The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්දියාවේ කාන්තාවක් තමාටම විවාහවීම දැඩි කතාබහට

T

The Leader Desk

June 14, 2022 • 2:34 PM

ඉන්දියාවේ කාන්තාවක් තමාටම විවාහවීම දැඩි කතාබහට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරාහි වෙසෙන ක්ෂමා බින්දු පසුගිය දා සම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වා තමාවම විවාහකර ගත්තා ය.
  • ජුනි 8 වැනි දා රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමගම විවාහ වූවා ය.
  • විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත්වනු ඇත.
  • සියලුම සැමරුම් ඇති නමුත් එහි ඇති එකම වෙනස නම් විවාහය සඳහා මනාලයකු නොමැතිවීම යි.
අකුරු ප්‍රමාණය (Font Size):



බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරාහි වෙසෙන ක්ෂමා බින්දු පසුගිය දා සම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වා තමාවම විවාහකර ගත්තා ය.

ජුනි 8 වැනි දා රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමගම විවාහ වූවා ය. උත්සවය නිවසේ දී පැවැත්විණි.

හල්දි උත්සවය (මනාලියගේ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීම) සහ සංගීත් උත්සවය වැනි පූර්ව විවාහ චාරිත්‍ර ද එදිනම සිදුකරනු ලැබිණ. විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත්වනු ඇත.

kshamachy 1

kshamachy 2

සියලුම සැමරුම් ඇති නමුත් එහි ඇති එකම වෙනස නම් විවාහය සඳහා මනාලයකු නොමැතිවීම යි. ඇතැම් විට මෙය ඉන්දියාවේ පළමු ස්වයං-විවාහය ද විය හැකිය.

"ගොඩක් දෙනා මට කියනවා මා එක්ක යාලුවෙන කෙනා හරි වාසනාවක් උදාකරගන්නේ කියලා," 24 හැවිරිදි සමාජ විද්‍යා ශිෂ්‍යාවක සහ බ්ලොග් රචිකාවක වන ඇය පැවසුවා ය. "එතකොට මම එයාලට කියනවා 'මමම තමයි ඒ වාසනාවන්තිය' කියලා".

බින්දු පවසන්නේ ඇය තමාවම විවාහකර ගැනීමෙන් තම ජීවිතය "ස්වයං ආදරය" වෙනුවෙන් කැප කරන බව යි.

"ස්වයං-විවාහය යනු ඔබ වෙනුවෙන්ම කැපවීමක්. තමන්ට කැමති ජීවනෝපාය සහ ජීවන රටාවක් තෝරගෙන ලස්සන, සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්න ඒකෙන් හැකි වෙනවා."

"ඒකෙන් මම පෙන්නන්නේ මම ම‍ගේ විවිධ හැකියාවන් පිළිගත්ත බව. විශේෂයෙන් දුර්වලතා. ඒ කිව්වේ මානසිකව හෝ ශාරීරිකව හෝ හැඟීම් අනුව මම දුර්වලතා ලෙස දකින දේවල්. මම හිතන විදියට මේ විවාහය තමන් තමන්වම පිළිගත්ත බව පෙන්වන්න හොඳ ක්‍රමයක්. මම මේ පෙන්වන්න හදන්නේ මම මාවම පිළිගත්තු බව. මගේ හොඳ හෝ නරක ඕනම දෙයක් [මම පිළිගත්තු බව]."

ඇයගේ පවුල ද සිය ආශිර්වාදය ඇයට ලබා දී ඇති අතර, ඇගේ මිතුරන් ද සමග උත්සවයට ද සහභාගී වූහ.

"මගේ අම්මා කිව්වේ, 'ෂා! ඔයා නිතරම අලුත් දෙයක් ගැන හිතනවා' කියලා. මගේ දෙමව්පියෝ ඉතා විවෘත මනසකින් කටයුතු කරනවා. එයාලා කිව්වේ 'ඔයා සතුටු වෙනතාක්කල් අපට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ," ඇය වැඩිදුරටත් පැවසුවාය.



kshamachyඡායාරූප මූලාශ්‍රය, KSHAMA BINDU


"තමා සමගම විවාහ වීම" පිළිබඳ අදහස මුලින්ම ප්‍රවෘත්තියක් බවට පත්වූයේ, අතිශය ජනප්‍රිය ඇමරිකානු කතා මාලාවක් වන සෙක්ස් ඇන්ඩ් ද සිටිහි (Sex and the City)  චරිතයක් වන කැරී බ්‍රැඩ්ෂෝ මීට වසර 20කට පමණ පෙර ඒ ගැන කථා කළ අවස්ථාවේ දී ය. නමුත් එම කතා මාලාව විකට ගණයේ එකක් විය.


