The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අර්බුදයේ බර අඩු කර ගැනීම -(වික්ටර් අයිවන් )

T

The Leader Desk

June 21, 2022 • 5:01 PM

 අර්බුදයේ බර අඩු කර ගැනීම -(වික්ටර් අයිවන් )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක් පවතී.
  • ඒ නිසා ජනතාව එක පෙරමුණකට එකතු කරගැනීම සදහා මේ මොහොතේදී තෝරාගත හැකි හොදම ක්‍රමය වනුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ එකට එකතු කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස එකට ක්‍රියා කරන තැනකට ගැනීමය.
  • අදූෂිත අළුත් නායකයින්ගෙන් සමන්විත මහජනයාගේ පිළිගැනීමට හේතුවන අළුත්ම අළුත් ආණ්ඩුවක් ඇති කර ගැනීම මේ අර්බුදය ජය ගැනීමට තිබිය හැකි හොඳම තත්වයක් ලෙස සැළකිය හැකි වුවද එය රටේ මහ පොළොවේ පවතින යථාර්තයට පටහැනිය.
  • "ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය" සිය ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඉක්මන් මැතිවරණයක් ඇතුළත් කර ඇත්තේ පාලක පක්ෂය පිළිබදව ඉක්මන් තීන්දුවක් ගැනීමේ අයිතිය මහජනයාට ලබා දීම සදහාය.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක් පවතී.

මොන හේතුවක් නිසා හෝ එම දෙවැනි අගාධයට ඇද වැටුනහොත් ලංකාවට කිසියම් දීර්ග කාලයක් වනචාරි තත්වයක ජීවත් වීමට පවා සිදුවිය හැකිය.

මේ මොහොතේ ලංකාව වැදගත් කොට සැළකිය යුත්තේ රට මේ තත්වයට ඇද දැමුවන් ගැන සොයා බලා ඔවුන්ට දඩුවම් කිරීම නොව දෙවැනි අගාධයට ඇද වැටීම වලකා ගනිමින් දැන් සිටින අගාධය ජය ගැනීමට සුදුසු මගක් සොයා ගැනීමය.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් !

මේ අර්බුදය ජය ගැනීම සඳහා දරන උත්සහායක දී මහජනයා, දේශපාලන පක්ෂ, එක පොදු මතයක පිහිටා ක්‍රියා කරන තැනකට ගැනීම ඉතා වැදගත්‍ ය. සියළු මහජනයා එකට එකතු කල හැකි නව පක්ෂයක් හෝ නව නායකයෙක් තවමත් බිහි වී නැත. ඒ නිසා ජනතාව එක පෙරමුණකට එකතු කරගැනීම සදහා මේ මොහොතේදී තෝරාගත හැකි හොදම ක්‍රමය වනුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ එකට එකතු කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස එකට ක්‍රියා කරන තැනකට ගැනීමය.


අදූෂිත අළුත් නායකයින්ගෙන් සමන්විත මහජනයාගේ පිළිගැනීමට හේතුවන අළුත්ම අළුත් ආණ්ඩුවක් ඇති කර ගැනීම මේ අර්බුදය ජය ගැනීමට තිබිය හැකි හොඳම තත්වයක් ලෙස සැළකිය හැකි වුවද එය රටේ මහ පොළොවේ පවතින යථාර්තයට පටහැනිය.

පාලක පක්ෂය ඉවත් කිරීමක් සිදුවිය යුතු නම් එය සිදුවිය යුත්තේ ව්‍යවස්ථාපිත රාමුවක් තුලය.

 "ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය" සිය ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඉක්මන් මැතිවරණයක් ඇතුළත් කර ඇත්තේ පාලක පක්ෂය පිළිබදව ඉක්මන් තීන්දුවක් ගැනීමේ අයිතිය මහජනයාට ලබා දීම සදහාය.


ව්‍යවස්ථාපිත නොවන ආකාරයට පාලක පක්ෂය බලයෙන් පහ කිරීමට දරන උත්සහායන් අර්බුදය විසදා ගැනීමට තිබෙන හැකියාව අවුල් කොට වඩා නරකම තත්වයේ අරාජික තත්වයකට රට තල්ලු කිරීමට හේතු විය හැකිය.

ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ද රට යොමු කිරීම....



c5de549a30be8cc9596a2dadb45214 537f6

ඒ සියළු කාරණා සැළකිල්ලට ගත් විට රටේ යහපත පිණිස මේ මොහොතේ තෝරා ගත හැකි හොදම විකල්පය වනුයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීම මගින් මහජනයා ද, දේශපාලන පක්ෂ ද, මේ අර්බුදය ජයගැනීම පිණිස ඒකාග්‍රව ක්‍රියා කරන තැනකට ගන්නා අතර ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ද රට යොමු කිරීමය.

ක්‍රමයේ ගැඹුරු විපර්යාසයක් සදහා ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හා ඒ වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අලලා අප (ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා ව්‍යාපාරය) දේශපාලන පක්ෂ සමග පවත්වාගෙන යමින් තිබෙන සාකච්ඡා අනුව පෙනී යනුයේ ඒ සියළු දෙනා එකට එකතු කිරීම සරළ හෝ පහසු නැතත් එය කරන්න බැරිම දෙයක් ද නොවන බවය.

එය දුෂ්කර වුවත් ජය ගත හැකි කඩුල්ලකි.

රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන ප්‍රමාණවත් තරමින් සාකච්ඡාවට ලක් වී ඇතත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසදා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා ගන්නා තෙක් රටේ අර්බුදය යහපත් ලෙස කලමනාකරණය සදහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ඇතුළත් ජාතික වැඩසටහනක් ඇතිකරගැනීමේ අවශ්‍යතාව ගැන තවමත් සාකච්ඡාවක් ඇත්තේම නැති තරම්‍ ය.

මේ ලිපියෙහි අරමුණ ඒ ගැන මා දරන අදහස් ඉදිරිපත් කිරීමය.


අදහස් හා යෝජනා :



1). මෙම අර්බුදය ජය ගැනීම සඳහා කල හැකි දේවල් ගැන ඉතා සාරවත් අදහස් මහජනයා ලඟ තිබිය හැකිය. ඒ සදහා මහජන අදහස් ලබා ගන්නා වෙබ් අඩවියක් වහාම රජයට ආරම්භ කළ හැකිය. එවිට ඉදිරිපත් වන යෝජනා රජයේ බලධාරීන් ට පමණක් නොව මහජනයාට ද දැන ගැනීමේ හැකියාව ලැබෙන්නේය.


2). දෙමළ ඩයස්පෝරාවට පනවා තිබෙන තහංචි ඉවත් කොට ඔවුන්ගේ ආධාර ඇතිව උතුරු-නැගෙනහිර දෙමළ ප්‍රදේශ සංවර්ධනය කර ගැනීමට ඉඩ දිය යුතුය. එවිට එය රටට විදේශ මුදල් ගලා එන ප්‍රධාන මාර්ගයක් බවට පත් විය හැකිය. ඒ නිසා එම ප්‍රදේශ වල ඇතිවන විශේෂ සංවර්ධනයක් වේ නම් එය ඔවුන්ගේ යහපතට පමණක් නොව මුළු රටේම යහපතට හේතු වනු ඇත.


3). මේ අර්බුදය තුළ රට ගමන් කර කරමින් තිබෙනුයේ පරිපූර්ණ කඩා වැටීමකට ය. රාජ්‍ය හා රාජ්‍ය නොවන සමස්ථ ආයතන ක්‍රමය තිබෙන්නේ ඒ සියළු ආයතන නොවේ නම් ඉන් බොහොමයක් කඩා වැටෙන තත්වයක ය. මේ මොහොතේ කඩා වැටෙන්නට නියමිත සියළු ආයතන රැක ගැනීමේ හැකියාවක් රටට නැත. උපාය මාර්ගික අර්ථයෙන් කළ හැකි හොදම දේ වනුයේ රටේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට නැතුවම බැරි ආයතන හදුනා ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමට බර තබන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමය.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ඇතුළත් රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය එම රාජ්‍යය අංශය පවත්වා ගෙන යාමට අවශ්‍ය සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයක් තරම් විශාලය. එය ද ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රබල සාධකයකි. එම වරද නිවැරදි කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය.

 
 එහිදී රැකියා අහිමි වන අය සඳහා කොටස් වශයෙන් වන්දි ගෙවන ක්‍රමයක් ඇති කළ හැකි අතර ඒ අය අතර සිටින කෘෂිකර්මයට යොමු වීමට කැමති අයට රජයේ ඉඩම් ලබා දෙන වැඩසටහනක් ද ඇති කළ හැකිය. ඒ මගින් රජයේ සේවක සංඛ්‍යාව කුඩා කොට එය නඩත්තු කළ හැකි තැනකට ගත හැකිය.



