The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිස්ටම් චේන්ජ් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 24, 2022 • 8:23 AM

සිස්ටම් චේන්ජ් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, අලුත් ණය ගැනීම්, ආනයන සීමා කිරීම්, අපනයන මුල් කරගැනීම් වගේ කාරණා ඒ අතර වෙනවා.
  • අර්බුදය ගැන ඉතා වටිනා ප්‍රකාශයක් කිව්වෙ මෑතක නිර්මාල් රංජිත් දේවසිරි.
  • අතීතයේ උත්තරවලින් එතන ඇති වැඩක් නෑ.
  • අපිට සිද්ද වෙනවා කම්පනයක් ඇති කරන විසඳුම් තෝරගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, අලුත් ණය ගැනීම්, ආනයන සීමා කිරීම්, අපනයන මුල් කරගැනීම් වගේ කාරණා ඒ අතර වෙනවා. එහෙම ආර්තිකය ගැන වැඩි දැනුමක් නැති බහුතරය හොරු ඇල්ලීම්, මුදල් ආපසු ගැනීම් වගේ ජනප්‍රිය කතන්දරත් කියනවා.

ඒ අතර ඔය කිසි දෙයක් ගැන වැඩි දැනීමක් නැති මං වගේ අයටත් කිසි දවසක ආණ්ඩුවක් අත නොගහන මෝඩ යෝජනා කීපයක් තියෙනවා. කාටවත් වැඩක් නැති වුනත් හිනාවෙන්න හරි ඒවා ලියන්න හිතෙනවා.

 

අර්බුදය ගැන ඉතා වටිනා ප්‍රකාශයක් කිව්වෙ මෑතක නිර්මාල් රංජිත් දේවසිරි.  ‘මේ අර්බුදය කොහෙත්ම නරක දෙයක් නොවේ. මෙය අපි ආදරෙන් වැළඳගත යුතු දෙයක් (වෙල්කමින්). මෙයින් සිදුවන්නේ සමාජ පරිවර්තනීය කාර්යයක්’

 

මගේ යෝජනාව වන්නේත් අර්බුදයෙන් පැනයන්න හැංගෙන්න උත්සාහ දරනවාට වඩා එය සමාජ පරිවර්තනයක් වෙනුවෙන් භාවිතා කරන්නෙ කොහොමද කියන එක හිතන්න ඕන කියන එකයි.

අපි මෙතෙක් දැක නැති විදිහෙ අර්බුදයක් අපි ඉස්සරහ තියෙනවා නම් අපේ උත්තරත් මෙතෙක් උත්සාහ නොකළ වර්ගයේ ඒවා වෙන්න ඕන. අර්බුදය අපිව කැඳවන්නෙ වර්තමානයට. අතීතයේ උත්තරවලින් එතන ඇති වැඩක් නෑ. අපිට සිද්ද වෙනවා කම්පනයක් ඇති කරන විසඳුම් තෝරගන්න.


1. ඉන්දියාවට අනුබද්ධ වීමෙන් තෙල් සහ විදුලි අර්බුදය විසඳාගැනීම.
 


ලංකා‍ව ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනත් එයින් නරකක් වෙන්නෙ නැත. තවදුරටත් රටවල් පවතින්නේ නැත. පවතින්නේ ලෝකයන්ය. අපි සළකා බැලිය යුත්තේ ලෝකයට සම්බන්ද වෙන මාවත මිස රටක් විදිහට කඩාවැටෙන මාවත නොවේ.

තෙල් සහ විදුලිය යනු නූතන ආර්ති‍කයේ ජීවනාලියයි.  මේ සැපයුම් දෙක අඩාල වුනොත් රටක් සම්පූර්ණයෙන් අගාධයට ඇද වැටේ. මෙතෙක් අත්පත් කරගත් සකලවිධ නූතනත්වයන් අත්හැර දමන්නට වෙයි.

බරපතල කාරණය වෙන්නෙ අපි බොහොම ලේසියෙන් ආපහු බරකරත්තෙට ගොඩවෙන ජාතියක් වීමයි.  දැනටමත් අල්පේච්ඡ වීම, අපේ පරණ මුතුන්මිත්තන්ගේ ප්‍රතාපය ආදී කතා ඇහෙන්නට අරගෙන තිබේ.

 

මේ නිසා කවර හෝ කොන්දේසියක් යටතේ ඉන්දියාවෙන් මේ මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම අදට විතරක් නෙමෙයි ඔය කතා කරන අනාගත පරපුර වෙනුවෙන්ද වැදගත්ය. මේ පිළිබඳ හුදු අන්තවාදයන්ගේ එල්ලී නොසිටින විවෘත බුද්ධිමතුන් වාසි අවාසි පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

 

මෙහිදී මෙවන් විවෘත මනසක් ඇති අය කැඳවන්නට සිද්ද වෙන්නේද තුන්වන පාර්ශ්වයක් ලෙස බටහිරෙනුයි. අපේ රටේ එවන් බුද්ධිමතුන් නැති බව අපි නිහතමානීව පිළිගත යුතු වෙයි. අපේ බුද්ධිමතුන්ගේ තරම හිතාගන්නට අද අපි වැටී ඇති තත්වය සහ එයින් ගොඩඑන්නට ඒ අය වෙත ඇති සැලසුම් දෙස යන්තමින් බැලීම ප්‍රමාණවත්ය.

