහ පිරිස් බලයක් වැය කරනවද? සුදු පාට වෙච්ච කොන්ඩේ කළු කරන්නේ නැතුව එයාල එළියට බහීද? තරුණයෙක් වගේ දුවන්න පුළුවන් කියල කිව්වට පඩිපෙළක් වත් නැගගන්න බැරුව කොච්චර තටමනවද?

ඇයි අපි එහෙම 'සදාකාලික තාරුණ්‍යයක්' (මම හැමදාම තරුණයෙක් වගේ) ගැන ෆැන්ටසි එකක් නඩත්තු කරන්නේ?

එක පැත්තකින් එයාල ව්‍යවස්ථාවට අනුව පෙන්නන්න හදනවා ඇති මට තව දේශපාලනය කරන්න හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් තියනවා කියල.

 

හැබැයි ඇත්තම තත්වේ තමයි කවුරුත් හැමදාම තරුණයෙක් වගේ පෙනුම නඩත්තු කරන්න ඕනි නැහැ කියන එක සහ එක් අවධියකින් තවත් අවධියක් වෙත තමන් ගමන් කරලා තියනවා කියන එක සමාජීය වශයෙන් ඊට වඩා ධනාත්මක දෙයක් වෙන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි එයාල කවදාවත් තරුණ කාලේ කරන්න ඕනි දේවල් ටික කරලා ඉවර කරලා නැති එක.

 

මේ දුප්පත් රටේ කොහෙහරි ඈත ගමක ඉපදිලා පොඩි කාලේ ඉඳන් කට්ට කාල, යමක් කමක් හරි හම්බ කරලා, ජීවිතේ කෙලින් කරගන්න කොට මැදි වයසත් පහුවෙලා. කසාදෙයක් හරි බඳින්න ලැබෙන්නේ ඒ කාලේ වෙනකොට. එතකොට ජිවිතේ සල් වෙලා ඉවරයි. 

 
ජීවිතේ කෙලින් කරගන්න පුළුවන් විදියට සුනාමි සල්ලියක්වත් ලැබෙන කොට ජීවිතේ තරුණ කාලේ ගිහින් ඉවරයි. කෙල්ලක් හරි තමන් දිහා බලන්නේ ධනය බලය තියනකොට. යම් ආර්ථික ස්වායත්ත බවක් ලැබෙනකොට ජීවිතේ ගොඩක් දේ ඇරියස්... ඉතුරු කාලේ යන්නේ ඇරියස් කවර් කරන්න.
 
 
ලංකාවට මෙහෙම උණේ ණයගත්ත නිසාම නෙවෙයි. අපි හැමෝගෙම දේශපාලනය ආර්ථිකය ඇරියස් කවර් කරන්න ගතවෙච්ච නිසයි.
 
 
දෙමව්පියන් එක්ක ඉන්න කාලේ ඒ පරායත්ත බව නිසා මර්ධනයට ලක්වෙලා, ඉස්කෝලේ විනය ඇතුලේ මර්ධනය වෙලා, විශ්ව විද්‍යාලේ මල් ගවුම් රබර් සෙරෙප්පු ආර්ථිකය ඇතුලේ මර්ධනය වෙලා, රස්සාව කරන තැන බොසාගේ මර්ධනය ඉවසලා, යන්තම් හරි වහල් බවෙන් මිදෙන්න වෙන්නේ අනිවා මැදි වයස ඉක්මවලා. ඉතිං හිතන්න ඇරියස් එක.

ඊටත් අමතර ආර්ථික - දේශපාලන - සමාජ - සංස්කෘතික - ලිංගික මර්ධිතයන් එමටයි.

වඩුවෙකුගේ පුතෙක් උනත් බිබර් ලෝකයේ ලොකුම සංස්කෘතික අවකාශය වෙත ගමන් කරනවා. ඒවායේ කරක් ගහනවා. ආර්ථික නිදහසක් ලබනවා. ඒ නිසාම අනික් සමාජීය නිදහසත් ඔහුට හිමිවෙනවා. තරුණ වෙන කොටමත් ඇරියස් අඩුයි.

කැමති දේ කනවා බොනවා, ගමන් බිමන් යනවා, කෙල්ලෝ කොල්ලෝ එක්ක නිදහසේ ඉන්නවා, සෙක්ස් ඕනිනම් ඒවත් අඩු නැතුව ලැබෙනවා හෝ ලබා ගන්නවා. විශේෂයෙන් සමාජ ආකර්ෂණය ලැබෙනවා අඩුම වයසින්. ඒ නිසා අනන්‍යතා ප්‍රශ්න අඩුයි. තමන් දිහා කවුරුත් බලා ඉන්නේ නැහැ කියල හිතන් ජීවත් වෙනවා. ලෞකික විදියට.

sad news justin bieber is suffering from ramsay hunt syndrome reveals right side of face is paralysed 920x518

නමුත් අපේ මැදිවියේ කෙනෙක් උණත් අනන්‍යතා ප්‍රශ්නයක් එක්ක ඉන්නේ. හේතුව තමයි එයාලට තරුණ වියේ දේවල් ටික ඒ වයසේ කරන්න ලැබිල ජිවිතයේ අනික් අවධිය වෙත ගමන් කරන්න ගොඩක් කාලයක් ගතවීම. එයාල මනසින් හොයනවා තරුණ ජීවිතය. තමන්ට අහිමිඋන ජීවිතය. මඟ ඇරිච්ච ජීවිතය. මේ නිසා රෝග ලක්ෂයක් හැටියට එයාල සදාකාලික තරුණයෝ.

බිබර් බය නැතුව තමන්ගේ ලෙඩේ ලෝකෙට කිව්වට (මාකට් එකක් හැටියට හරි) අපිට එහෙම කියන්න ගට් එකක් නැහැ. එයාට පුළුවන් තරුණ බවෙන් මිදිලා පැවැත්මේ වෙනත් අවධියක් තෝරා ගන්න. මරණය තෝරා ගන්න. රෝගයක් තියෙන කෙනෙක් හැටියට පැවැත්ම වෙනස් කර ගන්න.
 
 
හැබැයි කවදාවත් ජීවත් වුණේ නැති කෙනෙක්ට බැහැ මරණයවත් රෝගයක්වත් ඇත්තමට තෝරා ගන්න.
 
 
ඒ නිසා ආයේ පරණ විදියටම හිනා වෙන්න බැරි උණාට බිබර් එතරම් සැලෙන එකක් නැහැ. හැබැයි කවදාවත් හිනා වුණේ නැති අපි සැලෙයි.


ඔරැකල් විප්ලවය...- මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

Leader Whats app

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...