ඒ ලිව්වෙම අධිපතිවාදී දැඩි පුරුෂ කතිකාවක් අවසාන වෙන්නෙ එහෙමයි කියල දැනගෙන හිටපු හින්ද.
ජාතිවාදය ආගම්වාදය කරේ තියාගත්, බාහිර ලෝකය කුමන්ත්‍රණයක් කියල හිතාගෙන, පුංචි ළිඳක ලොකු ගෙම්බො වීමේ තෘප්තියෙන් පිනාගිය බහුතරයකට නැවත තමන්ගේම චන්දයෙන්, තමන්ගේම රැකවරණ පතා තමන්ගේම සතුරා බලයේ පිහිටුවන්නට සිද්ද වුනා.
මතවාදමය පරාජය කියන්නෙ ඒකට.
ඒත් රනිල් තනියම ආපහු ආවා. පක්ෂයක්, ජනතාවක් නැතුව, තමන්ගේ සියලු පරාජයන් සමග හිනාවෙවී රනිල් තනි පුටුවක ඉඳගෙන හිටියා. ඒ තමයි විවෘත ආර්තිකය පිළිගත්, ජාත්‍යන්තරය වැළඳගත්, බටහිර නිදහස මානව අයිතීන් විශ්වාස කරන අපේ දේශපාලනය.

රාජපක්ෂ වගේම සජිත්වත් ඒ ලිබරල් දේශපාලනය නියෝජනය කලේ නෑ. මංගල පවා දේශපාලනයෙන් අයින් වුනෙ එතනදි. අපි පාර්ලිමේන්තුවෙන් එලියෙ ඒ ලිබරල් මැද දේශපාලනය 'කල්ට්' එකක් විදිහටවත් පවත්වාගෙන යන්න උත්සාහ දරමින් හිටියා.
කොවිඩ් ආවා. ඒ දේශපාලන හඩ නියෝජනය කළ දැවැන්තයන් එක පෙලට නැති වුනා. මංගල මැරුන. සුනිල් පෙරේරා මැරුන.
ජාතිකවාදී දේශපාලනයේ මුග්ධ බව සහ වංචාව විසින් මුලු රටම අගාධයට ඇද දාලා තියෙද්දි, ජනතාව පාරෙ කැරලි ගහද්දි, කිසි කෙනෙක් බාරගන්නෙ නැතුව පස්ස ගහද්දි, රනිල් ආපහු රට බාරගත්තා. ඒ අවුරුදු 74ක මහළු මිනිසා තරම් ධෛර්යයක් වගකීමක් කිසිම දේශපාලන නායකත්වයක් විසින් ප්‍රදර්ශනය කලේ නෑ. ඒ වෙනුවට බියසුලුකම මහා ගුනයක් හැටියෙන් වර්ණනා වෙන්න පටන් ගත්තා.
රනිල් ලංකාවෙ ව්‍යවස්තාවෙ ඇති ඉතාම වටිනා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විදහා පාමින් අද 08 වැනි විධායක ජනාධිපති හැටියට පත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාම ලක්ෂණය බහුතර මතය නියෝජනය වීම නෙමෙයි. ඒකාධිපතිවාදය තුලත් ඒක සිද්ද වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ගුණය සුළුතරයේ අදහසටද ඒ හා සමාන අවස්ථාවක් ලැබීමයි. රනිල් කියන්නෙ සුළුතරය. ලිබරල් වටිනාකම් පිළිගන්නා, සුළු ජන අයිතීන්, ලිංගික අයිතීන් පිළිගන්නා මේ දූපතේ සුළුතරය තමයි රනිල් නියෝජනය කරන්නෙ. බහුතරයේ මහ බලපන්න ජනාධිපති පරාජිතව පලායද්දි අද රටේ ජනාධිපති ඒ සුළුතරයේ නියෝජනයක් වීම ආඩම්බරයට කාරණයක්. ඒ වෙනුවෙන් රනිල්ට මං නැගිටලා අත්පුඩි ගහනවා.
රනිල් ජනතාව නියෝජනය කරන්නෙ නෑ කියල චෝදනාවක් තියෙනවා. අපිව විනාශයට දක්කාගෙන ගොස් අපි විසින්ම පලවා හැරියෙ මහා ජනතාවක් නියෝජනය කරපු පාලකයෙක් කියල ඒ චෝදනාව කරන අයම අමතක කරනවා. ඔය කියන ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවෙ කැත ගැන කතා කරන අයම නැවත ජනතාව නියෝජනය කරන ජනාධිපති කෙනෙක් ගැන කතා කරනවා.මේ අගාධගාමී මොහොතෙ බහුතර ජනමතයට කන්දීම කියන්නෙම ගමනෙ වේගය තීව්ර කරගැනීමක්.
මේ දේශපාලන කතන්දර ඔක්කොම පැත්තකින් තිබ්බත් රනිල් කියන්නෙ ලංකාවෙ විශාලම ඉන්ස්පිරේෂන් එක බවට අද පත්වෙනවා. කිසිම දෙයක් නැති රටකට ඒ තරම් ලොකු අනුප්‍රාණයක් තිබීමම වැදගත්.
සියල්ලන් විසින් අත්හැර දමා තිබියදීත් තමන්ගේ ජීවිතයේ අවසාන අර්ථය වෙනුවෙන් නොසැලී ගමන් කරන මනුස්සයෙක්. අසමත් මිනිහෙක් විදිහට මිය යාම ප්‍රතික්ෂේප කරන වයස්ගත අරගලකරුවෙක්. ඒක හදවතක් උණුසුම් කරන කාරණයක්.
ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරය රනිල් වික්‍රමසිංහ විසින් අවසන් කරනු ඇති. ඒ චක්‍රය ඒ විදිහට පරිසමාප්ත වෙනවා. අවශ්‍ය වෙනස්කම් කරමින්, අභියෝගවලට නොසැලී මුහුණ දෙමින්, තමන්ගේ හිතුවක්කාර දේශපාලනය අභ්‍යාස කරන්නට රනිල්ට පූර්ණ නිදහස දෙමින් මං නිහඩ වෙනවා. මොකද මං වැරදි ගොඩක් තැන්වල රනිල් හරි වග මට පිලිගන්න සිද්ද වෙලා තියෙනවා.
(චින්තන ධර්මදාස)දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -චින්තා ගේ ෆේස්බුක් පිටුවෙන්..)
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.