ඒ වගේම අපේ පෙට්‍රෝලියම් එක සහ විදුලි බල මණ්ඩලය හොඳටම කරපු හැටි තේරුම් ගන්න මේ ගත කළ කාලය හොඳටම ඇතිය.


2. විදේශිකයන්ට මෙරටට පැමිනීමට ඇති සියලු බාධා ඉවත් කිරීම.


තාමත් සිටිසන්ෂිප් එකක් ලබාගන්න අමාරුම රටක් තමයි ලංකාව. ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටෙන් වෙන රටකට පැනගන්න බලන් ඉන්න සීයට අනූනමයක විතර ජනතාවක්ම ඉන්න රටක් ලංකාව.

අපිට ඩොලර් ඕන නම් අපි මේක වහගෙන මොනවද කරන්නෙ කියල හිතල බලන්න වෙනවා. බංකොලොත් රටක තව මොනවා රකින්නද කියන එක තේරුම් ගන්න වෙනවා.  

ලංකාවට එන්න වීසා අවශ්‍ය නොවන තත්වයක් වගේම ලෝකෙ ඉතාම පහසුවෙන් පුරවැසිභාවය ලබාගත හැකි රටක් හැටියටත් අපිව විවෘත කරගැනීම ඉතා වැදගත් පියවරක්. ඒ එන්නෙ මේ රටට ආදරේ මිනිස්සුයි. මේ ර‍ටේ වටිනකමක් දකින මිනිස්සුයි. මේ රටේ මොනවා හරි කරන්න සැලසුමක් ඇති මිනිස්සුයි.  

විදේශිකයො යම් ප්‍රමාණයක් මේ රටේ පුරවැසිභාවය ගත්තට පස්සෙවත් රටක් විදිහට අපි යම් පමණකවත් නිවැරදි තීන්දු තීරණ ගනීවි. අපි නිදහස ලැබුවට නිදහස ලැබීමට තරම් පරිණත නොවුනු ජාතියක්. අපිට අද වෙනකල් පොලිටිකල් ඉන්ටරෙස්ට් එකක් ඇති ජනතාවක් නිර්මාණය කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ අධ්‍යාපනය අසමත් කියන්නෙ ඒකයි.

පොලිටිකල් ඉන්ටරෙස්ට් එක ඇතුලෙ තමයි ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස පද්ධතිය නිර්මාණය වෙන්නෙ. ඒක ඇතුලෙ තමයි පුරවැසියා නිර්මාණය වෙන්නෙ. අපිට තියෙන්නෙ පර්සනල් ඉන්ටරෙස්ට් එකක් විතරයි.


3. කංසා සහ කසිප්පු නීතිගත කිරීම.

njsl

සදාචාරය පිළිබඳ සීමාවන් අපිට නැවත හැරිලා ප්‍රශ්න කරන්න අවකාශ ලබා දෙන මොහොතක් අර්බුදය කියන්නෙ. අපි විසින් පනවා ඇති තහංචි, විශේෂයෙන් සදාචාරය මත පදනම්ව පනවාගෙන තිබෙන ආර්තික තහංචි අපි ආපහු සළකා බලන්න වෙනවා.

රටේ ආර්තිකය හොම්බෙන් ගිහින් මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්නවත් රජය අපොහොසත් වෙලාවක මොකක් හෝ අපනයන තත්වයක් ඇති නිෂ්පාදනයක් තහනම් කරලා තියාගන්නවා කියන්නෙ ජාතියේ මෝඩකමක්. ඒකෙන් රටේ ආර්තිකය සම්පූර්ණයෙන් ගොඩදාන්න බැරි වෙයි. නමුත් ගෙවත්තේ වගා කරනවට වඩා නම් ඒක ඵලදායී උත්සාහයක් වෙයි.

 කංසාවලට ආර්තික භෝගයක් හැටියට විභවයක් තියෙන බව තායිලන්තය මෑතක කංසා නීතිගත කිරීමෙන්ම පේනවා. ඒ වගේම ඒක සංචාරක කර්මාන්තය පැත්තෙනුත් නිදහස සහ ආස්වාදය කියන හැගීම දෙන වැඩක්.

අපේ කසිප්පු පවා ප්‍රමිතිකරණයට ලක්කරමින් අපනයනය කළ හැකි තත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්  නම් වටිනවා. මේවා ආණ්ඩුව විසින් බර දරන්න ඕන කාර්යයන් නෙමෙයි. ආණ්ඩුවට පැවරෙන්නෙ ආර්තික නිදහස ලබාදීම සහ නියාමනය විතරයි.