4). පෙට්‍රල් හා ඩීසල් පරිභෝජනය සීමා කිරීමට හා ඵලදායි කිරීමට හේතුවන කළමණාකරන ප්‍රතිපත්තියකට යා යුතුය. පොදු ප්‍රවාහන සේවාවන්ට දිරි දෙන හා පෞද්ගලික ප්‍රවාහනය අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය. 
 
පුද්ගලික මෝටර් රථ ප්‍රවාහනයේදී ද අධි ඉන්ධන පරිභෝජනයක් සහිත සුඛෝපබෝගී වාහන පරිහරණය අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය.

ඛණිජ තෙල් ලබා ගැනීමෙන් සිදු කරන කාර්යයේ ස්වභාවය සැළකිල්ලට ගෙන සතියක කාලයක් සදහා පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගණනය කොට එම ප්‍රමාණය සලාක ක්‍රමයට ලබා දෙන ක්‍රමයක් ඇති කළ යුතුය. 
 
එහි දී ද මහජන සෞඛ්‍යය, නිෂ්පාදන හා බෙදා හැරීම යන අංශවලට වැඩි ප්‍රමුඛතාවයක් (ගොවීන්ට, ධීවරයන්ට හා නිෂ්පාදකයන්ට) ලබා දෙන ප්‍රතිපත්තියක් ඇති කල යුතුය. එක වාහනයකට වැඩි වාහන ගණනක් පරිහරණය කරන නිවාස වලට එක වාහනයක් සදහා පමණක් ඉන්දන ලබා දෙන ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය.


ඉන්දියාව මෙන් බයෝ ඩීසල් නිපදවන හා පරිහරණය කරන තැනකට යා යුතුය. (බයෝ ඩීසල් නිපදවීම සදහා අවශ්‍යය වනුයේ පාවිච්චි කළ එළවළු හා සත්ත්ව තෙල්, කසිප්පු හා කෝස්ටික් සෝඩාය) පෙට්‍රල් වලට සීයට 15 ක් එතනෝල් කවලම් කිරීම සුදුසු බව ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ පිළිගත් මතය වන අතර එම සංයෝජනය පරිසර හිතකාමි බවද ඒ රටවල පිළිගැනීම වී තිබේ. එතනෝල්, සහල් හා බඩ ඉරිඟු වලින්ද වට්ටක්කා වලින් හෝ කුණු කසල වලින්ද නිපද විය හැකිය.



රටේ ආනයන වියදමෙන් සියයට 50 ක්ම වැය කරන්නේ ඛණිජ තෙල් ආනයනය සඳහාය. කාර්මික සංවර්ධන මණ්ඩලයට හා විශ්ව විද්‍යාලවලට අන්තර්ජාතික වශයෙන් ඒ ගැන සිදුකර තිබෙන පර්‍යේෂන සැළකිල්ලට ගෙන අඩු ආයෝජන වියදමකින් ගෘහස්ථ මට්ටමෙන් සුදුසු ප්‍රමිති මට්ටමකින් යුතු බයෝ ඩීසල් හා එතනෝල් නිපදවා ගත හැකි ක්‍රම වේදයක් හදුන්වා දී ඒවා වාහන පරිභෝජනය සදහා යොදා ගැනෙන ක්‍රම වේදයක් බවට පත් කල හැකිය.
 
 එය රටට ධනය උපයාදෙන ශක්තිමත් නව ආර්ථික මාර්ගයක් බවට පත් කල හැකි අතර එය ලක්ෂ ගණනක් ග්‍රාමිය ජතතාවට සරු අදායම් උපයා දෙන ජනප්‍රිය ජීවන මාර්ගයක් බවට ද පත් කල හැකි ය.

එසේම ඒ මගින් ඛණිජ තෙල් ආනයනය සදහා කරන වියදම ද සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකිය. මා මේ ගැන මීට වසරකට පමණ ඉහත දී ලියා ඇතත් බලධාරීන්ගේ හෝ බුද්ධිමතුන්ගේ අවදානයට යොමු වූයේ නැත.



5). කෘෂිකර්මයට වන සතුන් කරන හානියේ ප්‍රමාණය සියයට 40 ක් බව ආණ්ඩුවේ ඇස්තමේන්තුව වී තිබේ. සමාන්‍යයෙන් ඕනැම රටක වන සතුන් කරන හානිය සීයට 10 ක මට්ටමකට වඩා ඉහළ යන්නට ඉඩ දෙන්නේ නැත. ලංකාව මේ විෂයේදී පෙන්නුම් කර තිබෙන පසුගාමිත්වයේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. 
 