එතැන් සිට, බොහෝවිට තනිකඩ කාන්තාවන් විසින් එවැනි "විවාහ" සියගණනක් සිදුකර ගෙන ඇතැ යි වාර්තා වේ. ඇතැම් මනාලියන් අලංකාර මංගල ඇඳුමින් සැරසී, මල් කළඹක් රැගෙන, සමහර විට පවුලේ අය සහ මිතුරන් සමග ඔල්වරසන් මධ්‍යයේ විවාහ දිවියට පිවිස තිබේ. එක් අතිශය අසාමාන්‍ය සිදුවිමක දී, 33 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකාවක ඇගේ ස්වයං "විවාහයෙන්" මාස තුනකට පසුව "දික්කසාද" වූවා ය.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල මේ වටා ව්‍යාපාර ද ප්‍රචලිත වී ඇති අතර, ඊට අදාළව මංගල මුදු, ඇරයුම් පත් ආදිය ද ඇතුළත් මංගල පැකේජ පවා බිහිව තිබේ.
නමුත් එවැනි දෑ ඉන්දියාව තුළ තවමත් අප්‍රකට නිසා බින්දුගේ විවාහ මංගල්‍යය එරට කතා බහට ලක්ව ඇත.

අප හා කතා කළ මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් ඒකල විවාහය පසුපස ඇති හේතූන් පිළිබඳව "පුදුමයට පත් වූ" බවක් පෙනෙන්නට තිබුණි.

චන්දිගාර් නගරයේ PGIMER රෝහලේ හිටපු පීඨාධිපති සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය වන වෛද්‍ය සවිතා මල්හෝත්‍රා පැවසුවේ, "මට නම් එය ඉතා අමුතු සංකල්පයක්" ලෙස යි.

"හැමෝම තමන්ට ආදරෙයි. ඒක පෙන්වන්න බාහිර අනුරුවක් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි හැමෝටම ආවේණික දෙයක්. ඒ වගේම, විවාහයක් කියන්නේ දෙන්නෙක් එකට එකතුවීම."

මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ද සංවාදයට පාත්‍රව තිබේ. ඇතැමුන් ඇයට ප්‍රශංසා කළේ ඇය බොහෝ දෙනෙකුට ආදර්ශයක් වනු ඇති බව පවසමිනි. නමුත් බොහෝදෙනෙකුට ඒකල විවාහ සංකල්පය අවබෝධ කර ගැනීම අපහසු බව පෙනුනි.

පුදුමයට පත්ව සිටින එක් කාන්තාවක්, වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවන්නේ නම් විවාහයේ අවශ්‍යතාවය කුමක් ද යන්න ට්විටර් හි දී ප්‍රශ්නකර සිටියා ය.

තවත් අයෙක් පැවසුවේ බින්දු තම පවුලේ වගකීම්වලින් පලායාමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇති බව යි.

සමහරු ඒකල විවාහය "විකාර සහ දුක්ඛිත ක්‍රියාවක්" ලෙස විවේචනය කළ අතර, එයට "නිදන්ගත නාසිස්මයයැ"යි දොස් පැවරූහ.

බින්දුට, ඇගේ ඇගේ විවේචකයන් වෙත කීමට ඇත්තේ "එකම එක දෙයකි": "පිරිමියෙක් හෝ කාන්තාවක් හෝ තමාවම වේවා, මම කැමති කෙනාව විවාහ කර ගන්න එක මගේ තීරණයක්. ඒ වගේම මාව විවාහකර ගැනීමෙන් මට ඒකල විවාහය සාමාන්‍යකරණය කිරීමට අවශ්‍ය යි. මට මිනිසුන්ට පැවසීමට අවශ්‍යයි, ඔයා තනියම මේ ලෝකෙට ඇවිත් තනිවම මෙහෙන් යනවා කියලා. ඉතින් ඔයාට වඩා ඔයාට ආදරේ කරන්න පුළුවන් කාට ද? ඔයා වැටුණොත් ඔයාව ගොඩගන්න වෙන්නෙ ඔයාටම යි."

(BBC සිංහල සේවය)

 

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාවේ කාන්තාවක් තමාටම විවාහවීම දැඩි කතාබහට | The Leader