4. ගණිකා වෘත්තිය නීතිගත කිරීම.


ගණිකා වෘත්තිය සංචාරක කර්මාන්තයට වැදගත්. රටක සංචාරය කරන කෙනෙක් කැමතියි ඒ රටේ කාන්තාවකගේ පහස ලබන්න. ඒක ඒ අත්දැකීම සම්පූර්ණ කරන දෙයක්. තායිලන්තයේ අපිට පුළුවන් යෙහෙළියක් වගේ ඒ කාලය පුරාවටම කෙනෙක් ඇසුරු කරන්න. එයා ලිංගික සතුට දෙනවා විතරක් නෙමෙයි අපේ රුචිකත්වය අනුව ඒ නගරයේ අපි විඳිය යුතු දසුන්, ආහාර, සහ මුනගැසිය යුතු මිනිසුන් හඳුන්වාදෙනවා.

ලිංගික ශ්‍රමික වෘත්තිය කියන්නෙ නරක පිටුදැකිය යුතු දෙයක් නෙමෙයි. ඒක සතුට උපදවන කර්මාන්තයක්.

ලංකාවෙ ගණිකා වෘත්තියේ යෙදෙන අය අද මුහුණ දෙන බලහත්කාරයන්, වෙනස් කොට සැලකීම්, අපචාරයන් ආදියෙන් ආරක්ෂා කර ගැනීමටත් මේ වෘත්තිය නීතිගත කිරීම වැදගත්.

ලිංගික රෝගවලින් ආරක්ෂාව සහ පාරිභෝගිකයන්ට තමන් ගෙවන මුදලට සාධාරණ සේවා තත්වයක් ලබා දෙන්නත් මේක අවශ්‍ය පියවරක්. මේ තහනම ඇතුලෙ සිද්ද වෙන්නෙ අපචාරය ප්‍රවර්ධනය කිරීමක් විතරයි.  

ඉදිරි කාලයේ රටේ අර්බුදය එක්ක ඇතිවෙන ලිංගික ආතතිය යම් පමණකින් හෝ සමනය කරන්නත් මේක උදව්වක් වෙයි. අනෙක් අතට සංස්කෘතික කලාපයේ විශාල විවෘත වීමක්, නිදහසක් මේ පියවර නිසා ඇතිවෙන්න නියමිතයි.


5. සමලිංගික විවාහ නීතිගත කිරීම

ap 21341860358195 4ae6613feb9df9e37a4e67bae6a1f329bd263c9c s1100 c50

මේක කොහොමද ආර්තිකයට බලපාන්නෙ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේකෙ අදහස තමයි අපි සමලිංගික නිදහස පිලිගන්නා රටක් හැටියට ලෝකය ඉස්සරහ පෙනී ඉන්න එක. ඒ හරහා සමලිංගික සංචාරකයන්ගේ ආකර්ශනය වැඩිපුර දිනාගන්න එක.

මේ නිදහස කියන සාධකය අපි ඍජුව ගණනය නොකරන තව බොහෝ කාරණාවලට පොසිටිව් උත්තේජනයක් වෙනවා. ලංකාවෙ තඩිපිරිමි අසනීප හොඳ වෙන්නත් බලපානවා.


6. නිශ්චිත කාලයක් සඳහා දරු උපත් සීමා කිරීම.



උපත් පාලනය සඳහා යම් නීති හෝ ක්‍රමවේද හඳුන්වාදීම මේ කාලයේ අනිවාර්ය අවශ්‍යතාවයක්. මේ අපි මුහුණ දෙන තත්වය නිරෝගී දරුවෙක් හදන්න සුදුසු තත්වයක් නෙමෙයි. ඒක පෝෂණය පැත්තෙන් වගේම අධ්‍යාපන, මානසික කාරණා පැත්තෙනුත් බලපානවා.

අපිට බුද්ධි මට්ටමෙන් දුර්වල, මන්ද පෝෂණයෙන් පෙලෙන අනාගත පරම්පරාවක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.  

රජය විසින් නිශ්චිත කාලයක් සඳහා යම් දරු උපත් සීමා කිරීමක් අරන් එන එක අතිශයින් වැදගත්. ඒත් ජාතිය වඳ කරනවා කියන මුග්ධ ප්‍රතිචාරයට සහ ආගමික සංස්ථාවලට බයෙන් කිසි කෙනෙක් මේ කාරණය එලිපිට කතා කරන්නෙ නෑ.

මේ දේවල් වලින් ආර්තික විතරක් නෙමෙයි ලොකු සංස්කෘතික පෙරලියකුත් සිද්ද වෙනවා. එතකොටයි අපි නිකං කටකහනවට කියන සිස්ටම් චේන්ජ් එක ඇත්තට සිද්ද වෙන්නෙ.

හැබැයි අපි ලෑස්තිද?



අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය -චින්තන ධර්මදාස(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' ක්‍රියාකාරික

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...