කෘෂිකර්මයට හානි කරන වන සතුන් (රිළවුන්, වඳුරන්, වල් ඌරන්, මොණරුන්) දඩයම් කිරීමේ හා එම මස් ලඟ තබා ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය ගොවීන්ට ලබාදීමෙන් ග්‍රාමීය කෘෂිකර්මයේ ලොකු වර්ධනයක් ඇති කළ හැකි අතර දඩයම් කිරීම හොඳ ආදායම් උපයන මාර්ගයක් බවට ද පත් කළ හැකිය.


6). ආණ්ඩුවේ බලපත්‍ර ක්‍රමය යටතේ ඉඩම් ලබාගෙන එම ඉඩම් පරිහරණය කරන සියළු දෙනාට ඒවායේ සින්නක්කර අයිතිය ලබා දෙන, වගා කිරීමට උනන්දුවක් දක්වන අයට හා නවීන කෘෂිකර්මයකට යොමුවීමට කැමති අයට ද අවශ්‍ය ඉඩම් ලබා දෙන ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කල හැකිය. 
 
පුද්ගලිකකරණය යටතේ වතු සමාගම් වලට ලබාදී තිබෙන වගා නොකල ඉඩම් බදු පදනමක් මත ඒ වතු වල කම්කරු පවුල් වලට හා ඒ වතු ආශ්‍රිත ගම්වල ගැමි පවුල් වලට ලබාදෙන පිළිවෙතක් අනුගමනය කළ හැකිය.



7). හරක් මස් කර්මාන්තය සම්බන්ධයෙන් ලංකාව ඍජු හා අනියම් ලෙස පවත්වාගෙන යමින් තිබෙන ඊට අවහිර කරන ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පමණක් ගව පාලනය ජීවිකාව කරගෙන ජීවත්වන්නන්ගේ ආදායම දෙගුණ කරමින් ලංකාවට අවශ්‍ය කිරි ලංකාවේම නිපදවා ගත හැකි තත්වයක් ඇති කළ හැකිය. 
 
ගව පට්ටි පාලනයේ දී කිරි හා මස් යන කාර්‍යයන් දෙකෙන් එක කාර්‍යයක් සදහා පමණක් ගව පාලනය ආර්ථික වශයෙන් ඵලදායි වන්නේ නැත. එවැනි ප්‍රතිපත්ති වෙනසක් කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට හේතුවනු ඇත.


8). විදුලි බලයේදී තාප බලය මත යැපෙන තැනකට නොගොස් සූර්ය බලයට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම වෙනුවෙන් ලංකාවේ අපිට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය අති විශාලය. එම වරද නිවැරදි කළ යුතුය. 
 
 
සියළුම පන්සල්, පල්ලි, දේවාල හා කෝවිල්, සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්නා තැනකට යා යුතු බවට යෝජනා කල හැකිය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් එම ගණයට වැටෙන බොහෝ ආයතනවලට තිබෙන අතර ඒ සඳහා අරමුදල් නැති ආයතන වලටද අවශ්‍ය අරමුදල් පහසුවෙන් සොයා ගත හැකිය.


 නිවාස ලක්ෂ දෙකක් ඉලක්ක කර ගනිමින් සිය රටේ තම නිවස සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා නිවසක් බවට පත් කරන ලෙස විදේශගත ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ඒ සඳහා අවශ්‍ය උසස් ප්‍රමිති තත්වයකින් යුතු සූර්ය බල පැනල් කට්ටලයක් සාධාරණ මිලකට එකවර හෝ කොටස් වශයෙන් ගෙවන ක්‍රමයට ලබා ගත හැකි ක්‍රම වේදයක් ද ඇති කළ හැකිය.

එවැනි වැඩසටහනක් ජනප්‍රිය කල හැකි නම් එය මේ මොහොතේ ලංකාවට ඩොලර් ලබාගත හැකි වැදගත් මාර්ගයක් ලෙස ක්‍රියා කරනු ඇතිවා සේම විදුලි බලය සදහා තාප බලය මත යැපෙන තත්වය ද විශාල ප්‍රමාණකට ලිහිල් කිරීමට හේතුවනු ඇත.

 
victor ivan colombotelegraph1.jpg

(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

mkvictorivan@gmail.com

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)




සබැඳි ලිපි :
 
{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...